Friday, September 28, 2012

පුංචි පුතුට ලෝකයක්..


මගෙ පුතේ..
උඹට හෙට ලෝකයක් තියෙයිද කියලා මං දන්නෙ නෑ... මං වෙහෙසෙන්නේ උඹට ලෝකයක් හදලා දෙන්ට නෙවෙයි, ලෝකයක් තිබුණොත්.. එහි ජීවත් වෙන හැටි උඹට කියලා දෙන්ටයි..

අතේ සතේ නැති වුණත්.. අනුන්ට කරදරයක් වෙන්නෙ නැතිව, 
ලොකු ලොක්කො හඳුනනවා උනත් පොඩි එකා අමතක කරන්නෙ නැතිව, 
පිරිමි හැම එකාම වගේ වැරදි කළාට එහෙම කරන්ට හිතන්නෙවත් නැතිව, 
මුළු ලෝකෙම තමන්ට වෛර කරනවා කියලා දැනුණත්.. ඒ කාටවත් වෛර කරන්නෙ නැතිව,
කාට හරි දුකක් කරදරයක් වුණාම.. අනේ අපොයි කියලා හෙමීට මාරු වෙන්නෙ නැතිව, 
ජීවත් වීමේ අරමුණ.. සල්ලි වලට වත්.. මත්ද්‍රව්‍ය වලටවත්.. සූදුවටවත් උකස් කරන්නෙ නැතිව,
තමන්ගෙන් සමාජයට විය යුතු දෑ නොසිතා.. සමාජයෙන් තමාට හිමිවිය යුතු දෑ හොයන්නේ නැතිව ජීවත් වෙන්නෙ කොහොමද කියලා ඔබට කියාදෙන එක ලේසි නැති වෙයි.. 

ඒත්..

අලුත් වෙන ලෝකයේ.. අලුත් අලුත් ප්‍රවණතාත් එක්ක.. අලුත් විදිහෙ යාළුවොත් එක්ක උඹ අලුත් මිනිහෙක් වෙයි.. කාලයක් ගිහිං හරි.. උඹ අලුතිං මොනවා හරි හොයා ගනියි..ඊටත් පස්සෙ ඒ අලුත් දේ උඹ හිතන තරං අලුත් නෑ කියලා උඹට තේරෙයි.. 

පුතේ..

උඹ අලුත් වෙන එකට මං එපා කියන්නේ නෑ.. පුළුවන් නං අලුත් වෙන්න කළියෙං හිතපං .. උඹ අලුත් වෙන්න ඕන ඇයි කියලා.. උඹේ අප්පච්චි අලුත් උනේ නැත්තෙ ඇයි කියලා..කොච්චර අලුත් උනත් කමක් නෑ.. මනුස්සකම අමතක වෙච්ච මිනිහෙක් වෙන්න එපා.. මනුස්සකම තියෙන අන්තිම එකා උඹ උනත්.. උඹ මැරෙණකං වත් මනුස්සකම රැකහං..  

මේ අහපං..

මිනිස්සු කියන්නේ හෝමෝ සේපියන් කියන යන්තරයට නෙවෙයි.. උන්ට හිතක් පපුවක් තියෙනවා.. දුක.. සතුට දැනෙනවා.. උන්ට විළිසංගෙ තියෙනවා.. බොරු කියන්ට ලැජ්ජයි.. මිනී මරන්ට ලැජ්ජයි.. සූදු කෙළින්ට ලැජ්ජයි.. කොටිංම.. පවු කරන්ට ලැජ්ජයි.. ලැජ්ජයි විතරක් නෙවෙයි.. බයයි.. 

මං දන්නවා..

හෙට ලෝකයක් තිවුණොත්.. උඹට මාව තේරුං ගන්ට පුළුහං උනොත්.. බුදුංගෙ සරණිං.. මගේ පුතාට මිනිහෙක් වගේ පොළවේ.. පය ගහලා ඉන්ට පුළුහං වෙයි..

පුතුනි නොදනිම්
තිබේදැයි හෙට
නුඹට ඉන්නට 
ලෝකයක්..
එසේ තිබුණොත්
බලං ඉන්නෙමි
නුඹෙන් මම
මිනිසත් කමක්..
පුතේ දවසක
හිතට දැනුණත්
ලොවේ නුඹ 


අසරණ බවක්..
හිතේ දිරි ගෙන
දරා ඉනු මැන
නොදෙනු මට
අවමානයක්..




12 comments:

  1. Replies
    1. හ්ම්ම්.. කිවුවා වෙන්ටැ..

      Delete
  2. පුතෙකුට තාත්තෙක්ගෙන් තවත් වෙන මොනවද කියවෙන්න අවශ්‍ය.... මම Quote කරන්නේ නෑ... මුළු කතාවම හැබෑය....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හිරු..

      Delete
  3. හ්ම් ... හුඟක් පුත්තුන්ට උන්ගෙ තාත්තල ඔය ටික නොකිව්ව එකේ ප්‍රතිඵල ඔය මුළු රටටම ලස්සනට පේන්නෙ. සමහර තාත්තල ඔය කතාව වචනවලට පෙරලන්නෙ නෑ, ක්‍රියාවෙන්ම දරුවොන්ට අවබෝධකරගන්ට අරිනව. ඒත් ඉතිං නරකම දේ සමහර තාත්තලගෙ ක්‍රියාවෙන් දරුවො අවබෝධකරගන්නෙ මීට හාත්පසින්ම වෙනස් දේවල්.

    ReplyDelete
    Replies
    1. ඔවු මල්ලි.. ඒක ඇත්ත.. එයිට අමතරව අපේ හුඟක් අම්මලා තාත්තලා.. දඟලන්නේ ළමයට උගන්නන්න..මොනවද? ලියන හැටි, කියවන හැටි, ගණං හදන හැටි.. වගේ දේවල්.. ඒ ටික ඉගෙන ගන්න නේ දරුවා පාසැල් යවන්නේ.. අපි ගෙදරදී කියලා දෙන්න ඕන.. මෙන්න මේ වගේ දේවල්..මනුස්සයො විදිහට ජීවත් වෙන හැටි..

      Delete
  4. ඇඟිල්ලෙන් ඇන
    කියා දෙන්නට
    පියෙකු සිටියා නම් මටත්...

    මට හිතුනේ ඔන්න ඔහොම...හැරිම හැඟීම්බරයි

    ReplyDelete
    Replies
    1. ළිහිණි..
      ඔයාගෙ වචන ටික ඊටත් වඩා හැඟීම් බරයි..
      හ්ම්ම්..

      Delete
  5. මට ගොඩක් හිතට දැනුන ලිපියක්.
    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අගය කිරීමට.. ඔයාටත් ජයම වේවා..!

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..