Friday, September 24, 2010

දෙහිවල හිර මැදිරි සංකීර්ණය හෙවත් ! Zoo

පිංතූරෙ ගත්තු තැනට යන්න

පසුගිය සතියේ ඉරිදා තියෙන කරදර, වැඩ රාජකාරි සියල්ල පැත්තකින් තබා මාත්, බිරිඳත් මගේ පුංචි දියණියත් දෙහිවල සත්වෝද්‍යානය නැරඹීමට ගියේ හුඟ කාලෙකින් පොඩි එකීව විනෝද සවාරියක් එක්ක යන්න බැරි වුණ හින්දයි. කොහොම කොහොම හරි අපි අමාරුවෙන් වාහන පොඩ්ඩත් අයිනකට දාලා, පෝලිමෙත් ඉඳලා ටිකටුත් අරගෙන ඇතුලට ගියා කියමුකෝ..... 

සත්තුන්ට වඩා හිටියේ සත්තු වගේ ඉන්න මිනිස්සු බවත් කියන්න එපැයි..... මේ හුඟ දෙනෙක්ගේ ඇඳුම් මෝස්තර ගැන කවදත් වගේ මගේ විවේචන තියෙනවා... ඒක ඉතිං මේකට අදාල නෑ නෙව....

ඔන්න ඉතිං සියක්කාරයා, පැස්බරා..... ආදී කුරුල්ලො ටික බලා ගෙන අපි ඉස්සරහට ගියා.... පැස්බරා කියන්නේ ගොඩබිම වේගෙන්ම දුවන්න පුළුවං කුරුල්ලා කියලා මං අහලා තියෙනවා කියලා පුංචි එකීට කියනවත් එක්කම මට හිතුනේ අනේ ඉතිං මෙයාට දැං දුවන හැටිත් අමතක වෙලා ඇති නේද කියලා.... ඇයි දෙයියනේ මේ චූටි ඉඩක් අස්සේ මේ අහිංසකයව හිරකරලා කොයි තරං නම් කාලයක් ගතවෙලා යන්න ඇතිද?

බස්සා, බකමූණා වගේ සමහර කුරුල්ලෝ නං වගේ වගක් නැතුව නිදි. ඒ ඇහැරුනා කියලා යන්න දිහාවක් නැති නිසා ද නැත්නං ඒගොල්ලො හැමෝම නිශාචරයන් නිසාද දන්නේ නෑ...... 

ඔන්න ඉතිං ලස්සන පුංචි දිය ඇල්ලක් එක්ක තියෙන පුංචි ජලාශයක් ලඟට අපි සේන්දු වුණා... එතැන තාරාවොයි, හංසයොයි ගොඩාක් හිටියා... ඒ අය නම් සංතෝෂයෙන් ඇති කියලා එක පාරට හිතුණත්..... එහෙම වෙන්නෙ කොහොමද...? එයාලට මේ ඉන්න වෙලා තියෙන්නේ ස්වභාවික ජලාශයක නෙවෙයිනේ..... එයාලගෙත් නිදහස සීමා වෙලා..... ඒත් සාපේක්ෂව අපේ පැස්බරාට වඩා නම් මේ අයගේ ඉරණම හොඳයි කියලා මට හිතුණා....

ඔන්න ඊ ළඟට අපි බැලුවේ වළස්සු දෙන්නෙක්. ඒ අය හිටියේ වතුරේ බැහැලා.... නාන වෙලාව වෙන්නැති..... මේ ගොල්ලන්ට කැලේ ගිහිං මී කඩන්න, වතුරේ පීනන මාළුන්ව අල්ලගන්න එහෙම අවස්ථාවක් හම්බ වෙලාම නැතුව ඇති නේද...?  මට එහෙම හිතුනා.... මේ ඉන්නේ අම්මයි පුතයි වෙන්න ඇති. වලස් තාත්තා ඔෆිස් ගිහිං වෙන්න ඇති. නේද අප්පච්චි..... පොඩි එකී දන්න තරම.... නෑ නෑ පුතේ එයා නිදි ඇති... සචී ගැටළුව විසදුවා.....

