Saturday, August 18, 2012

ආල ගැටේ හෙවත් ප්‍රේම ගිවිසුම..!(2)

1 වැනි කොටසට


මං එදා ගෙදර ආව මොහොතේ ඉඳං කල්පනා කළේ මං කරපු වැඩේ හරිද කියලා.. යාළුවන්ට කොහොමද මේක කියන්නේ කියලා.. මට, ඔයාට ඇත්තටම ආදරේ කරන්න පුළුවන්ද කියලා..

රොෂාන් වගේම හිටපු හොඳම යාළුවෙක් වුණු ගිහාන් ට ඔය කතාව කිවුවට ඌ පිළිගත්තෙම නෑ.. ඌ කිවුවේ.. මගේ හිතේ කලිං ඉඳන්ම ඔය අදහස තියෙන්ට ඇති කියලා.. මං ඒක පිළිගත්තේ නැති එකට තරහා වෙලයි අන්තිමට ඌ ගියෙ.. පස්සෙ මං කතා කරලා කිවුවා.. උඹ කිවුව එක ඇත්ත වෙන්න ඇති.. කොහොම වුණත් දැං වුණ දේ වෙලා ඉවරයිනේ.. කියලා.. ඔන්න එකෙක් ෂේප්..

ඊ ලඟට ඔයා ඇරෙන්න අපේ කණ්ඩායමේ හිටපු එකම ගෑණු පරානේ.. සුදාරි.. එයාට නම් වැඩිය විස්තර අවශ්‍ය වුණේ නෑ.. ලේසියෙන්ම පිළි ගත්තා..

අනික් යාළුවෝ ටිකත් ලොකුවට මොකුත් කිවුවෙ නෑ..

ඔය අතරෙ තමයි සුදාරියි එයාගෙ පෙම්වතා වන කැළුමුයි ට්‍රිප් එකක් දාගත්තේ.. ඉතිං අපි දෙන්නත් යන්න සෙට් වුණා.. රොෂානයා ඊට ඉස්සරින්දා කෝල් එකක් දුන්න වෙලාවේ මං ගමන ගැන කිවුවා.. මෙන්න මේකත් සෙට් වුණා ගමනට.. ඌ දන්නෙ නෑ නොවැ මේ කිසිම දෙයක්.. අනික් යාළුවො වත් ඌට මේක කියලා නෑ.. උගේ හිත රිදෙයි කියලා.. මටත් ඌව නිවී හැනහිල්ලෙ හම්බ උනේම නෑ මේ ගැන කියන්න..ඌ තාම ඔයාට ට්‍රයි එක.. පවු... ඒත් මොනවා කරන්නද..?

ඌ වෑන් එකේ යද්දිත් මගේ ලඟින්ම වාඩි වෙලා ගියේ මගෙත් එක්ක තිබුණු ෆිට් එකටමයි.. ඔයා දන්නවද මං ඒ හැම මොහොතෙම හිතින් විඳවපු තරං.. ? හදවතට එකඟව වැඩ කරන එකෙක් විදිහට මට කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ..

වැව ලඟ ඉඳං පින්තූර ගනිද්දි.. ඒ අමාරු මොහොත මං කොහොම පහු කළා ද මංදා.. සුදාරි.. අපි දෙන්නව එකට තියලා පිංතූරයක් ගත්තා.. මට ඔයාගේ කරට උඩින් අතක් දාන්න කිවුවා.. ........
හපොයි.. රොෂාන් ගේ මූණ.. අනේ ඌට කොහොම දැනෙන්න ඇත්ද? මට හිතාගන්න බැරි වුණා.. ඊට පස්සේ ගමන ඉවර වෙනකං රොෂාන් අපි ගාවට ආවේ නෑ..

අපි අතරෙ තිබුණු බැඳීම මොන වගේ එකක්ද කියලා මං නිතරම හිතුවා.. ඒක රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය එකක් නම් නෙවෙයි.. අවසර ලද ඇසිල්ලක සිප ගැනීම් ආදියෙන් අපි මුසපත් වුණා.. කසාද බැන්දට පස්සේ කරන්න තියෙන වැඩ, කලින්ම කරන්න මගේ කැමැත්තක් තිබුණේ නෑ.. ඔයත් එහෙම වෙන්න ඇති..  ඒත් මට නිතරම හිතුණු දෙයක්.. පෙම්වතියක් විදිහට වඩා ඔයා යෙහෙළියක් විදිහට සාර්ථකයි.. ඒ වගේම මට සමීපයි කියන එක..

ඔයා වැඩිපුරම ආශ්‍රය කළේ පිරිමි යාළුවෝ..මට ඔයාව වෙනස් කරන්න ඕන වුණා..  අඩු ගානේ ඔයා සුදාරිව වත් වැඩිය මායිම් කළේ නෑ.. ඒත් මගේ පිරිමි යාළුවන්ව ඕනවටත් වඩා ලඟින් ඇසුරු කළා..

