Thursday, September 20, 2012

මරණය කලිං දැනෙනවාද..?

මෙය මට විටින් විට ඇසූ කතා නිසා ඇතිවූ ප්‍රශ්නයකි..

මීට අවුරුදු එක හමාරකට පමණ පෙර දවසක.. අපි අපේ ඥාතියෙකු අසනීප වී සිටි නිසා ඔහු බැලීමටම වඩා සිංහල අලුත් අවුරුදු කාලෙට යන අවුරුදු ගමනක් ලෙසින් ඔහුගේ නිවහනට ගොඩ වීමු... ඔහුව රෝහලට ගෙන යන ලෙස ඔහු අපට බැගෑපත් විය.. එහෙත් ඔහුගේ දූ දරුවන් කීවේ.. මීට පෙරත් ඔහු නිතරම එසේ කියන බවත්.. ඔවුන් එසේ රෝහල ට රැගෙන ගිය විට පහුවදා ටිකට් කපන බවත්.. මෙය මොහුගේ හිතේ ලෙඩක් බවත්ය.. එනිසා ඔහුට ඇහුම්කන් නොදෙන ලෙස අපට අවවාද ලැබිණි.. පහුවදා කැළණි පන්සලට යන්නට අවශ්‍ය බව ඔහු කියා තිබේ.. ඔය තරම් අමාරුනම් යන්නේ කොහොමදැයි ඇසූ විට ඔහු තනිවම දෙපයින් සිටගෙන ඔහුට ගමන යා හැකි බව පවසා ඇත.. එහෙයින්ම ඔහුගේ දරුවෝ.. ඔහුව කැළණි පන්සල කරා රැගෙන ගියෝය.. වාහනයේ සිටම කැළණියට නමස්කාර කර ඇති හේ, මේ බුදුන් වැඩි තැනක් නේදැයි පවසා ඇත්තේ ඉතා සතුටිනි.. කැළණි ගොස් ගෙදර ආවේ ඔහුගේ මළ කඳය.. ඔහුට මරණය දැනුණාදැයි විටෙක අපට සිතුණි..

අපේ අප්පච්චි මට මතක කාලයේ සිට.. වයස 49 පසු කරන තෙක්ම.. ඔහු 49න් මිය යන බව තරයේ විශ්වාස කළේය.. එය ඔහු හැම තැනකදීම වාගේ කීවේය.. එයට තිබුණු එකම පදනම ඔහුගේ පියා (අපේ සීයා) වයස 49දී මිය යාමයි.. ඊට පසු ඔහුගේ බාල සොහොයුරෙකු හා සොයුරියක ද ඒ වයස ආසන්නයේදී මිය ගියෝය.. එහෙත් තෙරුවන් සරණින් අප්පච්චීට දැන් වයස 69කි.. ඔහු නිතරම මරණය මෙනෙහි කරන නිසා මරණය ඔහු අසලට ඉක්මණින් නොඑන බව ඇතැමුන් කියනු මම අසා ඇත්තෙමි..

මම ද අවුරුදු 55 ආසන්නයේ දී මිය යනු ඇතැයි මට නිතරම සිතේ.. මගේ ජීවිතේ බොහෝ දෑ සැලසුම් වෙද්දී.. එම අනුමාන වයස යොදන්නට මම අමතක නොකරමි..එම වයස වන විට.. මගේ දුව හා පුතු අවුරුදු 20 ඉක්මවා සිටින බව සිතීමෙන්ම මම සැහැල්ලුවක් ලබමි.. බොහෝ දෙනෙකු මොටෝ සයිකලය පදින්නට එපා කීවත්.. දැන්ම මා නොමැරෙන බවට ඇති විශ්වාසය මත එම අදහස ඉවත දමමි.. ඒ සිතුවිල්ලට කිසිම පදනමක් නැති වුණත්.. මට දැනෙන දේ මම විශ්වාස කරමි..


මරණය ඉතා ආසන්න බව දැනුණාදෝයි හිතෙන.. අපූරු බ්ලොග් පෝස්ටුවක් දිටිමි.. මෙය ඔබ බොහෝ දෙනා දැක තිබෙන්නට පුළුවන.. එහෙත් එසේ නොදැක්කේ නම් නොවරදවාම ගිහිං බලන්න.. එය මිය යන්නට දින 4කට කලිං මරණය සිහි කරමින් පෝස්ටුවක්  ලියූ කුමුදු පිංතු මහතාගේ තම තම නැණ පමණින් බ්ලොගයයි..

