Friday, August 26, 2011

කවි හදන හැටි - 3 (සුබ ගණයෙන් කවි ලියමු)

කවි නිර්මාණයේ දී ද සුබ අසුබ ප්‍රතිඵල ගැන සිතා නොයෙක් ගුප්ත දේ මේ කාව්‍ය සාහිත්‍යයට එක් වී ඇත.  සේන අම්බලම්ගොඩ කිවිඳුන් ලියූ හරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි) පොතේ ගණ ගැන පල වූ පරිඡ්ඡේදය ඇසුරින් නිර්මාණය කළ ලිපියකි මේ . කවි හදන හැටිකවි හදන හැටි - 2  නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි)   නම් පොත ඇසුරිනි.



කවියකින් ලැබෙන ඵලය සුබ වන්නටත් අසුබ වන්නටත් කවියේ මුල්ම අකුරු තුන හේතු වන බව මෙම “ගණ” ශාස්ත්‍රයෙන් කියැවේ.

ම, න, බ, ය  - සුබ ගණයන් ලෙසත්, ජ,ර,ස,ත අසුබ ගණයන් ලෙසත් විග්‍රහ වේ.

සුබ ගණ

ම - ගණය - ගුරු හෙවත් ඇදෙන අකුරු තුනක් එක් වීමෙන් සෑදේ.  “සේ නා වෝ”, “මා ලා වෝ” උදා හරණ වේ.

න - ගණය - ලඝු හෙවත් කෙටි අකුරු තුනක් එක් වීමෙන් සෑදේ. “මලක” , “සුමට” උදාහරණයන්ය.

බ - ගණය - මුලින්ම ගුරු අකුරක් හා ඉන් පසු ලඝු අකුරු දෙකක් එක් වී සෑදේ. “නා මල”, “‍යා දෙ ක” උදාහරණයන්ය.

ය - ගණය - මුලින්ම ලඝු අකුරකුත්, පසුව ගුරු අකුරු දෙකකුත් එක්ව සෑදේ. “දමාලා”, “කවාලා” උදාහරණයන්ය.

අසුබ ගණ

ජ - ගණය - මැදට ගුරු අකුරක් හා දෙපසට ලඝු අකුරු දෙකක් එක්වී සෑදේ. “හිමාල”, “වනාත” උදාහරණයන්ය.

ර - ගණය - මැදට ලඝු අකුරක් හා දෙපසට ගුරු අකුරු දෙකක් එක්වී සෑදේ. “පීනනා”, “සාගරේ” උදාහරණයන්ය.

ස- ගණය - අගට ලඝු අකුරක් හා මුලට ගුරු අකුරු දෙකක් එක් වී සෑදේ. “ආකාස”, “ලාලාට” උදාහරණයන්ය.

ත- ගණය - අගට ගුරු අකුරක් හා මුලට ලඝු අකුරු දෙකක් එක් වී සෑදේ. “සොබනා”, “නිවනා” උදාහරණයන්ය.


කවි පන්තියක් ඇරඹීමේදී හා හිටිවනම කවි ගායනා ඉදිරිපත් කිරීමේ දී සුබ ගණ වලින් ඇරඹීම යෝග්‍ය බව සේන මහතාගේ අදහසයි.

මලක සුවඳ විහිදෙනවා නම් ...............නිබඳ
බඹරු රොනට නේමට කාරණ ............කිමද
“ගණ” ගැන වැඩිය සතුටක් නැති මුදු ....මහද
ලිව්වා තියෙන දේ විස්තර කර ..............සබඳ

Wednesday, August 17, 2011

කවි හදන හැටි - 2 (සාහිත්‍ය ප්‍රභේද)

කවි හදන හැටි නමින් කලින් මා ලියූ ලිපිය කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේ හරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි)  නම් කවි පොත ඇසුරිනි.


සාහිත්‍ය ප්‍රභේද


1. ගද්‍ය           2. පද්‍ය             3. චම්පු
මෙහිදී කවිය සාහිත්‍යයෙන් බෙදී එන්නේ පද්‍ය ලෙසය. ඉන්පසු කවිය (පද්‍ය) මෙසේ ප්‍රභේද ලෙස වෙන්වේ.
           1. ගී       2. සැහැලි       3. සිලෝ      4. සීපද


ගී ප්‍රභේදය විරිත් ලෙස තවදුරටත් ප්‍රභේද කර දක්වා ඇත.විරිත තීරණය වන්නේ කවි පද වල ඇති මාත්‍රා ගණන අනුවය.


1. පියුම් ගී       09 - 11 - 09 - 14  එකතුව (43)
2. මත්වල ගී    08 - 08 - 08 - 13  එකතුව (37)
3. උමතු ගී       09 - 10 - 09 - 10  එකතුව (38)
4. කව් ගී          09 - 10 - 10 - 11  එකතුව (40)
5. බමර ගී        08 - 11 - 10 - 13  එකතුව (42)
6. යහ ගී          09 - 11 - 11 - 11  එකතුව (42)
7. දුවඟ ගී        09 - 11 - 11 - 13  එකතුව (44)
8. යොත් ගී      08 - 11 - 10 - 11 එකතුව (40)


මීට අමතරව වම් කොහොල්, දකුණු කොහොල්, කාරිකා, සදහට වැනි ගී විරිත් ඉතා වැදගත් බව සඳහන් වේ.


