Tuesday, December 27, 2011

කවිය හා සම්ප්‍රදාය..



මීට මාස 5 - 6 කට පමණ පෙර බින්දිගේ නෙළුම් විලේ සංවාදයක් තිබුණා. ඒ කාලයේ කවි පිළිබඳ මට නං ඒ හැටි වැටහීමක් තිබුණේ නෑ.. අසා රස විඳලා තියෙන හින්දා සහ සහජ යෙන් යම් හැකියාවක් තිබුණු හින්දා කවි වගේ ඒවා ලිවුවා.... ඔය කාලයේ තමයි මට සේන අම්බලංගොඩ ශූරීන් ගේ හරියටම කවි හදන හැටි (ගුරු මුෂ්ටි) කියන පොත කියවලා අමන්දානන්දයට පත් වෙලා ලිපියක් ලිවුවේ.. ඔය ලිපිය බලන්න ආපු මගේ  සයිබරයේ අපූරු හිතවතා තමයි මට නෙළුම් විලට පාර කිවුවේ.. 


අර ගුරුමුෂ්ටි පොත ගෙඩි පිටිං දෙනවට කර්තෲ තුමා වැඩි කැමැත්තක් නැති බව පෙනුනු හිංදා.. මං පුළුවං විදිහට ඒ පොත ඇසුරින් කවි හදන හැටි කියන ලිපි පෙළ ලියන්න ගත්තා..  (තාමත් ලියනවා..පොත ලොකු නිසා නෙවෙයි මගේ වැඩ හිමිං නිසා)

ඉන් මාස කීපයකට පස්සේ හේමදාස ලියනගේ සොයුරාගේ ඇරයුමින් එතුමා විසින් නිර්මිත මුහුණු පොතේ සඳැස සමූහය සමඟ එක්ව කටයුතු කරන්නට ලැබුණා.. මේ කාලය අතිශය සුන්දර වගේ ම දුෂ්කර කාලයක්. ඒත් එහිදී විශාල ලෙස දැනුම බෙදා හදා ගන්නට අපට පුළුවං වුණා..

මේ ලඟකදී සුජීව කොකාවල සොයුරා විසින් බින්දිගේ ඉහත ලිපියට පිළිතුරක් ලෙසින් ලියූ අපූරු ලිපියක් හමු වුණා.එයට පිළිතුරක් ලියන්ට ගියත්.. ඒක කාලයකට පෙර ලියූ ලිපියක් නිසා පෝස්ට් එකක් ලෙස මෙහි දැමීමට මට හිතුණා.. 


සුජීව බොහෝ දේ ගැන බොහොම විවෘතව හිතන කෙනෙක්.. ඔහුගේ එම ලිපිය ගැනත් මං හරිම සංතෝෂයි. ඒ වගේම බින්දි ගේ ලිපියත් ඒකට වැටුණු කමෙන්ටුත්, සුජීව ගේ ලිපියත් කියා පානවා අපේ කවිය ඉවර නෑ කියලා...

මේ මම සුජීවගේ ලිපියට ලියන්ට ගිය කමෙන්ටුව..



සඳැසක හෝ නිසඳැසක භාෂාවේ නිරවද්‍ය බව හා සුන්දරත්වය රැකගෙන නව්‍ය නිර්මාණ කෙරෙහි යොමු වන්නට හැකිනම් වඩාත් සාර්ථක කාව්‍ය නිර්මාණයක් එළියට එනු ඇතැයි හඟිමි. සුලභ සිද්ධියක් දෙස වුව විසල් මනසකින් බැලිය හැකිනම් එතැන නවමු නිර්මාණයකට අවැසි මූලික බීජය තිබේ. තව දුරටත් අවැසි වන්නේ බසත්, සම්ප්‍රදායත් නොනසා නිර්මාණය එළියට ගැනීමය. 


සම්ප්‍රදාය නව ඉසවුවකට ගෙන යාමත්, සම්ප්‍රදාය වැනසීමත් දෙකකි.. එහෙත් අද බොහෝ දෙනා මේ දෙක පටලවාගෙන ඇතැයි මට සිතේ.. අඳුරට ශාප නොකර එක පහනක් වත් දල්වන්නට බැරි නම් දල්වන එකාට ඊරිසියා නොකර සිටීම අපගේ යුතුකමයි..