ඊළඟට අපිට කොටි, ව්‍යාග්‍රයො, ජගුවර්ලා, දිවියෝ, සිංහයෝ වගේ කට්ටිය මුණගැහුණා..... මේ කට්ටියව දැක්කහම නං මට හිතුණා මේක සත්තු වත්ත කියලා කිව්වට හිරගෙයක්ම තමයි කියලා.... සිංහයින් හිටියේ පුදුම කලකිරීමකින් වගේ කියලයි අපට හිතුණේ... රජෙක් වගේ කැලේට වෙලා හිටපු මේ අපූරු සතාට කැලේ ඉන්න දෙන්නෙ නැතිව කරන්නේ මොන තරම් පාප කර්මයක් ද කියලා මට හිතුනා..... (සරත් ෆොන්සේකා මහත්තයත් ඉන්නේ මේ විදිහට වෙන්න ඇති කියලත් මට හිතුනා. ඇයි ඉතිං උන්නැහෙත් රජෙක් වගේ නොවැ හිටියේ....). ඕවා පල දෙන්නේ කාටද...? කියන එක තමයි ප්‍රශ්ණය. බලං ඉන්න අපටත් කොටහක් හම්බ වෙයිද දන්නේ නෑ.....මොනවා කරන්නද... දුක හිතේ දරා ගෙනම... අපි ගිහිං මොනවා හරි ඩිංගක් බඩට දාගන්න කියලා එතන තිබුණු අවන් හලට ගොඩවුණා..... 

සත්තුංගේ කූඩු ලඟ හිටපු තරම් සෙනඟක් මේ අවන්හලේ නං හිටියේ නෑ..... පුටු මේස වල හොඳට ඉඩ තිබුණා.... ඉතිං හොඳවැයිං මේසයක් ලඟ වාඩි වෙලා කාරිය, මං ගිහිං බත් ගැන ඇහුවා.... එළියේ තියෙනවා Normal Rice Take Away 150/=, ඇතුලේ තියෙනවා Fried Rice 290/= . පුංචි එකීත් එක්ක එළියට ගිහිං කන්න අමාරුයිනේ.... අපි ඉතිං මේසෙ පුටු වල ඉඳගෙන Fried Rice කන්න ලෑස්ති වුණා.... ඔන්න ඉතිං Fried Rice මේසේ ගාවට ආවයි කියමුකෝ.... මේවා එළියේ රුපියල් 80/= ට විකුණන ජාතියේ Fried Rice. මුං ට..... (පුංචි එකී හිටපු නිසා හිතුණ දේ කිව්වේ නෑ....)

ඔන්න ඉතිං තව තව සත්තු ටිකක් බලාගෙන යනකොට හම්බ වුණා හරි හුරතල් යාළුවෙක්.... එයා තමයි ඔරං උටං. එයාට කෑම දෙන්න එපා කියලා පුවරුවක් තිබුණු නිසා පුංචි එකීගේ ඉල්ලීම පැත්තකට දාලා බලං හිටියා... ඒත් මිනිස්සු බොහෝ දෙනෙක් ඒ පුවරුව කියවගන්න තරම් දැනුමක් තිබුණු අය නෙවෙයි මයෙ හිතේ.... මේ අපූරු හුරතලාගේ ඇඟ බොහොම තරබාරු බව තේරුනේ එයා මිනිස්සු වීසි කරන කෑම ඇහිඳින්ට එහාට මෙහාට සක්මන් කරනකොටයි. එක අතකට අකුරු කියවන්න බැරි මිනිස්සු හිටපු එක ලොකු දෙයක් කියලා මට හිතුනා.....නැත්නම් මෙයා එක තැනම ඉඳලා තවත් තරබාරු වෙන්න තිබුණා...

