Friday, September 24, 2010

දෙහිවල හිර මැදිරි සංකීර්ණය හෙවත් ! Zoo

පිංතූරෙ ගත්තු තැනට යන්න

පසුගිය සතියේ ඉරිදා තියෙන කරදර, වැඩ රාජකාරි සියල්ල පැත්තකින් තබා මාත්, බිරිඳත් මගේ පුංචි දියණියත් දෙහිවල සත්වෝද්‍යානය නැරඹීමට ගියේ හුඟ කාලෙකින් පොඩි එකීව විනෝද සවාරියක් එක්ක යන්න බැරි වුණ හින්දයි. කොහොම කොහොම හරි අපි අමාරුවෙන් වාහන පොඩ්ඩත් අයිනකට දාලා, පෝලිමෙත් ඉඳලා ටිකටුත් අරගෙන ඇතුලට ගියා කියමුකෝ..... 

සත්තුන්ට වඩා හිටියේ සත්තු වගේ ඉන්න මිනිස්සු බවත් කියන්න එපැයි..... මේ හුඟ දෙනෙක්ගේ ඇඳුම් මෝස්තර ගැන කවදත් වගේ මගේ විවේචන තියෙනවා... ඒක ඉතිං මේකට අදාල නෑ නෙව....

ඔන්න ඉතිං සියක්කාරයා, පැස්බරා..... ආදී කුරුල්ලො ටික බලා ගෙන අපි ඉස්සරහට ගියා.... පැස්බරා කියන්නේ ගොඩබිම වේගෙන්ම දුවන්න පුළුවං කුරුල්ලා කියලා මං අහලා තියෙනවා කියලා පුංචි එකීට කියනවත් එක්කම මට හිතුනේ අනේ ඉතිං මෙයාට දැං දුවන හැටිත් අමතක වෙලා ඇති නේද කියලා.... ඇයි දෙයියනේ මේ චූටි ඉඩක් අස්සේ මේ අහිංසකයව හිරකරලා කොයි තරං නම් කාලයක් ගතවෙලා යන්න ඇතිද?

බස්සා, බකමූණා වගේ සමහර කුරුල්ලෝ නං වගේ වගක් නැතුව නිදි. ඒ ඇහැරුනා කියලා යන්න දිහාවක් නැති නිසා ද නැත්නං ඒගොල්ලො හැමෝම නිශාචරයන් නිසාද දන්නේ නෑ...... 

ඔන්න ඉතිං ලස්සන පුංචි දිය ඇල්ලක් එක්ක තියෙන පුංචි ජලාශයක් ලඟට අපි සේන්දු වුණා... එතැන තාරාවොයි, හංසයොයි ගොඩාක් හිටියා... ඒ අය නම් සංතෝෂයෙන් ඇති කියලා එක පාරට හිතුණත්..... එහෙම වෙන්නෙ කොහොමද...? එයාලට මේ ඉන්න වෙලා තියෙන්නේ ස්වභාවික ජලාශයක නෙවෙයිනේ..... එයාලගෙත් නිදහස සීමා වෙලා..... ඒත් සාපේක්ෂව අපේ පැස්බරාට වඩා නම් මේ අයගේ ඉරණම හොඳයි කියලා මට හිතුණා....

ඔන්න ඊ ළඟට අපි බැලුවේ වළස්සු දෙන්නෙක්. ඒ අය හිටියේ වතුරේ බැහැලා.... නාන වෙලාව වෙන්නැති..... මේ ගොල්ලන්ට කැලේ ගිහිං මී කඩන්න, වතුරේ පීනන මාළුන්ව අල්ලගන්න එහෙම අවස්ථාවක් හම්බ වෙලාම නැතුව ඇති නේද...?  මට එහෙම හිතුනා.... මේ ඉන්නේ අම්මයි පුතයි වෙන්න ඇති. වලස් තාත්තා ඔෆිස් ගිහිං වෙන්න ඇති. නේද අප්පච්චි..... පොඩි එකී දන්න තරම.... නෑ නෑ පුතේ එයා නිදි ඇති... සචී ගැටළුව විසදුවා.....

