Wednesday, September 19, 2012

෴෴මා නැඟි කන්ද අහවර බව මට තේරේ෴෴



දෙනෙතින් කඳුළු, මුවඟින් මදහස -----------බේරේ
සිත් මල ඔකඳ වී දරු සෙනෙහස ------------මේරේ
මනමාලියක වී දියණිය ගිය ------------------පාරේ
මා නැඟි කන්ද අහවර බව මට ------------- තේරේ

නුඹෙ නව සොඳුරු නිවහන වෙත පිය -------මනින
දිනයෙදි සුදු දුවේ තව සුරතල් --------------වෙමින
මුදවා කඳුළු යළි නිසි සිහියට -------------- පැමිණ
නොලසා අසනු මැන පිය හිමි බස ---------සොඳින

ඔහු මව දකිනු නුඹ මවටත් වැඩිය --------- පෙමින්
දින දින ඔහු පතන විළසට පුරුදු -----------වෙමින්
නොදොඩනු මැනවි උරණව කිසි කලෙක- නොමින්
සැනසෙනු උරුම සෙනෙහස දරු කැළට --- දෙමින්

තරහා නොවෙමි නාවට මා --------------බලන්නට
කිසිදා නො එමි අයිතිය ගැන ----------- කියන්නට
මතුදා දිනෙක ඉස්සර මා ---------------මියෙන්නට
සිරිපා පුදනු මවගේ පවු -------------- ගෙවෙන්නට

4 comments:

  1. කියන තරමටම විශාඛල අද නෑ අයියා ඔව්ව පිළිපදින්න. ඒ වුනාට අපූරු වචන හරඹයක්. ඇත්තටම මට කවි පද හතරක් ගොතන්න බැරි වීම නම් කණගාටුවට කරුණක්. නරකද කවියක් ගොතන හැටි ගැන ටිකක් විස්තරාත්මක පෝස්ටුවක් දැම්ම නම්.

    ReplyDelete
    Replies
    1. ව්ශාඛලා නැති වුණාට.. විශාඛගෙ තාත්තලා, අම්මලා තාමත් ඉන්නවා නෙ මලේ..

      කවි හදන හැටි.. ලේබල් එකේ තියෙන පෝස්ටු වලිනුත් තේරෙනවා මදි වගේ නං.. හොඳ හොඳ කවි, කවි පංති නිතර කියවන්න.. හඬනගා තාලයට කියවනවා නම් තමයි වැඩ්ය හොඳ.. එහෙම නැතත්.. තාලයට හිතින් හරි කියවන්න.. වැඩි වැඩියෙන් කවි කියවද්දි.. කවියේ ආකෘතිය වගේම වචනත් හිතේ තැන්පත් වෙනවා.. එතකොට මොකක් හරි අත්දැකීමක් හෝ පරිකල්පනයක්, කවියක් බවට හරවන්න ඒ හැටි අමාරු නෑ..

      මල්ලි එෆ්. බී. ඉන්නවා නම්.. සඳැස කණ්ඩායමට එකතු වෙන්න.. එතනින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.. සඳැස කණ්ඩායම තියෙන්නෙ සඳැස් කවි සඳහා විතරයි.. නිසඳැසුත් ලියන්න හිතෙනවා නම්.. එෆ්.බී. පොයෙට්‍රි ෆෝරම් වගේ පිටු බර ගානක් තියෙනවා..

      Delete
  2. හරිම ලස්සනයි සහෝ..අවසාන කවිය නම් ගොඩක් හිතට දැනුනා..
    ජය!

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..