Friday, March 30, 2012

යවහන් කවියක අගට යෙදුනාම වැරදියි කියන්නේ ඇයි..?

මෙය බොහෝ දෙනාට තිබෙන ප්‍රශ්නයකි..
සඳැස් කවියේ දී කළ යුතු හා නොකළ යුතු දේ දක්වා කාව්‍ය ව්‍යාකරණ සමූහයක් තිබේ.. ඒවා කාව්‍ය රීතීන් ලෙස ද දැක්වේ..
ඇතැම් විරිත් වලට එළිසමය අත්‍යාවශ්‍ය වීමටත් අනෙකකට එසේ නොවීමටත් හේතුව කිම් දැයි ඇසුවොත් කියන්නට ඇත්තේ ද එය මයි..

මෙයට අමතරව රසය හීන වන බව, වස් වදින බව ආදී පිළිතුරු ද ඉහත ප්‍රශ්නයට දිය හැක.. ය,ව,හ සහ න් යන අකුරු හෙළ බසෙහි ඇති අකුරු අතර අරුතක් නොදෙන අකුරු බවට ඇති පිළිගැනීම ද .. එක් පිළිතුරකි.. 

කවියෙන් පිටතට ගොස් උදාහරණයක් ගනිමු..

ක්‍රිකට් ක්‍රීඩාවේ දී, පාපන්දු ක්‍රීඩාවේදී මෙන් විශාල බෝලයක් නොගෙන තරමින් කුඩා වූ බෝලයක් යොදා ගන්නේ ඇයි.. ? කවුරු හරි මෙහෙම ඇහුවොත් එය පුදුමයකි.. ඒ ක්‍රිකට් ගහන්නේ කුඩා ප්‍රමාණයේ බෝලයකින් බව හැමෝම දනිති.. එයට හේතුවක් තිබෙන්නට පුළුවන.. ඒත් අප ක්‍රිකට් සෙල්ලම් කරන්න නම් ඒ හේතුව දැන ගෙන සිටිය යුතුමද? ක්‍රිකට් සෙල්ලම් කරන්න අවශ්‍ය නීති, රීති ටික ඉගෙන ගෙන සිටීම හා සෙල්ලම් කරන්න පුළුවන් වීම පමණක් නොසෑහේ ද?

පොඩි කාලේ කට්ටිය එක්කහු වෙලා ක්‍රිකට් ගහනකොට ටෙනිස් බෝලේ පැලුනොත් රබර් බෝලයක් යොදා ගත්තෙමු.. එක පැත්තකට එකෙක් අඩු වූ විට උංගෙක් හෙවත් වැඩිපුර පිතිකරණ වාරයක් දුන්නෙමු.. කට්ටිය ටිකක් අඩු නම් ලාස්ට් මෑන් හෑවු චාන්ස් කියා අවසන් පිතිකරුවාට තනියෙන් වුවද පිතිකරණයේ යෙදීමට දුන්නෙමු..

ඒත් කිසියම් පිළිගැනීමක් ඇති තරඟයක දී සම්මත රීතීන් එසේ වෙනස් කළ හැකි ද? එය, එයට අදාල කවුන්සිලය මඟින් සම්මත කරන රීතීන් ට යටත්ව පැවැත්විය යුතුය..

මට නම් හිතෙන්නේ.. කවි ලිවීමත් එක්තරා විදිහක ක්‍රීඩාවකි.. එහි මූලික රීති පද්ධතිය දැනගෙන තම හැකියාව යොදා ගනිමින් මේ ක්‍රීඩාව කළ යුතුය.. එසේ නැතිව හිතු හිතූ විදිහට පුරාතනයේ හැදූ රීතීන් වෙනස් කරන්නට යෑම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ..

හරියට මාත්‍රා තියලා කවියක් ලියා ගන්ට පුරුදු වෙන්ටත් කලියෙන් සඳැස් රීති වෙනස් කරන්ට යන අය මේ ගැන පොඩ්ඩක් හිතන්න.. ඉස්සෙල්ලා සඳැස් රීති ටික හරියට ඉගෙන ගන්න.. ඔක්කොම ඉගෙන ගන්නකොට ඔය වගේ ප්‍රශ්න ඔලුවට එන එකක් නෑ..

