Tuesday, March 13, 2012

කාරයෝ...

පුංචි කාලෙ මං හොඳ ගණං කාරයෙක් ලු. ඒ මට හොඳට ගණං පුළුවං හින්දා වගේම එක එක කොලු කුරුට්ටන් එක්ක ගුටි ඇන ගත් හින්දා වෙන්ටැ. ඒ හින්දම මාව මගේ මුල් කාලෙ ගුරු මෑණිවරුන්ට වගේම මගේ දෙමවුපියන්ටත් කරදරකාරයෙක් විදිහට පෙණුනද දන්නෙ නෑ.. ඕවා ඉතිං පොඩි කාලෙ කරන දඟකාර වැඩනේ.. මට ඒ කාලේ ඉරිසියා කාරයෝත් හිටියා නොවැ.. ඒත් පස්සෙං පහු කොළඹ ඇවිත් පංතියේ පිටි පස්සට යද්දී අපේ සමහර ගුරුවරු හිතුවේ මං රස්තියාදු කාරයෙක් කියලා..


ඔය කොයි කවුරුත් හිතපු නැති විදිහට මං කොම්පියුටර් කාරයෙක් වුණා... ඔය අතරේ මගේ දෙමවුපියන්ගේ කැමැත්තක් තිබුණා මාව කළමණාකාරයෙක් විදිහට මොකක් හරි හොඳ ආයතනයකට රිංගවන්ට.. අඩු තරමෙ ලිපිකාරයෙක් වත් වුණා නම් කියලා එයාලා දුක් වෙවී උන්නු කාලෙකුත් තිබුණා..  ඒත් එයාලගෙ හිතට පුංචි සතුටක් දෙමින් ටික කාලයක් මං සෑර් කාරයෙක් විදිහට පිරිවෙණක වැඩ කළා.. ඒත් ඒක මගේ හිතට හරි ගිය වැඩක් නෙවෙයි..


අපි ඉගෙන ගත්තු විෂයයන් අතර තිබුණු Introduction to Digital Technology කියන විෂයයේ ටිකක් දක්ෂයෙක් වෙලා හිටපු හින්දා සමහර යාළුවෝ මට Digital කාරයා කියලත් කිවුවා.. ඒ වගේම එක යාළුවෙක් මට Flow Chart කාරයා කියලා කිවුවේ.. එක ව්ෂයයක් වෙනුවෙන් ඉගෙන ගනිද්දී කීප දෙනෙක්ට  Flow Chart එකක් ඇඳගන්ට උදවු වෙනවා දැකලා.. ඔය අතර වාරයේ මං VB කාරයෙක් වෙලා වෘත්තීය Software Programming වලට බැස්සා..  අන්තිමට ඒ ගමන මේ වෙනකොට මං පුංචි Software Company එකක අයිතිකාරයෙක් වෙලයි ඉන්නේ.. ඒ කොම්පැනියේ තවත් හවුල්කාරයෝ දෙන්නෙක්ම ඉන්නවා..


ඔය අතරෙ තමයි මං මගේ ආදරණීය බිරිඳ සචී ගේ උරුමක්කාරයා වුණේ.. ඊට අවුරුදු දෙකකට විතර පස්සේ ලස්සන පුංචි දූ පැටියෙක් උපන්නාම සචී කිවුවේ පුංචි දුව අපේ ගැලැවුම්කාරයා කියලයි.. දරුවෙක් නොලැබෙන්ට තරම් මං කරුමක්කාරයෙක් නොවෙන බව නං මං සක් සුදක් සේ පැහැදිලිව දැනගෙන හිටියා.. ඊටත් අවුරුදු දෙකකට විතර පස්සේ පුංචි පුතණ්ඩියෙක් උපන්නහම අපේ වංසක්කාර කම ඉදිරියට ගෙනියන්ට උරුමක්කාරයෙක් උපන්නා කියලා අපේ අප්පච්චි බොහොම සතුටු වුණා..  මට හිතුවක්කාරයා කියලා නිතර දෙස් තිබ්බට අප්පච්චිගේ හිතේ මං ගැන තියෙන්ට ඇත්තෙ කොහොම හැඟීමක් ද කියලා මට තේරුණෙත් එදාම තමයි.. කොලු පැටියගේ දඟකාර කම යි කෙල්ලගේ හැඩකාර කමයි කටකාර කමයි අපේ ගෙදරට ගෙනාවෙ පුදුම සිරියාවක්..


මං කසාද බඳින්ට ටික කාලෙකට කලිං බයික් එකක් ගන්නකොට හැමෝම වගේ විරුද්ධ වුණේ බයික් කාරයෝ නිතර ඇක්සිඩන්ට් වෙනවා කියලයි.. ඒත් ඉතිං මට වෑන් කාරයෙක්, කාර් කාරයෙක් වෙන්ට තව කල් තියෙනවා කියලා මං හිත හදාගෙන බයික් එක ගත්තා..


