Saturday, July 28, 2012

මිනිසත් කමේ පොහොසත්කම නොහොත් සූරාගෙන කෑම

මීට වසර දෙකකට පමණ කලින් දිනයකි.. මහරගම නගරය මැදින් ඉඳහිට ගමන් කරන මට නිතර දකින්නට ලැබුණු දැන්වීමක් වූයේ මිනිසත්කමේ පොහොසත් කම නිසාම මිනිසුන්ට සල්ලි දෙන ආයතනයක් ඉදිරියේ ය. එම දැන්වීමෙන් කියැවුණේ 1% පොළියට රන් බඩු උකසට ගෙන ඉහලම මුදලක් ලබා දෙන බවයි.. මේ කාලයේ රජයේ හෝ පුද්ගලික බැංකුවක රන් භාන්ඩ පොළිය 14% ක් පමණ විය.. ඒ නිසා මා සිතුවේ මේ 1% යනු මාසික පොළිය බවයි.. ඒ අනුව බැංකුවේ තියන එකට මේ ආයතනයේ උකස් තබන එක වඩා ලාබ දායී යැයි මට සිතුණි.. (මීට වසර ගනණාවකට උඩදී මට අවුරුදු 19 දී පමණ බැංකුවක් සමඟ රන් භාන්ඩ ගනුදෙනුවක් කිරීමට ගොස් කෙලවරක් නැති ප්‍රශ්න ඇසීම නිසා මට බැංකු එපා වෙලා තිබුණි)

ඔය අතර හදිසි අවශ්‍යතාවයක් මතු වී උකස් තැබීමේ වාරය එළැඹුණි.. මා තෝරා ගත්තේ ඉහත කී ආයතනයයි.. උකස් තැබීමට පෙර මම ප්‍රශ්න කීපයක් යොමු කළෙමි..

1. මේ 1% පොළී ප්‍රතිශතය මාසයක් සඳහාද?
පි: ඔවු. හැබැයි දවස් දහයකට සැරයක් පොළිය ගෙවුවොත් විතරයි 1% වෙන්නේ.. එහෙම නැත්නම් සීයට තුනයි දශම ගානක් වෙනවා..

2. කොච්චර මුදලක් මේ වලල්ලට ගන්න පුළුවන්ද?
පි: රු. 25,000/= ක් විතර ගන්න පුළුවන්..( ඒ කාලේ පවුම දැන් තරම් ගණං නැත.)

3. මට දවස් දහයට කලිං ඇවිත් වුණත් පොළිය බඳින්න පුළුවන් නේද?
පි: ඔවු..

දවස් දහයකට පෙර ඇවිත් පොළිය බඳිමැයි සිතා මාත් රුපියල් 25,000/= ත් රැගෙන පිටත්ව ගියෙමි..
රිසිට් පත බැලූ විට එහි තිබුණේ උකස් අත්තිකාරම රු.25,252/= යනුවෙනි.. මේ අනුව මාසයකම පොළිය මුලින්ම අය කර ගන්නට ඇතියැයි අනුමාන කරගෙන නිහඬ වීමි..
යළිත් තවත් දින 8 කින් පමණ එතැනට ගොස් පොළිය ගෙවීමට සූදානම්ව, පොළිය කීයදැයි විමසීමි.. පොළිය රු.250/= ක් බව පවසා එය අය කරගෙන. යළිත් 25,254/= වැනි මුදලකට රිසිට් පතක් නිකුත් කෙරිණි.. එවර එය පරීක්ෂා කළ මට වැටහුණේ කාගේ හෝ ගනණයක යම් දොසක් ඇති බවයි.. එනිසා ඔවුන් ගෙන් මෙසේ ඇසුවෙමි..

ප්‍ර: දැන් මේ පොළී ප්‍රතිශතය මාසයකට කිවුවා නේද? .. එහෙනම් මේ 25,000/= ට මාසයකට අදාල පොළිය මුලින්ම අය කරගෙන තියෙනවා නේද? මා දැන් ගෙවූ මුදල මූලික මුදලින් අඩු විය යුතුයි නේද?

පි: නෑ මේ 1% කියන්නේ දවස් දහයක පොළිය..

මා මෝඩයා වී හමාරය.. දවස් දහයක් සඳහා ගෙවා තිබිය දී අටවන දවසේ අලුත් කිරීමෙන් තවත් දවස් දෙකක් නැති කර ගත්තා පමණි..

එපමණක් නොව.. දවස් දහයට 1%ක් යනු අවුරුද්දට 36% ක පොළි ප්‍රතිශතයකි (වා.ස.පො. අනුපාතිකය සැලකුවොත් ඊටත් වැඩිය).. ඒ කියන්නේ බැංකුවකට සාපේක්ෂව 250% කටත් වඩා වැඩි වීමකි..

