Thursday, December 2, 2010

කොයි ලොව යන්නේ - මරණින් පස්සේ!

අපේ මිනිස්සු වැඩ කරන විදිහ බැලුවාම වෙලාවකට හිතෙනවා කොහෙද මේ දුවන්නේ කියලා.... අපි මොන අරමුණ වෙනුවෙන්ද ජීවත් වෙන්නේ කියන එකවත් බොහෝ දෙනාට අවබෝධයක් නෑ වගේ... 

අම්මලා අප්පච්චිලාගේ  වුවමනාවට ලෝකෙට එනවා.... එයාලගේ උනන්දුවෙන්ම කවලා, පොවලා, පාසැල් යවලා උගන්වනවා.... ඔන්න හිරිමල් වියට ආවට පස්සේ කොල්ලෙක් නම් කෙල්ලෙක් පස්සේ දුවනවා කෙල්ලෙක් නම් කොල්ලන්ව කුලප්පු කරනවා.... ඊට පස්සේ ඔන්න බැඳගන්නවා.... ළමයි හදනවා... ඒ ළමයින්ට උගන්වන්න, උන්ව ලොකුමහත් කරන්න සල්ලි හොයනවා... සමාජයේ කැපී පේන්න නොයෙක් දේ කරනවා... අන්තිමේ ජීවිතේ පුරාම තාවකාලිකව සතුටුදායක අවස්ථා කීපයක් සහ දුක්බර අවස්ථා බොහොමයක් එක්ක මෙලොවින් සමුගන්නවා... අපි මේ ලෝකෙට එන්නේ මොකටද, කොහේ ඉඳලද, යන්නේ කොහේටද කියලා හිතන අය බොහොම අල්පයි... හිතුවත් ඒ වෙනුවෙන් වැඩ කරන්න වෙලාවක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද? 


ජීවිතේ කියන්නේ ආදරයම ද?
ආදරය කියන්නේ කෙනෙක්ව අයිති කරගැනීම ම ද?
කෙනෙක්ව අයිති කර ගැනීම තුළින් ජීවිතය ජය ගත හැකිද?

ආදරය කියන්නේ බෙදා දෙන්න මිස බදාගන්න නොවේ කියලා කතාවක් තියෙනවානේ.... ඒත් පස්කම් සැපත පසුපස ලුහු බඳින සමාජය ආදරය විවාහයට, පවුලට ලඝු කරලා.... ඒත් අපි මේ සමාජයටම ආදරය කළ යුතුයි.... ගහ - කොල, සතා - සීපාවා, ඇල - දොල... මේ සියල්ලට අපි ආදරය කළ යුතුයි.... එහෙම වුණොත් අපි මේ ලෝකෙට ආපු කාරණය යම් තරමකින්වත් අපට ඉටු කරන්න පුළුවන් වෙයි.... හිත හොඳින් මරණින් පස්සේ යන තැනකට යන්න පුළුවන් වෙයි....

මැරෙණ ඉපදෙන - ඉපිද මියයන
ලොවෙහි සරමින - දිවි පුරා
අනුන් වෙනුවෙන - කිසිත් නොකරන
දනන් ඇතිතැන -සුව නැතා....

කිමද ආවේ - ලොවට පාවී
ගෙවමු දිවි ඒ නොම සිතා
කොහෙද යන්නේ - ලොවෙන් නික්මී
කුමට සොයමුද ඒ ගැනා

වෛර කර කර ද්වේශ කර කර
ලෝ සතට තම දිවි පුරා
ලෝභයට - ආලයැයි කියලා
මෝහයෙන් වෙලෙමුද සදා

නොම ප්‍රමාදව අද අදම දැන්
බලනු මැන මොහොතක් සිතා
දිවිය කෙළවර සතුට සැනසුම
ලබමු සැමහට පෙම පුදා