Friday, January 13, 2012

අඩියක් ගහමුද?

මත්පැන් වර්ග ගොඩාක් තියෙනවානේ... රා, අරක්කු, වයින්, බියර්, විස්කි, බ්‍රැන්ඩි වගේ නීතියෙන් ප්‍රශ්නයක් නැති ඒවා වගේම කසිප්පු සහ කසිප්පු වගේ හදන හොර මත්පැන් වර්ගත් එමටයි.... මං මේ කියන්ට යන්නේ මත් පැනින් ගැලවෙන්ට මට ලැබුණු අවස්ථා ගැන සහ මං ඒවයින් ගැලවුනු තරම ගැන..

අපේ අප්පච්චි තරුණ කාලෙ ඉඳලම හොඳට බිවුව කෙනෙක්.. එයා බිවුවයි කියලා රණ්ඩු සරුවල් කර ගන්නේ වත් සවුත්තු වෙන්නේ වත් නැති කෙනෙක්.. ඒ වුණාට ගෙදර අපිට නම් එතකොට කණක් ඇහිලා ඉන්ට නෑ.. දොස් කියනවා.. ඉතිං ඕක හින්දා පුංචි කාලෙ ඉඳං මගෙ හිතේ ඔය මත්පැන් ගැන ඒ හැටි පැහැදීමක් තිබුණේ නෑ..

ඒක තමයි මට ලැබුණු පළමු අවස්ථාව මත්පැනින් වැළකෙන්න.. පටන්ගන්නෙම නැතිව ඉන්න තිබුණා.. 

ඒත් ටික ටික ලොකු වෙද්දී සිගරැට් කෙරෙහි තිබුණු විරෝධය හොඳටෝම වැඩි වෙලා  මත් පැන් වලට තිබුණු විරෝධය ටිකක් අඩු වුණා.. එතකොට මට හිතුණේ මත්පැන් ගානට ගන්නවානම් සහ බිවුවට පස්සේ ඒ විදිහට ඉන්නවානම් අවුලක් නෑ කියලයි.. කොහොම වුණත් පාසැල් යනකම් බොන්නේ නෑ කියලා හිතේ තියාගත්තා..

උසස් පෙළ කරලා ඉවර වෙලා දවසක් බිවුවා...  බීලා පළපුරුද්ද තිබුණු අයත් එක්ක බිවුවත් එයාල තරම්ම හොඳට බොන්නත්, බීලා වැඩිය අවුලක් නැතුව ඉන්නත් මට පුළුවං වුණා.. ඊට පස්සේ බොන්න ලැබුණු ආරාධනා වලට ගිහාම ඉතිං මාත් ටිකක් බොන්න පුළුවං එකෙක් විදිහට තමයි සැලකුණේ.. ඉතිං මට දැණුනේ මට වීරත්වයක් ආරෝපණය වුණා වගේ..

අවුරුද්දක් විතර යනකොට මට බොන එක ගැන දෙපාරක් හිතන්න අවස්ථාවක් ලැබුණා..

ඒ මගේ යාළුවෙක්ගේ ගෙදරක තිබුණු පාටියක බොන්න සැට් වෙලා.. යාලුවගේ තාත්තගෙන් බැණුම් ඇහුවා.. හරිම ලැජ්ජාවක් දැණුනේ.. ටික කාලයක් ලැබුණු අවස්ථා ප්‍රතික්ෂේප කරමින් බොන්නේ නැතුවත් හිටියා.. ඊට පස්සේ යාලුවන්ගේ ගෙවල් වලදී, වැඩිහිටියෝ ඉන්න තැන් වලදී බිවුවේ නෑ.. මෑතක් වෙනකම්..

තවත් අවුරුද්දකින් විතර තවත් අවස්ථාවක් ආවා..