බස නිසි ලෙස යොදා බැන්දොත් මනාව
තොස නිසි ලෙස දැනෙයි මගෙ කල්-පනාව
විස ඉසි වෙස රැගෙන මේ කවි අනාව
රස විසි වස නොහෙනු බඳු කවි මනාව


මේ කමෙන්ටුව එතන නොදා මෙතන දැම්මේ ඒ පෝස්ටුව ටිකක් පරණ එකක් හින්දා..

Wednesday, December 21, 2011

ප්‍රබා රජ වෙලා..!



ඔන්න ප්‍රබා අපේ රජයේ හමුදාව හොඳට මට්ටු කරලා මේ රටේ රජ වෙලා.. අපි ඉතිං ඉතිපිසෝ ගාථාව කිය කියා බලාන ඉන්නවා මොකක්ද දැන් රටට වෙන්නේ කියලා..  සිංහලයාට ඉතිං සොරි ඩොට් කොම් තමයි,,

මොනවා වුණත් දැං ඉතිං ප්‍රබා අපේ රජා නොවැ.. 
===============================================
මල්ලී.... ගොරෝසු කට හඬකින් ටිකක් සැරට කතා කරනු ඇසී වහා එළියට දිව ගියෙමි... රජා අපේ මිදුලට ම ඇවිත්.. 


සෑර්... මේ උදෙම්ම...? මගෙන් පළමු ප්‍රශ්නය..
මල්ලිව අම්බ වෙන්ඩ කියලමයි ආවේ.. මූ කියපි.



අයියෝ සෑර් ඇස්. ඇම්. ඇස්. එකක් ගැහැවුවනම්.. මං එනවා නේ..
‍යේම බේ මල්ලී.. මට මල්ලිට කියලා සීක්‍රට් වැඩක් කොරගන්න තියෙනවා..



ඒ මොකක්ද අප්පා..? සොරි.. ඒ මොකක්ද සර්..?
මල්ලී මට සිංගල කොල්ලෝ දායක් ඔයා ගන්න ඕනි..
මම ප්‍රශ්නාර්ථයක් මූණේ මවාගෙන බැලුවෙමි..
ඔඳ සිංගල කොල්ලෝ..


ආ.. මේ.. මං වගේ අයද..?
උඹ වගේ අයත් ඕනි..
ඊට වඩා නියම සිංගල කොල්ලෝ..දායක්.. ඔය අසලක කාමිණී වගේ..


හරි.. මොකටද ඔය.. ? 
මල්ලී.. මාත් කොල්ලෙක්.. (ඉස්සර වෙන්ටෑ) මටත් අරි දුකයි ඔය ඔඳ සිංගල කොල්ලො මැරුණු එකට..
(මේ ප්‍රබා.. ම ද? මූට ඇඬෙන්නත් ඇවිත්)



(පරණ)පාර්ලිමේන්තුවෙන් බැරි ද සෑර්..
පිෂ්ෂු කියවාන්ඩ එපා මල්ලී.. මං අදාන්නේ ෂෝ එකක් කාන්ඩ.. ඒකට ඔයි ඉපාටුවෝ අරියන්නෑ..


ඇයි.. සෑර්.. වාචාල වංශ.. එළ කොල්ලනේ.. 


යෙත්ත මල්ලී.. මං ඌට යෙමති කමක් දුන්නා..


එතකොට සර්ගෙ ඇමති මණ්ඩලේ කීයක් විතර ඉන්නවද?
වෙඩිය නේ මල්ලී.. දෙෂීයයි.. ඉටපු කට්ටිය එකෂිය පනායි.. මගේ පනායි..




හිටපු කට්ටියව අයිං කළේ නැද්ද?
මල්ලී මාත් ඉතක් පපුවක් තියෙන කොල්ලෙක් නේ.. උං අඬන ඇටි දෙක්කාම යෙළියට දාන්නෙ කෝමද?


