Monday, May 17, 2010

Oh! Sri Lanka Cricket | අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට්!



කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා 20-20 පිරිමි ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී ලෙස අවසාන පූර්ව වටය දක්වා ගමන් කර සතුටින් දිවයිනට පැමිණියහ.... 
අනේ එහෙම කියන්න තිබුණා නම්...
ඒත් ලංකාව අවසාන පූර්ව වටයට ගියේ ඉන්දියානුවන්ගේ හදිසි ඇද වැටීම නිසා සහ ක්‍රීඩකයන් කීප දෙනෙකුගේ දක්ෂතාවයත් වාසනාවත් මත මිස අපේ කණ්ඩායම හොඳම කණ්ඩායම් හතර අතර සිටි නිසා නොවේ. අඩු ගානේ නවසීලන්තයත්, දකුණු අප්‍රිකාවත් අපට ඉදිරියෙන් සිටි බව මගේ හැඟීමයි. 
අනෙක අප දුර්වල වූයේ අපේම වරදිනි.... පුරුදු පරිදිම සුදුස්සාට සුදුසු තැන නොලැබී තිබුණි.



මෙන්න උදාහරණ


1. පන්දුවට පහර දීමේ සුභ ලකුණු පෙන්වූ දිනේෂ් චන්දිමාල් ට ලැබුණේ තරඟ 3 ක් පමණි. ඒකත් ලැයිස්තුවේ අවසාන භාගයේ දී ය.
2. ඉතා හොඳ ප්‍රහාරක පිතිකරුවෙකු වූ චින්තක ජයසිංහ ට එකම ඉනිමක් ලැබුණු අතර ඔහුට මුහුණ දීමට හැකි වුණේ 1 පන්දුවකට පමණි. ඒ අවසන් පන්දුවට පහර දීම සඳහා ඔහු පැමිණි නිසා ය.
3. එහෙත් ඉනිම 6 ක් අති සාර්ථකව (විශේෂයෙන් ඉනිම 4ක් තුල ආරම්භක පිතිකරු ලෙස ලකුණු 12ක්) ලකුණු 15ක් රැස් කළ සනත් ජයසූරිය තරඟ හයට ම යොදා ගැනිනි.
4. පළපුරුදු මෙන්ම කඩුළු අතර සිටින ක්‍රීඩකයන් වූ  නුවන් කුලසේකර හා තිලාන් තුෂාර ට ලැබුණේ ඉතා අඩු තරඟ ගණනකි.
5. මෙයට අමතරව කණ්ඩායමට ඇතුළු විය යුතුව තිබූ කීප දෙනෙක් ම කණ්ඩායමෙන් විසි වී තිබුණි... චමින්ද වාස්, ඉන්දික ද සේරම්, ඉසුරු උදාන, ගයාන් විජේකෝන් ඒ අතර ප්‍රමුඛ වෙයි....


මෙහි අපට සතුටු විය හැකි ක්‍රීඩා විලාශයන් පෙන්වූයේ 
මහේල ජයවර්ධන
ඇන්ජලෝ මැතිව්ස්
චාමර කපුගෙදර
කුමාර් සංගක්කාර
තිසර පෙරේරා
ලසිත් මාලිංග
මුත්තයියා මුරලිදරන් 
අජන්ත මෙන්ඩිස්


යන අය බව මගේ හැඟීමයි. එහෙත් ඔවුන්ට හැම විටම දස්කම් දක්වන්නට බැරි බැව් අප තේරුම් ගත යුතුය. සුදුසු විකල්පයන් අප අත තිබේ... එහෙත් අප මේ හදන්නේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමත් ලෝකයේ ආශ්චර්‍යයක් කරන්නද..?


ලොවම පරදා
කිරුල දිනුවා
එදා අපි ලෝකේ
එහෙත් අද ඇයි
මෙලෙස ඉන්නේ
නිවට ලෙස පැරදී
තමන් දිනවන 
සටන නවතා
දනන් ලෙස
සිහළේ
යළිත් ජය ගමු
ක්‍රිකට් ලොව අපි
එකමුතුව පෙරසේ....!

සැ.යු.** මෙය www.cricinfo.com වෙබ් අඩවියේ ඇති දත්ත ඇසුරු කිරීමෙන් හා මගේ උපකල්පනයන් තුලින් නිර්මාණය කළ ලිපියක් වන අතර යම් උපකල්පනයන් හි දෝෂ වී නම් සමාවෙන මෙන් ඉල්ලා සිටිමි.

විශේෂ ස්තුතිය : මුරලි තරඟාවලිය අතර මැද අසනීප වූ බව දන්වා මා නිවැරදි කළ KAS සොයුරාට.

පිංතූරෙ ගත්තෙ මෙතැනින්

Monday, May 3, 2010

අර්ජුන හා සනත්



දෙස්පාලන පොරපිටියේ
සටන වෙනස් නොවැ මිතුරේ
එවන් වූ සටන් කෙරුමට
නුඹට ජවය ඇතේ…….

පක්ෂය දිනවන්න නොවේ
තමාව දිනවන්න නොවේ
රට දිනවන්නයි නුඹලා
සටන කළ යුතු…..

ක්‍රිකට් ගහපු ඒ යුගයේ
නුඹලට අපි බැන්ද පෙමේ
කිසි වෙනසක් තවමත් නෑ
සිදු වෙලා පුතේ…..

අපේ රටට වින කරනා
හොරු, දූෂිතයන් පන්නා
රට දිනවන්නට හැමදේ
කරනු මැන මතූ…..


අර්ජුන හා සනත් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ය. ඒත් ඊට පෙර ඔවුහු අපේ ආදරණීය ක්‍රිකට් ක්‍රීඩකයෝ වුහ.