ඊළඟට අපිට කොටි, ව්‍යාග්‍රයො, ජගුවර්ලා, දිවියෝ, සිංහයෝ වගේ කට්ටිය මුණගැහුණා..... මේ කට්ටියව දැක්කහම නං මට හිතුණා මේක සත්තු වත්ත කියලා කිව්වට හිරගෙයක්ම තමයි කියලා.... සිංහයින් හිටියේ පුදුම කලකිරීමකින් වගේ කියලයි අපට හිතුණේ... රජෙක් වගේ කැලේට වෙලා හිටපු මේ අපූරු සතාට කැලේ ඉන්න දෙන්නෙ නැතිව කරන්නේ මොන තරම් පාප කර්මයක් ද කියලා මට හිතුනා..... (සරත් ෆොන්සේකා මහත්තයත් ඉන්නේ මේ විදිහට වෙන්න ඇති කියලත් මට හිතුනා. ඇයි ඉතිං උන්නැහෙත් රජෙක් වගේ නොවැ හිටියේ....). ඕවා පල දෙන්නේ කාටද...? කියන එක තමයි ප්‍රශ්ණය. බලං ඉන්න අපටත් කොටහක් හම්බ වෙයිද දන්නේ නෑ.....මොනවා කරන්නද... දුක හිතේ දරා ගෙනම... අපි ගිහිං මොනවා හරි ඩිංගක් බඩට දාගන්න කියලා එතන තිබුණු අවන් හලට ගොඩවුණා..... 

සත්තුංගේ කූඩු ලඟ හිටපු තරම් සෙනඟක් මේ අවන්හලේ නං හිටියේ නෑ..... පුටු මේස වල හොඳට ඉඩ තිබුණා.... ඉතිං හොඳවැයිං මේසයක් ලඟ වාඩි වෙලා කාරිය, මං ගිහිං බත් ගැන ඇහුවා.... එළියේ තියෙනවා Normal Rice Take Away 150/=, ඇතුලේ තියෙනවා Fried Rice 290/= . පුංචි එකීත් එක්ක එළියට ගිහිං කන්න අමාරුයිනේ.... අපි ඉතිං මේසෙ පුටු වල ඉඳගෙන Fried Rice කන්න ලෑස්ති වුණා.... ඔන්න ඉතිං Fried Rice මේසේ ගාවට ආවයි කියමුකෝ.... මේවා එළියේ රුපියල් 80/= ට විකුණන ජාතියේ Fried Rice. මුං ට..... (පුංචි එකී හිටපු නිසා හිතුණ දේ කිව්වේ නෑ....)

ඔන්න ඉතිං තව තව සත්තු ටිකක් බලාගෙන යනකොට හම්බ වුණා හරි හුරතල් යාළුවෙක්.... එයා තමයි ඔරං උටං. එයාට කෑම දෙන්න එපා කියලා පුවරුවක් තිබුණු නිසා පුංචි එකීගේ ඉල්ලීම පැත්තකට දාලා බලං හිටියා... ඒත් මිනිස්සු බොහෝ දෙනෙක් ඒ පුවරුව කියවගන්න තරම් දැනුමක් තිබුණු අය නෙවෙයි මයෙ හිතේ.... මේ අපූරු හුරතලාගේ ඇඟ බොහොම තරබාරු බව තේරුනේ එයා මිනිස්සු වීසි කරන කෑම ඇහිඳින්ට එහාට මෙහාට සක්මන් කරනකොටයි. එක අතකට අකුරු කියවන්න බැරි මිනිස්සු හිටපු එක ලොකු දෙයක් කියලා මට හිතුනා.....නැත්නම් මෙයා එක තැනම ඉඳලා තවත් තරබාරු වෙන්න තිබුණා...

ඊළඟට අපි ගිහිං අලි සංදර්ශන බලන්න වාඩි වුණේ හිටපු සෙනඟ කන්දරාවෙ හැටියට පරක්කු වුණොත් අපේ පැංචිට අලි සෙල්ලම් බලන්න බැරි වෙයි කියලා හිතුණ හිංදා.... ඔන්න ඉතිං අලි සෙල්ලං පටං ගන්න පැයක් විතර තියෙද්දී කිව්වෙ නැතෑ මුහුදු සිංහයාගේ සෙල්ලම් තව විනාඩි 15 කින් මින් මැදුරෙදි තියෙනවැයි කියලා... බිරින්දැට එතනම ඉන්න කියලා, දූ පැටියවත් උස්සගෙන ගියා ඉතිං මින් මැදුරට.... ඔන්න ඉතිං කොහොම හරි ගිහිං අයිනකට නැගලා කෙල්ලව උස්සලා සෙල්ලං ටික පෙන්නුවා...ඒත් මේ මුහුදු සිංහයා කොයි තරම් නම් අහිංසක හුරතල් සතෙක්ද කියලා දැක්කහම මට හිතුනෙ එයා නිකම් රජයේ සාක්කි කාරයෙක් වෙන්න හදනවද කියලා.... ඒත් එයාට ඒ තරම් සැපක් නම් ලැබෙන එකක් නෑ.....

