Tuesday, May 15, 2012

ඔබා ගේ නික්ම යෑම හා මරණය!





සයිබර් අවකාශය තුළ එක්තරා සලකුණක් තබන්නට සමත් වූ සුවිශේෂ වූ මිනිසෙකු අපෙන් සමුගෙන ඇත. සමස්ථ සයිබරයම ආදරයට ඔබා, ඔබා මාමා, ඔබා අයියා ආදී වශයෙන් හැඳින්වූ සනත් විජේවර්ධන නම් ඒ බ්ලොග් සහෘදයාණන් අපගෙන් සමු ගෙන ඇත.. එය මා සයිබරයේ පිටු අතර සැරිසරන්නට සිතා මීට සුළු වෙලාවකට පෙර සූදානම් වීමේදී දැනගත් කණගාටුදායක ආරංචියයි.. ලෝ දහමත් එයම බව නොදන්නෝ කවරහුද?


සත්තකින්ම මා ඔබා සොයුරා වෙනුවෙන් මේ සටහන තබනුයේ.. අනික් හැමෝම සටහන් තබන නිසා හෝ, මට එසේ තැබීමට අයිතියක් තියෙන නිසා හෝ, මා එසේ සටහනත් තැබිය යුතු නිසා ම නොවේ..


මට මතක හැටියට මගේ බ්ලොගයේ ඔහු කමෙන්ටුවක් දමා නැත. මා හා වචනයක් වත් දොඩා නැත. අප මුණ ගැසී වත් නැත. ඒ තබා චැට් එකක් වත් දමා නැත.


එහෙත් ඔහු අනෙක් බොහෝ දෙනාගේ මෙන්ම මගේ හිතත් දිනා ගන්නට සමත් වූවෙකි.. ඔහු මේ තරම් ඉක්මණින් අප හැර යාවි යැයි මම නොසිතුවෙමි.. එනිසාම හදේ තිගැස්මක් ඇත.


ඔබා සොයුරාගේ මරණය අපට නැවතත් මතක් කරණුයේ බුදුරදුන්ගේ ධර්මය මිස අනෙකක් නොවේ..
මරුවාට කැමති වේලාවක අප කරා පැමිණිය හැකි බවට මේ නිදසුනකි..


අපට ද යන්නට වෙලාව එනු ඇත.. යන්නේ හිස් අතින් ද, පුරුදු කළ උතුම් ගති සිරිත් අතැතිව ද යන්න තීරණය කරන්නේ අප ම ය. අප කරන ක්‍රියා ය. අප සිතන පතන විදිහ ය.


නොසිතුව මොහොතක එයි මරු අප වෙත
නිරතුරු ඒ ගැන සිත යොදවනු මිත
නැති වන තුරු හරි හැටි වාරුව ගත
නොසිටිනු ජය ගන්නට පහදා සිත




මිය ගිය ඔබා හෙවත් සනත් සොයුරා ට නිවන් මඟ හෙළි පෙහෙලි කර ගැන්මට අවස්ථාව උදා වේවා යි පතමි..

8 comments:

  1. ඔබා අයියා අපෙන් සමුගත්තෙ....බ්ලොග් අවකාශයේ විශාල හිදැසක් තියලා.

    ReplyDelete
    Replies
    1. හැම කෙනෙක් ම අනන්‍යයි නොවැ.. ඒ අතර ඔබා සහෝදරයා අතිශයින්ම අනන්‍ය කෙනෙක් වග පේනවා.. හිඩැස කොහොම කොහොම හරි වැහුණා වගේ පෙනෙයි..ඒත් වැහෙන එකක් නැතිවෙයි..

      Delete
  2. සයිබරයේ කිසි කෙනෙක් හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියල ඒත් ඔහු ඒ ගමන ගියේ සතුටින්.ඒත් අපි.

    ඔබා මමාමට නිවන්සුව!!

    ReplyDelete
    Replies
    1. වියෝගයේ දුක දැනෙන්න ඔහු අද නැහැ... ඒක දැනෙන්නෙ ජීවත්ව ඉන්න අයට නොවැ...