ප.ලි.
යවහන් දෝෂය :
එළිසමය තැබිය යුතු විරිතකින් ලියැවුණු කවියක පද අවසන් වන්නේ "ය", "ව", "හ", "න්" යන අකුරු වලින් එකකින් නම්.. එළිසමය රැකීම සඳහා ඊට පෙර අකුරත් යොදා ගත යුතු බව කියැවෙයි.. නැතහොත් එම කවිය යවහන් දොසට හසු වේ.. 

රුපියල පා කිරීම හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම..!




පසුගිය මාසයේ රුපියල පාවෙන්නට ගත්තේය.. ඒ හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව.. විශේෂයෙන් විදේශ ගනුදෙනු කරන්නන්ට හිතන්නට අවස්ථාවක් දී ඇත.. වාහනයක් පිට රටින් ගෙන්වුවහොත් ඉල්ලුම් කරන මිලට වඩා 20% පමණ වැඩි මිලක් ගෙන්වන අවස්ථාව වන විට පවතී.. මෙය පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමට මහා පරිමාණ කාර් ගෙන්වන්නා සමතෙකි.. එහෙත් සුළු පරිමාණ කාර් ගෙන්වන්නෙක් වෙතොත් ඔහුට බොහෝ විට දෙයියන්ගේ පිහිටය.. ඔහු පාරිභෝගිකයාට පොරොන්දු වී ඇත් මුදලට දුන්නොත් අමාරුවේය.. මෙය කාර් වලට විතරක් නොව අනෙක් ආනයනික භාණ්ඩ වලටත් පොදුය.
ජේ. ආර්. උන්නැහේ කොරපු වැඩෙන් පස්සේ ඕනෑ එකයි එපා එකයි හැම එකම පිට රටින් ගෙන්වන්නට පුරුදු වෙච්ච එකට පාඩමක් උගන්නන්න මේ හොඳ අවස්ථාවකි.. විශේෂයෙන් විදේශ ගණුදෙනු වල අතරමැදි වැඩ කර ගතමන්ට් එක සරි කරගන්නා අය ට බඩු පැකට් වී ඇත..
මගේ මිතුරන් කීප දෙනෙකු ම පිට රටින් එක්තරා මෘදුකාංගයක් ගෙන්වා ලංකාවේ බෙදා හරින ව්‍යාපාර කරගෙන යති.. මුලින් නොමිලේ සංස්කාරකයක් (Trial) දමා පසුව පාරිභෝගිකයා එම මෘදුකාංගයට කැමති නම් හා සම්පූර්ණ ගෙවීම කළ පසු අදාල පැකේජය පිටරටින් ගෙන්වා බෙදා හැරීම සිදු කරයි.. ඔවුන්ට දැන් සැප කණේය.. ලංකාවේ ආර්ථිකය ගැන හිතා ලංකාවේ හදන මෘදුකාංග විකුණන්න ඕනෑ කියන්නේ ඒකය..
මේ මඟුල හරි යන්නෑ කියා උන් කොම්පැණි වසා දමා දේශීය ආර්ථිකයට උර දීම උදෙසා වෙලට බහින දිනය වැඩි ඈතක නොවේය කියා මට නිකමට හිතේ..
අනෙක් අතට අපි ඕනෑවට වඩා කන ජාතියකි.. ඔය කෑම අඩු කරලා කනවා නම් ලෙඩත් අඩුය.. 7500/= වැඩේ කොරන්නත් ඇහැක..