ඒ 250/=ත් ගියාවේ කියා සිතා ඊලඟ දවස් දහය සම්පූර්ණ වීමට ආසන්නයේ වලල්ල නිදහස් කරගෙන ගොස් බැංකුවේ තැබුවෙමි.. එහිදීත් මට 25,000/= ක මුදලක් ලබාගන්නට හැකි වීම විශේෂයකි.. එනම් ඇතැම් අය සිතන්නේ ඔය වැනි ආයතනයක දෙන තරම් මුදලක් බැංකුවක නොදෙන බවයි.. එහෙත් සත්‍යය නම්.. ඒ වෙනස එතරම් ලොකු නොවන බවයි.. ඒ වගේම කාලෙකට පෙර මගෙන් ඇහුවා වගේ අතොරක් නැති ප්‍රශ්න අහන්නේ ද නැත..

දැන් බොහෝ බැංකු වල (විශේෂයෙන් සම්පත් හා ජා.ඉ.බැ) පවතින නීති, රීති කීපයක්  සහ ක්‍රමෝපායන් කීපයක් මතක් කරන්නම්..

1. පළමු සති දෙක සඳහා (ඊට කලිං බේරා ගත්තත්) අනිවාර්‍යයෙන් පොළි අය කරයි.
2. ඉන් පසු පොළිය ගනණය කරන්නේ දවස ගානේය..
3. බේරා ගැනීමේ දී රු. 25/= ක මුද්දර ගාස්තුවක් අය කරයි.. (මෙය පුද්ගලික බැංකු වල පමණක් යැයි කියයි..)
4. ගෙවිය යුතු අවසාන මුදල ආසන්න රු.10/= ට රවුන්ඩ් අප් කරයි..(මේක සම්පත් බැංකුවේ තමයි මං දැක්කේ...)

** නිතර රන් බඩු වල වටිනාකම වැඩි වන නිසා.. ඉඳ හිට බැංකුව පැත්තේ ගොස් වැඩිපුර ගානක් ඉල්ලා ගෙන ඒමෙන් (ගිවිසුම අලුත් වන නිසා) සින්න වීමේ අවධානම මඟ හරවා ගත හැක.. එහෙත් දැන් දිනෙන් දින පොළී ප්‍රතිශතය ඉහල යන නිසා අලුත් කිරීම මඟින් ඔබගේ පොළී ප්‍රතිශතය ඉහල යා හැක..

පහු ගිය කාලයේ සම්පත් බැංකුවේ දිනකට නිකුත් වන නොම්මර ගනණ 70 ක් පමණ තිබුණ ද.. ඊයේ පෙරේදා වන විට එය 55-60 ක් පමණ දක්වා අඩු වී තිබුණි..

මිනිස්සු රන් බඩු උකස් තියන්නේ නැතිවාද?
ඔක්කොම උකස් තියලා නිසා තියන්න දෙයක් නැතිවාද?

ආදී වශයෙන් මෙයට නොයෙක් හේතු සිතිය හැක..  දැන් පොළී ප්‍රතිශතය වැඩි වීම නිසා මම ද ඒ පැත්තේ යන වාර ගනණ ටිකක් අඩු කළෙමි..

ප. ලි.

මිනිසත් කමේ පොහොසත් කම ට නම් හසු නොවන ලෙස ඉල්ලමි..

18 comments:

  1. මම නම් කවදාවත් ඔය උකස් තියන වැඩ නම් කරල නෑ. කරන්න බලාපොරොත්තුවකුත් නෑ. උකස් තියන්නයි, ණය ගන්නයි පුරුදු උනාම අබිං කෑමට ඇබ්බැහිවුණා වගේ තමා.
    අනෙක තාත්ත හදල දීපු චේන් එකයි, අක්ක දීපු බ්‍රෙස්ලට් එකයි, මුද්දයි ඇරුනම උකස් කිරීමට තරම් රත්තරං මට ඇත්තෙත් නෑ.
    සාධාරණ ව්‍යාපාර නොකර මිනිස්සු ගසා කන ආයතනවලට පැවැත්මක් තියෙනවද මන්දා. එක දවසක් ගිහිපු මනුස්සයෙක් ආයෙත් යන්නෙ නෑ නෙව. හොඳම දේ ඒ මනුස්සය දන්න දන්න හැමෝටම කියනවනේ අතනට නම් යන්න එපා කියල.

    ReplyDelete
    Replies
    1. ඔබේ බලාපොරොත්තුව හා අභිප්‍රාය එසේම ඉටුවේවා..!

