Saturday, December 10, 2011

රන් වන් අනාවක් පතනෙමි පුතුනි මගේ..

අපි කසාද බැඳලා අවුරුදු දෙකක් යනකොට අපේ පුංචි දෝනි අපේ කැදැල්ලට ආවා.. එයාගෙන් අපි පුදුම තරම් සතුටක් සැනසුමක් වින්දත් හැමෝගෙම හිතේ පුංචි අඩුවක් තිබුණා.. ඒ අපේ පරපුර ගෙනියන්ට පුතෙක් නැති අඩුව.. මේක තදින්ම තිබුණේ අපේ දෙමවුපියන්ට. මගේ බිරිඳට ඉන්නේ නංගිලා ම දෙන්නෙක්. ඉතිං එයාලගේ අම්මාටත් ලොකු ආසාවක් තියෙන්න ඇති පුතෙක් ගේ මූණ දකින්න..


ඒ අඩුව සම්පූර්ණ කරමින් මගේ පුංචි පුතා 2009 දෙසැම්බර් දහ වෙනිදා ඉපදුණා... මට එදා දැනුනේ සතුටක් වගේම සැහැල්ලුවක්..




සුරතල් පුතේ නුඹ ඉපැදුණු ඒ           දවසේ 
පුංචිම පුංචි අඩුවත් මැකුණයි           නිවසේ
ඉඳහිට හඬා වැඩිපුර නිදියන             දවසේ
නුඹ තව චූටි කොල්ලෙකි කිරි කැටි වයසේ


නම ගෙනියන්න සිය පරපුරෙ කුමරු වෙලා
නුඹ එන දවස එන තුරු දසැඟිලි      ගැනලා
අත්තප්පච්චි අත්තම්මා සිටියෙ           බලා
නුඹ ඉපදුණේ මගෙ යුතුකම ඉටු       කරලා


කිරි අම්මා දුටුව පළවැනි පුතුනෙ        ඔයා
පුංචිල දෙන්නගේ නැන්දගේ සතුට    ඔයා
අම්මගෙ, අක්කගේ, මගෙ මුළු දිවිය   ඔයා
පුතුනේ හැදෙන් අප හැමගේ කවිය    වියා..


මේ පුංචි පුතු වෙනුවෙන් එදා මගේ හිත කිවූ කවි පෙළක්..


ඊට පස්සේ මගේ පුතා හෙමි හෙමින් ලොකු වුණා.. අලුත් අලුත් දේ ඉගෙන ගත්තා.. අක්කට වඩා දඟ කාරයෙක් වුණා.. ඒත් මගෙ පුතා හරි අහිංසකයි.. ඒ වයසේ අනිත් පිරිමි ළමයි එක්ක බලනකොට නම් දඟ අඩුයි කියලත් හිතෙනවා.. කතා කරන්න නම් ටිකක් පරක්කුයි.. අප්පච්චි කියලා කිවුවේ මේ ඊයෙ පෙරේදා..


ඒත් මගෙ පුතා අපිට දීපු සතුට නම් හරි ඉහලයි.. විවිධ බාධක හින්දා අක්කට තරම් සැපයක් ඔයාට දෙන්න බැරිවුණා කියලා තමයි ඔයාගේ අම්මා නම් කියන්නේ... ඒත් මට නම් හිතෙන්නේ ඔයා සන්තෝසෙන් තියන්න අපට පුළුවං වුණා කියලා..


පහුගිය දවස් වල පුංචි පුංචි දඟ වැඩ ටිකක් කරලා අමාරුවෙත් වැටුණා.. දවසක් පැනඩෝල් පෙත්තක් නහයේ දාගෙන.. කිරි අම්මා ඉස්පිරිතාලෙට දුවලා තමයි පෙත්ත එළියට අරං තිබුණේ..


කොහොම වුණත් මගෙ පුතාට අදට අවුරුදු දෙකක්.. මගේ පැතුම.. යුක්තියට ගරු කරන යහපත් පුතෙක් වේවා කියලයි..






                       නිවසේ සැමත නිතරම දුවපැන          නටන
                       මගෙ සුදු පුතුනි අප හදවත් වල           සරන
                       දින දින උගෙන හොඳ ගති පැවතුම් සොඳින
                       මගෙ රට සිරිය තව තව වැඩි කරනු      මැන

6 comments:

  1. නිදුක් නිරෝගී ලස්සන අනාගතයකට පුංචි පුතුට සුබ පැතුම්

    ReplyDelete
  2. චතුර මල්ලී මුලින්ම පුංචි පුතාට වාසනාවන්ත අනාගතයක් තෙරුවන් සරණින් ලැබේවා! කියල පතනවා. මම අද ආත්තම්මා කෙනෙක්. පුතෙක් ලෝකෙට ඉපදුනාම තියෙන සතුට කියා නිම කරන්න බැහැ. ලොකු පුතා උපන් වෙලාවේ අපි පුදුම සතුටක් වින්දා. ඒ වගේම මුනුබුරා උපන්නාමත් අපි හරි සතුටු උනා. පුංච් මුනුබුරා දකින කොට මට මතක්වෙන්නෙම ලොකු පුතාව. එයත් මේ පැටියා වගේම හරිම හොඳයි. අම්මට කරදර කලේ නෑ. මේ චූටි පැටියත් ඒ වගේම අහිංසක පුතෙක්. වෙලාවකට හරිම පුදුම හිතෙනවා. අපි මේ සසරට බැඳෙන හැටි. පුතා ලොකු උනාම අපි හිතනවා එයා ඈත්කරන්න ඕනේ බැඳීම් අඩුකරගන්න ඕනෙ කියල ඒ උනාට මෙන්න තව බැඳීමක් එකතුවෙලා. කොහොම උනත් මේ ගැන වටහාගෙන ජීවත්වෙන්න ලැබීමම පිනක්. ඔයාලගෙ සුරතල් පැටියා සමජයට වැඩදායී යහපත් මිනිසෙකු කරන්නට දෙන්නාටම දිරිය ශක්තිය ලැබේවා!

    ReplyDelete
  3. ඔන්න පරක්කු වෙලා උනත් මගෙන් පොඩි එකාට සුබ පැතුම් .....
    කොල්ලත් තාත්තා වගේම කවිකාරයෙක් වේවා කියලා මම පතනවා .....

    ReplyDelete
  4. ස්තුතියි.. අක්කා..

    ReplyDelete
  5. ස්තුතියි.. අක්කා..
    මුණුපුරෙක් උපන්නාම පුතෙක් උපන්නට වඩා සතුටු ඇති කියලා මට හිතෙන්නේ අපේ අම්මගේ, අප්පච්චිගේ සතුට දැක්කාම..

    ReplyDelete
  6. පහු වෙලා හරි සුබ පැතුවානේ.. ඒ මදෑ..

    මල්ලිගේ පැතුමට බොහොම ස්තුතියි..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..