"මං මේ දවස් ටිකේ සුමේධත් එක්ක ලයිබ්‍රරියට ගිහිං පාඩම් කරන්නද?"
ඔයාට මතකද... මං වැඩිය කැම්පස් නොඑන කාලෙක.. ඔයා මගෙන් මෙහෙම ඇහුවා..?
ඒත් මං ඔයාට එපා කිවුවා.. මං එහෙම කිවුවේ ඇයි කියලා මගේ හිතත් එක්ක පස්සේ මං සෑහෙන්න තර්ක කළා.. මං එහෙම කිවුවේ ඉරිසියාව හිංදා නෙවෙයි කියලා තමයි මං අදටත් හිතන්නේ..

ඔයාගේ මං දැකපු හොඳම ගතිය තමයි.. පරෝපකාරී බව.. ඔයා හිත හොඳ කෙල්ලෙක් කියලා මගෙ යාළුවො මා එක්ක නිතර කියලා තියෙනවා.. ඒක නම් ඇත්තම ඇත්ත.. ඔයා හිත හොඳ කෙල්ලෙක්..ඒ වගේම ඔයා අඳින්නේ සරල සංවර ඇඳුම්..

ඔයාගේ අම්මට අපි ගැන ආරංචි වෙලා.. පළමු පියවර විදිහට කරලා තියෙන්නේ මං හිටපු බෝඩිමේ ඥානා ආන්ටිට කතා කරලා.. ඔයාට ඒක කිවුවාම ඔයා කිවුවේ.. ඕක ඔතනින් නවතියි කියලා.. ඒත් ඒක නැවතුනේ නෑ..

එයා අපේ ගෙදට්ටත් කතා කරලා.. බොහොම පහත් විදිහට.. හරියට මං ඔයාව රවට්ටගෙන ඉන්නවා වගේ..

මං ඒක දැන ගත්ත වෙලේ ඔයාගේ ගෙදරට කෝල් කළේ අම්මට හොඳවයිං දෙකක් කියන්න.. ඒත් කෝල් එක ගත්තේ ඔයා.. අපේ ගිවිසුම ඉවරයි..! මං කිවුවේ දැඩිව හා ස්ථිරව..! ඔයාගේ දුක මට නොතේරුනා නෙවෙයි.. ඒත් ඔයාගේ අම්මා ඉදිරියේ.. මගේ දෙමවුපියෝ බිංදුවක් වත් හෑල්ලු කරන්න මට ඕන නෑ..

ඔයා ගේ බලවත් ඉල්ලීම නිසා මං ඔයත් එක්ක අන්තිම වතාවට මේ ගැන කතා කරන්න  ඔයාව මුණගැහෙන්න එකඟ වුණා.. !


මතු සම්බන්ධයි..!


21 comments:

  1. වැඩිපුර පිරිමි ළමයි අශ්‍රය කරන ගෑණු ළමයින්ව එයාලගේ පෙම්වතුන් වෙනස් කරන්න උත්සාහ කරන්නේ ඇයි....? මට ඒක හරි ප්‍රශ්නයක්....

    ආදරේටද....? ඒත් එයාගේ යාලුවොන්ව ආශ්‍රය කරන්න එපා කිව්වම එයාට දුක හිතෙනවනේ....
    එයාට කරදරයක් වෙයි කියල ද... ? ඒත් සමහර යාලුවෝ ඔයාව හම්බුවෙන්නත් කලින් ඉදලා එයාගේ යාලුවෝ... එයාලගෙන් කවදාවත් කරදරයක් වෙලා නෑ...

    ඊරිසියාවටද....? එයා ඔයා එක්ක ඉන්නකොට යාලුවොත් එක්ක කතා තරන කොට හිතට පොඩි අවුලක් දැනෙනවා නේ.... ඉස්සර ගානක් නැති උනත් දැන් උඔ බං බොලන් කියාගෙන එයා යාලුවොත් එක්ක කතා කරන කොට ඔයාගේ ඇඟේ මයිල් ගස් ටික කෙලින් වෙනවා ද..... පෙම්වතියක් විදියට වඩා යෙහෙලියක් විදියට ඉන්නකොට එයා එක්ක ඔයිට වඩා විවෘතව කතා බහ කරන්න පුළුවන් කම තිබුණද....

    ඔයාගේ ආත්ම ගෞරවය පිළිබද ප්‍රශ්නයක්ද.... ?????

    එතකොට ඒක මොකද්ද...? ආත්මාර්ථකාමී බව.... ?????? හ්ම්ම්..........

    මේ කෑල්ලත් මට මතක ගොඩක් ගෙනාවා....... හි හි....