සැහැලි 
පළමුව ගීයකින් අඩක්ද, ඊළඟට සීපදයකින් අඩක් , නැවතත් ගීයක අඩක් හා සීපදයකින් අඩක් යොදා පසුව සීපදයක් යෙදීමෙන් දසපද සැහැල්ලක් නිර්මාණය කළ හැකිය.
දස පද සැහැලි, දොළොස් පද සැහැලි, තුදුස් පද සැහැලි, සොළොස් පද සැහැලි, අටළොස් පද සැහැලි යනුවෙන් සැහැලි වර්ග ඇත.ඇහැලි, බැහැලි, සරඟ හැලි, අඹ හැලි, රස හැලි ආදි වශයෙන් මේ සැහැලි යෙදේ.


සිලෝ    
මත් විරිත් හෝ අකුරු විරිත් භාවිතා කරමින් ඉන්දීය සම්භවයෙන් ලැබුණු සිලෝ වල එළි වැට හෝ එළිසම රැකීමක් නැත.



සීපද
මත් විරිතින් හා අකුරු විරිතින් පබැඳිය හැකි සීපද පෙද විරිත, සමුද්‍ර ඝෝෂ විරිත ආදී විරිත් සමඟ යෙදේ.


හරියටම කවි හදන හැටි (ගුරු මුෂ්ටි) පුස්තකය ඇසුරිනි



Tuesday, August 2, 2011

කවි හදන හැටි

හරියටම කවි හදන හැටි - ගුරු මුෂ්ටි නම් ලිපිය පල කිරීමෙන් පසුව බොහෝදෙනා ගේ ඉල්ලීමක් වූයේ එම පොත scan කර upload කරන ලෙසය. එහෙත් පොතෙහි කර්තෘ තුමා සමඟ සාකඡ්ඡා කිරීමෙන් පසු එම පොතෙහි අඩංගු වැදගත් කරුණු තවත් සංක්ෂිප්ත කොට ලිපි පෙළක් වශයෙන් පල කිරීමට අදහස් කළෙමි. එම පොත මිල දී ගැනීමට අවශ්‍ය නම් ලංකාවේ ඕනෑම ගුණසේන පොත් සාප්පුවකින් එය මිලට ගත හැකි බව එතුමා පැවසුවේය. ඒ පොත ලිවීමට ඒ මහතා විශාල ලෙස කාලයත් ශ්‍රමයත් තවත් බොහෝ දෑත් කැප කරන්නට ඇත. එනිසා ඒ පොත එලෙසින්ම පාඨකයින් කියවනවාට එතුමා වඩාත් කැමති බව මට හැඟුණි. 

කවි කුල

කවි පබැඳීමේ දී භාවිතා කරන පිළිවෙත් හා කවියාගේ දක්ෂතාවය අනුව ඔහු පබඳින කවීය හා කවියා කුල ලෙස  වර්ග කර ඇත.   
     චින්තා කවි
      කවියාගේ චින්තන ශක්තිය මෙහෙයවමින් තම නිර්මාණයට අදාල කරුණු පිළිබඳ තර්ක විතර්ක කරමින් නිර්මාණය කරන කවි චින්තා කවි කුලයට අයත් වේ.
          සූත කවි
 අනෙක් කවියන්ගේ නිර්මාණ ඇසුරු කරමින් හෝ අනුකරණය කරමින් නවතාවයක් නැති අසා පුරුදු කවි නිර්මාණ සූත කවි හෙවත් “ශ්‍රෝත ” කවි  කුලයට අයත් වේ.

          අත්ථ කවි
ඇසට පෙනෙන දෙය ඇසුරින් නිර්මාණය කෙරෙන කවි අත්ථ කවි කුලයට අයත් වේ.

      පටිහාන කවි
 නුදුටු දෙයක් වුව දුටු දෙයක් ලෙස හරවත්ව, පැහැපත්ව හා රසවත්ව නිර්මාණය කෙරෙන කවි අයත් වෙන කුලය පටිහාන කවි කුලයයි. මේ කුලයේ කවීන් පෙර පින් ඇතිව ඉපැදුණු හා ඉතා ඉහල චින්තන ශක්තියක් ඇති එමෙන්ම නිතර අභ්‍යාසයේ යෙදෙන අය වේ.

කවියක යහපත් ප්‍රතිපල

කවියක් ගායනා කිරීමෙන් බොහෝ යහපත් දෑ සිදුවන බැවු සඳහන්ය.

         කාම සිතුවිලි වලින් ඈත් කරවයි
      සිත මොලොක් කරවයි
      නීවරණ යටපත් වෙයි
      සිත සතුටින් ඔද වැඩෙයි
      පහන් සිත් ඇති වේ.


හරියටම කවි හදන හැටි (ගුරු මුෂ්ටි) පුස්ථකය ඇසුරිනි.