      සයිබරය තුළ ඇති එකමුතු කම යළිත් පෙන්වපු අවස්ථාවක් මේක..

      Delete
  3. වසර දෙකකටත් වඩා අඩු කාලයකදී ඔබා අප සැමගේ හිත් දිනා ගත්තා. මෙය මුලින්ම දුටු විට මම හිතුවෙ ඔබාගෙ තවත් විහිළුවක් වෙන්න ඇති කියා. අද බ්ලොග් අවකාශයේ හැමෝම කතා කරන්නෙ ඔබා ගැන. ඒක බෝධි පූජාවක් කළා හා සමානයි. ඔබා... දැනටමත් හොඳ තැනක ඉපදිල ඇති.. මා අදහන ආගමට අනුව.

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවේ නිහාල් හිතුව විදිහට..

      Delete
  4. අවුරුදු 59 ක් වුනත් ඔබා මාමා කවදාවත් හිතින් වයසට ගියේ නෑ. බ්ලොග් අවකාශෙ ඉන්න කොල්ලොන්ටත් වඩා හොඳ කොල්ලෙක්. මේ වයසට මොන බ්ලොග්ද කියල ඔහු නිකන් හිටියනම් අපිට කවදාවත් ඒ වගේ සහෘදයෙක් හමුවෙන්නෙ නෑ. ඒ වගේම එතුමා අනෙක් බ්ලොග් කරුවන්වත් උනන්දු කරා. අළුත් බ්ලොග් එකකට අහම්බෙන් හරි ගියොත් නැවත නැවත ඒකට ගිහින් ලිපි කියවල කමෙන්ට් කරල ඒ බ්ලොග්කරුවන් ධෛර්යමත් කළා. හැමෝම එක්ක සුහදව, සහයෝගයෙන් වැඩකළා. ඇත්තටම ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම ආදර්ශමත් වැඩිහිටියෙක්, ආදරණීය සහෘදයෙක් වුණා. මැරුණට පස්සෙ ඒ මනුස්සයගෙ ගුණ කියන එක සාමාන්‍ය දෙයක් වුණාට අපේ ඔබා මාමා ගැන කාටවත් ආයාසයෙන් මවාගෙන කතාකරන්න අවශ්‍ය වුනේ නෑ. පහුගිය දවස් කීපයේ බ්ලොග් අවකාශය පුරාම තිබුණු සටහන්වලින් ඒක පැහැදිලි වෙනව. හැමෝම ඒ සොඳුරු මිනිසාගෙ ගුණ, ඔහුත් සමඟ ගෙවුණු අතීතයෙ සුන්දර මතක සටහන් සිහියට නගමින් කණගාටු වුණා. ආ හැමෝම යා යුතුයි. සොබා දහමෙ ඒ අකාරුණික නීතියට අපි හැමෝටම කවදහරි අවනත වෙන්න වෙනව. ඔහු සතුටින් ජීවත් වුණා. සතුටින් නික්ම ගියා. අපි හැමෝම ඔහුට සමුදෙන්න බැරිව ලත වෙනව. සහෘදයාණෙනි, ඔබට සුබ ගමන්.
    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔහුගේ සොඳුරු බව මා අත්විඳ ඇත්තේ ඉතාම අල්ප වශයෙන් වුවත්, සෛබරය පුරා ඇසෙන කතා දෙස බැලුවහොත් ඔහු සොඳුරුතම මිනිසෙකු බව පැහැදිලි වේ.. සසර ගමනේ නැවතුමට කෙසේ වුවත් සසර ගමනේ යහපතට බොහෝ දෑ ඔහු කර ඇති බැවු පෙනේ.. කණගාටු වීමට වඩා ඔහු ගේ මතු භවය වඩාත් සාර්ථක, නිවනට වඩාත් සමීප වන සුන්දර එකක් වේවායි පතන එක අර්ථවත් යැයි සිතෙන්නේ ඒ නිසාය..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..