    ReplyDelete
    Replies
    1. "වැඩිපුර පිරිමි ළමයි අශ්‍රය කරන ගෑණු ළමයින්ව එයාලගේ පෙම්වතුන් වෙනස් කරන්න උත්සාහ කරන්නේ ඇයි....? මට ඒක හරි ප්‍රශ්නයක්.... "

      බලාගෙනයි.. පෙම්බර දේවි
      හිනාවෙන්නෙ බලාගෙනයි පෙම්බර දේවී
      ගොදුරු සොයන රුදුරු වන සපුන්
      මිතුරු වෙසින් ඇසුරට ඒවී..

      මං හිතන්නෙ ඔයාගෙ ප්‍රශ්නෙට 50% ක විතර උත්තරයක් මෙතැන තියෙනවා.. අපි ඔයාලට වඩා කොල්ලො ගැන දන්නවා.. ඊටත් වඩා මේ සමාජය ගැන.. අපි ආසයි තමන්ගෙ කෙල්ල කා අතරත් ගෞරවනීය විදිහට ඉන්නවට..

      "ඉස්සර ගානක් නැති උනත් දැන් උඔ බං බොලන් කියාගෙන එයා යාලුවොත් එක්ක කතා කරන කොට ඔයාගේ ඇඟේ මයිල් ගස් ටික කෙලින් වෙනවා ද....."
      ඉස්සරත් එහෙමයි.. දැනුත් එහෙමයි.. කෙල්ලො සෞම්‍ය වෙන්න ඕන.. උඹ, බං, බොලං නෙවෙයි.. ඔයා, මෙයා කතාව තමයි කෙල්ලන්ට ඔබින්නෙ..

      " පෙම්වතියක් විදියට වඩා යෙහෙලියක් විදියට ඉන්නකොට එයා එක්ක ඔයිට වඩා විවෘතව කතා බහ කරන්න පුළුවන් කම තිබුණද...."

      කොහෙත්ම නෑ.. ඒත් පෙම්වතියෙක් ගෙන් තරම් විනයක්, යෙහෙළියෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ.. ඒ නිසයි පෙම්වතියට වඩා එයා යෙහෙළිය විදිහට හිතට ලං වෙලා හිටියේ..

      "ඔයාගේ ආත්ම ගෞරවය පිළිබද ප්‍රශ්නයක්ද.... ????? "
      ඔවු.. එහෙම දැනෙන්නේ මගේ ආත්ම ගෞරවය ගැන මම හිතන නිසා.. මමත්වයෙන් මිදිලා නැති නිසා..

      "එතකොට ඒක මොකද්ද...? ආත්මාර්ථකාමී බව.... ?????? හ්ම්ම්.........."

      සත්තකින්ම ආදරයේදී ආත්මාර්ථකාමී වෙන්නම වෙනවා.. ඒත් ඒ යහපත් අනාගතයක්, යහපත් පවුල් ජීවිතයක් අරමුණු කරගෙන.. එය වරදක් නෙවෙයි නේද?

      Delete
    2. දැන් සෞම්‍ය වෙන්න ඕනෙ කියන කෙනාටනේ ඔයා කැමති උනේ නේද... එතකොට එයා කලින් හිටපු විදිය ඔයාට හරි යන් නෑ.... ඔයා හිතන්නේ එයාව ඔයාට ඕනෙ විදියට වෙනස් කරගන්න කියලා හිතෙන්‌නේ නැද්ද..... ඔයා බලපොරොත්තු වෙන්නේ මේ කෙල්ලව තෝර ගෙන එයාගෙන් ඔයාට අවශ්‍ය විදියේ කෙනෙක් හදා ගන්න නම් ඇයි ඔයා එයාට කැමති උනේ.... ඔයා කැමති විදියේ කෙල්ලෙක් හොයා ගන්න පුළුවන් නේද..... ඒ ආත්මාර්ථකාමී කම ඔයාගේ පැත්තෙන්....

      එතකොට එයා හිතුවොත් මං ඉස්සර හිටපු විදිය ඇයි වෙනස් කරන්‌නේ... මේක මහ අසාධරණයක් කියලා හිතලා එයත් ආත්මාර්ථකාමී විදියට වැඩ කරන්න ගත්තොත්... ලවු එක ලත් තැන ලොප්.... ඒත් කෙල්ලෝ දුකෙන් හරි කොල්ලා කියන දේ ගොඩක් වෙලාවට කරනවා....

      යෙහෙලියක් පෙම්වතියක් උනාම කලින් තිබුණ විවෘත භාවය නැති වෙනවා... තමන්ගේ නැතිඋන නිදහස වෙනුවෙන් පොඩි පොඩි බොරු කරන්න පෙළඹෙනවා සමහර විට.... එතකොට ප්‍රශ්න ඇති වෙනවා.... මොකට මේ මනුස්සයට කැමති උනාද කියලා හිතෙනවා කෙල්ලොන්ට......

