Tuesday, April 24, 2012

කේ. ලීලාවතී මෑණියන්ට පිං පිණිස.....

ලබාපු අලුත් අවුරුද්දේ අලුත් වෙනසක්  කොරන්ට කියලා හිතාන ඔන්න මං හද පතුල ජනසතු කොරන්ට උත්සාහ කොළා.. අනේ වැඩේ හබක්..! හදපතුල බලන ඈයෝ කීප දෙනෙක් මේකට විරුද්ධ වුණා නෙව.. දැං ඉතිං මක් කොරන්ටද? මාත් ඉතිං අර ඉල්ලා අස්වීම අස්කරගත්තු ඇමැත්තෙක් වගේ ලැජ්ජාවෙන් මගේ උස්සහයත් අකුලගත්තා.. අපේ උන්දැලා ඔහොම ම නේ.. බෙදනවට කැමතිම නෑ... හෙහ්..!

බින්දි කිවුවා වගේ අනන්‍යතාවය කියන එකේ නං මහා ලොකු වටිනා කමක් තියෙනවයි කියලා මටත් හිතෙනවා... මටත් එහෙම අනන්‍යතාවයක් තියෙනවයි කියලා මට විශ්වාසයක් ඇති වුණේ බින්දිගේ කතාවෙන්.. එහෙම එකක් තියෙනවා නං මොකටද ආයෙ ඇඹරෙන්නේ...... තිබුණටත් වැඩිය ගැම්මකිං මේ කෙරුවාව කරන්ට ඕනි කියලා හිතුනා ... ඇත්තමයි.. !

 =========================================================================


"කේ. ලීලාවතී මෑණියන්ට පිං පිණිස මෙම අසුනේ පූජ්‍ය පක්ෂයට නොමිලේ ගමන් කළ හැක"


මං අද ආපු බස් එකේ පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙන් කරපු අසුන ලඟ ගහලා තිබුණේ මේ වගේ අරුතක් තියෙන වාක්‍යයක්.. මං දන්නේ නෑ කොහොමද මෙහෙම පූජ්‍ය පක්ෂයේ අයට නොමිලේ යන්න දෙන්න අයිතිකාර මහත්මයා එකඟ කර ගත්තේ කියලා.. කොහොම වුණත් අගේ ඇති වැඩක් කියලා මට හිතුනා.. ඒ මැණියන්ට පිං ලැබුණත්, නොලැබුණත්.. ඒ කර්තව්‍යයට දායක වුණු අයට නං නිසැකවම පිං අයිති වෙයි.. මොන ආගමක වුණත් පිදිය යුතු අයට නොවැ පූජ්‍ය පක්ෂය කියලා කියන්නේ... ඉතිං එහෙම අයට සාමාන්‍ය අයට වගේ බස් රථ වල යන්න මුදල් අය කළ යුතු නෑ කියලයි මං නං හිතන්නේ.. මොකද ඒ අය තමන්ගේ ජීවිත අනුන් වෙනුවෙන් කැප කරලයි බොහෝ විට ගිහි ගෙයින් නික්මිලා මේ සේවය කරන්නේ.. (දුස්සීල අය මෙයට අයිති නෑ හොඳේ..)


කොහොම වෙතත් පූජ්‍ය පක්ෂයත්, වයසක ඇත්තොත් බස් රථ වල ගමනක් යන්න ගිහාම ලබන සැලකිල්ල මදි කියලා මං දැකලා තියෙනවා.. මේ ගැනත් අවධානය යොමු කරන්න පිං කරන ඇත්තන්ට සිත් පහල වේවා...!

5 comments:

  1. අම්මේ ඔන්න හද පතුල ජනසතු කරණයෙන් වලකා ගැනීම ගැන මටත් පොඩි ලකුණක් වැටිලානේ. ජනසතු කලහම වෙන්නේ අර කැඳ හැලියට වුනදේම තමයි .