අනේ ඉතිං කෙල්ල මාව අපහරණෙ කළා...!

පසුගිය දොහක ඊ-ලිපියකින් මට ලැබුණු අපූරු පද පෙලකි මේ... නිර්මාණ කරුට මාගේ ප්‍රණාමය. ඇතැම් විට මෙය බ්ලොගයකම ලියවුණු පදපෙලක් වන්නට ද බැරි නැත....එහෙම වුණා නම් සමා වෙන්න.  පිංතූරෙ හොයාගත්තේ මෙතැනින්"http://www.istockphoto.com/" .

පසුව ලියන වග නම්


මෙම නිර්මාණයේ අයිතිකරු හිස් අහස ලියන සඳරුගේ බව පසුව දැන ගැනීමට ලැබුණි. හිස් අහස මා කියවන බ්ලොගයක් වුවද මට මේ නිර්මාණය මඟ හැරී තිබුණි. යම් සිත් රිදවීමක් වූයේ නම් නැවතත් සඳරු ගෙන් සමාව අයදිමි. මෙහි මුල් ලිපිය මෙතැනින් නැරඹිය හැක වැව් බැම්ම මත දී දුටු සිහිනය.



දවසක් දා වැව් බැම්මේ
සූස්තියක් උරණා විට
දිය මත පාවෙන බුජුමක්
මා නෙත ගැටුණා...!

සරම ලිහා ගොඩින් තියා
අමුඩෙ ගහං බැහැල වැවට
පීනාගෙන බුජුම ලඟට
මං ලඟා වුණා..!

පෙනුමෙන් ඇන්ටික් ගතියත්
මළකඩ බැඳි කළු පැහැයත්
අතරින් විහිදුණු දිස්නෙට
මං වසඟ වුණා...!

බුජුමේ බර වැඩි නිසාම
ලිස්සන ගතියත් නිසාම
බුජුම ඉනේ ගැට ගහගෙන
ගොඩට පීනුවා!

දියෙන් ගොඩට ආ හැටියෙම
"බුජුමේ තියෙන්නෙ මොනවද?"
කුතුහලයෙන් තෙරපුණු මම
එය විවර කළා...!

මූඩිය ගැලවුණු සැනින්ම
අහස පොලොව ගුගුරාගෙන
හරි ලස්සන කෙලි පොඩ්ඩක්
එයින් මතු වුණා!

කෙල්ල බියුටි ෆුල් නිසාම
මම අමුඩෙ පිටින් හින්දම
කොහිල ගාලකට පැන මම
සැඟවී ගත්තා!

"අනේ හලෝ ගොඩට එන්න
මම නෑ මොකවත් හිතන්නේ
යූ ආර් මයි හීරෝ නේ"
කෙල්ල කියනවා.. !

ලැජ්ජාවෙන් රතු පැහැ වී
ජම්බු ගහෙන් බිමට වැටුණු
යෞවන කෙල්ලක් විලසින්
මම ගොඩ ආවා...!

"යක්ෂයෙකුගේ මන්තරයෙන්
මම බෝතලේ හිර වුණානෙ
ඔයා මාව බේරුවානෙ"
කෙල්ල කියනවා...!

"මා බේරා ගත් නිසාම
ඔයා හරි කියුට් හින්දම
උම්මා එකක් දෙන්න හිතයි"
කෙල්ල කියනවා..!

සම්මජ්ජාතියක මාව
කෙල්ලෙක් නං ඉඹලා නෑනේ
එහෙවු එකේ මටත් මේක
පල්ලමක් වුණා...!

උම්මා එකට රෙඩි වෙන්නට
දතකට මැද ගත්ත මෙමා
හෙමින් හෙමින් කෙල්ල ලඟට
යාත්‍රා කළා....!

මාස් මෙලෝ වගේ සුමුදු
රෝස පාට තොල් දෙකකින්
මගෙ සියොළඟ ඉඹිමින් ඈ
මා ඔකඳ කළා...!

දෙන දෙයියෝ දෙනකොට නම්
ටොකු ඇන ඇන දෙවනවාලු
නොහිතපු විලසින් උම්මා
තොගයක් ලැබුණා...!

ඒ වගෙ රට ආතල් නම්
මං කිසි දින විඳලා නෑනෙ
අනේ ඉතිං කෙල්ල මාව
අපහරණෙ කළා...!

හිත සතුටින් ඇගේ අතින්
අපහරණය වන අතරේ
බඩට වැදුණු තඩි සොටකින්
මම අවදි වුණා...!

ඇඩ්ඩිං මාමගෙ එළු දෙන
මගේ මූණ ලෙව කනවා
තව එළු රංචුවක් මදෙස
බලා සිටිනවා...!

මල් උරලා වැඩි වීලා
වැවු බන්ටෙක මත හිඳලා
මම ලොකු හීනයක් දැකපු
බව හැඟී ගියා...!

එදා පටන් අද වන තුරු
නෑ මම මල් දුම් ඉරුවේ
දැන් මට මල් දකිනකොටත්
වමනෙට එනවා...!