      මම නම් කැමති මම ඉන්න විදියට මට ආදරය කරන්න පුළුවන් කෙනෙකුට... මගේ හොද වලට වගේම මගේ වැරදි වලටත්..... වැරදි හදන්න ඕනේ තහංචි දාලා නෙවෙයි.... තේරුම් කරලා දීලා.... ඇයට නොදැනෙන්න ඇයව ආරක්ෂා කරන එකයි වඩා හොද.....

      හි හි මේක ටිකක් හැඟීම්බරව ලියවුණා.... මොකද මාත් ඔය අත්දැකීමට මූණ දුන්න කෙනෙක්..... මටත් හිටියේ ඔක්කොම යාලුවෝ කොල්ලෝ.... මට ඒ හැම කෙනෙක්ම අකමැත්තෙන් අතහරින්න සිද්ධ වුනා පස්සේ කාලෙක..... ඒ ගැන දුකක් තාම තියෙනවා...

      Delete
    3. කලිං හිටපු විදිය.. යාළුවෙක් විදිහට වරදක් නෑ.. පෙම්වතියක් විදිහට හරියන්නේ නෑ.. මේක මං තෝරගත්ත එකක් නෙවෙයිනේ.. සුළු මොහොතකට හැඟීම් වලට ඉඩ දෙන්න ගිහින් වුණු හදියක්.. යෙහෙළියක් රැක ගැනීම උදෙසා ගත් තීරණයක්.. සම්පූර්ණ ගිවිසුම දැම්මේ නැහැනේ...ගිවිසුමේ තිබුණා මං බලාපොරොත්තු වෙන විදිහට වෙනස් වෙන්න කැමතියි කියලා කන්ඩිෂන් එකක්.. හික්.. හික්..

      අපි කවුරුවත් 100%ක් ගැලපෙන්නේ නෑ.. ගලපගන්න වෙනවා.. ඒකට දෙන්නා ම කැප වෙන්න ඕන.. සමාජීය ගුණ දහම් ඇසුරු කිරීමෙන් මේක ටිකක් පහසු වෙනවා..

      ඔයාටත් ඒ අත්දැකීමට මූණ දෙන්න වුණා නම් .. පොඩ්ඩක් වත් දුක් වෙන්න එපා.. මං දන්නවා.. අවංකව.. සොයුරු පෙමින්, මිතුරු පෙමින් කෙල්ලෝ ඇසුරු කරන කොල්ලෝ අතලොස්සයි ඉන්නේ.. එහෙම කෙනෙකුත් මඟ හැරුණොත් පොඩි අපරාධයක් තමයි.. ඒත් එහෙම වීමේ පොසිබිලිටි එක නම් හරිම අඩුයි..

      මං මේ කියන චරිතෙත් එක්ක ඔයාගෙ චරිතෙ හුඟක් තැන් ගැලපෙන එක නම් හරිම පුදුමයි..

      Delete
    4. ගොඉක් ලේලෙන්ගේ කතාව මගේ වගේ තමා... සමහරු යෙවනස් වෙනවා, සමහරු වෙනස් වෙන්න උනාට දුකෙන් ඉන්නවා...

      හි හි .. මේ කෑල්ල ටයිප් කලේ ඔයාගේ පළමු ලිපියට කමෙන්ට් එකක් විදියට...
      ඒත් දැම්මේ නෑ.... දැන් දාන්න හිතුනා...

      ඇත්තමට ප්‍රේමය ගිවිසුමක්ද..?
      ඒක ගිවිසුමක් උනා නම් කරදරයක් නෑ...
      හොද ලෝයර් කෙනෙක් අල්ලා කරන්න ඕනෙ, කෙරෙන්න ඕනෙ යුතුකම් ටික දාලා හොද ගිවිසුමක් හදලා අවුරුදු දෙක තුනක් තිස්සේ ඕකෙ හරි වැරදි හදලා අන්තිමට ගිවිසුමට අස්සන් කළා නම් හැමෝම සතුටුයි.... ආ‌ෙය් පස්සේ කියන්න බෑ නේ ඔයා මට අරක, මේක පොරොන්දු උනා කියලා... ඔයා මං කියන, කියන විදිහට ඉන්න ඕනේ කිව්වම ඒව්වා හරියන් නෑ හලෝ.. ඔයා ලියලාම දීලා තියෙනවනේ කියලා ... ගිවිසුම කඩ කලත් සාක්ෂි තියෙනවානේ.... නිකම් හදවතටයි මොලේටයි දුක් දෙන්න වෙන් නෑ නේද...

      හි හි.... මං මේ ගැන පෝස්ට්එකක් ලියන්න හිතුවේ....ඔන්නොහෙ දැම්මා මෙතනම...

