Monday, February 18, 2013

මගේ ගල් හිත

ඕකගෙ හිත ගලක් වගේ.. සාළුවත් කරේ දමාගෙන ළිඳට නාන්ට යන මාව දැකපු කුමාරි අක්කා සුජාතා අක්කාට කියනවා මට හොඳට ඇහුණා.. 
ඇහෙයි බං.. සුජාතා අක්කාගේ කෙඳිරිල්ල පවා මට හොඳට ඇහුණෙ හාත්පස තිබුණු නිහඬතාවය නිසා වගේම ඒ කෙඳිරිල්ලෙ තිබුණු ජවය හින්දා.. 
ඉතිං ඇහුණ දෙං.. කුමාරි අක්කා කියා ඇත්තේ මට ම බව දැන් හොඳටම පැහැදිලියි..

මං පහුගිය කාලේ පුරාම සුරනි ට ආදරය කළා.. ඒ ආදරය අවුරුදු 10කටත් වඩා වයසයි.. සුරනිත් මට හදවතින්ම ආදරය කළා.. අපේ පවුල් වලින් පවා මේ ගැන දැනගෙන හිටියා.. මේ ඔක්කොම ඇත්ත..
ඒත්..
මං ආදරයේ බැඳුණේ.. ආදරය ගැන තේරෙන කාලෙක නෙවෙයි.. මං හිතුවේ කොල්ලෙක් උනහම කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ඕනෑ කියලා විතරයි.. මගේ යාළුවෝ හුඟකට කෙල්ලෝ හිටපු නිසා මට එහෙම හිතෙන්ට ඇති.. ඒ කෙල්ල ලස්සන වෙන තරමට, අහිංසක වෙන තරමට මට හරි ආඩම්බරයි කියලා මං හිතුවා..

ඉස්කෝලෙන් පස්සෙ කැම්පස් ගියත් මම මගේ සුරනිව අමතක කළේ නෑ..එයත් කවදාවත් මාව අමතක කළේ නෑ.. ඊට පස්සෙ රස්සාවට ගියත් ඉතිං මට සුරනිගෙන් තොර ආදරයක් නං තිබුණේ නෑ..
==============================================
අපේ ගෙවල් වලිනුත් අනුමැතිය ගත්ත හින්දා පළමු වතාවට කැළණියේ පන්සල වඳින්නට යන්නට ඕනෑ කියලා මට හිතුණා.. කවදත් ආගම දහමට ලැදි සුරනි ඊට එක හෙලා කැමති වුණ හින්දා,  පොහොයක් නොවන ඉරිදා දිනෙක අපි පන්සලට ගියේ හරි සැහැල්ලුවෙන්.. තෙරුවන් වැඳලා පන්සිල් සමාදන් වෙලා අපි එහෙට මෙහෙට ඇවිද්දේ කැළණි පුදබිම ටිකක් බලා කියා ගන්ට. වැලි මළුවේ එක පැත්තක දසසිල් මාතාවක් තවත් උපාසිකාවන් කීප දෙනෙක් එක්ක බර කතාවක්.. ධර්මය ගැන කෙරුණු ඒ කතා බහට අපිත් කැමති වුණු හින්දා ටිකක් වෙලා එතන ඉමු කියලා අපිත් වැල්ලේම ඉඳගත්තා....


අපේ හැම තීරණයක්ම ඇලීම් වලින් හා ගැටීම් වලින් තොර වෙනවා නම්.. ජීවිතය හරිම පහසුයි. අපේ ජීවිතය මේ තරම් අසීරු වෙලා තියෙන්නෙ.. අපි එක්කො දකින දකින දේට ඇලෙනවා.. නැත්නම් ඒත් එක්ක ගැටෙනවා.. 
මීට කලිං මේ කතාව කොහෙදිවත් මේ තරං පැහැදිලිව මං අහලා තිබුණේ නෑ.. සිල් මාතාව ඊට පස්සෙ කිවුවෙ මොනවද කියලා මට මතක නෑ.. ඒත් මගේ හිත නං අනෙක් වැඩ අමතක කරලා හිතන්න ගත්තා..

ඇලීම් හා ගැටීම් අපේ ජීවිත දුෂ්කර කරන බව මට තේරුණා.. මං ඊට පස්සෙ වෙනස් උනා.. වැඩිපුර පොත් පත් කියෙවුවා.. සුරනිත් මගෙත් එක්ක මේ දේවල් වලට ළඟින්ම හිටියා..