අපේ දුව මොන්ටිසෝරි යයි.. ඇය ගේ පංති ගාස්තු 1500 කි.. වෑන් රථයට 1900 කි.. ගෙදරට වෙලා ඉන්න කිවුවා නම් මේ 3400/= බේරා ගත හැක.. කිරි පිටි පානය ශරීරයට අහිතකර බවට ආරංචියක් ලැබී ඇත.. එහෙම වුණොත් බබාලගේ කිරි පිටි වලට යන (335‍*6) 2010/= ක මුදල ද ඉතුරු ය.. මට ඔෆිස් එන්ට මාසෙකට අඩුගානේ බස් එකට 1500/= බයික් එකට 1500/= යයි.. ඔෆිස් නෑවිත් අහල පහල අයගේ කුඹුරු වැඩට උදවු වුණා නම් ඒ 3000/= ත් ඉතුරුය.. බිරිඳ ගේ ඉස්ටාප් බසයට 1400/= කුත් ඉස්ටාප් බසය දක්වා යාමට 700/= විතරත් ඕනෑය.. ඊට අමතරව එක එක ජාතියේ ලිස්ට් වලට දීමට 2000/= ක් විතර ඕනෑය.. ගෙදර හිටියොත් ඒ 4000/= ත් ඉතුරුය.. අපේ ගෙවත්ත හොඳට ඉඩ තියෙන හින්දා පැත්තක වී ටිකකුත්, අනික් ඉඩ වල දැනට තියෙන මිරිස්, බටු ආදියට අමතරව තව එලවළු කීපයක් වගා කර ගත යුතුය.. දවසට ඇපල් ගෙඩියක් කෑම ශරීර සෞඛ්‍යයට හොඳයි කියලා තියෙන්නේ සුද්දෙක් හින්දා එය අපට අදාල නැත.. පොඩි එවුන්ට කන්න කෙහෙල් කැනක් මාස දෙක තුනකට සැරයක් අපේ වත්තේ වැටේ.. ඒවා ෆ්‍රිජ් එකේ දාගෙන පරිස්සමට කෑල්ල බැගින් ඔවුන්ට දිය යුතුය.. ටී.වී. වල යන්නේ වැඩකට නැති ටෙලි නිසා පියෝ ටී.වී එක ආපහු දෙනු ලැබේ.. බිරිඳ ගෙදර නිසා වොෂිං මැෂින් එක නිතර දාන්නට අවැසි නැත.. ලැයිට් බිල අඩු කර ගත හැක. ADSL හින්දා අපේ ටැලිපෝන් බිලත් ටිකක් වැඩි වී ඇත.. ගෙදට්ට වෙලා වෙල් කොටද්දී මොන ADSL ද? ඒකත් ඉතුරුය. කාට හරි ලෙඩ උනොත් පයිංම ඉස්පිරිතාලෙට ගිහිං දෙන බේතක් අරගෙන ලියලා දෙන බෙහෙත් තුණ්ඩුව (අත පිහින්න වගේ) වෙනත් වැඩකට පාවිච්චි කළ හැක. ඔය විදිහට ගෙදරට ම වෙලා ඉන්නවා නම් අලුතින් ඇඳුම් කැඩුම් ගන්නත් ඕන නැත.. මේ විදිහට කර ගත්තොත් 7500/= න් යාන්තම් ෂේප් විය හැක.. හැබැයි අපි ඉන්නේ ගෙදර නිසා කවුරු හරි අපට 7500/= ක් දෙන්න ඕනෑය.. මට නම් ඒකත් ඒ හැටි දෙයක් නෙවෙයි කියලා හිතෙන්නේ අපේ යාළුවෝ වැඩි හරියක් ඉන්නේ පිට රට නිසාය..

එයාලට 7500/= කජ්ජක්ද..?
දේශීය ආර්ථිකේ ශක්තිමත් වෙන යාන්ත්‍රණය දැන් පැහැදිලියි නේද..?
කොහොමද ටිකිරි මොලේ..?


Thursday, March 22, 2012

ඉල්ලීම් සැර වැඩි ද?