      Delete
    5. කෙල්ලො විතරක් නෙවෙයි.. බැඳීම්, වගකීම් හමුවේ කොල්ලොත් ඕන තරම් වෙනස් වෙනවා.. ඒත් ඔය සමහර රැඩිකල්ය කියන උන්නැහේලාගේ මතවාදයක් තමයි ඔය කෙනෙක්ව වෙනස් කරන්න හිතාගෙන යාළුවෙන්ට හෝ කසාද බඳින්ට එපා කියන එක.. අපි හිතුවොත් වෙනස් වෙන්ටත් වෙනස් කරන්ටත් දෙකම පුළුවන්.. කොහොම වුණත් මේ හැම දේම වෙන්ට ඕන සුන්දර අනාගතයක් වෙනුවෙන්.. අනික් අය වෙනුවෙන් කැපවෙලා සතුටු වෙන එක හැමෝටම කරන්ට බෑ.. ඒකට හොඳ ගටක් තියෙන්ට ඕන..

      හික්ස්.. හැම දේම ගිවිසුම් තමයි සහෝ.. අපි ඒ නම නොකිවුවට.. මේවා වාචික ගිවිසුම්.. ඒක නරකයි කියන්ට බෑ.. සාර්ථක බැඳීමකට සාර්ථක ගිවිසුමක් අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා.. ඒකට ලෝයර් කෙනෙක් අල්ලන්ටම අවශ්‍ය නෑ..

      කමක් නෑ පෝස්ට් එකකුත් ලියමු..

      Delete
    6. අඩේ.... එතකොට මං රැඩිකල්ද.....? මලා... මාත් කියන්නේ කාවවත් වෙනස් කරන්න හිතාගෙන යාලු වෙන්න වත් කසාද බදින්න වත් එපා කියලනේ....

      එහෙමද කියලා මං දන්නේ නෑ අනේ.... හැබැයි මේ මට හිතුන දෙයක් නේ... ගැහැණියකට හරි පිරිමියෙකුට හරි තමන් ජීවිතේ ගත කරන්නේ මේ විදියටයි කියලා හිතා ගෙන ආසාවෙන් බලාගෙන ඉන්න ජීවිතයක් තියෙනවා දැනුම් තේරුම් තියෙන කාලේක ඉදලා.... ඉතිං ඔය දේවල් ජීවිතේට අත්දැකීම් එකතු වෙද්දි වෙනස් වෙනවා.... එහෙම වෙනස් වෙන දේවල් පහු කාලෙක මං මෙහෙම වෙනස් උන එක හොදයි කියලා හිතෙනවනම් ඒක තමයි හොදම විදිය....

      නමුත් කවුරු හරි කෙනෙක් තමන්ව එයාට ඕනෙ විදියට වෙනස් කරගන්න හදනවා කියලා හිතෙනකොට, තමන්ගේ ජීවිතේ ආසාවෙන් බලාපොරොත්තු තියෙන හිටිය ජීවිතේ තමන්ට හදාගන්න බැරි වෙනවා කියලා හිතුනොත් ඒක එයාට දුකක් නෙවේද...., ඒක කරන්න හදන්නේ තමන් ගොඩක් ආදරේ කරන කෙනෙක් උනාම දුක වැඩි වෙනවා නේද.....?

      මේකයි මං හිතන්නේ අපි මුලින්ම ආදරේ කරන්න පටන් ගන්නේ හදවතින් නෙවෙයි... මොලෙන්.... යාලු වෙන එක සමහර විට එක්කෝ යාලුවන්නේ බලපෑමෙන්.. නැත්තම් බෑ කියන්න බැරි කමට... නැත්තම් ලැජ්ජාව නිසා.... ඔය කෝක වෙතත් ටික කාලයක් යද්දි ආශ්‍රය කරද්දි දැනෙනවා වෙනස්කම්.... සමහර වෙලාවට නොදැනීම වෙනස්කම් වෙනවා.... ම්ම්ම්... හිතන්නකෝ..... හැමදාම ඔයා ගර්ල්ව හම්බුවෙන්න යනකොට පරක්කු වෙනවා.... ඉතිං එයා හැමදාම නහයෙන් අඩනවා ඔයා පරක්කුයි කියලා.... ඔයාට කේන්ති යනවා... ඒත් ඔයා උත්සාහ කරනවා වේලාසනින් යන්න... ඒත් බැරි වෙනවා.... ඊළඟ දවසේ ඔයා පරක්කු උනාම ගර්ල් හිනාවෙනවා.... ඔරලෝසුව පෙන්නලා හිනාවෙලා කියනවා මම ඔරලෝසුව අඩුවෙන් වෙලාව තිබ්බා.. එතකොට ඔයා කිව්ව වෙලාවට එනවනේ කියලා..... ඔයාටත් හිනා යනවා..... ඊළඟ දවසේ ඔයා කොහොම හරි වෙලාවට යනවා....

