Sunday, October 7, 2012

කවුද බොලේ මං කපන්න ඉස්සෙල්ලා කැපුවේ? (18+ ම නොවේ..)

ඔන්න මටත් ඉන්න ගමං පරණ කතාවක් මතක් වුණා..

අපේ  සුමේධ සර් ගෙ ඇප්ලයිඩ් පංතියෙ.. ක්ලාස් ගියපු අය දන්නවා ඇතිනෙ.. අන්තිම දවස්වල යන්නෙ එක්ස්ප්‍රස් ට්‍රේන් එකේ.. මගෙ ලඟිං වාඩි වෙලා හිටියෙ සමීර.. ඊට එහා අංජන.. මං නෝට් එකක් ලියන්න ගිහාම සාමාන්‍යයෙන් පරක්කුයි.. සර් කියන විදිහටම හිතට අරගෙන හෙමීට පොතට දාගන්නකොට .. අනිත් අය ටිකක් වැඩිපුර දුර ගිහිං..

ඔන්න එදා පාඩමේ සර් (මොනවා ඉගැන්නුවාද කියලා නම් මට මතක නෑ..) පොයින්ට්ස් විදිහට යම් දෙයක් ලියන්න දෙන ගමං ඒ කරුණු ගැන විස්තර කරනවා...

1. බ්ලා.. බ්ලා.. බ්ලා.. බ්ලා..
2.


කියලා දෙවැනි පොයින්ට් එක ලියන්න දෙන්න කලිං.. ආයෙමත් පළමු කරුණ තව ටිකක් පැහැදිලි කළා.. ඊට පස්සෙ කිවුවා.. අර ලියපු 2 කපලා.. 1. යටතේම මේ ටිකත් ලියාගන්න කියලා.. හෙමීට ලියන මම පළවෙනි පොයින්ට් එක ලියලා ඉවර වෙද්දී දැන ගත්තා.. 2. කියලා දාන්න ඕන නෑ කියලා.. ඉතිං මං 2. කියලා ලිවුවෙ නෑ.. ඒත් මට එහා පැත්තෙ හිටපු සමීර 2. ලියලා තිබුණු නිසා.. මම 2. කපන්න කියන කොටම සමීරයගෙ පොතේ.. 2. කැපුවා....

සමීර 2. කපන්න බලනකොට.. කවුරු හරි කපලා.. මිනිහා අහනවා..

කවුද බොලේ.. මං කපන්න ඉස්සෙල්ලා මගේ 2 කැපුවේ...?

ඒක ඇහුණු අංජන කියාපි..

කවදා හරි උඹේ ගෑණිටත් වෙන්නේ ඔය ටික තමයි..

සමීරයා.. ඇයි මොකද?

අංජන හිනා වුණා විතරයි..

හැබැයි.. සමීරයට.. එහෙම අවුලක් නෑ.. ඌ වගේම පැටවු 3න් දෙනෙක් ඉන්නවා... දැං.. 
:D



ප/ලි:
නං ගං සත්‍ය යැයි නොසිතන්න..

Wednesday, October 3, 2012

බැරිදා විග්‍රහය..!ඉස්ලාම් භක්තිය හා බුදු දහමේ ශක්තිය

ඉස්ලාම් ආගම අදහන මිනිසුන් අපි සමස්ථයක් ලෙස මුස්ලිම් ජාතිකයින් ලෙස හඳුන්වමු.. එය ලෝකයේ විශාල පිරිසක් අදහන ආගමකි.. මේ ආගමේ වැරදි, අඩුපාඩු ඇති බැවු ආගම හැදෑරූ ඇතැමුන් විසින් පවසයි.. එහෙත් එය මෙහි මූලික අරමුණ හා සම්බන්ධ යැයි මම නොසිතමි.. ආගමක්, යතාර්ථවාදී නොවූවද, සත්‍යයක්ම නොවූවද, එම ආගම විශ්වාස කරන්නන්.. අදහන්නන් සිටිත් නම් අප ඔවුන් ගැරහිය යුතු නැත.. එය ඔවුන් ගේ අයිතියකි..

