Monday, May 28, 2012

ලේසිය තකා නසමු ද බස අමු අමුවේ..

පාසිය බැඳෙයි දෝ පෙරැලෙන ගල හමුවේ
කාසිය, බලය ම ද ජය කණු ඇති මෙ ලොවේ
නෑසිය, මිතුරනේ ඇති හෙළ ලෙය පපුවේ
ලේසිය තකා නසමු ද බස අමු අමුවේ


හෙළයේ උදාරම් පවසනු පිණිස ඇති
ලකුණකි "සඳැස් කවි" ! එය බොරුවක් නොවෙති
"සඳැසක්" මේ කියා හඳුනා ගනු කැමැති
නෙකයුරු රීති එහි ඇත රසයට හිතැති


විරිතෙහි දෝස නෙක වන "මත් දොස්" ආදී
සැමහට දැනෙයි වරදක් බව ගැයුමේදී
තව බොහො දෝස තිබෙනව' "යවහන්" ආදී
සමහරු නසති නොතකා ගුරු පොත්, ආදී


"සඳැස් කවිය" පොහොරක් වුණි හෙළ බසට
එහෙත් කිමද බාධක මේ කවි කෙතට
වෙනස් කළොත් රීතිය පවතින දැනට
"සඳැස්" කියා කිව හැකිදැයි සැකකි මට

ප.ලි.
හෙළ බසෙහි හා සඳැස් කවෙහි  අගය නොදන්නා කමට හෝ  අලුත් දෑ තැනීමට හෙවත් නව නිර්මාණ බිහි කිරීමට සඳැස් කවෙහි රීති නැවත සැකසිය යුතුයැයි ඇතැම්හූ තර්ක කරති...
දැනට පවතින තත්වයෙන් ඉදිරියට ගෙන යාම සඳහා රීති පිළිබඳ කතිකාවක් ඇති කිරීම යහපත්ය. එහෙත් මෙතෙක් පැවැති රීතීන් තමන්ගේ නොහැකියාව වසා ගැනීමට වෙනස් කරන ලෙස බල කිරීම සුදුසු දැයි නැවත නැවතත් සිතිය යුතුය.. අනෙක එලෙස වෙනස් කළ පසු එම කවි තව දුරටත් "සඳැස්" ලෙස සැලකිය හැකියැයි මට නොසිතේ.. එය වෙන මොකක් හෝ එකක් විය හැක..

12 comments:

  1. ලස්සන පෝස්ට් එකක්....දිගටම ලියමු...ජය වේවා....

    ReplyDelete
  2. අලුත් අලුත් දෑ නොතනන ජාතිය පිරිහෙන බව කිවා සැබවි

    එනමුදු ඉපැරණි හොඳ දේ රැකගෙන නව දේවල් නිමවනු මැනවි

    ReplyDelete
    Replies
    1. අලුත් අලුත් දෑ තනන්ට නම් හොඳ අලුත් කවක් ලීවොත් සරි වී
      බසත් රැකෙයි කවි, තොසත් වැඩෙයි නිති හෙළ අබිමන් එනු ඇත මතු වී

      Delete
  3. කවි ගැන නම් මට වැඩිය දැනුමක් නෑ. ඒත් සමහර කවි කියවන කොට නිකන්ම ඒකට වශී වෙනව. ඒ විදියට පද ගලපන්න පුළුවන් අය නම් අද ඉන්නෙ ගොඩක් අඩුවෙන්. නිසඳැස් වුනත් දැක්ක ගමන් හිතට වදින ඒවත් තියනව. මම හිතන්නෙ ඒකට බලපාන මූලිකම දේ කවි රචකයාට භාෂාව හා එහි රීති පිළිබඳව තිබෙන අවබෝධය.
    ඕනෑම ක්‍ෂේත්‍රයක් සම්බන්ධයෙන් පවතින පිළිගත් සම්ප්‍රදායන් නීති රීති වෙනස් කළ යුත්තෙ ඒ පිළිබඳ කරන විධිමත් අධ්‍යයනයකින් හා කථිකාවතකින් පසුව පමණක්ය කියලයි මට නම් හිතෙන්නෙ. හැබැයි ඉතින් අපේ රටේ නම් නොකෙරෙන්නෙත් ඕකම තමා.

    ReplyDelete
  4. එළි සමය රැක ගනිමින් සඳැස් කව් ලිවීම අසීරුයි. මෙම කව් පෙළෙහි ඇති පළමු වැන්නට මා ඉතා කැමතියි. එහි අග මෙන්ම මුළද එළි සමය රැක ඇත.

    ReplyDelete
    Replies
    1. මුලදී හෝ මැදදී යෙදෙන එළිය, එළිවැට ලෙස හඳුන්වයි.. සඳැස් කවි ලිවීමේ දී හැම විටම එළිසමය රැකිය යුතුයැයි වැරදි මතයක් තියෙනවා.. එළිසමය රැකීම අත්‍යවශ්‍ය නොවන ඇතැම් විරිත් තියෙනවා.. පහත දැක්වෙන්නේ "උමතු ගී" නම් එබඳු විරිතකින් පබැඳි කවක්..

      අපහසුය සිතුවට
      අපහසු නැත එතරම්
      කුමට සෝ ලතැවුල්
      බඳිමු මෙලෙසින් සඳැස්

      Delete
  5. ලියන්නෙ සඳැසක් නම් එහි රීතීන්ට යටත්වම ලිවිය යුතුයි.
    යමක් කියාගන්න අවශ්‍ය වූව ද භාෂාව ඊට හරස්වේ නම් සඳැස නොමරා නිදහස් ආර යොදා ගැනීම තමයි කළ යුතු හොඳම දේ.

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම.. හෙළ බසත්, සඳැස් කවියත් ගැන දැනුම වඩවා ගත් විට.. එහෙම අවශ්‍යතාවකුත් එන එකක් නෑ..

      Delete
  6. චහ් මල්ලී මේ ටික නම් පංකාදු පහයි!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා.. ඒත් මං හිතුවා "චහ්" කියනකොට වැඩේ ගැස්සිලා වත් ද කියලා..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..