හික්කඩුවේ මුහුදු වෙරලට ගිහිං ගොඩාක් බිවුවා.. ඊට පස්සේ මුහුදෙන් අත හෝදන්න යන්න හදනකොට මගේ මිත්‍රයෙක් ඒක වැළැක්වුවා... ඊට පස්සේ මට මාව පාලනය කරගන්න පුළුවන් කමක් තිබුණේ නෑ.. ටික වෙලාවකින් පස්සේ මං මොනවා කිවුවද කෙරුවද කියලා මට මතකත් නෑ.. පස්සේ හෝටලයක් කාරිය දාලා පොඩි ඇලට් එකකුත් දැම්මට පස්සේ පොඩ්ඩක් පියවි සිහියට ලං වුණා.. එදායින් පස්සේ මං බිවුවට පස්සේ හැසිරෙද්දී බොහොම පරිස්සම් වුණා.. බිවුවට පස්සේ අපි තුළ තියෙන පාලනය අඩු වෙන බව මට තේරුණා.. ඒ හින්දා ඊට පස්සේ කවදාවත් ඒ වගේ අශෝබන සිද්ධි නම් වුණේ නෑ..

තවත් අවුරුදු දෙකකට විතර පස්සේ.. තවත් අවස්ථාවක්..

ලෙමන් ජින් එකකුයි, ගල් බෝතලේකුයි කලවමට බීලා... පහුවදා අනාත වුණා.. කන්නත් බෑ, ඔලුව රිදෙනවා.. වැඩක් කරන්නත් බෑ.. පුදුම දුකක් වින්දේ..  ආයෙත් කලවමේ බොන්නෙත්, ලෙමන් ජින් බොන්නෙත් නෑ කියලා හිතාගත්තා.. ඊට පස්සේ අවුරුදු 11 කටත් ටිකක් වැඩි කාලයක් කිසි ප්‍රශ්නයක් නැතුව.. බොහොම කලාතුරකින් පමණක් මඳ පමණින් සප්පායම් වෙලා ෂේප් එකේ හිටියා..

පහුගිය දෙසැම්බර් 31 වෙනිදා තවත් අවස්ථාවක් ආවා..

මගේ මිත්‍රයෝ දෙන්නෙක් වොඩ්කා ස්මර්නොෆ් එකකුත් අරං ආවා.. කවදාවත් ගෙදරදී සැර මත්පැන් බීලා නැති මං (මීට මාස කීපයකට කලිං බියර් එකක් අපේ නෑදෑයොත් එක්ක බිවුවා) . කෝඩියල් නෙවෙයි මොන මඟුල කලවම් කළත් බොනකොට උගුර පිච්චිලා යනවා වගේ දැනුණා.. එකෙක් වාහනේ එලවන්ට කියලා බියර් එකකින් සප්පායම් වුණු නිසා.. වොඩ්කා එකට අපි දෙන්නෙකුට වග කියන්ට වුණා.. මගේ බිරිඳ කවදාවත් දැකලා නැතිලු මං එච්චර වෙරි වෙලා ඉන්නවා.. (ඇත්තටම මං දෙතුන් පාරක් ඔය වගේ සමහර විට ඔයිටත් වඩා වෙරි වෙලා තියෙනවා..) ..  පහුවදා සැප කණේ..  

ඔලුව රිදෙනවා... බඩ පපුව පිච්චිලා කියන්නේ.. බිස්කට් එකක් කෑවත් දැවිල්ලයි.. ආයි නම් ඔය මළ ජරාව (වොඩ්කා)  බොන්නේ නෑ කියලා හිතා ගත්තා... 

දැං මේ අවස්ථාවත් මඟ අරිනවද...........?

ඊට පස්සේ මං මෙහෙම හිතුවා..

මං ඇයි බොන්නේ.. ? ඇත්තටම බොන්න හේතුවක් නෑ.. (Just for nothing..)
බිවුවාම මට තියෙන සතුට මොකක්ද..?  හිනාවෙලා, විහිලු කරලා, සංතෝෂෙන් ඉන්න පුළුවන්.. මං කොහොමත් එහෙමනේ ඉන්නේ..
වෙන වාසියක් තියෙනවද? රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කරන්න ඇල්කොහොල් හොඳයි කියනවා නේද? ඉතිං එහෙම ලෙඩක් තියෙනවා නම් බෙහෙත් ගත්තම ඉවරයි නේ..
යාලු මිත්‍රයෝ ඇසුරු කරන්න හොඳ ක්‍රමයක් නේද? ඔය ටිකම බොන්නේ නැතුවත් කරන්න පුළුවන් නේ.. 

