මගෙ පුතේ..
උඹට හෙට ලෝකයක් තියෙයිද කියලා මං දන්නෙ නෑ... මං වෙහෙසෙන්නේ උඹට ලෝකයක් හදලා දෙන්ට නෙවෙයි, ලෝකයක් තිබුණොත්.. එහි ජීවත් වෙන හැටි උඹට කියලා දෙන්ටයි..
අතේ සතේ නැති වුණත්.. අනුන්ට කරදරයක් වෙන්නෙ නැතිව,
ලොකු ලොක්කො හඳුනනවා උනත් පොඩි එකා අමතක කරන්නෙ නැතිව,
පිරිමි හැම එකාම වගේ වැරදි කළාට එහෙම කරන්ට හිතන්නෙවත් නැතිව,
මුළු ලෝකෙම තමන්ට වෛර කරනවා කියලා දැනුණත්.. ඒ කාටවත් වෛර කරන්නෙ නැතිව,
කාට හරි දුකක් කරදරයක් වුණාම.. අනේ අපොයි කියලා හෙමීට මාරු වෙන්නෙ නැතිව,
ජීවත් වීමේ අරමුණ.. සල්ලි වලට වත්.. මත්ද්‍රව්‍ය වලටවත්.. සූදුවටවත් උකස් කරන්නෙ නැතිව,
තමන්ගෙන් සමාජයට විය යුතු දෑ නොසිතා.. සමාජයෙන් තමාට හිමිවිය යුතු දෑ හොයන්නේ නැතිව ජීවත් වෙන්නෙ කොහොමද කියලා ඔබට කියාදෙන එක ලේසි නැති වෙයි..
ඒත්..
අලුත් වෙන ලෝකයේ.. අලුත් අලුත් ප්රවණතාත් එක්ක.. අලුත් විදිහෙ යාළුවොත් එක්ක උඹ අලුත් මිනිහෙක් වෙයි.. කාලයක් ගිහිං හරි.. උඹ අලුතිං මොනවා හරි හොයා ගනියි..ඊටත් පස්සෙ ඒ අලුත් දේ උඹ හිතන තරං අලුත් නෑ කියලා උඹට තේරෙයි..
පුතේ..
උඹ අලුත් වෙන එකට මං එපා කියන්නේ නෑ.. පුළුවන් නං අලුත් වෙන්න කළියෙං හිතපං .. උඹ අලුත් වෙන්න ඕන ඇයි කියලා.. උඹේ අප්පච්චි අලුත් උනේ නැත්තෙ ඇයි කියලා..කොච්චර අලුත් උනත් කමක් නෑ.. මනුස්සකම අමතක වෙච්ච මිනිහෙක් වෙන්න එපා.. මනුස්සකම තියෙන අන්තිම එකා උඹ උනත්.. උඹ මැරෙණකං වත් මනුස්සකම රැකහං..
මේ අහපං..
මිනිස්සු කියන්නේ හෝමෝ සේපියන් කියන යන්තරයට නෙවෙයි.. උන්ට හිතක් පපුවක් තියෙනවා.. දුක.. සතුට දැනෙනවා.. උන්ට විළිසංගෙ තියෙනවා.. බොරු කියන්ට ලැජ්ජයි.. මිනී මරන්ට ලැජ්ජයි.. සූදු කෙළින්ට ලැජ්ජයි.. කොටිංම.. පවු කරන්ට ලැජ්ජයි.. ලැජ්ජයි විතරක් නෙවෙයි.. බයයි..
මං දන්නවා..
හෙට ලෝකයක් තිවුණොත්.. උඹට මාව තේරුං ගන්ට පුළුහං උනොත්.. බුදුංගෙ සරණිං.. මගේ පුතාට මිනිහෙක් වගේ පොළවේ.. පය ගහලා ඉන්ට පුළුහං වෙයි..
පුතුනි නොදනිම්
තිබේදැයි හෙට
නුඹට ඉන්නට
ලෝකයක්..
එසේ තිබුණොත්
බලං ඉන්නෙමි
නුඹෙන් මම
මිනිසත් කමක්..
පුතේ දවසක
හිතට දැනුණත්
ලොවේ නුඹ
අසරණ බවක්..
හිතේ දිරි ගෙන
දරා ඉනු මැන
නොදෙනු මට
අවමානයක්..