Wednesday, July 11, 2012

෴෴අරුම පුදුම සිහිනය෴෴

පුතුට පණ වගේ ඉන්නා
පියා පුතු වෙතට යන්නා
හැමදා රෑ නිදාගන්ට
මොහොතකට කළිං


දවසක් දා ඔහු යනකොට
සිහිනෙන් දෙවු දුවක් ඇවිත්
පුතාට රහසක් කියලා
යන්න ගිහිල්ලා


ඔන්න ඉතිං පුතා දුකෙන්
අඬ අඬ වාගේ හෙමිහිට
කියනවාලු දෙයියො කීව
රහස පියාට


තාත්තාගෙ බාල නඟා
සෝමා නැන්ද මැරෙනවාලු;
ඕවා ගනං ගන්න එපා
පියා කියනවා


ඔන්න ඉතිං පහු වෙනිදා
සෝමා නැන්ද මිය ගිහින්ලු
තාත්තටත් දැන් පුදුමයි
මොකද මේ වුණේ


ඔය වගේම තවත් දිනක්
සුරංගනාවියක් ඇවිත්
අත්තම්මා මියයන බව
පුතාට කිවුවා


මේ කතාව ඇහුව පියා
ආයෙ එහෙම නොවෙයි කියා
පුතාට දොයියන්න කියා
අදරින් කිවුවා


ඒ වුණාට පුදුම වැඩේ
පහුවෙනිදා අත්තම්මා
කවුරුත් නොහිතපු ව්දිහට
මැරිලා තිබුණා


වැඩිකල් යන්නට කලියෙං
සුර දූතිය ආයෙ ඇවිත්
පියාව මැරෙනවා කියා
පුතාට කිවුවා


පුතාට හරියට දුකයිනෙ
හෙට පියාව මැරිලා යයිනෙ
අනේ ඉතිං මේ කතාව
පියාට කිවුවා


බයවෙන්නට එපා කියලා
පොඩි පුතාව සනස්සවලා
දෙවියනි මං හෙට මැරෙයිද
කියමින් හැඬුවා


රෑ තිස්සෙම නිදිත් නැතුව
පරෙස්සමින් වැඩට ගියා
පොඩි දේටත් බයෙන් තමා
දවස ගත වුණේ


කොහොම නමුත් පණ බේරං
හැන්දෑවේ ගෙදර ඇවිත්
මට නං අද එපා වුණා
බිරිඳට කිවුවා..


ඔයාට ඇයි ඔච්චර දුක
මැරුණෙ අපේ කිරි කාරයා
පුදුමෙට පත් වෙලා වගේ
නෝනා ඇහුවා..

ප.ලි.
මා අසා ඇති කතාවක් ඇසුරින් පද බැඳිනි..

4 comments:

  1. අප්පට සිරි. මළා නං තව හොඳයි කියල මිනිහට හිතෙන්න ඇති.

    ReplyDelete
  2. පුතාගේ ඒ අරුම පුදුම
    සැබෑම වන හීන ගොන්න
    කිරි කාරයා සහ මව ගැන
    රහස එළිකලා ....

    අනේ අපොයි මෙහෙම දෙයක්
    කලකින් ඇසු ජොලිම කවක්
    පියා කුමක් කෙරුවාදැයි
    සිත විමසනවා....

    ReplyDelete
    Replies
    1. විනෝදයට මං කිවුවට
      මේ වාගේ කතා නිතර
      අනේ අපේ සමාජයෙත්
      තව සිදු වෙනවා..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..