Thursday, May 3, 2012

මං දැං ම මැරෙයිද...?

මේ ප්‍රශ්නය, ප්‍රශ්නයක් විදිහට නෑවිත් උත්තරයක් විදිහට ආවා මීට අවුරුදු 16කට විතර කලිං.. ලෝකාන්තෙ පැත්තෙ විනෝද චාරිකාවක් යද්දී අපි ගියපු වෑන් එක කන්ද නගිද්දී නැවතිලා ස්ටාර්ට් කර ගන්න බැරුව ආපස්සට වේගෙන් එද්දී මට හිතුණා තව ටිකකින් ජීවිතය අවසන් වෙන්ට යනවැයි කියලා.. මට පිටිපස්සේ උන්නු අයත් ඉස්සරහා දොර ගාවට යන්න නිරර්ථක උත්සාහයක් ගනිද්දී... මං හිතුවේ.. දැනට අවස්ථාවක් නෑ.. ලැබුණොත් බලමු.. කියලා හිතාගෙන ඉස්සරහා සීට් එක හොඳින් අල්ලගෙන "නමෝ තස්ස..." ආදී වශයෙන් වූ ගාථා කියලා හිත ඊලඟ භවයට සූදානම් කර ගැනීමයි.. බුද්ධ ධර්මය ගැන ඉතාම අල්ප දැනුමක් සහ උනන්දුවක් තිබූ ඒ යුගයේ දී මගේ හිතට ඒ අදහස ආවේ කොහොමද කියලා මට තාම හිතා ගන්ට බෑ.. ඒත් පාරේ කොණක තිබුණු ගලක වැදිලා වාහනේ නවතින වෙලාව වෙනකොට අපිත් එක්ක ගිය අපේ යාළුවො බය වෙලා හිටිය හැටි මතක් වෙනකොට නං හිනාත් යනවා..

කකුල බිම ගහන්න බැරි තැන් වල පීනීමේ අපහසුවක් තියෙන මං ගිලෙන්න ගිය අවස්ථා කීපයක් තිබුණත් තව ටිකකිං මැරෙයි කියලා නං හිතුණු බවක් මතක නෑ..

පිරිබාහරන් ගොයියා ඇස්ටි හැලෙන්ට කොළඹ හා ඒ අවට බස් වල බෝම්බ තියන්ට හිටපු කාලෙ තමයි ප්‍රථම වතාවට මැරෙන්න බයක් දැනුණේ.. ඒ කාලෙ කොයි තරම් ගැස්මක් තිබුණද කිවුවොත් හුටු හුටුවෙන් යද්දී පුළුවන් තරං පාවිච්චි කළේ කැලෑ පාරවල්. බස් ලඟින් යන්නේ නෑ.. පුළුවන් තරං ඈතිං වේගෙන් ඉස්සර කරගෙන තමයි යන්නේ.. (ඒ කාලකන්නි යුද්ධය සාර්ථකව නිමකරන්ට දායක වුණු හැමෝටම පිං). මේ බය තිවුනෙ නිකංම නෙවෙයි.. මං වග කිව යුතු පවුලක් මට හිටපු හින්දයි.. එයාලගේ අනාගතය වෙනුවෙන් සැළකිය යුතු යමක් ඒ වෙනකොට මට කරන්ට බැරි වෙලා තිබුණු හින්දයි (තාමත් එහෙම්මමයි..)  බෝම්බයෙන් අනතුරක් වුණොත් කියලා දාන්ට ගිය රක්ෂණේ නොදැම්මේ, බෝම්බයකින් මැරෙන එක ස්වභාවික මරණයක් විදිහට එයාලා වර්ග කරලා තියෙන බව දැන ගත්තු හින්දයි..


ඒත් දැං මට ආයෙමත් මං මැරෙයි ද? කියලා හිතෙනවා... ඔයාලා හිතන්නේ කොහොමද?
ඇත්තටම මං මැරෙයිද? එහෙම වුණොත්, මගෙ දෙමවුපියො වෙනුවෙන්, මගෙ බිරිඳ වෙනුවෙන්, මගෙ දරුවො වෙනුවෙන්.. මං මොනවද කොරලා තියෙන්නේ..? මේවට දෙන්න උත්තර මගෙ ගාව නෑ.. මං දන්නවා.. ඔයාලා ගාවත් නෑ..