      එහෙනං කොහොමද සෝමක්කගේ උකස් කඩේ ඔය තරං ජයට යන්නේ.. මිනිස්සු වැඩිපුර ගානක් ගන්න හිතාන ඔතනට රිංගනවා.. අනික 1% මගඩියටත් ගොඩක් අය අහුවෙනවා ඇති.. දැඩිගම කියන්නෙත් ඔය වගේම එකක් හැබැයි.. ඔය තරම් මිනිස්සු රවට්ටන්නේ නෑ.. ඒ වුණත් ගෙවන්න වෙන පොළි ප්‍රතිශතය නම්.. හුඟාක් වැඩියි.. එයාලට මේ භවයේ හොඳට පැවැත්ම තියෙනවා.. ලබන භවය නම් මංදා..

      පිස්සුද..? අපේ අය රන් බඩුවක් උකස් තිබ්බා කියලා කා එක්කවත් කියනවද?

      Delete
  2. රත්තරන් කියන ඒවා තියෙන්නේ හදිසි අවශ්‍යතාවයකදී උකස් තියලා සල්ලි ගන්න නම් තමයි . . ඒකෙනුත් අසාධාරන පොලී නොගන්නා තැන් වලට යන්න නම් අපි ඒ ගැන දැනුවත් විය යුතුයි . . බොහෝම ස්තූතියි චතුර මේ දැනුවත් කිරීමට . . .

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ මේ පැත්තෙ ආවට තුති මචෝ.. ඔවු.. ඔය මං කියපු ආයතනයට ගිහාම පේනවා කී දෙනෙක් එතැනට ගිහිං අමාරුවේ වැටෙනවා ද කියලා..

      Delete
    2. දැන් බ්ලොග් කියවන්න වෙලාව අඩුයි බන් . . සමහර වෙලාවට ගොඩක් ඒවා කියෝලා විතරක් යනවා කොමෙන්ට් නොකර

      Delete
    3. ඔවු මමත් එහෙම කරන වෙලාවල් අනන්තයි.. ඒකෙ අවුලක් නෑ මචං..

      Delete
  3. බැංකුකාරයෝ හරි අමාරුකාරයෝ කියලා කතන්දරකාරයාත් දවසක් ලොකු කතාවකින් කිව්වා

    ReplyDelete
    Replies
    1. බැංකු කාරයෝ කරපු වැඩ ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්..මේ ගිණි පොළී කාරයෝ ගැනයි..

      Delete
  4. තැන්කයූ. වයිෆ්ගෙ මාලයක් ඇර අනිත් ඔක්කොම තියෙන්නෙ මහජන බැංකුවෙ මේ කේස් එක නිසා. අළුත් කරන එක තමා ලඟ පෙනෙන එකම විසඳුම

    ReplyDelete
    Replies
    1. ඔවු.. ටිකක් දින කිට්ටු වෙනකම් ඉන්න.. මොකද කලින් අලුත් කරන්න ගිහිං පොළි අනුපාතය වැඩි කරගන්නෙ මක්කටෙයි.. ඒ දවස් වල 14% ට තිබුණු පොළිය දැන් 19.1% ට ගිහිං..

      Delete
  5. මම නම් තවම උකස්‌ තියන්න ගිහින් නැහැ..හොඳ ලිපියක් සහෝ !

    ReplyDelete
    Replies
    1. ඉස්සරහටත් යන්න අවශ්‍ය නොවේවා..!

      Delete
  6. කොහොමත් ඔය මිනිසත් කමේ පෝසත් කම ගැන කතා කරන අයගේ හැම ව්‍යාපාරයක් දිහා ම බැලුවම එහෙම පෝසත් කමක් නෑ කියල පේනවා. මිනිස්සුන්ව අපසහසුතාවයට පත් කරන එකයි තමා ඕකුන්ගේ මිනිසත්කමේ පෝසත් කම.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. ඒ විතරක් ද? කොච්චර මගඩි වලට අපේ මහා හොරුත් එක්ක එක්කහු වෙලා වැඩ කොරනවාද..? ගාල්තැන්නෙ හොර සාමියවත් මාර්කට් කරනවනේ..

      Delete
  7. හපොයි ගිණි කනව කියන්නෙ ඕක වෙන්නැති. මම නං මහජන/ලංකා බැංකුත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි.. ලංකා බැංකුවෙන් තමයි මං අර කිවුව විදිහට මගෙන් ප්‍රශ්න අහලා එපා කෙරෙවුවේ..

      මං හිතන හැටියට හොඳම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.. විශේෂයෙන් බේර ගන්න එහෙම හරි පහසුයි.. සම්පත් වුණත් හොඳයි..

      Delete
  8. ලංකාවෙ ප්‍රශ්නෙ චතුර ධනපතියො නැතිඑක. ඉන්න සේරම මසුරු සිටානලා....ඔය යක්කු උංගෙ කාලකන්නි වාහිනිය හරහා මිනිස්සුන්ගෙන් එකතුකරපු සුනාමි ආධාර වලට මොකද කලේ?
    අපේ ගොන්නුන්ටත් ඉතිං ඕවම හොඳා.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..