    පෝස්ට් එක ..මමත් එකඟයි . පුජ්‍ය පක්ෂයටත් වයස අයටත් නොමිලේ යන්න දෙනවා නම් කොයිතරම් හොඳද . ලොකු පාඩුවක් වෙන එකක් නැහැ බස් වලට

    ReplyDelete
    Replies
    1. කැඳ හැලිය ගැන..
      ඒක හරි... බොහෝ තැන් වල එහෙම වෙලා තියෙනවා.. සුක්කානම අතේ තියෙන අයගේ අතේ තමයි වැඩේ තියෙන්නේ..

      පෝස්ටුව ගැන..
      ඒත් අද තියෙන බලු පොරයත් එක්ක ඒ වගේ ගුණ දම් බලාපොරොත්තු වෙන්න අමාරුයි.. කලාතුරකින් දැක්කොත් සතුටු වෙනවා ඇරෙන්ට..!

      Delete
  2. කොච්චර නිර්මානසීලී සංකල්පයක්ද?

    හාමුදුරුවරු පොලීසියේ මහත්තුරු මගතොට බස් නැවතුම්පලවල රස්තියාදු වෙනකොට ඒකාලේ මට තිබ්බ වාහනේ දාගෙන යන එක පුරුද්දක් මගේ..

    දවසක් තරුණ හාමුදුරු නමක් ඔය විදිහට කරගම්පිටියේ බස් නැවතුම ලඟ එකල මෙකල වේවී ඉන්නව හැන්දෑවේ පහමාරට විතර - අහම්බෙන් ඇස් කොණෙන් දැකල වාහෙනේ නවත්තල උන්නාන්සේව නග්ග ගත්ත වාහනේට - හාමුදුරුවෝ තමන්ට ඉගෙන ගන්න උපකාර කරන තමන්ගේ මිත්තණිය බලන්න යනව - මට සතුටු හිතුන එතුමගේ කල්පනාව ගැන - මම ඒ ගෙදෙට්ටම ගෙහුන් ඇරළුව - මම මේ රස්සාවට රටෙන් පිටවෙන දවසේ දුරු කතර ගෙවන් ඇවිදින් මට සෙත් පතල පිරිත් ඩිංගක් කියල පිරිත් නූලක් ගැට ගැහුව -


    ධර්මායතනයේ දහම් පාසලේ ගැයෙන කවියක් - පැලෑනේ සිරි වජිරඤාණ ලොකු හාමුදුරුවන්ගේ කවියක් වියයුතුයි

    "කයිනුත් සුවැත්තෝ
    කිසිත් උවදුරු නැත්තෝ
    වෙත්වා සියලු සත්හුම
    සුවපත් වූ සිතැත්තෝ.."

    කේ ලීලාවතී මෑණියන්ට නිවන් සුව පතමි

    ReplyDelete
    Replies
    1. පොලීසියේ උන්නැහැලා විඳින දුක දැක්කම පවු කියලා හිතෙනවා... ඒ වුණාට උංගෙ ජරා ගති මතක් වුණාම උදවු කරන්න මට නං හිතෙන්නේ නෑ..!

      අයියා කිවුවා හරි.. ඒක බොහොම නිර්මාණශීලී අදහසක්.. මීට ඉස්සෙල්ලා මං එහෙම දෙයක් දැකලා තිබුණේ නෑ.. ඒ මෑණියන් නිවන් අවබෝධය ලැබීම කෙසේ වෙතත් බොහෝ දුරට දෙවු මිනිස් සැප වළඳනවා ඇති....!

      Delete
  3. ස්වාමීන් වහන්සේ නමක් දුටු විට තිරිංග නොපෑහෙන,පෑගුනත් කොන්දොස්තර කොලුවාගේ ගර්ජනයට අසුවන, නිරතුරු දසමරුන් හා පෑහෙන, නිර්දන පංතියේ පිං මද හිමිවරු වෙනුවෙන් ළතෙත් වු ලීලාවතී දරුවනේ..... මෙවන් පුලුල් දැක්මක් ඔබට හිමි කළ ඒ අම්මාට තවත් පිං කුමට...

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..