Friday, November 25, 2011

සිනා නො ම සෙන් දසන් දක්වා



පෙකනිය...............................නො දක්වා
සළු ඇඳ බොලට............................දක්වා
නො පා තන ................................සක්වා
සිනා නො ම සෙන් දසන්...............දක්වා

මතක විදිහට මේක තිබුණේ කාව්‍යශේකරයේ. ඉතිං මේක අපේ ගෑණු ළමයින්ට දෙන උපදෙසක්.. වැඩේ කියන්නේ අපේ ගෑණු ළමයි මේකෙන් ආරස්සා කරන්නේ අන්තිම පදේ විතරයි.. ඒකත් හැම වෙලේම නොවෙයි.. කුළුපග නොවන අය ඉස්සරහා.. දැං අපේ පිරිමි ළමයිනුත් ඒ ක්‍රමේ ම අනුගමනය කරනවා..

මීට අවුරුදු 5 කට ඉස්සර අපි හිටියේ අවිස්සාවේල්ලේ.. මං ඉස්කෝලෙ ගියේ කොළඹ නොවැ.. ඉතිං ඉස්කෝලෙ යන කාලෙත් ඊට පස්සෙත් බස් වල යන එනකොට, පාරෙදි හම්බ වුණාම දැනගෙන හිටියත් නැතත් බොහෝ දෙනෙක් අපිත් එක්ක හිනාවෙනවා.. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. ඒත් එයින් හිතට පොඩි සුවයක් තියෙනවා.. ගෑණු, පිරිමි කියලා වෙනසක් නෑ.. ඒ හිනාව දසන් දක්වලා වෙන හිනාවක් නෙවෙයි.. පොඩ්ඩක් තොල්පට එහාට මෙහාට කරලා කරන මන්දස්මිතයක්..

2007 අවුරුද්දේ අපි මහරගමට ආවා තාවකාලික පදිංචියට.. අනේ මෙහෙ මිනිස්සුන්ට එහෙම පුරුද්දක් නෑ.. උදේ හවස දැක්කත් උඩ බලාගෙන හරි, බිම බලාගෙන හරි යනවා මිසක මේ අය හිනා වෙන්නේ නෑ.. මට මේකට හුරු වෙන්න සෑහෙන්න අමාරු වුණා.. අවුරුදු හතරක් ගෙවිලා මීට අවුරුද්දකට කලිං අපි ආයෙත් අවිස්සාවෙල්ලේ ගියා. ආයෙත් පුරුදු විදිහට හැමෝත් එක්කම හිනාවෙලා ඉන්න පුළුවං කියලා හිතේ පුංචි බලාපොරොත්තුවක් එක්ක මුහු වුණු සතුටකුත් තිබුණා..

අනේ ඒත් දැං අවිස්සාවේල්ලටත් ලෙඩේ බෝ වෙලා.. අඳුරන්නේ නැති අයත් එක්ක හිනා වෙන්නේ නෑ.. හැමදාම උදේ බස් එකේ දැක්කත් හිනා වෙන්නේ නෑ....

කාලය මැවු වෙනසක අරුමේ...

මං අද දැක්කා දැන්වීමක්. ඒක දන්තාලේප දැන්වීමක්. ජාතියේ සිනහව නැවත පුබුදන්න නම් ඒ දන්තාලේපය පාවිච්චි කරන්න කියලයි ඒකෙන් කියන්නේ.. අනේ හොඳ වෙලාවට මං නං පාවිච්චි කරන්නේ ඒ දන්තාලේපය.. අනෙක් අය වෙන එකක් වෙන්න ඇති..

මේක කියවන යාළු මිත්‍රයන්ගෙන් මං ඉල්ලන්නේ අපේ සිනහව අතුරුදන් කරන්න එපා.. ඒ පුංචි හිනාව දවසේ වැඩකටයුතු ටික සංතෝෂෙන් කරගෙන යන්න කොයි තරම් වටිනවාද? අපි කාටත් නොමිළේ දෙන්න පුළුවන් සිනහව ලෝබ කමට තියං ඉන්න එපා.. එය හැමෝටම බෙදන්න... 



ආයිත් අපි හිනාවෙන ජාතියක් වෙමු..!