අපි පුංචි කාලෙ මොනවා හරි ඕන වුණාම අඬනවා.. එතකොට ඒක අපට ලැබෙන බව අපි දන්නවා.. ඒත් ටික ටික ලොකු වෙද්දී ඇඬුවටම හැමදේම නොලැබෙන බව තේරෙනවා.. තමන්ගේ වැඩ කිඩ (දක්ෂතා) පෙන්නලා නැත්නම් උපක්‍රමශීලී ව වගේම වෙනත් ක්‍රම වලිනුත් අපි අපිට වුවමනා දේ ලබාගන්න පෙළඹෙනවා.. අඬලා ගන්න එක තත්වෙටත් හරි මදිනේ.. ඒත් ඔය ආදර සම්බන්ධතා වගේ ඒවායෙදි නම් අඬා වැළපිලාත් වැඩේ ගොඩ දා ගන්න අවස්ථා තියෙනවා..

කොහොම හරි මෙච්චර කල් දෙමවුපියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, පෙම්වතුන්/පෙම්වතියන් ගෙන් අහිංසක විදිහට ඉල්ලීම් ඉල්ලපු අය.. ලොකු ලොකු ඉල්ලීම් වලට අත ගහනවා..
රැකියා දියවු!
බඩු මිළ අඩු කරනු!
සරත් ෆොන්සේකා වහා නිදහස් කරනු!
අපේ රටට අත නොතබනු!

මුංගෙ තියෙන ඝණකම..!
රැකියාවක් දෙන්නකෝ..
බඩු මිළ ටිකක් අඩු කරන්නකෝ..
ඔය සරත් ෆොන්සේකා මහත්තයාව නිදහස් කරලා දෙන්නකෝ..
අපේ රටට කරදර කරන්නෙ නැතුව පාඩුවෙ ඉන්නකෝ.. 

වගේ ටිකක් සෞම්‍ය විදිහට ඔය ඉල්ලීම් ඉදිරිපත් කරන්න බැරිද හැබෑටම..? 



Tuesday, March 13, 2012

කාරයෝ...

පුංචි කාලෙ මං හොඳ ගණං කාරයෙක් ලු. ඒ මට හොඳට ගණං පුළුවං හින්දා වගේම එක එක කොලු කුරුට්ටන් එක්ක ගුටි ඇන ගත් හින්දා වෙන්ටැ. ඒ හින්දම මාව මගේ මුල් කාලෙ ගුරු මෑණිවරුන්ට වගේම මගේ දෙමවුපියන්ටත් කරදරකාරයෙක් විදිහට පෙණුනද දන්නෙ නෑ.. ඕවා ඉතිං පොඩි කාලෙ කරන දඟකාර වැඩනේ.. මට ඒ කාලේ ඉරිසියා කාරයෝත් හිටියා නොවැ.. ඒත් පස්සෙං පහු කොළඹ ඇවිත් පංතියේ පිටි පස්සට යද්දී අපේ සමහර ගුරුවරු හිතුවේ මං රස්තියාදු කාරයෙක් කියලා..


ඔය කොයි කවුරුත් හිතපු නැති විදිහට මං කොම්පියුටර් කාරයෙක් වුණා... ඔය අතරේ මගේ දෙමවුපියන්ගේ කැමැත්තක් තිබුණා මාව කළමණාකාරයෙක් විදිහට මොකක් හරි හොඳ ආයතනයකට රිංගවන්ට.. අඩු තරමෙ ලිපිකාරයෙක් වත් වුණා නම් කියලා එයාලා දුක් වෙවී උන්නු කාලෙකුත් තිබුණා..  ඒත් එයාලගෙ හිතට පුංචි සතුටක් දෙමින් ටික කාලයක් මං සෑර් කාරයෙක් විදිහට පිරිවෙණක වැඩ කළා.. ඒත් ඒක මගේ හිතට හරි ගිය වැඩක් නෙවෙයි..