ඔන්න ආපහු පුංචි එකීවත් කරේ තියාගෙන අලි පිට්ටනිය ලඟට ආවා.... බුදු අම්මෝ අලි පිට්ටනියට ලං වෙන්නත් අමාරුයි.... ඒත් අන්තිමේ කොහොම හරි රිංගගෙන අලි සෙල්ලමුත් පැටියට පෙන්නුවා කියමුකෝ... අලින්ගේ වැඩ ගැන ආයේ කියන්න දෙයක් නෑ....නේ.. දියවන්නාව පැත්තේ අලි වගේ නෙවෙයි... සද්දෙට වඩා උන්ගේ වැඩ හරිම ලස්සනයි.... බලං ඉන්න හරිම ආසයි... ඒත් මෙච්චර හොඳට හැසිරෙන්න දැනගත්තත් මෙයාලා සංදර්ශනය ඉවර වුණාම කණුවක ගැටගහලා තමයි තියන්නේ.... දියවන්නාව පැත්තේ ඉන්න අලි ගැන හිතුවාමනං ඒකෙ ඒ හැටි වැරැද්දක් පේන්නේ නෑ.... ඒත් මෙයාලගේ ලෝකෙ කොයි තරම් නං පුංචි වෙලා ද කියලා හිතෙනකොට අර නැටුමෙන් ලබපු ආශ්වාදය වෙනුවට දෙනෙතට කඳුළු බිංදු දෙකක් නම් ඉනුවා...

අලි නැටුම් වලින් පස්සේ තමයි අපි උරගයෝ සහ මාළු බලන්න ගියේ.... එයාලගේ ඉරණමත් අනිත් සත්තුන්ගේ ඉරණමට දෙවැනි වුණේ නෑ.... ඒ හැමෝම වගේ තමන් නොකල වරදකට හිර දඬුවම් විඳින හිරකරුවන් පිරිසක් විදිහට තමයි මට පෙනුණේ.... 

එහෙම බැලුවාම කූඹි, මීයෝ, හූනෝ, කැරපොත්තෝ වගේ ගෙවල් වල ඉන්න සත්තු, අපට වද දුන්නත් නිදහසේ ඉන්නවා නේද කියලා මට හිතුණා... අපට කිසි වදයක් නැති, ගිරවුන්, පැස්බරුන්, හාවන්, ඔටුවන්, මොණරුන් ඔවුන්ගේ ඇති අපූර්වත්වය නිසාම හිරකරුවන් වී ඇති අයුරු...!

අපි වගේ හිතන තවත් අය ඉන්න බව මට තේරුණේ, ලස්සන සීබ්‍රාවුන් බලන්න අපි ගිය වෙලාවේ එතැන හිටපු මහත්මයෙක් අපිත් එක්ක කළ කතාබහේදියි. 
"කොයි තරම් ලස්සන සතෙක් ද? ඒත් ඌ කොයි තරම් නම් අසරණ ද?" 
"ඇත්ත. අපි කියනවා අපට නිදහස නෑ කියලා" "මෙයාලට ඒක කොහොම දැනෙනවා ඇතිද? " 

ඔන්න ඉතිං අපි දෙහිවල ජාතික සත්ව සිරමැදිරි සංකීර්ණය නරඹලා ඉවර වුණා.....
පුංචි එකීට නං හරි සංතෝෂයි... ඒත් මට නං දුකයි....

මෙහිදී නම් නොකියවුණු සතුන් මා හා අමනාප නොවනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි

25 comments:

  1. "ඒ හැමෝම වගේ තමන් නොකල වරදකට හිර දඬුවම් විඳින හිරකරුවන් පිරිසක් විදිහට තමයි මට පෙනුණේ"

    එයාල ඒ හිර දඬුවම් විඳින්නේ ගිය ආත්ම වල කරපු වැරදි වලට වෙන්න ඇති

    ReplyDelete
  2. සිරගත කිරීම කොහොම උනත් අයියගෙ කතාව ඇහුවම සිර මැදිරි ටික බැලීමේ ආසාවක්නම් ඇති වුනා.