"අපේ ගෙදර ඉස්සෙල්ලාම නැති වුණේ අම්ම. අම්ම තාත්තට වැඩිය වැඩිමල්. ඊළඟට තාත්ත ගියා. පොතේ හැටියට ඊළඟට යන්න තියෙනෙ මට. ඉතින් මගෙ වාරෙ එනකම් ඊළඟ වාරෙ මගෙ කියල මතක් වෙන්නත් එක්ක මිනී මල් වැවුවහම මක් වෙනවද ?"
මේ එම බ්ලොග් ලිපියේ අගට එතුමා එකතු කරලා තිබුණු වදන්.. පුදුමයි නේද?


16 comments:

  1. මේක මමත් හිතන දෙයක්.....
    ඇත්තටම මමත් හැම දෙයක්ම කරන්නේ අවරුදු 55ක් වෙනකම් විතරයි මම ඉන්නේ කියලා හිතං.. ඒක විහිළුවක් වගේ පෙනුනට මම එහෙම හිතන්නේ හේතුවක් ඇතුව.. අපේ අම්මාට 50යි දැන්... මේ වෙනකොට එයාට ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්වය ඇතිවෙලා තියෙනවා.. ඒවගේම බරපතල ඔපරේෂන් කීපයක් කරලා තියෙනවා... අම්මට මම හම්බුනේ 22 දි... දැන් මගේ වයසත් එක්ක අම්ම මේ කාලේ හිටපු විදියත් එක්ක බැලුවාම මම මේ වෙනකොට අම්මට වඩා ලෙඩ වෙලා කියලා දැනෙන නිසායි මම එහෙම හිතන්නේ.. අපේ මහත්තයා නං කියන්නේ මට විකාර කියලා...

    ඉස්සර මම හැම දෙයක්ම කලේ වයස ගනන් හිලවු තියාගෙන නිසා මට මේක එච්චර ගානක් තිබුනේ නෑ... මට වයස 55 වෙනකොට ළමයි ලොකුයිනේ කියලා හිතාගෙන තමයි හිටියේ.. ඒත් දැන් නම් ටිකක් ඒ ගැන සැකයි.. ඒක නිසා පොඩි බයකුත් නැතුවා නෙවෙයි...

    අපෙ ආතාත් ඔය විදියට මරණය දැන ගත්තා කියලා අපි හිතනවා.. ඒ අවුරුදේ අලුත් අවුරුද්දට ආතාව බලන්න ගියාම අපි ඔක්කොම වට කරගෙන ආතා එයාගේ ජීවිත කතාව කිව්වා.. වෙසක් දවසේ මැරුනේ....

    ReplyDelete
    Replies
    1. හික්.. හික්.. මගෙ ජාතියෙ තවත් අය ඉන්නවා එහෙනම්..
      මොකද දැං සැකකුයි බියකුයි ආවේ.. දැන්ම ළමයි හදලා ඉවර කරන්න අදහසක් නැද්ද..? මට නං තාම එහෙම සැකයක් වත් බයක් වත් දැනිලා නෑ..

      මං මගෙ හොඳ යාළුවෙකුට දවසක් සාස්තරයක් කිවුවා.. බොරුවට.. මං කිවුවා.. උඹ අවුරුදු 80ක් ජීවත් වෙනවා කියලා.. එතකොට මිනිහා ඇහුවා.. උඹ කීයක් ජීවත් වෙනවද කියලා.. මං ඉතිං 55 නේ.. මිනිහා කියනවා.. ඕවා බොරු කතා බං.. මං එච්චර කල් ජීවත් වෙන්නෙ නෑ.. කියලා. මං කිවුවා හරි බලමුකෝ කියලා.. මිනිහා කියනවා.. මොනවා බලන්නද බං.. උඹ 55න් මැරුණට පස්සේ.. කියලා.. හික්ස්..

