Friday, March 30, 2012

රුපියල පා කිරීම හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම..!




පසුගිය මාසයේ රුපියල පාවෙන්නට ගත්තේය.. ඒ හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව.. විශේෂයෙන් විදේශ ගනුදෙනු කරන්නන්ට හිතන්නට අවස්ථාවක් දී ඇත.. වාහනයක් පිට රටින් ගෙන්වුවහොත් ඉල්ලුම් කරන මිලට වඩා 20% පමණ වැඩි මිලක් ගෙන්වන අවස්ථාව වන විට පවතී.. මෙය පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමට මහා පරිමාණ කාර් ගෙන්වන්නා සමතෙකි.. එහෙත් සුළු පරිමාණ කාර් ගෙන්වන්නෙක් වෙතොත් ඔහුට බොහෝ විට දෙයියන්ගේ පිහිටය.. ඔහු පාරිභෝගිකයාට පොරොන්දු වී ඇත් මුදලට දුන්නොත් අමාරුවේය.. මෙය කාර් වලට විතරක් නොව අනෙක් ආනයනික භාණ්ඩ වලටත් පොදුය.
ජේ. ආර්. උන්නැහේ කොරපු වැඩෙන් පස්සේ ඕනෑ එකයි එපා එකයි හැම එකම පිට රටින් ගෙන්වන්නට පුරුදු වෙච්ච එකට පාඩමක් උගන්නන්න මේ හොඳ අවස්ථාවකි.. විශේෂයෙන් විදේශ ගණුදෙනු වල අතරමැදි වැඩ කර ගතමන්ට් එක සරි කරගන්නා අය ට බඩු පැකට් වී ඇත..
මගේ මිතුරන් කීප දෙනෙකු ම පිට රටින් එක්තරා මෘදුකාංගයක් ගෙන්වා ලංකාවේ බෙදා හරින ව්‍යාපාර කරගෙන යති.. මුලින් නොමිලේ සංස්කාරකයක් (Trial) දමා පසුව පාරිභෝගිකයා එම මෘදුකාංගයට කැමති නම් හා සම්පූර්ණ ගෙවීම කළ පසු අදාල පැකේජය පිටරටින් ගෙන්වා බෙදා හැරීම සිදු කරයි.. ඔවුන්ට දැන් සැප කණේය.. ලංකාවේ ආර්ථිකය ගැන හිතා ලංකාවේ හදන මෘදුකාංග විකුණන්න ඕනෑ කියන්නේ ඒකය..
මේ මඟුල හරි යන්නෑ කියා උන් කොම්පැණි වසා දමා දේශීය ආර්ථිකයට උර දීම උදෙසා වෙලට බහින දිනය වැඩි ඈතක නොවේය කියා මට නිකමට හිතේ..
අනෙක් අතට අපි ඕනෑවට වඩා කන ජාතියකි.. ඔය කෑම අඩු කරලා කනවා නම් ලෙඩත් අඩුය.. 7500/= වැඩේ කොරන්නත් ඇහැක..