පාරට බැස්සාම මට එපාම වෙන්නේ ත්‍රීවීල් කාරයොයි, බස් කාරයොයි හින්දා.. ඇයි කන්ටේනර් කාරයෝ.. යන්නෙ පාර පුරාම.. ඉස්සර කරන්නත් බෑ පොලිස් කාරයෝ ඉඳියිද කියලා.. බයයි නොවැ.. ඉස්සර යුද්දෙ කාලෙ ආමි කාරයෝ අපිව චෙක් කළා නේ.. ඇත්තටම පොලිස් කාරයොත් එක්ක බැලුවාම ආමි කාරයෝ රත්තරං කියලා මට හිතුණු වාර අනන්තයි.. අද කාලෙ බස් වල යද්දී පරෙස්සම් වෙන්න ඕනි.. පොකැට් කාරයෝ ඉන්නවා.. ගෑණු කට්ටියට නං තව ප්‍රශ්නයක්.. ඇයි ජැක් කාරයෝ..?


ඒත් ස්වාධීනව හිතලා බැලුවාම.. පොලිස් කාරයොත් මාර කට්ටක් නේ කන්නේ.. ඒ හින්දා එයාලට අපිත් එක්ක කේන්ති යනවා වැඩි ඇති මයෙ හිතේ.. අනික ඉතිං පොලිස් කාරයින්ගේ උඩ ඉඳං පල්ලෙහාටම විනය පිරිහිලා කියල නොවැ කියන්නේ.. එයාලා ජාවාරම්කාරයින්ට සෑහෙන්න උදවු දෙනවාලු නොවැ.. 


පහුගිය දවස් වල ඉන්ධන ගනං ගිහාම තමයි කෙළිය වුණේ.. මාළු කාරයෝ ටික බැස්සනෙ එළියට.. පස්සෙ ආණ්ඩුව නම් කිවුවේ ජේවීපී කාරයො ටික තමයි මේ වැඩේ කළේ කියලා.. ඉස්සර තිබ්බ ආණ්ඩුවකින් විජය කුමාරණතුංග කියන නළු දේශපාලනඥ්ඥයාව නැක්සලයිට් කාරයෙක් කළා ලු නේ.. කොහොම වුණත් ඉතිං පැහැදිලිවම කියන්ට ඕන.. නුවණක්කාරයෙක් දැං නං දේශපාලනේට එන්නේ නෑ කියන එක. 


සමහරුන්ට පවු කාරයා කියලා ඇඟිල්ල දික්කලාට තමන් කොයි තරං පවුකාරයෙක්ද  කියලත් හැමෝම හොයලා බලන්ට වටිනවා.. වැරදිකාරයෝ වගේම නිවැරදිකාරයොත් ඉන්නේ මිනිස්සු අතර නොවැ.. බොරු කාරයෝ නං ඉතිං ටිකක් අමාරු කාරයෝ තමයි.. දිය යටින් ගින්දර ගෙනියන්ට හීං නූල් කාරයෝ දක්ෂයි ලු..


ලංකාවේ හොඳම විහිළු කාරයෝ ටික දියවන්නාව පැත්තට නිතරම එකතු වෙන බව හුඟක් අය කියනවා.. නඩු කාරයා දෙන තීන්දු තීරණ ගැන අපිට කතා කොරන්ට අයිතියක් නැති හින්දා සරත් ෆොන්සේකා මහත්තයා හිර කාරයෙක් කරපු එක ගැන මං මුකුත් කියන්ට යන්නේ නෑ.. පවුල් කාරයෙක් හැටියට වැඩිය ඕවා ගැන කතා කොරන එක භයානකයි නොවැ..


අපි උසස් පෙළ කරපු කාලෙ මට මතකයි අසංග කියලා අපේ යාළුවෙක්ව වාහන කාරයෙක් හප්පගෙන ගිහිං,  එයාලගේ ගෙදර ගියා.. එදා කැලණි ගඟෙං එගොඩ වෙන්ට අපට උදවු කළේ පාරු කාරයෝ.. සහ ඔරු කාරයෝ....


ඒ කාලෙ වගේ නෙවෙයි දැං ගංජා කාරයෝ, කුඩු කාරයෝ වැහි වැහැලා.. හැබැයි තැනක් නොතැනක් නැතුව සිගරැට් බීපු දුං කාරයෝ නං දැං අඩුයි.. අරක්කු කාරයෝ, රා කාරයෝ, බියර් කාරයෝ වගේ නෙවෙයි කසිප්පු කාරයෝ.. එයාලා හරිම වලි කාරයෝ.. කොහොම වුණත් හැමදාම ගොඩයන ජාතිය තමයි ඉතිං තැබෑරුම් කාරයෝ.. 


තැපැල් කාරයා දැං ඉස්සර වගේ ෆුට් සයිකලේ පාගගෙන මත් නෙවෙයි එන්නේ.. මෝට සයිකලෙත් එනවා.
මාළු කාරයා.. ස්වීප් කාරයා.. එන්නෙත් මෝට සයිකලෙන්.. පාං කාරයා වෙනුවට දැං එන්නේ චූං පාං එක හෙවත් පාං පිරවූ ලොරි කොටයක්.. කිරි කාරයා, පත්තර කාරයා වුණත් වැඩිය දකින්ට නෑ..  කීණ කාරයා තාමත් ඉඳ හිට එනවා.. දැං දැං ආයෙත් බෝතල් පත්තර කාරයෝ නම් සෑහෙන්න ඉන්නවා.. 


