Thursday, March 28, 2013

අන්තිමේ හිත් දෙකම එකම මතයකට ආවා..!

මගෙ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතුවිල්ලෙන්..
එහෙම කාලෙකුත් තිබුණා නේද? 

මට ඇහෙන නෑහෙන ගානට මගේ හිතම මට කෙඳිරුවා..

ඇත්තටම එහෙම කාලයක් තිබුණද? 

ඒ ප්‍රශ්නයත් මගේ හිතෙන්මයි.. ඒ වුණාට අර කලිං හිතට වඩා මේ හිතට පොඩ්ඩක් හිතන්න පුළුවං ද කොහෙද..

එහෙම හිතෙන කාලයක් තිබුණා.. ඒකයි ඇත්ත..
ඒත් දැං..
එහෙම හිතෙන්නෙ නෑ..
ඒත් ඇයි ඒ..
ඕවා හිත හිතා ඉන්න කොහෙද අප්පා වෙලාවක්..
අනික ඉතිං මොනවා හිතන්නද.. එයා ඉතිං මගෙ වෙලා ඉවරනෙ..


හික්.. හික්.. මගෙ වෙලා විතරක් නං මදෑ.. මට එපා වෙලත් ඉවරනෙ.. 


ආයෙත් අර චාරයක් නැති හිත ඉස්සරහට පැන්නා..

එහෙම එපා වෙලා කියන්ටත් බෑ.. 

උදේ පාන්දර මටත් පැයකට හමාරකට කලිං නැගිටගෙන මේ මනුස්සයා අපේ ඕනෑ එපාකම් හැම එකක්ම හොයලා බලනවනේ..

හ්ම්.. ඒ අතින් නං අඩුවක් නෑ..


එහෙනං මොකක්ද එයාගෙ තියෙන අඩුපාඩුව..?


අන්න ආයෙමත් අර හිතන්න පුළුවං හිතෙන් ප්‍රශ්නයක්..


අඩුපාඩුව..? අඩුවක් නං නෑ.. වැඩියක් මිසක..


හෑ..


මං කිවුවෙ එයාගෙ කට ගැන..


කට කට..!

කට පොඩ්ඩක් අඩු වුණ නම්, මොලෙ පොඩ්ඩක් වැඩි වුණ නම්,
මගෙ ගෑණිගෙ වටිනාකම කියල වැඩක් නෑ..



ඒක තමයි අදට ගැලපෙන සිංදුව..
ඔවු ඒක ඇත්ත..


අන්තිමේ ... හිත් දෙකම එකම මතයකට ආවා..

Thursday, March 21, 2013

මෘදුකාංග (Software) - 2

මෘදුකාංග  ගැන කලිං ලිපිය නවත්තපු තැනිං අද පටං ගන්නං..

අපේ රටෙත් බහුතරයක් ව්‍යාපාර කරන උදවිය එයාලගෙ ඔෆිස් වල විවිධ වර්ගයේ මෘදුකාංග පාවිච්චි කරනවා.. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තමයි ලංකාවෙ බහුලව භාවිත වෙන්නේ.. ඉතිං ඒත් එක්ක MSWord, MSExcel, MSPowerPoint කියන Applications නිතරම භාවිත වෙනවා.. එයිනුත් කාර්‍යාල වල වැඩියෙන්ම භාවිත වෙන්නෙ මං ඔය කලිං කියපු Applications වර්ග දෙක. ලියුං කියුං රාජකාරි වලට MSWord සහ දත්ත වලට පොඩි පොඩි සෙල්ලම් දාන්ට.. ඒ කියන්නෙ පොඩි පොඩි Calculations කරගන්ට, වගේම පොඩි පොඩි Reports හදාගන්ට MSExcel යොදාගන්නවා. MSExcel වල තියෙන  Functions  එහෙම යොදාගෙන සැළකිය යුතු වැඩක් කොරගන්ට පුළුවං. හැබැයි ඉතිං MSExcel වල දාන්ට පුළුවං සෙල්ලං වලත් සීමාවක් තියෙනවනේ.. ඊට වැඩිය වැඩේ බරපතල වෙනකොට අපිට පුළුවං MSOffice එක්කම සම්බන්ධ වෙලා තියෙන Office Applications Developments එහෙම නැත්නං Visual Basic for Applications(VBA)  කොටිංම කියනවා නං Macro Programming වලිං තව ටිකක් ඉස්සරහට යන්ට. Calculations වලට වගේම දත්ත ටිකක් අනුසාරයෙන් Reports හදන වැඩේටත් මේ Macro Programming හරි ප්‍රයෝජනවත්. ඒත් ඉතිං මේ වැඩේ කොරන්ට ඒ ගැන දැනුමක් තියෙන Programmer කෙනෙක් ඉන්ට ඕන.

