Wednesday, September 14, 2011

මත් වෙන්න බොන්නම ඕනද?


මේ පිංතූරෙ තිබුණෙ මෙතන

මගේ මිත්‍රයෙක් ඉන්නවා, උන්නැහේට නං මත් වෙන්න කරන්න තියෙන්නේ බස් එකක ටිකක් දුර වාඩි වෙලා යන එකයි. හපොයි අපි වියදම් කරලා, උගුර කට දවාගෙන රහමෙර ටිකක් බීලා ගන්න කික් එක මෙයැයි ගෙදර යන ගමං නොමිලේ ගන්නවා නොවැ. ඉරිසියාවේ බෑ.

ඒත් මං අද කතා කරන්නේ ඒ මත් වීම ගැන නෙවෙයි. අපේ ජීවිතේ හුඟක් වෙලාවට අපි ඉන්නේ මත් වෙලා නොවැ. කල්පනා කරලා බලන්න. ආලයෙන්, රාගයෙන් මත් වුණු වාර ගනණ. ඇයි ක්‍රිකට් මැච් වලට මත් වෙලා නැද්ද? තමන් ඉන්න යහපත් සිහියෙන් මිදිලා යම් අරමුණකට ඇලුණාම වෙන්නෙත් මත් වීමක් නොවැ. බ්ලොග් ලියන්ට ගත්තාමත් වෙන්නේ ඕකම නොවැ. 
ඔය අතරේ මාව නිතරම මත් කරවන දෙයක් තමයි මේ සිංදු. අපේ හද ගී පොත ලියන තිස්ස අයියත් මේ වැඩේට අනුබල දෙනවා නොවැ. 
සමහර සිංදු වල තනුවට මත් වෙනවා, සමහරක පද වැලට, සමහරක් සිංදු වල හඬට. අපේ සෝමතිලක ජයමහ සූරින්ගේ සිංදු ඇහුවාමත් මත් වෙනවා, හැබැයි ඒ මත් වීම හරි සොඳුරුයි. මනසට වදයක් නෑ. සැනසීමක් නොවැ ඇති කරන්නේ. නිරංජලා සරෝජිනී, ඉන්ද්‍රානි පෙරේරා, සුජාතා අත්තනායක, නන්දා මාලිනිය, අමරදේව සූරින්, වගේම ජෝතිපාල මහත්තයත්. නව පරපුරින් දිවුල්ගනේ, දීපිකා,(මේ දෙන්නා අලුත් ම නෑ තමයි.), ක්‍රිශාන්ත එරන්දකත්, චාමර වීරසිංහත් එයාලගේ හඬින් මගේ හිත සැහැල්ලුවෙන් මත් කරවපු අයගෙන් ටික දෙනෙක්.

ඒත් මේ නිරෝෂා විරාජිනී කියන ගායිකාව ගේ ගීත වලට මත් වෙන්නේ ටිකක් වෙනස් විදිහට. ඒ කටහඬ හරිම රසවත්. හරිම තියුණුයි. හරිම සැඩයි. පුදුම හිතෙන තරම් ආකර්ශණීයයි. එයාගේ ගීත ඇහුවාම “මගෙ සිත අවනත වී නැත මා වෙත” කියලා මට හිතුණු වාර බොහොමයි. එහෙම වුණාම තද වෙන්නේ නැද්ද මං අහන්නේ.

 
නිරෝෂා මහත්මිය සහාය ගායනාවෙන් එක්වෙන මේ ගී දෙක තුන අහලා බලන්න. ඔයාලත් මත් වෙයි ද කියලා…මට නං හැබැයි ඕවයේ අතුරු පල වලට වග කියන්ට බෑ හොඳේ...



බා ගෙන ම අහන්න වෙයි මයෙ හිතේ.......


සුදට සුදේ...
මේ ගීතය නිරෝෂා කියන්නේ කිත්සිරි ජයසේකරත් එක්ක. මං හිතන්නේ මේ ගීතය පැරණි ගීතයක්. මෙයාලා මේක වාණි‍ජ්‍යමය අරමුණකින් ගයපු එකක් නෙවෙයි මයෙ හිතේ....
සුදට සුදේ එළිය දිලේ පුන්සඳේ.....


මා බැන්ද පෙම්බරාගේ
මේක ගායනා කරන්නේ අමරදේව සූරීන් එක්ක. ඉතාම ජනප්‍රිය ගීයක් නොවැ. මේකෙත් මුල් ගායිකාව නිරෝෂා නෙවෙයි කියලයි මට මතක. ගීය කාගේ වුණත් නිරෝෂා ගයන කොට කොයි තරම් අපූරුද කියලා අහලා බලන්නකෝ....


නුඹ මැවූ සත්සර නිසා
මට හිතෙන විදිහට මේ ගීය නිරෝෂාත් එක්ක ගයන්නේ රූකාන්ත. පළමු වතාවට අහද්දීම කන් දෙක පිරෙන්න ඇහුණු නිරෝෂගේ හඬ මට අපූරු ආශ්වාදයක් ගෙනාවා. මේකට තමයි මං හැබෑවටම මත් වුණේ.. ඇත්තටම මෙහෙම දෙයක් ලියන්න හිතුනෙත් මේක තුන් හතර වතාවක් එක දිගට අහලා කාලය සෑහෙන්න විනාශ වුණු බව වැටහුණාට පස්සෙයි. 





2 comments:

  1. මේ ගීත ටිකට මත්නොවෙන කෙනෙක් ඉන්නවා නම් පුදුමයක් චතුර මල්ලී. බොහොම ස්තූතියි මේ ටික අපිට අහන්න දුන්නාට. හැබැයි, මේ මත්වෙන එකේ සීමාවත් අපි දැනගන්නට ඕනේ නේද?

    ReplyDelete
  2. @චන්දි අක්කා -
    මං ඒත් බැලුවා කොමෙන්ටුවක් ප්‍රමාද, කට්ටිය මත්වෙලා වත් ද කියලා... හිකිස්...

    හරිම විදිහට නං මත් වෙන්න හොඳම නෑ....

    අඩු තරමේ සීමාව දැනගෙන වත් මත් වෙන්න පුරුදු වෙන්ට ඕනි..

    බොහොම ස්තුතියි අක්කා වටිනා අදහසට.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..