Friday, June 22, 2012

මයෙ පුතේ..


මයෙ රත්තරං පුතේ,
උඹ ලොකු උනාම කියාවිද දන්නෑ.. මං උඹට සැලකුවා මදියි කියලා..
ඒත් පුතේ,
මට පුළුවං හැටියට මං උඹට සලකනවා..
හැබැයි පුතේ,
මං උඹට රස මසවුළු දෙන්න, මහ මැදුරු හදන්න, සැප වාහන අරන් දෙන්න...
අනික් අයව අමාරුවෙ දාන්නෙ නෑ..
හොරකං කරන්නෙත් නෑ..
මංකොල්ල කන්නෙත් නෑ..
ඒ වගේම පුතේ..
උඹව ලොකු ඉස්කෝල වල දාන්න,
ලොකු රස්සා අරන් දෙන්න,
මං ජරාව දෙන්නෙත් නෑ..
මට ඕන උඹටත් මට වගේ සුන්දර ළමා කාලයක් දෙන්ට..
ඒත් ලෝකෙ මට ඒකට හරස් වෙලා..
ඉතිං මයෙ පුතේ..
උඹ මට නිකමා කියාවිද...?
උඹට මයෙ අවංක කම දොයිතුවක් වත් වටින්නෙ නැද්ද..?



රස වෑහෙන මිහිරි බොජුන්
සුව වෑහෙන මැදුරු විසල්
නෙක විසිතුරු මෙලොව ඉසුරු

නුඹට දෙන්න පුතේ..


අන්සතු දේවල් කිසිවක්
නුසුදුසු දේවල් කිසිවක්
වෙන කාගේ හරි සතුටක්
මම නොගනිමි පුතේ..



ලොකු ලොකු පාසැල් හොයන්න
ලොකු ලොකු රස්සා ලබන්න
ලොකු ලොකු උදවිය පස්සෙන්
නොම යමි සුදු පුතේ..


මං වින්දා වගේ සොඳුරු
ළමා කාලයක් නුඹටත්
දෙන්න තමයි  මට ඕනෑ
මයෙ සුරතල් පුතේ



මගේ පැතුම් සුන් උනොතින්
නුඹ මට නිකමා කියයිද
කළ සෙත කිම දැයි අසයිද
නොදනිමි මයෙ පුතේ...

නුඹ මට කෙතරම් බැන්නත්

හෙට දවසේ මට පුළුවන්
මගේ පුතා හොඳ මිනිහෙක්
කියන්ට මයෙ පුතේ..


6 comments:

  1. හුඟ දවසකින්.

    අවංක මිනිස්සුන්ට මේ ලෝකෙ තැනක් නෑ කියනව නේ. අපේ රටේ නම් කොහෙත්තම නෑ ...

    ReplyDelete
    Replies
    1. අපේ තැන අපි ආරක්ෂා කර ගන්න ඕන මිත්‍රයා.. ඒත් අවංකව.. අනිත් අය තැනක් දුන්නත්, නැතත්.. අපේ හිතේ අපට තැනක් තියෙනවා නම්.. ඒ හොඳටම ඇති..

      Delete
  2. හරිම සුන්දර අහිංසක ප්‍රාර්ථනාවක්. අපිත් දරුවො තුන් දෙනාම හදාවඩා ගත්තෙ මෙහෙම තමා. කවදාවත් දේශපාලන බලපෑම් ඒ අයට ලබා දුන්නෙ නෑ. අදටත් කිසිම දෙයක් එයාල අපෙන් මහ ලොකුවට බලාපොරොත්තු වෙන්නෙ නෑ. හැබැයි වෙලාවකට අපිටත් හිතෙනවා අපිට තියෙන කාලෙත් අපි එයාලට දේවල් උපරිමේම දුන්නා ද? දැන් එයාලට දුක දැනෙනවාද? කියල. කොයි දෙමාපියනුත් එහෙම හිතාවි. ඒ උනාට හොඳ යහපත් දරුවො ඊට වඩා වටිනවා මල්ලී. සිඟිති පැටියා යහපත් දරුවෙක් වේවා!

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන් අක්කා.. අක්කගේ වචන ටික මට ලොකු හයියක්..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..