අපි ඉගෙන ගත්තු විෂයයන් අතර තිබුණු Introduction to Digital Technology කියන විෂයයේ ටිකක් දක්ෂයෙක් වෙලා හිටපු හින්දා සමහර යාළුවෝ මට Digital කාරයා කියලත් කිවුවා.. ඒ වගේම එක යාළුවෙක් මට Flow Chart කාරයා කියලා කිවුවේ.. එක ව්ෂයයක් වෙනුවෙන් ඉගෙන ගනිද්දී කීප දෙනෙක්ට  Flow Chart එකක් ඇඳගන්ට උදවු වෙනවා දැකලා.. ඔය අතර වාරයේ මං VB කාරයෙක් වෙලා වෘත්තීය Software Programming වලට බැස්සා..  අන්තිමට ඒ ගමන මේ වෙනකොට මං පුංචි Software Company එකක අයිතිකාරයෙක් වෙලයි ඉන්නේ.. ඒ කොම්පැනියේ තවත් හවුල්කාරයෝ දෙන්නෙක්ම ඉන්නවා..


ඔය අතරෙ තමයි මං මගේ ආදරණීය බිරිඳ සචී ගේ උරුමක්කාරයා වුණේ.. ඊට අවුරුදු දෙකකට විතර පස්සේ ලස්සන පුංචි දූ පැටියෙක් උපන්නාම සචී කිවුවේ පුංචි දුව අපේ ගැලැවුම්කාරයා කියලයි.. දරුවෙක් නොලැබෙන්ට තරම් මං කරුමක්කාරයෙක් නොවෙන බව නං මං සක් සුදක් සේ පැහැදිලිව දැනගෙන හිටියා.. ඊටත් අවුරුදු දෙකකට විතර පස්සේ පුංචි පුතණ්ඩියෙක් උපන්නහම අපේ වංසක්කාර කම ඉදිරියට ගෙනියන්ට උරුමක්කාරයෙක් උපන්නා කියලා අපේ අප්පච්චි බොහොම සතුටු වුණා..  මට හිතුවක්කාරයා කියලා නිතර දෙස් තිබ්බට අප්පච්චිගේ හිතේ මං ගැන තියෙන්ට ඇත්තෙ කොහොම හැඟීමක් ද කියලා මට තේරුණෙත් එදාම තමයි.. කොලු පැටියගේ දඟකාර කම යි කෙල්ලගේ හැඩකාර කමයි කටකාර කමයි අපේ ගෙදරට ගෙනාවෙ පුදුම සිරියාවක්..


මං කසාද බඳින්ට ටික කාලෙකට කලිං බයික් එකක් ගන්නකොට හැමෝම වගේ විරුද්ධ වුණේ බයික් කාරයෝ නිතර ඇක්සිඩන්ට් වෙනවා කියලයි.. ඒත් ඉතිං මට වෑන් කාරයෙක්, කාර් කාරයෙක් වෙන්ට තව කල් තියෙනවා කියලා මං හිත හදාගෙන බයික් එක ගත්තා..


පාරට බැස්සාම මට එපාම වෙන්නේ ත්‍රීවීල් කාරයොයි, බස් කාරයොයි හින්දා.. ඇයි කන්ටේනර් කාරයෝ.. යන්නෙ පාර පුරාම.. ඉස්සර කරන්නත් බෑ පොලිස් කාරයෝ ඉඳියිද කියලා.. බයයි නොවැ.. ඉස්සර යුද්දෙ කාලෙ ආමි කාරයෝ අපිව චෙක් කළා නේ.. ඇත්තටම පොලිස් කාරයොත් එක්ක බැලුවාම ආමි කාරයෝ රත්තරං කියලා මට හිතුණු වාර අනන්තයි.. අද කාලෙ බස් වල යද්දී පරෙස්සම් වෙන්න ඕනි.. පොකැට් කාරයෝ ඉන්නවා.. ගෑණු කට්ටියට නං තව ප්‍රශ්නයක්.. ඇයි ජැක් කාරයෝ..?