ප.ලි
මේ ලියලා තියෙන්නේ ඇත්තමයි කියලා හිතන්න එපා.. ඒත් ඒක එහෙම නෙවෙයිම කියලත් හිතන්න එපා..!

17 comments:

  1. මටත් වේලාවකට ඔහොම හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙනං කාටත් හිතෙන දෙයක් වෙන්ටැ..

      Delete
  2. ''බෝම්බයකින් මැරෙන එක ස්වභාවික මරණයක් විදිහට එයාලා වර්ග කරලා තියෙන බව දැන ගත්තු හින්දයි.. ''
    අනේද කියන්නේ . ඔය ඉන්ෂුවරන්ස් නම් මතක් කරන්න එපා

    ReplyDelete
    Replies
    1. කියලා මොටෝ.. හැබැයි.. මං පහු කාලෙක රක්ෂණයක් දා ගත්තා.. ජනශක්ති එකේ.. ඉදිරියේදී ඇතිවෙන්ට පුළුවං රෝගාබාධ ගැන හිතලා.. එයාලගේ සර්විස් එක දැනට නං වරදක් නෑ.. මං ගිය අවුරුද්දේ දාපු ක්ලේම් එක සතයක්වත් අඩු නැතුව ගෙවුවා..

      Delete
  3. මරණය ස්වාභාවික දෙයක් කියල තේරුම්ගත්තොත් බයවෙන්න දෙයක් නෑ. බෝම්බ පත්තුවෙන කාලෙ මාත් කොළඹ හිටියෙ ඒත් මට හිතෙන්නෙම මම යන බස්එකට අවුලක් වෙන එකක් නෑ කියලමයි. ඒ නිසා මරණය ගැන එච්චර දැනුනෙ නෑ.

    සංසාරආරන්‍ය අසබඩ කියන පොතේ පසුවදන ලියන සයිමන් නවගත්තේගම කියනව මෙන්න මේවගේ කතාවක්(අදහස විතරයි මතක,වචන නෙවේ).
    "මගේ තාත්ත ගොඩක් කලකට ඉස්සෙල්ල මියගියා. හැබැයි වෙනත් විදියකට කිව්වොත් දීර්ඝ සංසාර චාරිකාවක යෙදෙන අතරෙදි ටික වෙලාවකට පෙර මියගියා. ඉපදීම් මියයෑම් වලින් පිරුණු විශාල කාල පරාසයක් තුල එක් අවස්ථාවක් ගෙවාදැම්ම"

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මරණය ස්වභාවිකයි.. ඒත් පටලවා ගත්තු යුතුකම් හා වගකීම් වලින් මිදිලා, අනික් අයව අමාරුවේ දාලා මැරෙන්න බෑ.. ඇත්තමයි මගෙ අතේ මගේ සමීපතමයන් බලාපොරොත්තු වෙන ලෝකයට යන්න පාර පෙන්නන්න තරං වත්කමක් තිබුණා නං මං මැරෙන්න පොඩ්ඩක් වත් බය නෑ..

      ඇත්තෙන්ම ඒ කාලෙ තිබුණෙ මරණ බයටත් වඩා නිරන්තරයෙන් වද දෙන "මං මැරුණොත් මගේ පවුලෙ අයට මොකද වෙන්නේ" කියන ගැටළුවයි.. දැං ඒ ගැටළුව ඒ තරං තදේට දැනෙන්නෙ නැත්තෙ පරෙස්සමට ගියොත් ගෙදර යාගන්ට පුළුවං වෙයි කියන විශ්වාසෙ තියෙන නිසයි.. (මං ඉතිං සුදු වෑන් වලට බය වෙන්ට ඕනැන්නැති එවුවා ලියන්නෙත් නෑ නෙව..)