      Delete
    2. මං 55න් මැරුණොත් හිරු ට පුළුවං හිත හදාගන්න.. ඔයාටත් තව අවුරුදු 6-7කින් ටිකට් එක ඇදෙනවා කියලා

      Delete
    3. අවුලක් නෑ... කාටවත් කරදර කරන්නේ නැතුව යන්න තියෙනවා නම් එච්චරයි....

      Delete
  2. මගෙ මාමා කෙනෙක් උන්නා හැම තිස්සේම කිව්වේ එයා ජීවත් වෙන්නේ අවුරුදු 40 ක් විතරයි කියන එක. එයාට එහෙම කියන්න කිසිම හේතුවක් තිබුනේ නෑ. නිතරම කියාපු මේ දේ ඇත්ත කරන්න වගේ එයා අවුරුදු හතලිහේදීම මිය ගියා. ඒ විතරක් නෙමේ මැරෙන්න දවස් කීපයකට කලින් එයා මැරෙයි කියලා ගෙදර අයට කියලත් තිබ්බලු..

    මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා නම් මම දන්නෙ නෑ. ඒත් සමහර අයට මරණ මොහොත් ඉවෙන් වගේ දැනෙනවා කියලා මම අහලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. දැන්නම් විශ්වාසෙ තවත් වැඩි වුණා.. මටත් හිතෙනවා.. එහෙම කලිං දැනෙනවා ඇති කියලා.. ඒ ඉඟිය අපි ඇසුරු කරන පරිසරයේ කොතනින් හරි ලැබෙනවා ඇති.. ඒක තේරුම් බේරුම් කරගන්න අපි හොඳ කල්පනාවෙන් ඉන්න ඕන ඇති..

      Delete
  3. මරණාසන්න අත්දැකීම් ගැන ලියපු පොතක් මම කාලෙකට කලින් කියෙව්ව මතකයි, කතෘගෙ නම නම් දැන් මට මතක් වෙන්නෙ නෑ. මරණය ආසන්නයට ගිය අයගෙ අත්දැකීම් ගැන ඒකෙ විස්තර කරල තිබුණ මතකයි. බොහෝ මිනිසුන් මරණය කියන වචනය ඉදිරියෙ තැතිගැන්වෙනව.
    ඉපදුනු අපි හැමෝටම මරණය පොදු ධර්මතාවක්. ඒත් ජීවත්වන අය මරණය වෙනුවෙන් ලකලැහැස්ති විය යුතු නෑ කියලයි මම හිතන්නෙ, ඉපදීමත් මරණයත් අතර කෙටි කාලයක් ගතකරන්න අපිට ජීවයක් ලැබිල තියෙන්නෙ ඒ දේ වෙනුවෙන් නෙවෙයි. (ජීවත්ව සිටියදි තමන්ගෙ මිනීපෙට්ටිය හදාගන්න, සොහොන් කොත බැඳල තියන වගේ මිනිස්සු ගැන මම කිව්වෙ) ඒත් අනෙක් අතට අපිත් මැරෙන මිනිස්සු කියල අමතක කරල ජීවත් වෙන මිනිස්සුත් මහ පොළොවට බරක්. මමත් මේ වගේ කතා නම් ඕන තරම් අහල තියෙනව. සිංහල බ්ලොග් අවකාශෙ අපි හැමෝම ආදරය කරපු ආදරණීය ඔබා මාමත් අවසාන කමෙන්ට් කීපයෙ ඒ වගේ සමුගැනීමේ කතාවක් කියල තිබෙනව ඔබත් දකින්න ඇති. දෛවය විසින් අපිව මෙහෙයවන්නෙ එයාකාරයෙන් වෙන්න පුළුවන්.
    කොහොම උනත් මරණය වේදනාවක් වන්නෙ බැඳීම් නිසා. මම නම් කැමති පුළුවන් තරම් බැඳීම් අඩු කරගන්න. අදටත් අම්ම තාත්ත ඇරුනම මට මහලොකු බැඳීම් නැහැ. මගේ කියල දේපල වස්තුව ගොඩගහගන්න බලාපොරොත්තුවකුත් නැහැ. එහෙමය කියල මරණය වෙනුවෙන් බලාසිටීමකුත් නැහැ. මගේ අම්ම තාත්තගෙ ජීවිත කාලෙන් පස්සෙ කවද කොයි වෙලාවෙ මරණය මා කරා ආවත් කමක් නැහැ කියන වගේ අදහසක් විතරයි දැනට නම් මට තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හරි සංතෝෂයි මල්ලි හිතන විදිහ ගැන.. ජය පතමි..