බෝඩිං කාරයෝ
විදිහට ගත්තු අත්දැකීම් ජීවිතයට අපූරු ශක්තියක් වුණා.. ඒ වුණත් දැං බෝඩිං වල අයිති කාරයෝ සෑහෙන නීති කාරයෝ වෙලා...

බ්ලොග් ලියන්න ගත්තු එකෙන්ම කලා කාරයෙක් වගේම එක්තරා විදිහක මාධ්‍ය කාරයෙකුත් වුණු මට මේ වෙනකොට අංකුර කවි කාරයෙකුත් වෙන්න පුළුවං වෙලා තියෙන එක ගැන හැබෑවටම සංතෝෂයි..

මෙතනදී මට මතක් කරන්න බැරි වුණු "කාරයෙක්" එහෙම ඉන්නවා නම් තරහාකාරයෙක් බවට එහෙම පත් වෙන්න එපා හොඳේ.. 

ප.ලි..
මෙහිදී කිසිවෙකුට අවමන් කිරීමේ අභිප්‍රායයක්  කිසිසේත්ම නොතිබූ බව සලකන්න...මේ වචනය යොදා ගැනීම ඇතැම් විට සුදුසු නැති බැවු මතක් කිරීම පිණිස මෙම නිර්මාණය කළෙමි..

12 comments:

  1. මේ මාස දෙකේදි කාරයෝ ගැන ලියල තිබුනු දෙවෙනි බ්ලොග් කාරයා ඔබ වෙන්න ඇති.අර යතාර්ථවාදියා ලියන නිහාල් කාරයාත් එයාගෙ වයිෆ්කාරයට සනීප මදි කියල පටන් අරන් ඔය කාරයා ගැන ලියලා තිබුන මතකයි. . .
    ඔය බොරුකාරයෝ ඊරිසියාකාරයෝ මොනව කිව්වත් උබ හොද කතාකාරයෙක් වගෙයි . . .

    ජය

    ReplyDelete
  2. හපොයි ඒකත් එහෙමද? මං ඒක දැක්කෙ නෑ.. බලන්ට ඕන.. බොහොම ස්තුතියි තොරතුරට සහ අදහසට සහෝධරයා..!

    ReplyDelete
  3. නියම බ්ලොග්කාරයෙක්ගේ ක්‍රියේටිව් අයිඩියා එකක් .....
    එල .....

    ප/ලි,
    බ්ලොගර් කමෙන්ට් බොක්ස් එකට ආපු එක නං ලොකු දෙයක් ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. කල්හාර මලයා.. හික්.. හික්.. බොහෝ දෙනාගේ ඉල්ලීම අහක දාන්ට පුළුවනෑ..

      Delete
  4. මාමත් ලඟදි බ්ලොග් කාරයෙක් වුනා සෑහෙන්න නිර්මාණාත්මකව ලියපු මේ ලිපිය නිසා වැඩකාරයෙක් කියලා තේරෙනවා.....නියමයි ආ

    ReplyDelete
    Replies
    1. ගැමියාටත් ස්තුතියි.. ලඟදී කිවුවට ඔය අපූරුවට ලියන්නේ..

      Delete
  5. පළමුව, අරකී අයිතිකරයා වීම ගැන හදපිරි සුබ පැතුම් වගේම පියවරෙන් පියවර ඉදිරියට යන්න උවමනා හැම ශක්තිය හා දහිරිය වැඩි වැඩියෙන් ලැබෙන්න පතනවා.

    මේ පොස්ටුව ගොඩාක් රසවින්ඳා, එය ලියන්න පුලුවන් නිර්මාණාත්මක බ්ලොග්කාරයෙකුට විතරයි. ජය!

    ReplyDelete
    Replies
    1. ඔවු අයියෙ.. දැං එහෙම වෙලත් අවුරුදු 2කට කිට්ටුයි.. හැමදාම මට දෙන දිරියට ගොඩාක් ස්තුතියි..

      Delete
  6. මගෙ එකට වඩා මෙතන කෙළි කාරයෝ වැඩි. ඔබට ජය. මාව හඳුන්වා දුන් සහෝධරයට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. හික්.. හික්.. ඒ වගේම ඔයාගේ එකේ "කාරයා" කියන්නේ මොකක්ද කියලා හොඳ විස්තරයක් අඩංගුයි.. ගහට ගහක් මොරටුවෙදි හම්බ වෙනවා ලු නේ...

      Delete
  7. welawata paththara karayek noune aiye. Ehenam kerum karayange paathala karayo sudu ven karayek ekka aweth ussai. Borukakul karayo wage udin yanna hadanne nethe me blog karaya gena adambarai. Mewa balana api pin karayo neh. Mokada oya pampori karayek nemeine.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලී.. ලස්සන අදහස් ටිකට.. සිංහලෙන් ම ලියලා දැම්මා නම් තවත් අපූරුයි..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..