සුරනි.. මේ ආදරය කියන්නෙත් ඇලීමක්ම නේද? මං ඔයාගෙ ඇස් දෙකට, හිනාවට, ලස්සනට ඇලිලා.. ඒත් මේ ඇලීම අවසානයේ දී ගේන්නෙ දුකක්ම නේද?
ඔයා මොනවද මේ කියන්නෙ..? සුරනි වැඩිපුරම කලබල වෙලා ඉන්නවා මම දැක්කෙ එදායි.. ඒත් එයත් ටිකෙන් ටික සත්‍යය තේරුම් ගත්තා..


අපි මහණ වෙමු ද? සුරනිම දවසක් මගෙන් ඇහුවා..
අවස්ථාව එනකං ඉමු.. මේක වෙලාව නෙවෙයි.. මං එහෙම කිවුවේ.. අපි දෙන්නම මහණ උනා නම් ඒක ලොකු ප්‍රශ්නයක්.. ගැටුමක් ඇති කරන්න ඉඩ තිබුණ හන්දා.. මං මහණ වෙන්න හොඳ තැනක් හෙවුවා.. මට ඕන වුණේ මහණ වෙලා බවුන් වඩන්න.. ගමේ පන්සලේ මහණ වෙලා ඒක කරන්න බෑ නෙව..
අපේ සම්බන්දෙ නැවතිලා කියලා ටික ටික හැමෝම දැනගත්තා.. මම ඒක නැවැත්තුවා කියලයි හැමෝම හිතුවේ.. මොකද සුරනි ගෙදරම හිටපු කෙනා.. මම රස්සාවට යනවනේ.. ඉතිං මගේ මොකක් හරි වෙන පටලැවිල්ලක් කියලා කට්ටිය හිතන්න ඇති..


හැන්දෑවක සුරනි මාව මුණගැහුනා.. මට දණගහලා වැන්දා.. ඇස් දෙකේ කඳුළු පිරිලා තිබුණත් ඇඬුවේ නෑ.. සමීර අයියේ.. මම අපේ ගෙදර එකම දරුවා.. දන්නවනේ අම්මලාගෙ බලාපොරොත්තු.. මට ඒවා ඔක්කොම බිඳින්න වෙනවා.. ඒ වෙන කවුරුවත් වෙනුවෙන් නෙවෙයි.. මං වෙනුවෙන්..! එහෙම කියපු සුරනි ඉක්මණින් එතැනින් ගියා..

සුරනි විතරක් නෙවෙයි මාත් දැං අපේ පවුලෙ එකම දරුවා.. අයියා හමුදාවට ගිහිං නැති වුණාට පස්සෙ.. මං තමයි අපේ ගෙදර එකම දරුවා... එයාලත් මං ගැන තියපු බලාපොරොත්තු නම් අහසටත් උඩිං.. දිගු සුසුමක් පිට කරනවා ඇරෙන්ට මට කරන්ට දෙයක් තිබුණෙ නෑ..

පහුවදා ආරංචි වුණා සුරනි ගෙදරින් ගිහිං කියලා.. මං දන්නවා සුරනි ජීවිතයට කරදරයක් කරගන්නේ නෑ කියලා.. තෙරුවන්ගේ සත්‍ය බලයෙන් සුරනිව ආරක්ෂා කරන්ට කියලා මං පැතුවා..

පුදුමයක් නෑ.. සුරනි ගිහිං තියෙන්නෙ ආරාමෙකට.. මට ඒක ආරංචි වුණ මොහොතේ මං හිතුවා.. එයා මහණ වෙනකං මම එහෙ නොයා ඉන්නවා කියලා.. නැත්නම් එයාට මාව බාධාවක් වෙන්න පුළුවන්..

==============================================
මගෙ හිත ඇත්තටම ගල් හිතක් ද? සිද්ධ වෙන දේත් එක්ක ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතිව.. අවබෝධයෙන් දැකීම හිත ගල් කර ගැනීමක්ද? වෙන මිනිස්සු අඬන හැපෙන දේට.. ඇඬීමේ තේරුමක් නෑ කියලා වටහාගෙන නාඬා ඉන්න එක අමනුස්ස කමක් ද? පුදුමයි..!
මගේ ගල් හිතෙන් ප්‍රයෝජනයක් ගන්න දැං නම් වෙලාව ඇවිත් වගේ..
ආයෙමත් සුසුමක් හෙළමින් මං අන්තිම වතුර එක ඔළුවට දාගත්තා..