ඊළඟට අපි ගිහිං අලි සංදර්ශන බලන්න වාඩි වුණේ හිටපු සෙනඟ කන්දරාවෙ හැටියට පරක්කු වුණොත් අපේ පැංචිට අලි සෙල්ලම් බලන්න බැරි වෙයි කියලා හිතුණ හිංදා.... ඔන්න ඉතිං අලි සෙල්ලං පටං ගන්න පැයක් විතර තියෙද්දී කිව්වෙ නැතෑ මුහුදු සිංහයාගේ සෙල්ලම් තව විනාඩි 15 කින් මින් මැදුරෙදි තියෙනවැයි කියලා... බිරින්දැට එතනම ඉන්න කියලා, දූ පැටියවත් උස්සගෙන ගියා ඉතිං මින් මැදුරට.... ඔන්න ඉතිං කොහොම හරි ගිහිං අයිනකට නැගලා කෙල්ලව උස්සලා සෙල්ලං ටික පෙන්නුවා...ඒත් මේ මුහුදු සිංහයා කොයි තරම් නම් අහිංසක හුරතල් සතෙක්ද කියලා දැක්කහම මට හිතුනෙ එයා නිකම් රජයේ සාක්කි කාරයෙක් වෙන්න හදනවද කියලා.... ඒත් එයාට ඒ තරම් සැපක් නම් ලැබෙන එකක් නෑ.....

ඔන්න ආපහු පුංචි එකීවත් කරේ තියාගෙන අලි පිට්ටනිය ලඟට ආවා.... බුදු අම්මෝ අලි පිට්ටනියට ලං වෙන්නත් අමාරුයි.... ඒත් අන්තිමේ කොහොම හරි රිංගගෙන අලි සෙල්ලමුත් පැටියට පෙන්නුවා කියමුකෝ... අලින්ගේ වැඩ ගැන ආයේ කියන්න දෙයක් නෑ....නේ.. දියවන්නාව පැත්තේ අලි වගේ නෙවෙයි... සද්දෙට වඩා උන්ගේ වැඩ හරිම ලස්සනයි.... බලං ඉන්න හරිම ආසයි... ඒත් මෙච්චර හොඳට හැසිරෙන්න දැනගත්තත් මෙයාලා සංදර්ශනය ඉවර වුණාම කණුවක ගැටගහලා තමයි තියන්නේ.... දියවන්නාව පැත්තේ ඉන්න අලි ගැන හිතුවාමනං ඒකෙ ඒ හැටි වැරැද්දක් පේන්නේ නෑ.... ඒත් මෙයාලගේ ලෝකෙ කොයි තරම් නං පුංචි වෙලා ද කියලා හිතෙනකොට අර නැටුමෙන් ලබපු ආශ්වාදය වෙනුවට දෙනෙතට කඳුළු බිංදු දෙකක් නම් ඉනුවා...

අලි නැටුම් වලින් පස්සේ තමයි අපි උරගයෝ සහ මාළු බලන්න ගියේ.... එයාලගේ ඉරණමත් අනිත් සත්තුන්ගේ ඉරණමට දෙවැනි වුණේ නෑ.... ඒ හැමෝම වගේ තමන් නොකල වරදකට හිර දඬුවම් විඳින හිරකරුවන් පිරිසක් විදිහට තමයි මට පෙනුණේ.... 

එහෙම බැලුවාම කූඹි, මීයෝ, හූනෝ, කැරපොත්තෝ වගේ ගෙවල් වල ඉන්න සත්තු, අපට වද දුන්නත් නිදහසේ ඉන්නවා නේද කියලා මට හිතුණා... අපට කිසි වදයක් නැති, ගිරවුන්, පැස්බරුන්, හාවන්, ඔටුවන්, මොණරුන් ඔවුන්ගේ ඇති අපූර්වත්වය නිසාම හිරකරුවන් වී ඇති අයුරු...!