අප අපගේ දහම ගැන විශ්වාසය තබන්නා සේම.. ඔවුහු ද තමන්ගේ ආගම ගැන විශ්වාසය තබති.. අපගේ දහම තුළ සිතීමේ නිදහස වැඩිපුර දී ඇති නිසා එය සත්‍යයට වැඩියෙන් ළඟයැයි හෝ එය සත්‍යයමයැයි අපි සිතමු.. නමුත් එය නොපිළිගන්නට ඔවුනට අයිතියක් තිබේ.. එසේ නොපිළිගත්තාය කියා ඔවුන්ව ගැරහීමේ අයිතියක් හෝ යුතුකමක් අපට නැත..

එහෙත් මුස්ලිම් ආගමට සම්බන්ධ බොහෝ (හැම දෙනාම නොවේ..) අය තුළ ඇති, ඔවුන්ගේ දියුණුව වෙනුවෙන්ම ඔවුන් පාවිච්චි කරන පොදු ක්‍රමවේද ගනණාවක් ඇති බැවු පෙනේ..මා දන්නා තරමින් (අත්දැකීමෙන්ම) ඒවා සැකෙවින් මෙසේ දක්වමි..

1. වෙළඳාම, රස්සාව ආදී කුමන හෝ කටයුත්තකදී.. තමාගේ ආගමේ කෙනාට ප්‍රමුඛතාවය දීම..
2. එක් ස්ථානයක් මිළ දී ගත් විට.. ඒ අසල හැකිතාක් තමන්ගේ ආගමේ අය පදිංචි කරවීම..(මෙය වෙළඳ ස්ථාන වලට ද සාධාරණය..)
3. වැඩි වැඩියෙන් තමන්ගේ වර්ගයා බෝ කිරීම
4. උදවු අවශ්‍ය තම ආගමේ කෙනාට.. අවශ්‍ය විට පොළී ආදිය පවා නොතකා උදවු - පදවු කිරීම..


මෙයට අමතරව.. ඉතා කූඨ ලෙස.. තමන්ගේ අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා.. අන්‍ය ජාතීන්ට විරුද්ධව වැඩකරන ඇතැමුන් ද දැකිය හැක..

ඉහත මා දැක්වූ කාරනා බැලූ බැල්මට අසාධාරණයැයි අපට සිතුනද, ත්‍රිලක්ෂණය නොහඳුනන ඔවුන් එය කිරීම අසාධාරණ නොවේ..

එහෙත් ත්‍රිලක්ෂණය දන්නා අප හැසිරෙන්නේ කෙසේදැයි නැවතත් මෙනෙහි කළ යුතුය..
සිංහල ජාතිය, බෞද්ධ ආගම.. අනෙක්වාට වඩා උතුම් බව අපි සිතමු..
එසේ සිතන්නේ බුදු දහමේ පදනම බඳු ත්‍රිලක්ෂණය අමතක කර බව අපි නොසිතමු..

අප උපන් රටට, අප අයත් ජාතියට, අප අදහන ආගමට අපි කළගුණ දැක්විය යුතු වෙමු..
එය කළ යුත්තේ වෙනත් රටකට, ජාතියකට, ආගමකට හෝ පිරිසකට ගරහමින් නොවේ.. මා දකිනා පරිදි.. අප කළ යුත්තේ..

1. අපගේ දහමට අනුව සිත දියුණු කරමින්, තමා ගැන සොයමින් අරි අටැඟි මගේ ගමන් කිරීමට උත්සාහ කිරීම..
2. අප ජාතියේ පැවත්ම ට හානි වන පරිදි අපගේ ඇති දුර්වලතා හැඳින ඊට පිළියම් යෙදීම..
3. බුදුන් දෙසූ ධර්මය කිසිවෙකුටත් විනාශ කළ නොහැකි බව දකිමින්.. ඒවා විනාශ කරන්නට උත්සාහ කරන්නාට අනුකම්පා කිරීම..

ආදියයි..

එහෙත් අප කරන්නේ ක්‍රෝධය වැඩෙන ආකාරයේ දේවල් මය.. ඔවුහු අපට යම් වරදක් කරන්නේ නම්.. අප එයට විරුද්ධ බව දැන්වීම එකකි.. එහෙත් පරිභව කරමින් ඔවුන්ව ගැරහීම.. අපට තරම් නොවේ..