8 comments:

  1. මිනිහෙක්ගෙ කදුලු, සිනහව, නිහඩබව පිටිපස්සෙ මොනතරම් ලොකු කතාවක් තියෙනවද කියල පිටින් බලන අයට පේන්නෙ නෑ.... බාහිරෙන් බලල මිනිහෙක්ව මනින එක කොයිතරම් අසාධාරණද??

    ReplyDelete
    Replies
    1. de silva
      කොයිතරම් අසාධාරණ වුණත්.. වෙන්නෙත් ඒකම නෙ.. නේද? ස්තුතියි අගනා අදහසට..

      Delete
  2. බෞද්ධයෝ කියලා අපි මචං බෝඩ් ගහගත්තට බුද්ධ ධර්මයේ කියන දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය මේ ඔක්කෝම දැන ගෙනත් අපි හැමදාම කරන්නේ මීට පටහැනි දේවල්මයි.

    අනේ මන්දා . . !

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං.. අපේ බෞද්ධයින්ගේ තරම් කෙළෙස් සුද්දන්ගෙ නෑ නෙව.. එක ගෑණියෙක් හොඳ නැත්නං වෙන එකෙක් ගත්තා.. ආයෙ ඒ ගැන හිතන්නෙ නෑ..(උන්ගෙ සදාචාරෙ අවුලක් තියෙන එක වෙනම කතාවක්..)

      අපේ ආගමේ තරං හිතන්ට නිදහස දීපු තවත් ආගමක් නෑ කියනවනේ.. එහෙවු වෙලත් අපි හිතන්නෙ අනිත් පැත්තටම වෙච්චි එක නේ කරුමේ..

      මං ඔය අවස්ථාවක දෙකක.. පොඩි පොඩි කේස් වලට අප්සෙට් වෙලා පිස්සු කෙළින යාළුවෙක්ට දෙන්නෙක්ට අවවාද දෙන්ට ගිහිං තියෙනවා.. අවසානයේ දි උං අපට උපදෙස් දෙනවා.. බැලුවාම උන් අපිට වඩා බුද්ධාගමත්, අර කිවුවා වගේ දුකින් මිදෙන විදිහත් දන්නවා.. ඒත් දැන දැනම වැරදි දේම කරනවා..

      Delete
  3. අනේ බං ඔය දුකා කිව්ව වගේ බුදු දහමෙන් හොයාගනිං උත්තර.. අනික මොන මගුලකටවත් වැනෙන්න එපා..

    ReplyDelete
    Replies
    1. හෙ.. හෙ.. මෙය නිර්මාණයක් බව කරුණාවෙන් සලකන්න.. කට්ටියට බුදු දහම මතක් කරගන්න චුට්ටක් කොනිත්තන්නයි මට ඕන උනේ..

      Delete
  4. හ්ම්ම්ම්...සුරනි ගනිපු තීරණේ ගන්න අපිට තව කොච්චර කල් යයිද? අනේ මන්දා දුකයි දුකයි කියලා දැන දැනත් අපේ මේ ජීවිතේම ඇලිලා ගැලිලා ඉන්නේ ඇයි කියලා....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ලෝක සොබාවය නගේ.. අපට ඇලිලා ඉන්ට විවිධ හේතු මැවෙනවා.. ඉතිහාසෙත් මවුපිය උපස්ථානය, අඹු දරු රැකීම වගේ කරුණු නිසා මහන දම් පුරන්ට, බවුන් වඩන්ට අවස්ථාව අහිමි වුණු උත්තමයෝ කොයිතරම් හිටියද..? ඒත් ඒවයින් සැලෙන්ට නරකයි.. අලුත් බැඳීම් හදාගනිද්දි පරෙස්සම් වෙන්ට ඕන.. යුතුකම් වගකීම් ඉටු කරමින්.. පුළු පුළුවං හැටියට.. කුසල් දහමේ යෙදුණොත්.. සතර අපායට නොවැටී බේරෙන්ට බැරි වෙන එකක් නෑ නේද?

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..