      එතකොට කවුද වෙනස් උනේ...? කොහොමද වෙනස් උනේ....?
      වෙනස්කම වෙන්නේ දැනෙන්නේ නැතුව..... නේද....,?

      ඒකයි මම කියන්‌නේ..... කෙල්ලෙක් ගොඩක් වෙලාවට කොල්ලොක් ගෙන් බලා‌ෙපාරොත්තු වෙනවා යාලුවෙක් වගේ කතා කරන්න පුළුවන්, තාත්ත කෙනෙක් වගේ විශ්වාස කරන්න පුළුවන්, තමන්ගෙම කෑල්ලක් වගේ ආදරේ කරන්න පුළුවන් කෙනෙක් වෙයි කියලා.... ඔයා එයාට හොද යාලුවෙක් උනොත් එයාට වෙන යාලුවෝ ඕනේ වෙන්නේ නෑ..... එතකොට නීති ඕන් නෑ.... එයා නිකම්ම යාලුවන්ව හිමීට අතෑරලා දාලා ඔයාට තවත් කිට්ටු වෙනවා....

      ඕක හැබැයි දෙපැත්තටම වලංගුයි හොදේ...... සමහර කොල්ලෝ උත්සහ කරන්නේ තමන් වෙනස් වෙන්නේ නැතුව කෙල්ලව විතරක් වෙනස් කරන්න... එහෙම බෑනේ..

      දැං ඉතිං ඕකට රැඩිකල් කියන්න ඕනෙ යෑ.. නේද....

      Delete
    7. තව චූටි කෑල්ලක් අමතක උනා.... දාන්නම් නේ.... හි හි.. ආයිත් පෝස්ටි ලියන්න බෑ අනේ...

      ජීවිත අත්දැකීම් කියන එක ගැහැණු පිරිමි දොගාල්ලෝටම තියෙනවා.... ඉතිං කොහොමද එක්කෙනෙක් කියන්නේ මං ඕවා ගැන ඔයාට වඩා හොදට දන්නවා කියලා.... කොල්ලො කොල්ලො ගැන කෙල්ලොන්ට වඩා හොදට දන්නවා තමා.... ඒත් සමහරවිට ඔයාගේ ගර්ල් එයාගේ යාලුවන්ව ඔයාට වඩා හොදට දැනගන්න ඉඩ තියෙනවානේ.... ඔයා නොබලන පැත්තක් එයාට ඔයාගේ යාලුවන්ගේ පේන්න පුළුවන්... ඒ වගේම ඔයාගේ යාලුවන් ගැනත් එයාට ඔයාට නොපෙනෙන පැත්තක් පේන්න පුළුවන්.... ඒකනේ සමහර වයිෆ්ලා බනින්නේ මහත්තුරුන්ට, ඔන්න බලන්න ඔයාගේ යාලුවො ටික ඔයා අමාරුවෙ වැටුනාම එයි ද කියලා....නමුත් ඔයා ඒක පිලිගන්නේ නෑ , එයා කොහොමද මගේ යාලුවෝ ගැන දන්නේ, මං නේ එයාලා ගැන දන්නේ කියලා හිතලා.... හැබැයි ඉතිං ගොඩක් වෙලාවට අපේ රටේ කොල්ලෝ යාලු වෙන්නේ තමන්ට වඩා මාසෙකින් හරි බාල කෙල්ලෙක් එක්ක හින්දා වයසින් වැඩි කම නිසා තමන්ගේ කෙල්ලට නීති දාන එක සාදාරණයි කියලත් හිතෙනවා... කෙල්ල කොල්ලට නීතියක් දැම්මොත් ඒක පිළිපදින්න ටිකක් පස්ස ගහනවා නේද.....

      ( මේක ලිව්වේ කතාවට අදාලව නෙවෙයි හොදේ... මොකද මෙතන ඔයාගෙයි එයාගෙයි යාලුවෝ එකම කට්ටියනේ.. තව දෙයක් ඔයා මෙයා කියලා දැම්මේ ඔයා මෙහෙමයි කියලා හිතලා නෙවෙයි.... මේ විදියට කිව්වම තේරුම ගන්න පහසුයි කියලා හිතුව නිසා...)

      Delete
    8. හරි.. ඔයාගෙ අදහස් එක්ක බොහෝ දුරට මං එකඟයි.. ඒත් සමහර තැන් තියෙනවා අපට කියලා තේරුම් කරවන්න බැරි.. (වෙලාවේ උදාහරණය නම් මරේ මරු.. මටත් ඕක බලපාලා තියෙනවා.. හැබැයි අනික් පැත්තට.. මං වෙලාවට වැඩ කරන කෙනෙක්.. හැබැයි මට නම් එයාව හදාගන්න බැරි වුණා.. මොන විදිහකටවත්..)