අද දිනයේ බෞද්ධයිනට විරුද්ධව ක්‍රියා කරන ඉස්ලාම් වරුන්ට විරෝධය පෑමට ඇති රැස්වීමක් ගැන  දැන්වීමක්  වත් පොතෙහි බෙදා ගැනීමෙන් පසු.. මාගේ සුහද මුස්ලිම් මිතුරෙකු මට අහිමි විය.. මන්ද එම මුස්ලිම් ජාතික මිතුරා සිතුවේ එහි ඇතුළත ඇති දෑ මා අනුමත කළ බව විය යුතුයි... හැබෑවටම මා බෙදා ගත්තේ පිංතූරයකි.. එහෙත් එම පිංතූරයේ ඉතා පහත් ලෙස මුස්ලිම් ආගමට අදාල චරිත වලට ගර්හා කර තිබුණි.. එය මා දුටුවේ.. ඊට බොහෝ වෙලාවකට පසුය.. ඒ වන විට සිදු විය යුතු දෑ සිදුව හමාරය..

මගේ ආදර මිතුරණි.. මා ඔබෙන් ඉල්ලීම් කිහිපයක් කරමි..
1. වත්පොතෙහි යමකට ලැයික් දැමීමට හෝ ෂෙයාර් කිරීමට පෙර.. එය හොඳින් කියවා තේරුම් ගන්න.. නැතහොත් නිකරුණේ ඔබ නොසිතන දෙයක් වෙනුවෙන් ඔබට පෙනී සිටින්නට සිදුවනු ඇත.. සිත නොරිදවිය යුතු යහපත් මිනිසුන් හිත රිදවා ගනු ඇත..
2. ඔබට හැබෑවටම රට, ජාතිය, ආගම ගැන කැක්කුමක් ඇතිනම්.. අනුන්ට බැණ බැණ නොඉඳ.. තමන්ට හැකි දෙයක් වේ නම්.. එය ඉටු කරන්න..
3. බුදුන් දෙසූ ධර්මයේ ඇති සත්‍යතාව ගැන.. හැබෑ විශ්වාසයක් ඇතිනම්.. ඔබ එම විශ්වාසයට අනුව කටයුතු කරයි නම්.. තව දුරටත් කිසිවෙකුටත් එම ධර්මය විනාශ කළ නොහැකි බව විශ්වාස කරන්න..

Monday, October 1, 2012

දරුවෝ, දෙමාපියෝ සහ සැලකිළි...

ඔක්තෝම්බර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය වෙනුවෙනි..

වහ වහා තමන්ගේ වැඩකටයුතු නිමා කරන අම්මා ඇදෙන්නේ සාලයේ මුල්ලක තබා ඇති රේඩියෝව වෙතටය.. දැන් සෑහෙන දවසක සිට අම්මාගේ ක්‍රියා පටිපාටිය සෑහෙන්න වෙනස් වී ඇත..

පහු වුණු කාලේ කොයිතරම් සිල් ගන්ට ගියත්.. කවුරු හෝ සිල් ඇත්තියක් පවසන සාස්තර කරුවෙකු, යන්තර-මන්තර ගුරුකම් කරන කපුවෙකු  වෙත යාමට ඇයට සිත් වේ.. තමාගේ දරුවෝ හම්බ කරන මුදල් මදියැයි ඇයට සිතෙයි.. ගුරුකමක් කරගත්තොත් සියල්ල හරියනු ඇතැයි ඇය සිතුවාය.. මාගේ දැඩි අකැමැත්ත නිසා ඇතැම් ව්ට පසුබෑව ද, විටින් විට උපාසකම්මලා ගෙන එන ආරංචි නිසා හිතේ සැනසීම නැති කරගත්තාය..

