Tuesday, July 12, 2011

හරියටම කවි හදන හැටි - ගුරු මුෂ්ටි


ගණ ඳුරු අහස සොමි කිරණින් එළිය          කර
සොමි සඳ නැගෙන ලෙස අප කවි සිත්       අඹර
අප කොයි තරම් පොඩි දැයි යළි පසක්        කර
මේ පුස්තකය හමු වුණි මට   මන              මධුර

යන්තම් පද හතර ගැට ගැහුමට              දන්නා
අප වැනි කුහුඹු කවියන් අපමණ              ඉන්නා
එහැමට මහඟු එළියක් සවියක්             දෙන්නා
ඒ පින් බලෙන් මතු ජය ගොස            පතුරන්නා

කිවිපති සේන  පරසිඳු                 අම්බලම්ගොඩ
ලියලා තිබේ මේ පොත දම දමා                  හැඩ
කවි රස, දොස්, විරිත් ඇතුලුව බොහෝ       වැඩ
මේ මහ අනඟි පොත් පිංචේ තිබෙන           හැඩ



මං පුංචි කාලෙ ඉඳංම ඔය පද හතර ගලපන්න පොඩි හැකියාවක් තිබුණා. අපේ අප්පච්චිටත් අක්කටත් ඒ හැකියාව තිබුණ හිංදා ඒ ආබාසෙත් තිබුණා. ඒත් ඉතිං ඉගෙන ගන්න කාලෙ සාහිත්‍ය සහ කලා විෂයයන් වලටත් යොමු නොවුණු හිංදා වෙන්න ඇති කවි ලියන ශාස්ත්‍රීය ක්‍රම මං ඇසුරු කරේම නැති තරං. එලිසම, එළිවැට වගේ වචන අහලා තිබුණත් මං දැනගෙන හිටියේ පද හතරේම අවසන් අකුරු සමාන වෙන්න ලිව්වාමත් පද හතරේ මාත්‍රා වල යම් රිද්මයක් ඇතිවන ලෙස ලිව්වාමත් කවිය ගොඩ කියලයි. සාමාන්‍ය පෙල ව්භාගේ ලියනකං සිංහල සාහිත්‍ය විෂයයත් එක්ක ලැබුණු සාහිත්‍ය දැනුම තමයි චුට්ටක් හරි මගේ මේ දැනුම පෝෂණය කළේ. තරුණ කාලෙට ආවාම නිසඳැස් කියලා ජාතියක් තියෙනවා මං දැක්කා. ඇත්තටම මේවා ලියන එක අර පද හතර ගලපන වැඩේට වඩා ලේසියි කියලා මට තේරුණා. ඒත් පද හතරක තියෙන රසය නං නිසඳැසක නෑ කියන එක මට නිතරම හිතුණු දෙයක්. 

ඒත් රස්සාවට ගිහිං කසාදයක් කාරිය බැඳලා එනකොට මගෙ මේ කවි ලිවීම නැති වෙලාම ගිය තරම්. ඒත් සයිබර් අවකාශය හින්දා ආයෙත් මං කවි ලියන්න ගත්තා දැනට අවුරුදු දෙකකට විතර ඉස්සර. නිසඳැස්, සඳැස් කියලා බේදයක් නැතිව ලිව්වා. මේවා බලන අය මාව දිරිමත් කළා හරිම ලස්සනයි කියලා. ඉතිං මාත් හිතුවා මං තරමක කවි කාරයෙක් කියලා.

පහුගිය දොහක මං අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් ගාව තිබිලා පුංචි පොතක් ඉල්ලගෙන ආවා. ඒ පොත තමයි හරියටම කවි හදන හැටි (ගුරු මුෂ්ටි). මං මේ පොත ගන්නකොට බලාපොරොත්තු වුණේ මං ලියන කවි කොයි තරම් දුරට ශාස්ත්‍රානුකූලද කියලා බලාගන්න එක. පොත ලියලා තිබුණේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්. මේ පොත කියවනකොට තේරුණා මේ ශාස්ත්‍රය තුල මං කොයි තරම් පුංචි ද කියලා. සාගරයක් වගේ ශාස්ත්‍රයකින් දිය දෝතක් වත් අපි අරං නෑ නේද කියන එක මට තේරුම් ගියා. ඒ විතරක් නෙවෙයි සඳැස් කවි කියන්නේ නිකම්ම පද හතරක් තාලයට ගැලපීම නෙවෙයි කියලත් මට තේරුණා.

සඳැස් කවිය තුල ඇති ප්‍රබේධ, විරිත් හෙවත් වෘත්ත, වෘත්ත භේද, යතිය, ගණ, පාද, එලි සමය, එළි වැට, දශ මහා ගුණ, දශ මහා දෝශ, යවහන් දෝෂය, ශෛලීන්, රසභාව, නවරස, අලංකාර ආදී විවිධ ශාස්ත්‍රීය ලක්ෂණ මෙම පොතෙහි අපූරුවට කතිකාවට ලක් කරලා තියෙනවා. අප වැන්නන්ට කවියට අයත් සියලු දෑ මෙතැනින් ලබා ගත නොහැකි බැව් හැබෑය. එහෙත් මෙය කවියෙකු වන්නට අප යා යුතු මඟ හෙලි කරන මහාර්ඝ ග්‍රන්ථයකි. අනෙක් අතට කාව්‍ය ශාස්ත්‍රයේ යම් දැනුමක් ඇත්තෙකුට මෙම පොත අත්පොතක් බඳු වනු ඇත.