      මමත් හිතනවා හුඟක් දේවල් තේරුම් කරලා දීමෙන් සහ දැනෙන්න සැලැස්වීමෙන් බේරුම් කරගන්න පුළුවන් කියලා.. මං ඉස්සෙල්ලත් කියලා ඇති දෙන්නම කැප කිරීම් කරන්න වෙනවා.. සමහර ටියුබ් ලයිට් ඉන්නවා නේ.. දැනෙන්න ඇරියට වත් හොඳින් කිවුවට වත් තේරෙන්නෙ නැති.. ඒ අයට ඉතිං ටිකක් තදින් කියන්න වෙනවා..

      වයසින් වැඩි හින්දා නෙවෙයි.. අපේ සමාජයේ සාමාන්‍ය කරමෙට කොල්ලො කරන දේවල් දන්නෙ කොල්ලො. කෙල්ලො කරන කියන දේවල් දන්නෙ කෙල්ලො.. ඉතිං සමාජය ඉස්සරහා තමන්ගෙ කෙල්ල දෙකේ කොලේට වැටෙනවට ආත්ම ගරුත්වයක් තියෙන කොල්ලෙක් කැමති වෙයිද? මේක අනික් පැත්තටත් එහෙමයි නේද?

      අනික් එක මට ඉන්නෙ වැඩිපුරම ගෑණු යාළුවො නං යාළු වෙන කෙල්ල මං ගැන සැක හිතන එකක් නැද්ද?

      කම්මැලි වෙන්ට එපා.. ලියමු ලියමු ලිපියක්..

      Delete
    9. බෑ අනේ.... මං ඔක්කොම මෙතන ලිව්වා......

      ඒක තමයි මම කිව්වේ.. වෙනස් කරනවට වඩා වෙනස් වෙන්න සැලැස්වීම හොදයි කියලා.... ඇත්තමට මගේ යාලුවො ගොඩේ හිටියා ගංජා ගහන, අරක්කු නාන ම්ම්ම් තව මෙතන කියන්න ඕනෙ නැති දේවල් කරපු අයියලා මල්ලිලා... හැබැයි උන් ඔක්කොටම මං නංගි, අක්කා.... මං දන්නෑ ඇයි කියලා උන් ඔක්කොම මට හරිම ගෞරවයෙන් සැලකුවේ ඒ කාලේ... සමහරවිට අනිත් අය එගොල්ලන්ව කොන් කරන කොට මං එයාලව අයින් කළේ නැති නිසා වෙන්නැති.... අද එයින් කීප දෙනෙක් ගොඩක් හොද තැන්වල ජොබ් කරනවා.... තාමත් අපේ අම්මත් එක්ක කන්ටැක්ට් තියාගෙන ඉන්නවා.... ඇත්තටම අද මගේ හබී ඒ අයව ආශ්‍රය කරනවාට අකමැත්තක් නෑ.... ඒත මට වටිනම කෙනා මට නැති උනා... ඒ මගේ හොදම යාලුවා... මට ප්‍රශ්නයක් වෙයි කියලා එයා මගෙන් හොදටම ඈත් උනා...

      ඇත්ත කියනවනම් මං ආසයි මගේ කොල්ලට යාලුවො ගොඩක් ඉන්නව නං.. මොකද එතකොට එයාටත් යාලුවන්ගේ අගය තේරෙන්න තියෙන අවස්ථාවන් වැඩියි..... මට උනේ මගේ කොල්ලට යාලුවො හිටියේ නැති එක.... එයාට යාලුවෝ නැති උනේ, එකක් එයාගේ ආර්ථික ප්‍රශ්න යාලුවොන්ට දැනෙන්න නොදී ඉන්න එයාට ඕනෙ උන නිසා.... අනිත් එක එයාගේ රස්සාව ... අදටත් එයාට ස්පෙෂල් යාලුවෝ කවුරැවත් නෑ....

      අදටත් මං එයාගේ ඉස්කෝලෙ යාලුවෙක්ගේ වෙඩින් එකක් හරි කිව්වොත් කොහොම හරි යවනවා මට යන්න බැරි උනත්.... ඇති වෙනකම් පරණ යාලුවොත් එක්ක පිස්සු නටලා එන්න කියලා.... මොකද ඒ සෙට් එකේ එදා යාලුවෙලා හිටපු කපල්ස් වලින් බැදලා ඉන්නේ අපි දෙන්නා විතරයි... හි හි....

      ආ අලුත් ‌පොස්ට් එකත් කියෙව්වා....