බොන එක නවත්තන්න තියෙන හේතු මොනවද?
තමන් කෙරෙහි තියෙන තමන් ගේ පාලනය දුර්වල වීම, අනතුරු, රණ්ඩු ආදී දේවල් වලට පැටලීමේ අවදානම වැඩි වීම, යහ සමාජය තුළ කිසියම් පිළිකුලකට ලක් වීම, මුදල් නාස්ති වීම, ගැස්ට්‍රයිටීස් වැනි රෝග වලට අත වැනීම....... හපොයි කොච්චර අවාසි තියෙනවාද?

ඔන්න මං මේ අවුරුද්දේ බොන්නේ නැතුව ඉන්න අධිෂ්ඨාන කළා..

අඩියක් ගහමුද...? මට නං බෑ.. උඹලට ඕන්නං ගහපල්ලා....

මත්පැන් ගැන දනිමි පොඩි කාලේ සිටම
ඇල්මෙන් නොසිටියෙමි මම බිඳුවක් තරම
මල් මෙන් සිටිය අපි පාසැල් නිම කරම
මිතුරන් සමඟ එක් වූ කරුමෙක මහිම

දවසින් දවස තෝරා බේරා නිසි දේ
වයසින් වැඩුණු මුත් අත් හැරියෙමි හරි දේ
නිවසින් දුරුව පානය කළ මුත් එම දේ
සතොසින් කියමි, නවතමි මත්පැන් සුහදේ..

14 comments:

  1. Good one mate. Good luck. Yes you can do it!

    ReplyDelete
  2. Yes.. dear.. I hope so.. Thank you very much for the encouragement by commenting here.. glad to see you again..

    ReplyDelete
  3. ඔබ නොදු‍ටු ලොවක්January 13, 2012 at 3:50:00 AM GMT+5:30

    ලැබුවේ අවවාද නොහොඹින ආරකය...
    දුදනන් නිසා විය සෙනසුරු මාරකය....
    මං පෙර ගියේ වරදින් පිරි පාරකය....
    ඒ ගිය මගේ අවසානය බෝතලය.......

    ReplyDelete
  4. මත් පැනෙහි රසයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන අනුවන දනෝ නොදනිත්

    ReplyDelete
  5. තමන් ගේ අතේ තිරනේ මම නම් කවදාවත් නොබොන එකෙකුට බොන්න කියලා වද කරන් නෑ,ඒ වගේම බොන එකෙකුට නවත්තපන් කියන්නේ නෑ,ඒ තීරනේ ඒ පුද්ගලයා විසින් ගතයුතු තීරනය්ක්,විශේශයෙන් ප්‍රශ්නවලට බොන එකට මම නම් විරුද්දයි,ගොඩක් එහෙම වෙලාවට ප්‍රශ්නේ ඩබල් වෙනවා,ඉතින් ඔබ තුමාම කල්පනා කරලා තිරනයක් ගන්න සුබපෑතුම්....

    ReplyDelete
  6. ලැබුවත් අවවාද මොන මොන ලෙසට ලොවින්
    දුදනන් වෙන්නෙ සිත පිරි විට පවිටු බවින්
    හරි දේ තෝරගන්නට සොහොයුර එබැවින්
    කිම තව පමා වෙනු, හැර බෝතලය සොවින්..

    ReplyDelete
  7. මත් පැන් බීවහම
    පසුදා ඔලුව රිදුණම
    උගුර කට දෑවම
    අනේ මොකටද බොන්නෙ ආයෙම..

    ReplyDelete
  8. මමත් කවදාවත් ප්‍රශ්න නිසා බීලා නෑ.. හිතේ එහෙම ලොකු ප්‍රශ්නයක් තියෙන වෙලාවක යාළුවො සෙට් වෙද්දී මං ප්‍රත්ක්ෂේප කරලා තියෙනවා..

    කල්පනා කරලා බැලුවා.. මොකටද නිකං නැති ලෙඩ හදාගන්නේ.. අනික බිවුවාම වෙන්නේ අපේ මනස ලෙඩ වෙන එක.. මීට පස්සේ බිවුවොත් බොන්නේ බෙහෙතක් විදිහට තමයි..