අපි වගේ හිතන තවත් අය ඉන්න බව මට තේරුණේ, ලස්සන සීබ්‍රාවුන් බලන්න අපි ගිය වෙලාවේ එතැන හිටපු මහත්මයෙක් අපිත් එක්ක කළ කතාබහේදියි. 
"කොයි තරම් ලස්සන සතෙක් ද? ඒත් ඌ කොයි තරම් නම් අසරණ ද?" 
"ඇත්ත. අපි කියනවා අපට නිදහස නෑ කියලා" "මෙයාලට ඒක කොහොම දැනෙනවා ඇතිද? " 

ඔන්න ඉතිං අපි දෙහිවල ජාතික සත්ව සිරමැදිරි සංකීර්ණය නරඹලා ඉවර වුණා.....
පුංචි එකීට නං හරි සංතෝෂයි... ඒත් මට නං දුකයි....

මෙහිදී නම් නොකියවුණු සතුන් මා හා අමනාප නොවනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි

Thursday, September 9, 2010

සක්විති සුවය!

අපි සිංහල බෞද්ධ පුරවැසියෝ වෙමු. එසේ වුවත් නොවූවත් ලෝ දහම සැමටම පොදුය. එහෙත් අපේ බෞද්ධ අර්ථ කථනයන්ට අනුව "දිඨ්ඨ දම්ම වේදනීය කර්මය" නම් කර්මයක් වෙයි.. මේ කර්මය ඇස් පනා පිට පළ දුන් අවස්ථා අපි එමට දැක ඇත්තෙමු. මේ මෑතකදී එය නැවතත් සනාථ වූ අවස්ථාවක් දක්නට ලැබුණි. ඒ සක්විති රණසිංහ ලෙස පෙනී සිටිමින් ජනතාව රවටමින් ජනතා මුදල් කොල්ල කමින් සක්විති සුව විඳි සක්විත්තා, හිඟන පුද්ගලයෙකුට සමාන පෙනුමකින් යුතුව පොලිස් අත් අඩංගුවට පත් වූ අවස්ථාවයි. 


ඔහු ජනතාව රවටා උපයා ගත් මුදල් මහා උජාරුවට වියදම් කළේය... එහෙත් "රජකම් කලත් කළ කම් පළ දෙන" බැව් ඔහුට අමතක වී තිබිණ. කල් ගතවෙද්දී ඔහුගේ පොකැට්ටුව හිස් විය. ජීවත් වෙන්නට විදිහක් නැතිව දහදුක් වින්දේය. දරුවන්ට උගන්වන්නට විදිහක් නොවීය. නිදියා ගන්නට ඇඳක් නොවීය. හැම දෙයකටම වඩා ජීවත් වෙන්නට නිදහසක් නොවීය. 


"කිරි දියෙනි දෙවියත් - අඟුරු සුදු වෙන කළෙක් නම් නැත්" යන කවි දෙපද ය සිහියට නංවමින් ඔහු නැවත නැවතත් ජනතාව රවට්ටමින් මුදල් හොයන්නට උත්සාහ කළේය. 


අවසානයේ ඔහු පොලීසියට කොටු විය. ඒ වත්මනෙහි ඔහු සමඟ එකට ජීවත් වන කාන්තාවත් (බිරිඳ යැයි හැඳින්වෙන) සමඟය. ඔහු විසින් රවටනු ලැබූ ජනතාව කුස ගින්දරේ මිය නොයන්නට ඇත. එහෙත් ඔවුන්ට මිය යන්නට වුවද බියක් නැත. එහෙත් මේ සක්විත්තා නම් මිය යන්නට බොහෝ සෙයින් බිය වනු ඇත. මන්ද ඔහු කළ පවු ඔහු පසු පස හඹා එන බව ඔහු දැන්වත් දැන ගනු ඇති බැවිනි.







මා මෙහි දැක්වෙන පිංතූරය ගත්තේ පහත දැක්වෙන වෙබ් පිටුවෙන් වන අතර ඒ පිළිබඳ මෙහි අයිතිකරු(වන්)ට ස්තුතිය පළ කරමි.

පිංතූරෙ ගත්තේ මෙතැනින්