එයාලට කරන්න වැඩ තියෙනවද?
උං මීට කලිං වෙඩ කරාද මල්ලී.. මං උංට කිරිකට් ගාන්න ඉන්ඩෝ ග්‍රවුන්ඩ් එකක් අදලා ඒක එතුලේ ඉන්ඩ කිවුවා.. මාෂෙකට ෂෙරයක් පිටරට ට්‍රිප් එකක් එක්ක යන්නං කිවුවා.. වෙන මොනා අරි ආතල් ඕන්නං කියාන්ඩ ඒවත් දෙන්නාං කීවුවා.. උං ඕකේ..
දෙතුන් දෙනෙක් තමයි බං අවුල්..



ඒ මොකද සෑර්..?
උන්ට එල, දොල, කංකා, වෙවු... ඕනිලු..


නාන්ඩද?
නේ.. මෙනික් කරාන්ට.


ඇස්.. ඇප්.. ගත්තොත් මොකද සෑර්..?
එස්. එප්..? (ප්‍රබා ට පොඩි කැස්සක් මතු විය)
මිනියා.. නං කියාපු බඩුව අයිෂේ.. යේත් ඌ අරි ෂෙරයි නේ.. ?


දුටු ගැමුණු..?
අඩේ.. මට මතාක් වුණේ නේනේ.. තෑන්ක්ස් මල්ලී.. රොම්බ තෑන්ක්ස්..


මුතු හෙට්ටි..?
ෂාහ්: මල්ලී කියලා වෙඩ නේ.. මල්ලී.. ෂුපර් කියන්නේ නිකං නෙවෙයි ආ.. (මාව බදා ගනියි..)
දුමින්ද?
නේ.. මල්ලී .. දුටු ගෙමුණුයි, මුතු එට්ටියි ඉන්නවානං වෙන කවුරුත් ඕන්නේ.. වෙඩේ කොඩ.. 


එතකොට සෑර්.. සර්ලා කියපු අර ඊලම..?
පිෂ්ෂුද මල්ලී.. අපි පොඩි ජෝක්ස් එකක් නේ දෙම්මේ.. උම්බලා උම්බලාගේ පාඩුවේ ඉන්ඩ.. අපේ එවුං උංගේ පාඩුවේ ඉඳියි..

ඒ කියන්නේ සෑර්.. අපි නිදහස්ද? (මා ඇසුවේ පස්වනක් ප්‍රීතියෙන් ප්‍රමුදිතවය)
ප්‍රබා.. බඩ අල්ලාගෙන බිම ඇණ තියාගත්තේය.. ඔහුට හුස්ම ගන්ට අපහසු බව පෙනිනි.. වහා ඔහුගේ ආරක්ෂකයින් වට වුණි. ඔවුහූ මාව අත් අඩංගුවට ගත්තෝය.. ප්‍රබා හුස්ම ගැනීමේ අපහසුව පැත්තකින් දමා.. ආරක්ෂකයින්ට පළු යන්ට (කච කච ගා) බැන්නේය.. මට ඉනාවක් ඉරවුණා යකෝ.. ඔහු යළිත් කෑ ගෑවේය..

මට තේරුණු හැටියට ඔහු කීවේ මාවත් ඔහුවත් අත හරින්නට විය යුතුය. ඉන්පසු නැවත මා ලඟට පැමිණි ප්‍රබා..



මල්ලී.. මීට කලිං කවදා අරි නිදාසේ ඉටියාද? කියා අසමින් යන්නට හැරුණි..
===============================================
නිදහස කියා ලකුණක් වත් දැක නොමැතී
එනමුදු බොහෝ නිදහස් උත්‍සවද වෙතී
අප හද පතුල තුළ නෙක කටු වැල්ය එතී
හදවත මුදා ගමු පළමුව රැගෙන කැතී




පිංතූරෙ ගත්තෙ මෙතැනින්..









