Tuesday, July 24, 2012

බබලන් සඳක් ලෙස...!


සිත මගෙ චංචලයි නැත කිසි සැනසීම
ගත මගෙ දුර්වලයි පෙන්වයි වැනසීම
වත ඔබෙ පෙම්බරයි මට නම් පෙර සේම
මත_කයෙ රැවුනැඟෙයි පෙම් සිතුවිලි තාම


මල් පිබිදුණා මාවත් වල අප යෙනෙන
සිල් බිඳි ඇතැම් දන කළෙ ගැරහුම එදින
ගල් කුළු ලෙසින් ඉවසා සිටි මුදු දෙදෙන
වල් වැදි ලොවක ප්‍රේමය කරමුද කුමන


මවු පිය කැමැත්තට හා ලෝ සිරිත ගරූ
පවු නොකරම අපිත් අපටම කළෙමු බොරූ
සිවු පසයටම සළකා කර හෙළය හුරූ
දැවු_නෙමු සිතින් පැතුවෙමු මතු භවයෙ සරූ


ඔබ දැන් මවකි මම දැන් සොඳ පිය තුමෙකි
සැබ_වින් සුහද ලෝකය මහ පුදු_මයෙකි
නොබ_ලන් මදෙස යළි මට එය මහ දුකෙකි
බබ_ලන් සඳක් ලෙස දරුකැළ මැද සුරැකි

12 comments:

  1. කවුරු මොනවා කිව්වාත් අපිට අපේ හිතට බොරු කරන්න බැරි බව ඇත්තයි. පෙම අමතක කලා කියලා ජීවිතේ ඉදිරියට ගෙන ගියත් ඒ පෙම දෑස් ඉදිරියට ආ දින හැද ගැස්මත් වැඩි වෙන බව සත්තයි.
    මොන වෙසින් ආවත් ආදරය ආදරයමයි.

    හිතට තදින්ම වැදුන කවියක්...

    ReplyDelete
  2. දෙපාරක්ම කියවලයි මේ මොකක්ද කියල තේරුම් ගත්තෙ. ඔව්ව ඔහොම තමා. අපි ජීවිතේ කොයිතරම් නම් දේවල්වලට මුහුණ දෙනව ද? අන්තිමට ඒවත් තව එක අත්දැකීමක් විතරයි.

    ReplyDelete
    Replies
    1. කවිය තුළින් කවියාව දකිනවා එහෙම නෙවෙයි ඕං.. ජීවිතේ කියන්නේ අනික් අය වෙනුවෙන් කරන මහා කැප කිරීමක් කියන එක තමයි මගේ අදහස..

      Delete
    2. ෴ කවිය තුළින් කවියාව දකිනවා එහෙම නෙවෙයි ඕං ෴

      ආඃ..... එහෙමත් එකක් තියෙනවද? හික් හික් ...

      Delete
    3. ඇයි දෙයියනේ මගේ ගත දුර්වලයි කියලා හිතුවද.. හික් හික්.. තාම ෆුල් ෆිට්.. හරිය..?

      Delete
  3. හරිම ලස්සන කවි ටික යාළු :)

    ReplyDelete
  4. සමහර තැන්වල හිස්තැන් වගේ මොනවද ??

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ හසිත අහන්නෙ "මත_කයෙ" වගේ වචන ගැන වෙන්ට ඇති.. මේකයි.. මතකයෙ කියන්නෙ එක වචනයක්.. ඒත් ඒ කවියෙ පද හතරෙ සිත,ගත,වත,මත වශයෙන් එළිවැට පිහිටුවලා තියෙනවා නෙ... ඒක පෙන්වන්න තමයි එහෙම ලිවුවෙ... ඒ වගේම මතකයෙ කියන්නෙ තනි වචනයක්ය කියලා පෙන්වන්න..

      Delete
  5. ''බබ_ලන් සඳක් ලෙස දරුකැළ මැද සුරැකි''

    මේක තමයි මන් ආසම කොටස . ලස්සන කවිපෙළ .

    ReplyDelete
    Replies
    1. තමන්ගේ දරු කැළ වට කරගෙන ඉන්නකොට ඔක්කොම අමතක වෙනවා නොවැ.. බොහොම ස්තුතියි බින්දි...

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..