මේ සීමාවත් ඉක්මවලා ගිහාම තමයි අපට ඔය ඒ ඒ විෂයට ගැලපෙන්ට හදාපු Applications Software මුණගැහෙන්නෙ. එතනදීත් ඒවායේ Implementation Method එක අනුව අපි Customization Software, Partially customized Software  සහ Standard Software කියලා බෙදාගන්නවා.

Customization Software කියන්නේ.. Client ගේ ප්‍රශ්නය හරි හැටි Analyze කරලා, Client ට අවශ්‍ය විදිහටම Design එක කරලා අලුතින්ම හදන Software .. මෙහෙම එකක් කොරන්ට ලොකු කාලයක් හා ශ්‍රමයක් යන හින්දා ගාන ටිකක් සැරයි.. ලංකාවෙ මෙහෙම Project එකක් සාර්ථක වීමේ ප්‍රවණතාවය ටිකක් අඩුයි.. මොකද හුඟක් අය එක්කෝ මුදල් වියදම් කරන්ට අකැමතියි.. එහෙම මුදල් වියදම් කරන්ට කැමති අය, බලන්නේ Marketing කට්ටියගේ ස්වභාවය මිසක.. System Analyzer ගේ හරි Software Engineer ගේ හැකියාව නෙවෙයි. නමුත් ඉතාම වැදගත් වෙන්නෙත් මෙයයි.. ඉතාම සරල සහ විශ්ලේෂිත Proposal එකක් හරහා Solution එක ගැන එකඟතාවයකට පැමිණීම ඉතා වැදගත්..  මේ සඳහා වැය කළ යුතු කාලය හා ශ්‍රමය Solution එකේ Budget එකත් එක්ක ගැලපෙනවද කියන ප්‍රශ්නය ලංකාවෙ Clients ලත් එක්ක වැඩ කරද්දී අනිවාර්‍යයෙන් එනවා.. Training සහ Implementation වලදීත් හොඳ දක්ෂයෙක් සම්බන්ධ නොවුනොත් ආයෙත් Solution එක Fail  වෙන්න ලොකු ඉඩක් තියෙනවා.. ඉතිං අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කියලා තමයි කියන්ට වෙන්නේ..

Partially customized Software කියලා කිවුවේ..  මූලික Solution එක Client ගේ අවශ්‍යතාවයට අනුව වෙනස් කරලා දෙන එක.. මේක සාපේක්ෂව මිළ අඩු ක්‍රමයක්.. මොකද මෙතනදී වැඩි දියුණු කරන්නෙ නැතිනම් වෙනස් කරන්නෙ දැනට තියෙන Software එකක්. මෙතැනදීත් Software Engineer ගේ රාජකාරිය වගේම Training සහ Implementation  කරන කෙනාගේ රාජකාරියත් ඉතාම වටිනවා.. 


