Monday, August 20, 2012

ආල ගැටේ හෙවත් ප්‍රේම ගිවිසුම..!(3)


දෙවැනි කොටසට




එදා ඔයාව මුණගැහෙන්න එන අතරතුර මට ඔයාගෙන් වෙන්වීම ඇරෙන්න වෙන කිසිම විසඳුමක් ඇති බවක් හිතුණෙ නෑ.. ඒත් මට තිබුණු එකම බය ඔයා මේ හින්දා ඉගෙනීම කඩාකප්පල් කරගනීද කියන එක..

ඔයා සම්බන්දෙ නවත්වන්න බෑ කියනකොට මං කිවුවෙ වෙන කරන්න දෙයක් නෑ අමාරුවෙන් හරි අපි මේ තීරණය ගමු.. ඉස්සර හිටියා වගේම යාළුවෝ විදිහට ඉමු කියලා.. අවසානයේදී ඔයා ඒකට එකඟ වුණේ වෙන කරන්න දෙයක් නොතිබුණු හිංදා වෙන්න ඇති.. මමත් ඒ තීරණය ගත්තේ වෙන කරන්න දෙයක් නොපෙනුනු හිංදා මයි..

ඒත් ටික දවසක් යද්දී ඔයා බලාගත්තු අතේ බලාගෙන ඉන්න ගත්තහම මටත් ඒක දරාගෙන ඉන්න අමාරු වුණා... අවසානයේ මං තීරණය කළා අපේ ගිවිසුම අලුත් කරන්න.. ඔවු.. හැබැයි අලුත් වගන්තියක් එකතු වුණා..  ඔයාගේ අම්මා මගේ දෙමවුපියන්ගෙන් සමාව ගන්න ඕනි කියලා.. ඒකට ඔයා මාස තුනක් කල් ඉල්ල ගත්තා..

ආයෙමත් අපි සාමාන්‍ය විදිහට සතුටින් හිටියා.. මාස තුන ගතවෙලා ඉවර වෙනකලුත් ඔයා ඒ ගැන කිසිම පියවරක් අරගෙන තිබුණේ නෑ.. මට ඒක අමතක වෙයි කියලා ඔයා හිතුවද දන්නෙ නෑ.. ඒත් මට ඒක හොඳට මතක තිබුණා.. මං ඔයාගෙන් ඇහුවා ඒ ගැන මොකද කරන්නේ කියලා.. ඔයා හරි උත්තරයක් දුන්නෙ නෑ.. මං තීරණය කළා ඔයාව අතහරින්න.. ඒත් ඒ වෙනකොට අපේ වර්ෂාවසාන විභාග ලං වෙලා තිබුණේ.. විභාග ඉවරවෙන්න තව මාස තුනක් විතර තියෙනවා.. එහෙම වෙලාවක ඔයාට මේක කියන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.. ඉතිං මගෙ ජීවිතයේ ප්‍රථම වතාවට රඟපාන්න මං තීරණය කළා...

මං සුදාරිට මගේ තීරණය ගැන කිවුවා....සුදාරිගෙන් මං ඉල්ලුවේ පුළුවං තරං ඔයාට ලං වෙලා ඔයාගෙ හිත හදන්න කියලා.. සුදාරි ඒ වගකීම බාරගත්තු එක මට ලොකු සහනයක් වුණා.. විභාග ඉවර වෙනකල් ඔයත් එක්ක සාමාන්‍ය විදිහට ඉන්න එක ලොකු සටනක් වුණා.. මගේ රඟපෑම අසාර්ථකම නැතුව ඇති මයෙ හිතේ..

විභාග ඉවර වෙලා මං ඔයාව මුණගැහිලා මගේ තීරණය ඔයාට කිවුවා.. මේ පාර ආත්මාර්ථකාමී වෙන්න මං හිත හදාගෙන හිටියේ.. 


මතු සම්බන්ධයි..

7 comments:

  1. ඇයි ද මන්දා මේකේ ගෑණු ළමයා මං ම කියලා මට හිතෙන්නේ.......
    මෙතන ඔයාට උන ප්‍රශ්නෙත් ඔය දෙන්නගේ ගැලපීම් කොගැලපීම් නෙවෙයි... පවුල්වල නොගැලපීම්.... අම්මලා තාත්තලගේ වැරදි වලට ඔයාලට ප්‍රශ්න ඇති වෙලා....
    මටත් ඒ ටිකම තමයි.... අම්මලා තාත්තලගේ ප්‍රශ්න නිසා මං අවුරැදු දෙකක් තිස්සේ දුක් විදිනවා.... කොල්ලන්ට කෙල්ලන්ට ඈත් වෙන්න ලෙසියි.... ඒත් බැන්දට පස්සේ...... ?