Wednesday, December 14, 2011

කවි හදන හැටි - 8 (සංක්ෂිප්ත කාව්‍ය සිද්ධාන්ත)

කවි හදන හැටි (හැඳින්වීම)කවි හදන හැටි - 2 (සාහිත්‍ය ප්‍රභේද)කවිහදන හැටි - 3 (සුභ ගණයෙන් කවි ලියමු),  කවි හදන හැටි - 4 (වෘත්ත හෙවත් විරිත්)කවි හදන හැටි - 5 (යතිය, එලි සමය, එළි වැට සහ පාද.)කවි හදන හැටි - 6 (දශ මහා ගුණ)කවි හදන හැටි - 7 (දශ මහා දෝෂ) නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි)   නම් පොත ඇසුරිනි.

* අලංකාරය පිණිස මිස, කවියක් තුළ එකම වචනය පද දෙකක හෝ දෙතැනක හෝ නොයොදන්න
* පදයක කෙළවර (එළිසම) සුරැකීමට ගියේයා, කළේයා වැනි බොරු වචන නොයොදන්න
* කවියක් අලංකාරය සඳහා බොරු නිපාත පද නොයොදන්න.
* පදයක භාගයකින් පටන් ගත් කොටස විසන්ධි කොට ඊලඟ පදයට රහසේම එකතු නොකරන්න
* අදාළ සමාස හැර අසමාන සමාස කවියකට නොයොදන්න
* ස්වභාෂා වචන හැර (අත්‍යවශ්‍යම වචන හැර) වෙනත් භාෂාවන්ගේ නොතේරෙන වචන නොයොදන්න
* චන්දස රැක ගැනීම සඳහා යා-යේ-යෝ ආදී අකුරු අනවශ්‍ය ලෙස නොයොදන්න
* අඩු හෝ වැඩි මාත්‍රා නොයොදන්න
* එකම වෘත්තය හෝ ශ්‍රැතියම භාවිත නොකරන්න
* කාව්‍ය ගායනයේ දී භාව නියෝජන කරන්න
* අසත්‍ය වන කරුණු නොගලපන්න

වර්ණනා කිරීම කවියාගේ කාර්‍යයයි. ඇසට, කණට, නැහැයට, දිවට, ශරීරයට හෝ මනසට ගොදුරු වන දෙය වර්ණනා කිරීම කවියාගේ යුතු කමයි..

පොළොව මතුපිට පමණක් නොව පොළොව යටටම කිමිදීත්, මුහුදු පතුලටම කිමිදීත් අහස සිසාරා පියා සරාත්, විශ්ව ගවේශනයටත් කවියාට ශක්තිය ඇත.

ස්ත්‍රී - පුරුෂ, ලොකු-කුඩා, බාල-මහලු, රජ- ඇමැති, පූජ්‍ය-පුජක සෑම දෙනෙකුම වශීකෘත වන විරිත් අනුගමනය කරන්න. විශේෂයෙන් කමලා, මිණිපොකුරු, වැනි වෘත්තයන් තුළින් උපමා රූපක වැනි අලංකාරයන් උපයෝගී කර ගනිමින් සත් කාව්‍ය නිර්මාණය කිරීමට උත්සාහ ගන්න.

අසත්පුරුෂ වූ මිනිසුන් සත්පුරුෂයන් කරන්නට හැකිවන ආකාරයේ කවි උපයෝගී කරගන්න. කවියෙකුට කවි සමයක් එනම් නීති රීති පද්ධතියක් ඇත.

කවියක් රස ලියමින් රැක සඳැසේ රස රහස
රසයෙන් සරු ගුණයෙන් ගරු වියමන් පිය පහස
නොනසා බස සනසා සිත මුදවා කවි දෝස
කවියෙන් නිති බබලන් සකි එළිකර කවි අහස

(කමලා නම් වෘත්තය)

කවුරු බැලුවත් සතුට වඩනා
ලියමු කවි අපි රසය රඳනා
සොඳුරු විරිතුත් හැඳින අගනා
බඳිමු කවි මල් මිහිර පෙරනා

(මිණි පොකුරු නම් වෘත්තය)

Saturday, December 10, 2011

රන් වන් අනාවක් පතනෙමි පුතුනි මගේ..