අපේ දුව මොන්ටිසෝරි යයි.. ඇය ගේ පංති ගාස්තු 1500 කි.. වෑන් රථයට 1900 කි.. ගෙදරට වෙලා ඉන්න කිවුවා නම් මේ 3400/= බේරා ගත හැක.. කිරි පිටි පානය ශරීරයට අහිතකර බවට ආරංචියක් ලැබී ඇත.. එහෙම වුණොත් බබාලගේ කිරි පිටි වලට යන (335‍*6) 2010/= ක මුදල ද ඉතුරු ය.. මට ඔෆිස් එන්ට මාසෙකට අඩුගානේ බස් එකට 1500/= බයික් එකට 1500/= යයි.. ඔෆිස් නෑවිත් අහල පහල අයගේ කුඹුරු වැඩට උදවු වුණා නම් ඒ 3000/= ත් ඉතුරුය.. බිරිඳ ගේ ඉස්ටාප් බසයට 1400/= කුත් ඉස්ටාප් බසය දක්වා යාමට 700/= විතරත් ඕනෑය.. ඊට අමතරව එක එක ජාතියේ ලිස්ට් වලට දීමට 2000/= ක් විතර ඕනෑය.. ගෙදර හිටියොත් ඒ 4000/= ත් ඉතුරුය.. අපේ ගෙවත්ත හොඳට ඉඩ තියෙන හින්දා පැත්තක වී ටිකකුත්, අනික් ඉඩ වල දැනට තියෙන මිරිස්, බටු ආදියට අමතරව තව එලවළු කීපයක් වගා කර ගත යුතුය.. දවසට ඇපල් ගෙඩියක් කෑම ශරීර සෞඛ්‍යයට හොඳයි කියලා තියෙන්නේ සුද්දෙක් හින්දා එය අපට අදාල නැත.. පොඩි එවුන්ට කන්න කෙහෙල් කැනක් මාස දෙක තුනකට සැරයක් අපේ වත්තේ වැටේ.. ඒවා ෆ්‍රිජ් එකේ දාගෙන පරිස්සමට කෑල්ල බැගින් ඔවුන්ට දිය යුතුය.. ටී.වී. වල යන්නේ වැඩකට නැති ටෙලි නිසා පියෝ ටී.වී එක ආපහු දෙනු ලැබේ.. බිරිඳ ගෙදර නිසා වොෂිං මැෂින් එක නිතර දාන්නට අවැසි නැත.. ලැයිට් බිල අඩු කර ගත හැක. ADSL හින්දා අපේ ටැලිපෝන් බිලත් ටිකක් වැඩි වී ඇත.. ගෙදට්ට වෙලා වෙල් කොටද්දී මොන ADSL ද? ඒකත් ඉතුරුය. කාට හරි ලෙඩ උනොත් පයිංම ඉස්පිරිතාලෙට ගිහිං දෙන බේතක් අරගෙන ලියලා දෙන බෙහෙත් තුණ්ඩුව (අත පිහින්න වගේ) වෙනත් වැඩකට පාවිච්චි කළ හැක. ඔය විදිහට ගෙදරට ම වෙලා ඉන්නවා නම් අලුතින් ඇඳුම් කැඩුම් ගන්නත් ඕන නැත.. මේ විදිහට කර ගත්තොත් 7500/= න් යාන්තම් ෂේප් විය හැක.. හැබැයි අපි ඉන්නේ ගෙදර නිසා කවුරු හරි අපට 7500/= ක් දෙන්න ඕනෑය.. මට නම් ඒකත් ඒ හැටි දෙයක් නෙවෙයි කියලා හිතෙන්නේ අපේ යාළුවෝ වැඩි හරියක් ඉන්නේ පිට රට නිසාය..

එයාලට 7500/= කජ්ජක්ද..?
දේශීය ආර්ථිකේ ශක්තිමත් වෙන යාන්ත්‍රණය දැන් පැහැදිලියි නේද..?
කොහොමද ටිකිරි මොලේ..?


6 comments:

  1. O'kage ammata..............

    ReplyDelete
    Replies
    1. ආ.. හා.. අම්මට එහෙම මුකුත් කියනවා නෙවෙයි.. ?

      Delete
  2. එහෙම තමයි .. අපි( සිංහල-බෞද්ධ)™ සම්ප්‍රදාය අනුව ජීවත් වෙනවා නම් 7500ත් වැඩියි !

    ReplyDelete
    Replies
    1. වැඩියි.. වැඩියි..! ඒ කියන්නේ රෑ කෑම වේලත් ඉතුරු කර ගත්තෑකි.. කරෝල, මස්, මාලු, බිත්තර කන එක නැවැත්තුවහැකි.. ගෙදරටම වෙලා ඉන්නවා නම්.. උදේටත් තේ කහට ඩිංගක් බීලා දවල්ට ඔය මොන්වා හරි තම්බගෙන කන්ට බැරුවයෑ..

      Delete
  3. 7500/=කින් මාසයක් ජීවත්වෙන්න පුළුවන් කියන එක තාර්කිකයි.
    හැබැයි
    "සත්‍යය හැම විටම තර්කානුකූල වුවද,තර්කය හැම විටම සත්‍යය නොවේ" කියලා එංගල්ස් කියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එංගල්ස් කියන්නේ සුද්දෙක් නේද..? ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.. ආයේ හෝදන්න දෙයක් නෑ..

      තර්කයට අහු වුණු පමණින් පිළිගන්ට එපාය කියලා බුද්ධ දේශනා වලත් තියෙනවා.. අනේ මන්දා ඉතිං.. ඉන්දියාවත් දැං සුද්දන්ට සපෝට් නොවැ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..