වාසනාවකට මෙන් දැන් ඇය සිල් ගන්නට, භාවනා පුරුදු වෙන්නට යන්නේ හේමාලෝක හාමුදුරුවෝ ලඟටය... උන්නාන්සේ දේශනා කරන බොහෝ කරුණු ඉතා අවබෝධයෙන් ඉදිරිපත් කරන නිසා දෝ.., ඉතා ප්‍රායෝගිකය.. මගේ වැටහීමට අනුව බොහෝ සෙයින් නිවැරදිය.. ඇතැම් විටෙක හාස්‍යයත්, ඇතැම් විටක රළු ගතියත් බොහෝ විට ශාන්ත බවත් මුසු කරමින් කරන දේශනා වලට ඇහුම්කන් දීම ද මහත් සේ  ප්‍රිය උපදවයි..

රාත්‍රී නවය වෙද්දී රේඩියෝව ළඟට ඈ එන්නේ හේමාලෝක හාමුදුරුවන්ගේ බණ අහන්නටය... පුතේ මේ සුදු මහත්තයා කරකවලා... මීටරේ වෙනස් වෙලා.. මගේ පුංචි පුතා ගේ වැඩ.. මම වහා ගොස් එෆ්. එම්. චැනලය අල්ලා දෙමි..

දරුවනේ.. අම්මලාට, තාත්තලාට දෙන්න පුළුවං උතුම්ම තෑග්ග මොකද්ද?

ඉහලට ඉගෙන ගෙන ලොකු රස්සාවල් කරලා ලොකු සල්ලිකාරයෙක් වෙන එකද? සක්විති රජ  වෙන එකද? හැම අම්මම, හැම තාත්තම හිතන්නෙ තමන්ගෙ පුතා සක්විති රජෙක් කරන්ට නේ.. 

නෑ පිංවතුනි.. උතුම්ම තෑග්ග..
නිර්වාණ මාර්ගයට යන එක.. මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදෙන එක..අම්මා තාත්තවත් මිථ්‍යා දෘෂ්ඨියෙන් මුදවලා නිර්වාණ මාර්ගයට යොමු කරන එක..

මගේ සිතට සතුටක් දැනෙයි.. මං හම්බකරන මුදල මදියැයි සිතා අම්මාත් අප්පච්චිත් ඉන්නේ මහත් කණස්සල්ලෙන් බව මම දැන සිටියෙමි.. දැං වත් ඔවුන් තේරුම් ගන්නවා නම්..
අම්මෙ තාත්තෙ... තමන්ගෙ දරුවාට දෙන්න පුළුවං උතුම්ම දායාදය මොකද්ද?
ලොකු රස්සාවක් කරන ලොකු මහත්තයෙක් කරන එකද? ලොකු ඩවුරියක් එක්ක මනමාලියෙක්ව බන්දලා දෙන එකද? ජීවත් වෙන කාලයටම කිසි මහන්සියක් නොවී කාලා බීලා ඉන්ට තරං ලොකු මුදලක් දරුවන්ට හරි හම්බ කරලා දෙන එකද? සක්විති රජෙක් කරවන එකද?

නෑ.. නිර්වාණ මාර්ගයට යොමු කරවන එක...මිථ්‍යා දෘෂ්ඨියෙන් මුදවන එක.. ගුණ ධර්ම කියලා දෙන එක.. ඒක තමයි උතුම්ම තෑග්ග..


අපි ඒ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ.. මට ඉබේම සුසුමක් පිටවුණා.. අවුරුදු තුනේ ඉඳං මොන්ටිසෝරි යවලා, එලකියුෂන් පංති යවලා ඉගැන්නුවාට.. ගුණ ධර්ම උගන්නන්ට අපි දරලා තියෙන උත්සාහය මදි නේද?

ගෙදර ආපු වෙලාවෙ ඉඳං ගෙදර උන්දැගෙ කං කෙඳිරිය මට මතක් වුණා.. බලන්න තවම මේ ළමයාට "G" අකුර ලියා ගන්ට බෑ නොවැ.. මේ ළමයා අර ප්‍රශ්න පත්තර වලට උත්තර ලියලා තියෙන හැටි දැක්කම මට දුක හිතෙනවා.. බලන්නකෝ අනිත් ළමයි.. දුලාරි අක්කගෙ දුවත් මේ වයස.. එයාට දැන් අකුරු දෙකේ, තුනේ වචන ලියන්නත් පුළුවන් ලු.. මෙහාට එනවා.. කෙල්ලව කෙස් වැටියෙන් අල්ලාගෙන ගොස් අකුරු කරවන අපේ ගෙදර උන්දැව මට මැවී පෙනෙයි...