      Delete
    10. මං කිවුවෙ කොල්ලට ගැහැණු යාළුවො වැඩි වුණොත් කෙල්ලට මොනවා හිතෙයිද කියලා.. මගේ (මේ කතාවේ නෙවෙයි..) බිරිඳ නම් ඒකට හරි ෂෝක් වැඩ පිළිවෙලක් ගෙනියනවා.. එයා මට ඉන්න යෙහෙළියන්ව මට වඩා ලඟින් ආශ්‍රය කරනවා.. හෙක්.. දැන් මට එයාලගෙන් කිසි කරදරයක් නෑ.. මොකද මං අවශ්‍ය තොරතුරු දැනගන්නේ මගේ බිරින්දෑ හරහා.. ගෑණු කොහොමත් කච කච ගාන්න කැමති හින්දා.. ඒ සුහදතාවය මට නම් හරිම සහනයක්.. ඒත් ඔය දේ එයාගේ පිරිමි යාළුවෝ සම්බන්ධයෙන් මට කරන්න අමාරුයි.. ඇයි.. අපි දෙගොල්ලොම වැඩිය කතා කරන්නෙ නෑ නෙව..

      ඇත්තටම එයාගෙ හිටපු යාළුවො නං බොහොමයක් දැං ඈත්වෙලා.. මගේ බලපෑමෙන් නම් නෙවෙයි ඕං.. කොහොමටත් දැං හැමෝම ඈත් වෙලා නේ..

      ඒත් මේ කතාවේ එන ගැහැණු චරිතය ඊට වඩා ගොඩක් වෙනස් චරිතයක්.. ඒ ගැන ඉදිරියට කතා කරමු..

      Delete
    11. මගේ කොල්ලට ගෑණු යාලුවො හිටියනං මං කරන්නෙත් ඕකම තමයි....ඒක මං ආසම දෙයක්..... එතකොට ඉතිං දෙන්නගෙම යාලුවෝ එකයිනේ.. නෝ ප්‍රොබ්...... හි හි.... කච කච ගාන්න කැමති ගෑණු විතරක් නෙමේ හරිද.....?

      ඔය කියන කට්ටියටත් බෝතලයක් සෙට් කරලා බලන්න ඕනෑ කෑ ගගහා බයිලා ගහන හැටි..... හි හි....

      Delete
    12. ඒ ජොබ් එකට නම්.. ගෑණු අයත් එක්ක හැරෙන්ටවත් අපිට ඇහැක්ය..? අපි ඉතිං බෝතලයක් දුන්නොත් ඒකට තට්ටුවක් දාලා බයිලයක් කියනවා මිසක.. ඔය කච කච නෑ නෙව.. හික්.. හික්..

      Delete
  2. අනේ මට මොකුත් හිතුන් නෑනෙ කතාවෙන් පස්සෙ...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ වේගෙ වැඩි ඇති.. මං වැඩිය ආරළු, බුරළු දැම්මෙ නෑ.. පළවෙනි කොටසත් බැලුවද?

      Delete
  3. ම් ම් ම් ම් ම් මටත් ඔය වගේ අත්දැකීමක් තියෙනවා . . ආදරේ කියන්නේ වටින දෙයක් තමයි ඒත් තමන්ගෙත් දෙමවුපියන්ගෙත් පවුලේත් ආත්ම ගරුත්වේ කියන එක ආදරේට වඩා වටිනවා කියලා හිතෙන වෙලාවල් එනවා . . . අනිවාර්යෙන්ම . . .

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි... ඒ අය වෙනුවෙන් ආදරය මොන කෙජ්ජක් ද?

      Delete
  4. ඕකනේ ඉතින් ..ආයෙත් මතු සම්බන්ධයිලු..:( අමතක වෙනවා අප්පා මට ඉක්මනට..

    ReplyDelete
    Replies
    1. තව කොටස් 2-3ක් විතර ලියන්නයි හිතාන ඉන්නේ.. ඒ ටිකත් ඉවසන්න..

      Delete
  5. මේක නිකම් නිර්මාණයක් පමණි ජාතියෙ ස්ටෝරියක් ද එහෙමත් නැත්නම් ස්වයං චරිතාපදානයක් වගේ එකක් ද? දෙවැනි කොටසත් කියෙව්වට පස්සෙ තමා මට හිතුනෙ ඒක ටිකක් වැදගත් ප්‍රශ්නයක් කියල. :)

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක් පමණි නම් නෙවේ.. ඒත් දෙවැනියට කියපු ජාතියෙ එකකුත් නෙවේ.. සත්‍ය සිද්ධීන් කීපයක් ඇසුරු කරගෙන කරන නිර්මාණයක්..

      මෙතැනදී හිරු ට උත්තර දීලා තියෙන විදිහෙනුත් එහෙම හිතෙන්ට පුළුවන්.. මං මේ කතාවෙදි බොහෝ තැන් වල එළියට දාන්නෙ මගේ අදහස් ම තමයි..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..