    ReplyDelete
  3. චතුර, මම ටිකක් අලුත් මේකට. මම wordpress.com ගිහින් බ්ලොග් එකක් පටන් ගත්ත. ඒක් කොත්තුවේ පෙනෙන්නෙ නෑ. පොඩි හෙල්ප් එකක් දෙන්න.
    my e mail lankaimage@yahoo.com

    ReplyDelete
  4. මේක කියෙව්වම මට එක zoo 1 මතක් උනා.. යන්න හිතුනා ඒත් මම කාත් එක්කද යන්නේ.. ?? hehe

    ReplyDelete
  5. සත්තු කූඩු කරලා ඇතැයී ඒ නිසා අසතුටෙන් ඉන්නවායැයී කීම ඇත්ත සියයට සියයක් නොවෙයී. සතුන්ට නිදහසයැයී කියන සංකල්පය නැහැ. (සතුන්ට පමණක් නොවෙයී, බොහෝමයක් මිනිසුන්න්ටත් ඒ සංකල්පය නැහැ.) කැලේ ඉන්නා සතුන් වුනත්, තමා විසින් හදා ගත් බොහොම සුලු වසමක කොටුවී සිටින්නේ.තමාගේ වසමෙන් පිට ගියෙත් අම්බානට කන්න හම්බු වෙනවා.(මිනිස්සුත් ඉන්නේ හදා ගත්තෙ සත්තු වත්තක තමයී) පැස්බරා දුවන්නේ ක්‍රිකට් ගහලා කඩුලු අතර නොවෙයී. කොටියා උගේ පස්සේ එලවාගෙන එනකොට, අනේ අම්මේ, මාව බේරාදියෝ කියල පණ බයෙයී. කොටියා නැත්තම්, පැස්බරා කැලේදී වුනත් දුවන්නේ නැහැ. සිංහයන් වාගේ සතුන් කෑමක් කෑවට පස්සේ කැලේදි වුනත් එක තැන වැටිලා නිදියනවා. ඒ වාගේම කැලේ සතෙකුට එක කෑම වේලකට පස්සේ දවස් ගනනක් බඩගින්නේ ඉන්න වෙනවා. සත්තු වත්තක සතුන්ට, වෙලාවට කෑම වාගේම, වඩාත්ම වැදගත් - සහකාරියක් ලැබෙනවා. අනෙකුත් සතුන්ගේ ගොදුරු බවට පත් වෙන්නේ නැහැ. නමුත් සත්තු වත්තේ ඉන්නා සෑම සතෙකුටම ඒ වාසි නැහැ. උදාහරණයක් විදිහට අලි ඇවිදින්නේ කෑම හොයා නොවෙයී. ඒ අලියාගේ ස්බාවයයී. අලි වාගේ සතුන් කොටු කර තැබීමෙන් සිංහයන්, කුරුල්ලන්, සර්පයන්ට වඩා වෙන අහේනිය වැඩියී. අනෙත් අතින් නිතර කෑම ලැබීමෙන්, (කොටි එලවන්නේ නැති නිසා) දුවන්නේ නැති නිසා, ඉක්මනට හදවත් රෝග වාගේ දේ හැදිලා මිය යනවා. නමුත් පණ පිටින් පැටියා කොටියා කනවාට වඩා ක්ලොරෙස්ටරෝල් වැඩිවෙලා මැරෙන එක හොදයී මම හිතන්නේ.

    ReplyDelete
  6. @Chanaka
    එයාලා ඔය විඳවන්නේ ගිය ආත්මේ කරපු වැරදි වලට නම්, අපට ලබන ආත්මෙදි ඔහොම විඳවන්න වෙයිද දන්නෑ නේද? ස්තුතියි සහෝ කමෙන්ටුවට ....

    ReplyDelete
  7. @Dinesh
    ගිහිං බලන්නකෝ... සමහර විට ඔයාටත් මෙහෙම හිතෙයි...

    ReplyDelete
  8. @Nihal
    ඔවු. නිකංම බ්ලොග් එකක් පටං ගත්තට ඔය තැන්වල පෙන්නන්නේ නෑ... එයාලගේ අඩවි වල දිස්වෙන්න පොඩි ඉල්ලීමක් කරන්න ඕනි... මටත් සේරම පියවර ටික නම් මතක නෑ... පුළුවං විදිහට ඔයාට විස්තර එවන්නම්කෝ...

    ReplyDelete
  9. @පසන්
    තනියම යන තරමට හොඳයි... හොඳින් දැනුවත් වෙන්න පුළුවන්...

    ReplyDelete
  10. @Kolu
    විද්‍යාත්මක කරුණු මතම සියල්ල තීරණය වේ කියලා හිතන්න අමාරුයි නේද සහෝ... ? තමාව උපමාවට ගන්න... ඔබ කැමතිද මෙහෙම හිරවෙලා ඉන්න..?