ඉස්සර අන්තිමට ගෙදර එන්නේ තාත්තා.. දැන් එක වසරෙ පොඩි එකා.. ඉස්කෝලෙන් පස්සෙ.. එළකියුෂන්, ශිෂ්‍යත්වෙ, ඉංග්‍රීසි.. පංති.. කෝ ඉස්සර තිබුණු ගුණධර්ම.... ඉස්සර අපි තාත්තා ආවහම.. කට්ටියම එකට එකතු වෙලා බුදුන් වැඳළා.. තිසරණ සහිත පඤ්ච ශීලය සමාදන් වෙනවා.. තාත්තලාට බැරිනම් අඩු ගානේ අම්මාවත් දරුවෝ ටික එකතු පහදු කරගෙන.. දන්නෙ එක ගාථාව නම්.. ඒක කියලා බුදුන් වඳින්න... ළමයින්ට ආදර්ශයෙන් පෙන්නන්න... ගුණධර්ම කියන්නෙ මේවායි... කියලා.. ගුණධර්ම කියන්නේ මොනවද? ශීලය.. ශීලය නැතුව නිවන් දකින්න පුළුවන්ද? බෑ නේද?


යළිත් දිගු සුසුමක් හෙළූ මා නැගිට ගියේ.. අරමුණක් ඇතිවදැයි මට මතක නැත....
====================================================

පුංචි දරුවන් දෙදෙනා මා සමඟ හුරතල් වෙයි.. මට මගේ දරුවන්ගේ තරුණ කාලය මැවී පෙනෙයි.. අනේ තව කී කාලයක් මාත් එක්ක මෙහෙම හුරතල් වෙයිද..? සිතේ ඇතිවෙන්නේ සියුම් ලෝභයක් බව මම දනිමි.. එහෙත් එය බොහෝ ආශ්වාදජනක සිතුවිල්ලක් නොවේදැයි මම සිතමි..

මගෙ පුතේ.. ඔයාලා තව ටික කාලයයි නේ මෙහෙම හුරතල් වෙන්නේ..
ඇයි..?
ඊට පස්සේ ඔයාලා ලොකු වෙනවනේ.. අප්පච්චිලා වයසට යනවා..
පුංචි එවුන් මදෙස අමුතු විදිහකට බලා හිඳී...
දැං අත්තම්මලා වගේ ද? අවසන පැනයක් අසයි..
ඔවු පුතේ..
එතකොට මයෙ පුතාලා.. අපට සලකනවද?
ඉතිං අප්පච්චිලා.. අත්තම්මලාට සලකනවායෑ..?
මගේ ඇඟ හීතල වී ගිය වගක් දැනුණි.. ඇයි මේ කෙල්ල මෙහෙම කියන්නේ..?
ඇයි පුතේ එහෙම කියන්නේ..?
ඉතිං අප්පච්චිට තේ හදලා දෙන්නෙත් අත්තම්මානේ..?
මගේ හිතට සැහැල්ලුවක් දැනුනේ දැන්ය..
පුතේ සලකනවා කියන්නේ තේ හදලා දෙන එකට විතරක්ම නෙවෙයි.. අනික අත්තම්මලා තවම තෙරුවන් සරණින් හොඳට ඉන්නවනේ.. ඉතිං අපි කරන්නේ.. ලෙඩ වුණාම බෙහෙත් අරං දෙන එක, පිං දහම් කරගන්න උදවු කරන එක, වගේ දේවල් විතරයි...

පොඩි එකාගෙ කතාවට එහෙම කිවුවට..

තවමත් අපි දෙමවුපියන්ට සලකනවාට වඩා.. දෙමාපියෝ අපට සලකනවා නේද? කියලා මං කල්පනා කළා.. ඒත් මේවා කොහොම පොඩි එවුන්ට තෝරලා දෙන්නද..?

ආයෙමත් සුසුමකින් ළය සැහැල්ලු කරගන්නවා ඇරෙන්න මට කරන්ට දෙයක් තිබුණෙ නෑ..