ඒත් ස්වාධීනව හිතලා බැලුවාම.. පොලිස් කාරයොත් මාර කට්ටක් නේ කන්නේ.. ඒ හින්දා එයාලට අපිත් එක්ක කේන්ති යනවා වැඩි ඇති මයෙ හිතේ.. අනික ඉතිං පොලිස් කාරයින්ගේ උඩ ඉඳං පල්ලෙහාටම විනය පිරිහිලා කියල නොවැ කියන්නේ.. එයාලා ජාවාරම්කාරයින්ට සෑහෙන්න උදවු දෙනවාලු නොවැ.. 


පහුගිය දවස් වල ඉන්ධන ගනං ගිහාම තමයි කෙළිය වුණේ.. මාළු කාරයෝ ටික බැස්සනෙ එළියට.. පස්සෙ ආණ්ඩුව නම් කිවුවේ ජේවීපී කාරයො ටික තමයි මේ වැඩේ කළේ කියලා.. ඉස්සර තිබ්බ ආණ්ඩුවකින් විජය කුමාරණතුංග කියන නළු දේශපාලනඥ්ඥයාව නැක්සලයිට් කාරයෙක් කළා ලු නේ.. කොහොම වුණත් ඉතිං පැහැදිලිවම කියන්ට ඕන.. නුවණක්කාරයෙක් දැං නං දේශපාලනේට එන්නේ නෑ කියන එක. 


සමහරුන්ට පවු කාරයා කියලා ඇඟිල්ල දික්කලාට තමන් කොයි තරං පවුකාරයෙක්ද  කියලත් හැමෝම හොයලා බලන්ට වටිනවා.. වැරදිකාරයෝ වගේම නිවැරදිකාරයොත් ඉන්නේ මිනිස්සු අතර නොවැ.. බොරු කාරයෝ නං ඉතිං ටිකක් අමාරු කාරයෝ තමයි.. දිය යටින් ගින්දර ගෙනියන්ට හීං නූල් කාරයෝ දක්ෂයි ලු..


ලංකාවේ හොඳම විහිළු කාරයෝ ටික දියවන්නාව පැත්තට නිතරම එකතු වෙන බව හුඟක් අය කියනවා.. නඩු කාරයා දෙන තීන්දු තීරණ ගැන අපිට කතා කොරන්ට අයිතියක් නැති හින්දා සරත් ෆොන්සේකා මහත්තයා හිර කාරයෙක් කරපු එක ගැන මං මුකුත් කියන්ට යන්නේ නෑ.. පවුල් කාරයෙක් හැටියට වැඩිය ඕවා ගැන කතා කොරන එක භයානකයි නොවැ..


අපි උසස් පෙළ කරපු කාලෙ මට මතකයි අසංග කියලා අපේ යාළුවෙක්ව වාහන කාරයෙක් හප්පගෙන ගිහිං,  එයාලගේ ගෙදර ගියා.. එදා කැලණි ගඟෙං එගොඩ වෙන්ට අපට උදවු කළේ පාරු කාරයෝ.. සහ ඔරු කාරයෝ....


ඒ කාලෙ වගේ නෙවෙයි දැං ගංජා කාරයෝ, කුඩු කාරයෝ වැහි වැහැලා.. හැබැයි තැනක් නොතැනක් නැතුව සිගරැට් බීපු දුං කාරයෝ නං දැං අඩුයි.. අරක්කු කාරයෝ, රා කාරයෝ, බියර් කාරයෝ වගේ නෙවෙයි කසිප්පු කාරයෝ.. එයාලා හරිම වලි කාරයෝ.. කොහොම වුණත් හැමදාම ගොඩයන ජාතිය තමයි ඉතිං තැබෑරුම් කාරයෝ.. 


තැපැල් කාරයා දැං ඉස්සර වගේ ෆුට් සයිකලේ පාගගෙන මත් නෙවෙයි එන්නේ.. මෝට සයිකලෙත් එනවා.
මාළු කාරයා.. ස්වීප් කාරයා.. එන්නෙත් මෝට සයිකලෙන්.. පාං කාරයා වෙනුවට දැං එන්නේ චූං පාං එක හෙවත් පාං පිරවූ ලොරි කොටයක්.. කිරි කාරයා, පත්තර කාරයා වුණත් වැඩිය දකින්ට නෑ..  කීණ කාරයා තාමත් ඉඳ හිට එනවා.. දැං දැං ආයෙත් බෝතල් පත්තර කාරයෝ නම් සෑහෙන්න ඉන්නවා.. 