    ReplyDelete
  11. අපිත් ඒ වාගේම හිරවෙලා තමයී ඉන්නේ. අපි ඉන්නේ කොර්න්ක්‍රීට් කැලේක නොවෙයී, ක්‍රොන්ක්‍රීට් සත්තු වත්තක කියලයී ඩෙස්මන්ඩ් මොරිස් ගොය්යා කීවේ.

    //විද්‍යාත්මක කරුණු මතම සියල්ල තීරණය වේ කියලා හිතන්න අමාරුයි නේද සහෝ... ? //
    විද්‍යාත්මක කරුණු වලින් අපි නොහිතන තරම් බොහෝමයක් දේ පැහැදිලි කරගන්න පුලුවන් :)

    කියන්න අමතක වුනානේ. ටිකක් ගඳ ගැහුවාට, අපේ සත්තු වත්තෙ අනෙක් රටවල් සත්තු වත්තවල් එක්ක සැලකිය යුතු හොද මට්ටමක තියෙනවා. හුගක් සත්තුත් ඉන්නවා. මිනිස් සතා තමයී හැබැයී සතුන්ටත් වඩා ජරා කරන්නේ.

    ReplyDelete
  12. අපි ඉතිං හිර වෙලා ඉන්නේ මනසින් නොවැ.... එහෙම නැතුව අපිට එලි පහලියට යන්න බැරි තරම් තවම අපි හිර කරලා නෑනේ....

    මං නං හිතන්නේ විද්‍යාත්මක කරුණු වලින් අපට සමහර දේ ගැන අදහසක් දෙන්න පුළුවං කියලා විතරයි...

    ඇත්ත වෙන්න පුළුවං. මං කියන්නේ මේ සතුන් ගාල් කරලා තියෙන සංකල්පය වැරදියි කියලයි. එහෙම නැතුව දෙහිවල සතුන් වත්ත අනෙක් රටවල් වල සතුන් වතු එක්ක සංසන්දනය කළා නෙවෙයි.

    අදහස් වලට බොහෝම ස්තුතියි සහෝ..

    ReplyDelete
  13. මම මේපැත්තට ආවේ අදමයි. මටත් මේ ගැන කියන්න දෙයක් තියනවා. මමත් මාසෙකට විතර කලින් ඔය පැත්තේ ගියා. ඇත්තටම මටත් හරි කණගාටුවක් ඇතිඋනා. සතුන්ගේ කූඩුපවා නිසි ලෙස පිරිසිදු කර තිබුනේ නෑ. කිසිම පිළිවෙළක් නෑ. සතුනට නිසි ලෙස ආහාර ලැබෙනවාද යන්නත් සැත සහිතයි. සතෙකුට වුවත් නිසි වටිනාකමක් දෙන්න ඕන. එත් මෙහි එය පෙනෙන්නවත් නෑ. ඇත්තටම මමත් මේගැන පොස්ට් එකක් දාන්න සිතාගෙන සිටියේ. එත් ඔබ එය කර තිබෙනවා.

    ReplyDelete
  14. @Priyantha.ඒබී.
    ස්තුතියි සහෝ... මගේ සටහනේ අඩු පාඩුත් හදලා ඔයාත් එකක් ලියන්න...

    ReplyDelete
  15. මේ දවස් වල සත්තු එක්කම තමයි මගේ බ්ලොග් ජීවිතෙත්. ඒක හන්ද ලිපිය මුල ඉඳලම අග වෙනකන් කියෙව්ව...මම පහුගිය දවසක එකම දවසකදි සත්තු වත්තකයි, වනෝද්‍යානයකයි යන්න ලැබුනා. එදාත් මට ඔබේ ලිපියේ අදහස් ටිකමයි ආවේ.. නමුත් මේ සත්තු දැක බලාගන්න, එකම තැනකදි පුලුවන් වීමේ වාසිත් තියෙනව...
    මගේ බ්ලොග් සටහන් අතර ඇති, චෙන්නායි සත්තු වත්ත, නයිරොබි ජාතික උද්‍යානය, නයිරෝබි කිඹුල් උයන ගැන කියවෙන ලිපි ටිකත් කියවන්න ආරාධනා කරනව.. !!!

    ReplyDelete
  16. @නදුන් උයන
    අපි ඉතිං දන්නේ බොහොම ටිකයි නොවැ... අනිවා ඔයාගේ ලිපිත් කියවලා බලන්නම්. බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් අදහසකුත් දැක්වූවට..

    ReplyDelete
  17. වැදගත් කාරණ‍යක්...! ස්තුතියි,

    ගංගාරාමේ වගේ පන්සල් වලත් අලි දම්වැල් වලින් බැඳලා වද දෙන හැටි දැකලා නැද්ද?

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..