      Delete
  4. මරණානෘස්මතිය හොඳ භාවනාවක් නේද චතුර මල්ලී?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. අයියා.. මරණය ගැන මෙනෙහි කරන එක භාවනාවක් තමයි.. මං දන්න විදිහට ඒක හේතු ඵල දහම ඇසුරින් තමයි මෙනෙහි කරන්න ඕන..

      Delete
  5. //මචන් උඹට තව වැඩිකල් ජීවත් වෙන්න බෑ වැඩිම උනොත් තව අවුරුදු පහයි...// මම එහෙම කියුවෙ මගෙ කැම්පස් එකේ බුදු ෆිට් එකෙකුට.... සෙකන්ඩ් ඉයර් එකේදි...2006....
    ආතල් එකට කියුවට මම එදා උගේ අත බලලා එහෙම කියුවෙ මම අපේ සීයගෙ යාලු වෙද මහත්තයෙක් ගෙන් කුඩා කාලෙ අත බලන්න ඉගෙනගත් දැනුම සම්පූර්ණ්යෙන්ම වගේ පාවිච්චි කරලා....
    අඩුම තරමෙ මම වත් විස්වාස නොකරපු ඒ කරුම අනාවැකිය 2010දි ඇත්ත උනේ හරිම කාලකන්නි විදිහට... උගෙ මගුලට තිබුනෙ මාස ගානයි....
    එදා ඉදල අද වෙනකම් මම කාගෙවත් අල්ලක් නම් බලලා නෑ.. එත් ඌට මරණය කලින් දැනුන නිසාද මන්දා මැරෙන්න සති දෙකකට කලින් බොහොම අහේතුක විදිහට මගේ අනාවැකිය මතක් කරලා හිනා වුනා.... ඔහු මැරුනෙ ඩෙන්ගු හැදිලා... ජීවිතේ අනිත්‍යයි...

    ReplyDelete
    Replies
    1. අත බලා ආයුෂ තීරණය කිරීම කොයි තරම් හරිද කියලා මටත් හිතුණ වාර එමටයි.. මේ තියෙන්නෙ ඒක හරියි කියන්න සාධක.. මං හිතනවා.. අතබලා සෑහෙන්න කිට්ටුවට සාස්තර කියන්ට පුළුවං කියලා.. අනේ ඇනෝ.. මාත් 55න් මැරෙනවද කියලා කියන්ට බැරිද?:D

      බොහොම ස්තුතියි අදහසට..

      Delete
  6. මේ පෝස්ට් එකයි කමෙන්ට්ස් එහෙමත් බැලුවම අනේ අම්මේ කියල හිතෙනවා..හිතන්න දෙයක් දුන්නට ඔබට බොහොම ස්තුතියි..

    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. මං නිතර හිතන්නෙ... මං ලියන දේ තුළ හිතන්න දෙයක් තිබිය යුතුයි කියලයි.. ඒත් ඒ සිතුවිල්ල කොයිතරම් සාර්ථක ද කියලා දන්නේ.. කියවන ඔයාලා.. නේ..

      Delete
  7. කුමුදු පින්තු මහත්තයා තමන්ගේ මරණය ගැන හුඟක් කාලෙක ඉදන් දැණගෙන හිටියා කියලා තමා මට හිතුණේ. මොකද එතුමා ලොකු හදිසියකින් තමන්ගේ දැනුම බෙදා දෙන්න කටයුතු කළා...

    ReplyDelete
    Replies
    1. එහෙමද? මං නං ඒ ගැන වැඩිය දන්නෙ නෑ.. සමහර විට එහෙම වෙන්නත් පුළුවනි.. ධනාත්මක චින්තන සංකල්ප වල තියෙනවනේ.. අද තමයි ජීවත් වෙන අන්තිම දවස කියලා හිතාගෙන වැඩකරන න්‍යායක්.. ඒ වගේ කෙනෙක් වැඩ කරන්නෙත් ඔය විදිහටම වෙන්න පුළුවන්..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..