අර්ජුන පාර්ලිමේන්තු ගියේ 2004 ඉඳන්ය. ඒ වන විටත් ඔහු ක්‍රිකට් ගැහිල්ල නවත්වා තිබුනි. ඔහුට අවශ්‍ය වුනේ කොහොම හරි ක්‍රිකට් හා අනෙකුත් ක්‍රීඩාවන්හි සිදුවන හොර මැරකම් නැවැත්වීමටය. එහෙත් ඔහුට ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැත. අර්ජුන අත හැරියේ ද නැත. දිගින් දිගටම ඔහු යුක්තිය වෙනුවෙන් කෑ ගැසුවේය. අන්තිමට ඔහු තමන් සිටි පක්ෂයද අත හැරියේය. මෙය අපට අරුමයක් නොවූයේ ඔහු ක්‍රිකට් ගහන කාලයේ සිටම යුක්තිය වෙනුවෙන් නැගී සිටි, ඒ වෙනුවෙන් කැප කිරීම් කළ චරිතයක් බැවිනි. අරවින්ද අසාධාරණ ලෙස කණ්ඩායමෙන් ඉවත් කල විට ඔහු ඊට විරෝධය පා සංචාරය වර්ජනය කලේය. එම වර්ජනය නොකලා නම් හොඳ බව රටක් හැටියට අපට හිතුනත් එයින් පසු අවුරුදු 9ක් අරවින්ද ක්‍රීඩා කලේ අර විරෝධය නිසා නොවන බව කාට නම් කියන්නට පුළුවන්ද? අප ලෝක කුසලානය දිනුවේ තමන්ගේ නායකයා ගැන කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තිබූ ඉහල විශ්වාසය නිසා නොවන බව කියන්නට පුළුවන්ද? මුරලි ගේ ප්‍රශ්ණයේදී තම කණ්ඩායමත් සමග ඔහු විරෝධය පෑවේය. එයින් මුරලිගේ අනාගතය එළිය වුනේ නෑ කියා කීමට පුළුවන්ද? අද අර්ජුන ගේ කණ්ඩායම ජනතාවය. ඔහු අප වෙනුවෙන් හඬ නගන බව අප විශ්වාස කරමු. දේශපාලන කරලියේ ඉහලටම යාමට ඔබට ශක්තිය ලැබේවායි හද පතුලින්ම පතමු….

සනත් පාර්ලිමේන්තු ගියේ 2010 දීය. ඊට කලින් ඔහු ජනධිපතිවරණයට කඩේ ගියේය. එහෙත් ඔහු තාමත් ක්‍රිකට් ගසයි (සමහර විට ඒ ලංකාව ලෝකයේ ආශ්චර්ය කිරීමේ එක් පියවරක් විය හැකිය.) ඒ විතරක් නොවේ. ඔහු ජනාධිපතිවරණය සමය වන විට කණ්ඩායමෙන් කැපී ගොස් තිබුණි. ඒ නිකම්ම නොවේ….. සෑහෙන කාළයක් එක දිගට අසාර්ථක වීමෙනි. එහෙත් (හොඳට කඩේ යාම නිසා විය හැක) ඔහුට යළිත් කණ්ඩායමේ ස්ථානයක් ලැබුණි. කොහොම වුණත් තවමත් මම සනත් ක්‍රීඩා කරනු දකින්නට බෙහෙවින්ම ආසා කරමි. එහෙත් ඉක්මනින්ම ඔහු ක්‍රීඩා ගාරයට යනු දකින්නට අසා නොකරමි. සනත් කිසි විටෙක අනුන් වෙනුවෙන් - යුක්තිය වෙනුවෙන් කතා කරනු මම දැක නැත්තෙමි. ඔහු තුල තිබූ දක්ෂතාවයට අමතරව ඔහුගෙන් මා දුටු උසස් ගතිගුණය වන්නේ ඉහල තරඟකාරීත්වයයි. ඔහු තරඟයකට සහභාගී වන අතර තුර ක්‍රීඩාගාරයට වී විවේකීව සිටින කෙනෙක් නොවන බව මම දැක ඇත්තෙමි. ඔහුගේ හොඳම මිතුරෙකු වූ රොෂාන් මහානාම අසාධාරණ ලෙස කණ්ඩායමෙන් ඉවත් කල විට ඔහු කිසිවක් කළේ නැත. මාවන් අතපත්තු නම් විශිෂ්ඨයා අසාධාරණ ලෙස බංකුවේ රඳවා සිටින විට ඔහු කිසිවක් කළේ නැත. ඔහු ක්‍රීඩාව තුලින් දිනා ගත් ජනප්‍රියත්වය පාවිච්චි කරමින් දේශපාලනයට පා තැබූ නිකම්ම නිකම් පුද්ගලයෙක් බව මගේ හැඟීමයි. අඩු තරමින් දැන්වත් කණ්ඩායමෙන් ඉල්ලා අස් වුණා නම් ඔහු තුල යම් ප්‍රතිපත්තියක් ඇති බව පෙනෙනු ඇත. සනත්, ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේ දී සිටි සනත් ට වඩා ප්‍රතිපත්තිගරුක, වැරැද්දට එරෙහි වන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් අපි ඔබෙන් බලාපොරොත්තු වෙමු. මේ වන විටත් ඔබ සහභාගී වන ලෝක කුසලාන 20-20 තරඟාවලිය තුල යලිත් ඔබට අණසක පැතිරීමට (දේශපාලන බලයෙන් නොව) හැකි වේවා’යි ද පතමු. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඔබට ලැබේවායි හද පතුලින්ම පතමු……

පිංතූරෙ ගත්තෙ මෙතැනින්..