    ස්තුතියි අදහසට සහෝදරයා..

    ReplyDelete
  9. ගැමියාගේ පත් ඉරුවJanuary 13, 2012 at 3:19:00 PM GMT+5:30

    එල එල සෑහෙන්න හොද තීරණයක් සුභ පතනවා මේ තීරණය ගැන ජය වේවා

    ReplyDelete
  10. බොහොම ස්තුතියි.. සුබ පැතුමටත්, අදහස් දැක්වීම ගැනත්..

    ReplyDelete
  11. මම තවම කිසිදාක මත් පැන් පානය කරල නම් නෑ.. සමහරු කියන්නේ යාලු - මිත්‍රයෝ හදාගන්න සමහර වෙලාවට මත් පැන් ඕනේ කියල,... ඒක අමූලික බොරුවක්.. මගේ සිටින යාලුවන් - මිතුරන් ගැන ඇත්තටම මට ආඩම්බරයි... !!!
    ඔබේ තීරණය ගැන සුභ පැතුම්... !!!

    ReplyDelete
  12. ඔබ ගැනත් බොහොම සංතෝෂයි මිත්‍රයා.. යාළු මිත්‍රයෝ හදාගන්න මත් පැන් ඕනෑය කියන එකේ මෙහෙම ඇත්තක් තියෙනවා..

    කට්ටියකට එකතු වෙන්න මොකක් හරි ඉවෙන්ට් එකක් අවශ්‍යයි නොවැ.. ඒ වගේ ම එහෙම එකතු වුණාම නොදන්න අයත් එක්ක එකතු වෙන්ට ටිකක් හොර ගතියක් තියෙනවා.. ඒත් බිවුවාම ඔය ප්‍රතිරෝධය නැති වෙලා යනවා.. ඒ වුණත් ඒ අඳුරගන්න හැමෝම යාළුවෝ කියලා නම් හිතන්න අමාරුයි..

    ඉස්සර කාලෙ වගේ සමාජ සම්බන්ධතා පවත්වගෙන යන්ට වැඩි ඉඩක් නැති මේ කාලෙට ඔය කතාවෙ සෑහෙන සාධාරණත්වයක් තියෙනවා.. ඒත් අපි කල්පනා කරලා වැඩ කළොත් අපිට මත් පැන් වලින් කෙරෙන කාර්‍යය වෙනත් ක්‍රමයකින් කරගන්ට බැරි කමක් ම නෑ..

    බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් අදහස් දැක්වුවාට..

    ReplyDelete
  13. බිව්වම වෙන්නේ මොකක්ද කියලා ඉතාම නිවැරැදිව කියලා තියෙනවා. මාර සැපක් , මාර ආතල් කියලා අරක්කු කසිප්පු බිබි අමුඅමුවේම මිනිස්සුන්ට බොරු කියන ඒ වෙනුවෙන් දර දිය අදින හැමෝටම මේ සත්‍යය ඉවත දාන්න බැහැ. මේ බොරුවෙන් දැන්වත් බොන අය ගැලවෙනවා නම් හොඳයි. මත්ද්‍රව්‍ය පුරා පැතිරී තිබෙන මෙබඳු මිත්‍යාවන් තව තවත් එළි විය යුතුයි. මේ ලිපිය ගැන මගේ බ්ලොග් එකට ලින්ක් එකක් දාන්න අවසර දෙනවාද ? www.pivisuma.blogspot.com

    ReplyDelete
  14. අවසර මොකට ද මිත්‍රයා.. මං මේකේ ලියන ඕනම ලිපියක් කොපි කළාට, ලින්ක් දැම්මට කමක් නෑ.. එතකොට ඒවයෙ තියෙන අදහස් අනික් අය අතරට යනවා නේ.. බළලා මැටියෙන් වුණත් මීයෝ අල්ලනවා නම් කමක් නෑ කියනවානේ.. ඒකෙන් සමාජයේ එකෙක්ට හරි යහපතක් වෙනවා නම් ඒ ඇති.. ඒකේ ක්‍රෙඩිට් එක මට නාවට මගේ හිතේ අමනාපයක් ඇති වෙන්නේ නෑ කියලා මට විශ්වාසයි..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..