      Delete
    2. "මං මැරුණොත් මගේ පවුලෙ අයට මොකද වෙන්නේ"
      ඕක තමයි ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නය. ඒත් ඇත්තටම කල්පනා කරල බැලුවොත් කෙනෙක් අඩුවුනා කියල යම් කෙනෙකුගෙ පැවැත්ම නැතිවෙන්නෙ නෑ. කොහොමහරි ජීවිතය ඉස්සරහට යනව.

      Delete
    3. ඔවු.. එහෙම ඉස්සරහට යනවා එක්තරා කාලයක දී.. ඒත් සමහර වෙලාවට ඒ වගේ අඩුවක් වහන්න අමාරුයි... මගේ පුංචි එවුන් තාම පොඩියි නොවැ.. ඉතිං උං දෙන්නාට මොන තරං ප්‍රශ්න වලට මූණ දෙන්ට වෙයිද... මං දැම්ම චුත වුණොත්.. අම්මලා, තාත්තලා අහිමි ළමයි විඳින දුක කොයිතරම් ද කියලා අමුතුවෙන් කියන්නේ මොකටද?

      Delete
    4. මම නම් හිතන්නෙ පුංචි කාලෙම දෙමවුපියො අහිමි වෙච්ච සමහර දරුවො වඩා හොඳින් ජීවිතයට මුහුන දෙනවා කියල.
      මොකද එයාලා පුයර බබාලා නොවෙන නිසා.

      Delete
    5. සමහර දරුවො කියන්නේ බොහොම සුළුතරයක්ය කියලයි මගේ අදහස..

      Delete
  4. ඕක නං අහන්න දෙයකුත් නෙමෙයි නේ. අනිවාර්යයෙන් මැරෙනවා!
    හැබැයි කවදද කියන්න අපි දන්නේ නැහැ.

    "උප්පතියා සහේ වේදං - මරණං ආගතං සදා
    මරනත්තාය ඕකාසං - වදකෝ විය ඒසතී"

    උපත සමගම මේ - මරණයද පැමිණී ඇත
    වධකයකු මෙන් එය - මරණට සොයයි ඉඩ කඩ

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත.. මාතෘකාව වෙන්ට තිබුණෙ "මං දැන්ම මැරෙයිද?" වගේ එකක් නේද? බොහොම ස්තුතියි..

      Delete
  5. තවත් පද වැලක් මතක් උනා
    " මා ගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත පාදන පුංචි පුතුන්
    ඒ ගත වෙහෙසම සතුටක් වෙයි මට ඔබ සිහිවන කල පුංචි පුතුන්
    දෙදහස් පන්සිය වසරක් තිස්සේ මා දුටු සිහිනය පුංචි පුතුන්
    ඔබ හට ලෝකය ඉදිකර දී මිස - යා නොහැකිය මට පුංචි පුතුන්"
    - ප්‍රබුද්ධ - මහගම සේකර

    ReplyDelete
  6. මටත් අනේක වර හිතී ඇත

    සුනාමියට අසුවූ පෑරලිය දුම්රියේ ඇත්තන් අහසට එසවුණු රළ දැක "කරණීය මෙත්ත සූත්‍රය" මිමිණූ බැවි දිවි ගලවා ගත්තකු කියා තිබිණ

    ReplyDelete
    Replies
    1. මරණය අබියස දී තමන්ගේ ආගම සිහිකර ඊට සූදානම් වීම කළ යුතුම දෙයක්.. හැබැයි අපේ සමහරු කරදරයකින් බේරීමට තමයි මේක යොදා ගන්න උත්සාහ කරන්නේ.. ඔය කියන අය බොහෝ දෙනාත් කරණීය මෙත්ත සූත්‍රය මුමුණන්න ඇත්තේ දිවි ගලවා ගැනීමේ අදිටනින් මිස මරණයට සූදානම් වීමේ අරමුණින් නොවේ.. නේද?

      Delete
    2. අන්න හරි මල්ලී!
      මෙව්ව හරිම සියුම් කරුණු නේද?

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..