    ඔයා පොඩියට ලියලා තියෙන නිසා මට හිතා ගන්න බෑ එයාගේ අම්මා ඔයාගේ අම්මට බැන්නේ මොකද, එයා ඇයි ඒක හදන්න උත්සාහ කළෙ නැත්තේ කියලා...... ඔයා වගේ දෙයක් අමතක කරන්න කියන එක ලේසියි.... ඒත් අමතක කරන්න අමාරැයි....

    ඒත් හදන්නත් අමාරුයි... මොකද වැරුද්ද කරපු කෙනාට සමාව ගන්න කියලා බලපෑමක් කරන්න ඔයාගේ ගර්ල්ට තියෙන අවස්ථාවත් අඩුයි.... මොකද ඒ එයාගේ අම්මා.....

    ReplyDelete
    Replies
    1. අනේ ඉතුරු ටික ඉක්මණට දාන්න... හොදේ.......

      Delete
    2. ඇත්ත තමයි.. බැන්දට පස්සේ ඒ වගේ තත්වෙකට මූණ දෙන එකනම් හරිම අමාරුයි.. ඒ වගේ වෙලාවක අපට තීරණ ගන්ට වෙන්නේ මීට වඩා දහස් ගුණයක ඉවසීමක් ඇතිව.. ඒ වගේම බැන්දට පස්සේ එහෙම ප්‍රශ්නයක් ඇති වුණා නම්.. අදාල දෙපාර්ශවය නැවත ඇසුරට වැටීම වළක්වන එක තමයි හොඳම ප්‍රථමාධාරය.. අදාල විවාහක යුවල මේ අයව මවු පියන් හැටියට පිළිඅරං ඉවරයි.. ඉතිං එයාලට පුළුවං මේ දෙමවුපියන් ගෙන් වුණු වැරදි නොසලකා හැරලා ඉදිරියට යන්න..

      ඒත් මෙතැන තියෙන්නේ ඊට වෙනස් පසුබිමක්.. කෙල්ලගේ අම්මා කොල්ලගේ ගෙදරට ෆෝන් කරලා බැණ අඬගහන්නේ කිසිම වග විභාගයකින් තොරව.. කිසිම හැඳුණුම්කමකුත් නැතුව. කොටින්ම මේ කොල්ලා කෙල්ලගේ මෑණියන්ව දැකලා වත් නෑ..

      ඒත් කෙල්ලට එහෙම තීරණයක් ගන්ට අමාරුයි.. මොකද ඒ එයා පුංචි කාලෙ ඉඳං තනිවම නොයෙක් ගැහැට විඳලා හදාගත්ත අම්මා නිසා.. කොල්ලටත් ආදරයක් හින්දා පුංචි කාලෙ ඉඳං පණවගේ තමන්ව හැදූ වැඩූ දෙමවුපියො දෙන්නව දෙකේ කොලේ ට දාන්ට බෑ.. හොඳම තීරණය වෙන්වීම ම තමයි..

      මේ සතිය ඇතුලත ඉවර කරන්ට හිතං ඉන්නවා..

      Delete
  2. ඒ ගෑනු ළමය අවුල් කරන්නෙ නැතුව විභාගෙ ගොඩදාගන්නකන් රඟපාපු එක හොඳයි. ඒ කියන්නෙ වෙන විදියකින් ඇය ගැන හිතනව කියන එකම නේද? මේ දෙන්න අතරෙ ප්‍රශ්නයක් නැත්නම් ඔවුන්ගෙ සතුට, දෙමාපියන් අතර ඇතිවුණ වරදවා වටහා ගැනීමක්, හදිසි කෝපයක් වැනි සාකච්ඡාකර විසඳාගත හැකි ප්‍රශ්නයක් වෙනුවෙන් කැපකරන්නෙ ඇයිද කියන එක මටත් ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන් හිතනවා.. ඇයි ඉතිං පෙම්වතිය වෙන්ට කලියෙං හොඳ යෙහෙළියක් නේ.. මේ දෙන්නා අතරත් ප්‍රශ්න නෑ කියන්ටම බෑ.. මේක හදිසි කෝපයක් නෙවෙයි.. අත්තනෝමතික, ඒකපාර්ශ්වික තීරණයක ප්‍රථිඵලයක්... කොටින්ම කෙල්ලගේ පැත්තෙන් කොල්ලට අකමැති වෙන්ට කිසිම හේතුවක් තිබුණෙ නෑ.. ජාති, ආගම්, කුල, පංති ආදී කිසිම එකක්.. එහෙම දෙයක් යන්තම් හරි තිබුණා නම් තිබුණේ කොල්ලගේ පැත්තේ අයටයි..

      සාකඡ්ඡා කර විසඳගත හැකි තත්වයක් තිබුණේ ම නෑ..

      Delete
  3. අනේ මන්ද මොනා කියන්නද කියල.ඔබ අපූරුවට ලියල තියනවා......ඉතිරියත් ලියන්නකෝ ඉක්මනින් එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ඔන්න ලිවුවා... එහෙනම්..බලන්නකෝ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..