අඳුනන, ......................................නාඳුනන
මඟ තොට කදී ...............................හමුවන
හැම හා......................................සිනාවෙන
සොඳුරු මිනිසුන් වෙමුද ................හැම දෙන



පිංතූරෙ ගත්තෙ මෙතැනින්..

4 comments:

  1. හනේ මගේ ගමේ මිනිස්සුන්ට එහෙම කීවා නේ?
    ඒත් කෝ ගමේ කට්ටිය? ඒ ගොල්ල නුගේගොඩට ගිහින් :-)

    එහෙම හිනාවෙන මිනිස්සු ඇත්තේ / හිටියේ ලංකාවේ විතරයි මම ගිහිල්ලා තියන රටවල් ඔක්කගෙන්ම

    අපෙනුත් නැතිවම යාවිද අප්පා?

    ReplyDelete
  2. චතුර විජේකෝන්November 25, 2011 at 8:39:00 PM GMT+5:30

    හැබෑට තිස්ස අයියා මහරගම නේද? මේක අඳුනන අයට සත්‍ය නොවෙන්න පුළුවන්.. ඒත් දැකලා පුරුදු කෙනෙක් එක්ක හිනා වෙන පුරුද්ද දැං බොහෝ දෙනා තුළින් ගිලිහිලා ගිහිං අයියේ..

    අයියාට බොහෝම ස්තුතියි මේ පාළු පෝස්ට් එකට ආලෝකයක් වුණාට.. එහෙම නැති වෙලා නොයන්න කියලා අපි පතමු.. පුළුවන් විදිහට අපේ යුතුකම කරමු..

    ReplyDelete
  3. මටත් ඕක ප්‍රශ්නයක් . අපොයි මන් ලමයින්ගේනුත් බැනුම් අහනවා හැමෝම එක්ක හිනා වෙනවා ඉයල . මක් කරන්නද පුරුද්ද . මේකනේ විශේෂයෙන් අපි පොඩි කාලෙටත් වඩා දැන් සමාජය සංකීර්ණයි ,.ගැණු ළමයෙක් වැඩිය හිනා වුනොත් බඩුවක් ගානට දානවා . ඉතින් පොඩ්ඩක් ආඩම්බර වෙන්න වෙනවා . අපි නම් දැන් ගෑනු ළමයි නොවන නිසා අවුලක් නැහැ . දන්නා කියන කෙනෙක් එක්ක හිනා වුනාට නම් කමක් නැහැනේ . මේවයේ ඉඳිද්දී නම් නොදන්නවා වුනත් hi කියන එක මොස්තරයක්නේ . ලාබෙකුත් නැහැ ..පාඩුවකුත් නැහැ .

    මහරගම එහෙමද . කොට්ටාවේ කොහොමද දන්නේ නැහැ . අවුරුද්දක වෙනස .

    ReplyDelete
  4. අවිස්සාවේල්ලට යනකම් ලෙඩේ පැතිරිලා හින්දා කොට්ටාව සුවර් ම තමයි..

    ගෑණු ළමයෙක් ආඩම්බර වෙන්නම ඕනි.. ඒත් ආඩම්බර හිනාවක් හරි දාන්න පුළුවන්නේ..

    සයිබරයේ නම් කතා කරන, හිනාවෙන වගේම හදට වැදුණු යාළුවොත් හමුවූණා.. ඒත් ඒ හිනාවේ හෘද්‍යාංගම බව පේන්නේ නෑ නොවැ..

    දුකා, තිස්ස අයියා, ඩීන්(ගල්මල්) අයියා, වැම් මලයා, චන්දි අක්කා, බින්දි අක්කා, වෙදනා, කල්හාර, බිඟුනද, මින්දද වගේ බොහෝ දෙනෙක් තුළ ඒ හෘද්‍යාංගම බව මට දැනුණා..නං නොකියපු අය හුඟක් ඉන්නවා මට ලෙංගතු කමක් දැනිච්ච.. ඔක්කොමලා සිහි කරලා මං පෝස්ට් එකක් දාන්නම් ලඟදීම..

    බින්දි අක්කා... ස්තුතියි මේ පැත්තේ ඇවිත් අදහස් දැක්වූවාට.....

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..