Saturday, November 10, 2012

උපන් දිනය දා..

ආදරණීය සචී වෙත..
ක්‍රමක්‍රමයෙන් වියැකිලා යන ජීවිතය තුළ අපි කියපු කරපු දේවල්, අපි ගොඩනඟපු දේවල්, අපි ලබාගත්තු ජයග්‍රහණ ගැන පොඩි තක්සේරුවක් කරන්න අපට අවුරුද්දට තුන් හතර වතාවක් ඉඩ ලැබෙනවා.. ඒ අතර උපන් දිනය සුවිශේෂ වෙන්නේ.. අපේ වයසත් එක්කලා අපි කොයිතරම් දුර ඇවිල්ලද කියලා හිතන්න හොඳම අවස්ථාවක් හින්දයි..

ඉතිං ඔයාගෙ 34 වැනි උපන් දිනය දවසෙ ඔයාට හිතන්න ගොඩක් දේවල් තියෙන බව මම දන්නවා.. මේ ජීවිතයෙ ආපු අසීරුතා, සතුටු දායක අවස්ථා හැම එකකටම මට සහභාගී වෙන්න බැරි වුණත්.. එහෙම පුළුවං වුණු අවස්ථාත් සෑහෙන තරමක් තියෙනවා.. මං දන්නවා.. ඔයා හුඟක් දේ දරාගෙන මගෙත් එක්ක මේ ගමන යන බව.. දැං පටං ගන්න යන්නේ අපේ ජීවිතයෙ දුෂ්කරම අවධිය කියලයි මට හිතෙන්නේ..

අපි තරුණ කමින් දුරස් වෙනවා..
අපේ ජීවන බර එන්න එන්නම වැඩි වෙනවා..
ජීවිත තව තවත් සංකීර්ණ වෙනවා..
ආර්ථිකේ තවත් අමාරු වෙනවා..
අපි අතරම අපි තනි වෙනවා..
හිනා වෙන්න කතා කරන්න අමතක වෙනවා..
ඒ මොනවා වුණත්..
මතක තියාගන්න..
විශ්වාසය..
ඔවු.. අපි අතර තියෙන විශ්වාසය..
ඒක බිඳෙන්න නම් දෙන්න එපා..
මැරෙන කල්..
මං විශ්වාසය ගැන ගොඩක් විශ්වාස කරන කෙනෙක්..
ඒක හරි ලේසියෙන් බිඳෙන්න පුළුවං...
හැබැයි..
ඒක නිකරුණේ නොබිඳෙන්න නම්..
ඔයාටයි මටයි දෙන්නට ම..
ඒ විශ්වාසය තියෙන්න ඕන..

අපි අද පන්සල් යමු.. පැතුම් වෙනුවට.. විශ්වාසය හිතේ පුරවගමු..!
විශ්වාසය තියෙනවා නම්.. මොකුත්ම අපෙන් ගිලිහෙන එකක් නෑ..
ඔයාගේ උපන් දිනය යෙදෙන දවසෙම මිය පරලොව ගිහිං තියෙන ඔයාගෙ සීයා ටත්,  මගේ අත්තම්මාටත්..
ඒ ආසන්නම දවස් වල මිය පරලොව ගොස් ඇති.. ඔයාගේ තාත්තා, මගේ ආතා සහ මගේ ආච්චි අම්මාටත්
පිං බලාපොරොත්තු වෙනවා නම්.. පිං පෙත් පතමු..

කලිං අවුරුද්දෙ.. මං ඔයාට ලියපු ලිපිය   හුඟක් දේවල් කියන නිසා ඔයාට තුනුරුවන්ගේ ආශිර්වාදය පතමින් නවතින්නම්..

4 comments:

  1. අනේ හරීම ආදරණීයයි. මෙවන් වූ සැමියෙකු ලද ඈ සැබැවින්ම වාසනාවන්තයි. නංගියේ ඔබට තිසරණ සරණින් නිදුක් නීරෝගී වාසනාවන්ත උපන් දිනයක් පතනවා සෙනෙහසින්ම.

    ReplyDelete
  2. අක්කට සුභ උපන්දිනයක් කියල මමත් ප්‍රාර්ථනා කරනව.

    අයියගෙ සුභ පැතුම් කවි ටිකකුත් තිබුණනම් වටිනව, අර මුල මැද අග ගලපල වචන හරඹ කරන පේලි හතරෙ කවි.

    ReplyDelete
  3. අක්කටත් අයියාටත් පවුලේ සැමටත් සුභදායී අනාගතයක් උදාවේවා

    ReplyDelete
  4. සුබ පැතුම් එක්කල හැමට තුති..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..