බෝඩිං කාරයෝ
විදිහට ගත්තු අත්දැකීම් ජීවිතයට අපූරු ශක්තියක් වුණා.. ඒ වුණත් දැං බෝඩිං වල අයිති කාරයෝ සෑහෙන නීති කාරයෝ වෙලා...

බ්ලොග් ලියන්න ගත්තු එකෙන්ම කලා කාරයෙක් වගේම එක්තරා විදිහක මාධ්‍ය කාරයෙකුත් වුණු මට මේ වෙනකොට අංකුර කවි කාරයෙකුත් වෙන්න පුළුවං වෙලා තියෙන එක ගැන හැබෑවටම සංතෝෂයි..

මෙතනදී මට මතක් කරන්න බැරි වුණු "කාරයෙක්" එහෙම ඉන්නවා නම් තරහාකාරයෙක් බවට එහෙම පත් වෙන්න එපා හොඳේ.. 

ප.ලි..
මෙහිදී කිසිවෙකුට අවමන් කිරීමේ අභිප්‍රායයක්  කිසිසේත්ම නොතිබූ බව සලකන්න...මේ වචනය යොදා ගැනීම ඇතැම් විට සුදුසු නැති බැවු මතක් කිරීම පිණිස මෙම නිර්මාණය කළෙමි..

Friday, March 9, 2012

විනෝදයට/ ඔලුව සැහැල්ලු කරන පුංචි ගේම් එකක්..

මේ දවස් වල දරුණුම කාල හිඟයකට මූණ පාලා ඉන්න හිංදා මට ටික දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුණා.. ඔය අතරෙ තමයි මං මීට කාලෙකට කලිං හදපු පුංචි ගේම් එකක්, ඒ කියන්නේ පුංචි Software Application එකක් මතකෙට ආවේ. මේක නිර්මාණය කරන්න යොදා ගත් පරිගණක බස  Visual Basic 6.  මේක බොහෝමයක් Windows  මෙහෙයුම් පද්ධතික් එක්ක වැඩ කරනවා මයෙ හිතේ.. ඒ කාලෙ අධ්‍යාපනික කටයුත්තකට තමයි මේක හැදුවේ..

දැං තියෙන ගේම් එක්ක බැලුවාම මේක බොහොම සිම්පල් ගේම් එකක් තමයි.. හැබැයි මේක දෙතුන් වතාවක් සෙල්ලම් කරද්දී ආතතිය නං ටිකක් අඩුවෙන බව මට දැනිලා තියෙනවා.. මොකද මේක ඉර්ෂ්‍යාව ක්‍රෝධය වර්ධනය කරන ගේම් එකක් නෙවෙයිනේ..







සෙල්ලම් කරන්ටත් හරි ලේසියි..

1. මුලින්ම මතු වෙන මුහුණතට සෙල්ලං කරන කෙනාගේ නම දීලා OK කරන්ට
2. කෙලින්ම අලුත් තරඟයකට තමයි පිවිසෙන්නේ.. තරඟය තියෙන්නේ පරිගණකයයි.. අදාල තරඟ කරුවායි අතර..
3. එක කොටුවකට කොටපු ගමං ඒ කොටුව විතරක් නෙවෙයි වටේ තියෙන හිස් නොවන කොටුත් තමන්ගේ සලකුණ ට හැරෙනවා..
4. අන්තිමේ වැඩි ලකුණු ගන්න කෙනා තමයි දිනන්නේ..


කරලා බලලා ම ගුණ අඟුන කියන්ටකෝ එහෙනං..

මෙතැනින් බා ගන්න.. මේක බොහොම පුංචි ෆයිල් එකක්..