අපි කසාද බැඳලා අවුරුදු දෙකක් යනකොට අපේ පුංචි දෝනි අපේ කැදැල්ලට ආවා.. එයාගෙන් අපි පුදුම තරම් සතුටක් සැනසුමක් වින්දත් හැමෝගෙම හිතේ පුංචි අඩුවක් තිබුණා.. ඒ අපේ පරපුර ගෙනියන්ට පුතෙක් නැති අඩුව.. මේක තදින්ම තිබුණේ අපේ දෙමවුපියන්ට. මගේ බිරිඳට ඉන්නේ නංගිලා ම දෙන්නෙක්. ඉතිං එයාලගේ අම්මාටත් ලොකු ආසාවක් තියෙන්න ඇති පුතෙක් ගේ මූණ දකින්න..


ඒ අඩුව සම්පූර්ණ කරමින් මගේ පුංචි පුතා 2009 දෙසැම්බර් දහ වෙනිදා ඉපදුණා... මට එදා දැනුනේ සතුටක් වගේම සැහැල්ලුවක්..




සුරතල් පුතේ නුඹ ඉපැදුණු ඒ           දවසේ 
පුංචිම පුංචි අඩුවත් මැකුණයි           නිවසේ
ඉඳහිට හඬා වැඩිපුර නිදියන             දවසේ
නුඹ තව චූටි කොල්ලෙකි කිරි කැටි වයසේ


නම ගෙනියන්න සිය පරපුරෙ කුමරු වෙලා
නුඹ එන දවස එන තුරු දසැඟිලි      ගැනලා
අත්තප්පච්චි අත්තම්මා සිටියෙ           බලා
නුඹ ඉපදුණේ මගෙ යුතුකම ඉටු       කරලා


කිරි අම්මා දුටුව පළවැනි පුතුනෙ        ඔයා
පුංචිල දෙන්නගේ නැන්දගේ සතුට    ඔයා
අම්මගෙ, අක්කගේ, මගෙ මුළු දිවිය   ඔයා
පුතුනේ හැදෙන් අප හැමගේ කවිය    වියා..


මේ පුංචි පුතු වෙනුවෙන් එදා මගේ හිත කිවූ කවි පෙළක්..


ඊට පස්සේ මගේ පුතා හෙමි හෙමින් ලොකු වුණා.. අලුත් අලුත් දේ ඉගෙන ගත්තා.. අක්කට වඩා දඟ කාරයෙක් වුණා.. ඒත් මගෙ පුතා හරි අහිංසකයි.. ඒ වයසේ අනිත් පිරිමි ළමයි එක්ක බලනකොට නම් දඟ අඩුයි කියලත් හිතෙනවා.. කතා කරන්න නම් ටිකක් පරක්කුයි.. අප්පච්චි කියලා කිවුවේ මේ ඊයෙ පෙරේදා..


ඒත් මගෙ පුතා අපිට දීපු සතුට නම් හරි ඉහලයි.. විවිධ බාධක හින්දා අක්කට තරම් සැපයක් ඔයාට දෙන්න බැරිවුණා කියලා තමයි ඔයාගේ අම්මා නම් කියන්නේ... ඒත් මට නම් හිතෙන්නේ ඔයා සන්තෝසෙන් තියන්න අපට පුළුවං වුණා කියලා..


පහුගිය දවස් වල පුංචි පුංචි දඟ වැඩ ටිකක් කරලා අමාරුවෙත් වැටුණා.. දවසක් පැනඩෝල් පෙත්තක් නහයේ දාගෙන.. කිරි අම්මා ඉස්පිරිතාලෙට දුවලා තමයි පෙත්ත එළියට අරං තිබුණේ..


කොහොම වුණත් මගෙ පුතාට අදට අවුරුදු දෙකක්.. මගේ පැතුම.. යුක්තියට ගරු කරන යහපත් පුතෙක් වේවා කියලයි..






                       නිවසේ සැමත නිතරම දුවපැන          නටන
                       මගෙ සුදු පුතුනි අප හදවත් වල           සරන
                       දින දින උගෙන හොඳ ගති පැවතුම් සොඳින
                       මගෙ රට සිරිය තව තව වැඩි කරනු      මැන