Standard Software කියන එක ඊට වඩා ටිකක් වෙනස් එහෙත් මිලෙන් අඩු ක්‍රමයක්.. මේක තමයි අද කාලෙට හොඳටම ගැලපෙන්නෙ කියන එකයි මගේ අදහස.. කොයි කාටත් තියෙන අවශ්‍යතාවයක් වෙනුවෙන් නිර්මාණය කරන මේ වගේ Software එකක තියෙන විශේෂ ලක්ෂණය තමයි Client ගේ අවශ්‍යතාවය පරිදි වෙනස් කරගන්ට Implement  කරන කෙනාට තියෙන ඉඩ කඩ තුළින් මතුවන නම්‍යශීලීත්වය. නම්‍යශීලී මෘදුකාංගයකින් අප මුලින්ම කතා කළ Customization Software එකකින් ගත හැකි ප්‍රයෝජනය ඊට වඩා කිහිප ගුණයකින් අඩු මුදලකට ලබා ගත හැකියි.. මෙතැනදී ඉතාම වැදගත් වෙන්නේ  Training සහ Implementation  කරන කෙනාගේ රාජකාරියයි.

ඉහත ක්‍රම වලින් කවරක් යටතේ ගනුදෙනු ව සිදු වුණත්, Client ගේ පැත්තෙන් Software Provider ට ලබාදෙන සහයෝගයත් ඉතා වැදගත්. විශේෂයෙන් දෙපිරිස අතර සුහදතාවය පැවතීම සඳහා තම යුතුකම් හා වගකීම් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම දෙපාර්ශවයේම වගකීමක්.. 



ප.ලි.
අපේ ආයතනයත් ඉතිං දැං අවුරුදු 3ක විතර ඉඳං ඔය Applications Software Solutions Provider කෙනෙක් විදිහට තමයි කටයුතු කරන්නෙ.. මට කරන උදවුවක් විදිහට ඔයාලා දන්න කියන ආයතනයකට Payroll එකක්,  Stock Control Software එකක් වගේ මොකක්ම හරි Software Solution එකක් අවශ්‍ය නම්.. පොඩියක් මට ඔත්තුව දෙන්ට.. අපි ඉතිං Perfect  එකට ම Software Solution එක දෙනවා.. ආයේ ඒකෙ දෙකක් නෑ..හොඳේ..

Tuesday, March 19, 2013

Wife solves everything!බිරිඳ සියළු පැන විසඳයි!

මිතුරෙකු සිටී මට හරි ....................සිරියාවන්ත
ගැටළුය ඔහුට නිතරම සැමටම ................අන්ත
එනමුත් සිනාසී විලසින් ...................ගුණවන්ත
හැමවිට හිඳී වීලා .........................ඉවසිලිවන්ත

කුකුසට මගේ පිළිතුරු ඔහු ............ගලපන්නා
පිංතූරයක් සැණෙකින් එළියට ............එන්නා
මේ මගෙ බිරිඳ යැයි හිනැහී ............පවසන්නා
මෙය බැලු සැනින් කරදර අමතක .......වන්නා

බැඳලා වසර දහයක් පහළොවක් .............වන
දෙදෙනගෙ පුදුම පෙම.. සතුටකි සිතට .....එන
තව තව විමසුවෙමි ඒ කෙම් ක්‍රමය .........ගැන
පුදුමෙකි ලැබුණු පිළිතුර මිත සිනහ .........යන

රූපය බලා බිරිඳව මම මතක් .................කර
සුන්දර වදන් ඇගෙ මහදට ඇතුළු ...........කර
පාළොස් වසක් විඳි දුක් කඳ මෙනෙහි .....කර
මේවත් කරදරද සිතමින් ගනිමි ..............වැර..!

Tuesday, March 12, 2013

බැරිදා විග්‍රහය! දිනෙන් දින ඉහල යන ජීවන වියදම

ගානක් හදන්ට තේරෙන කාලෙ ඉඳං නියතව සිද්ධ වුණු එකම දේ තමයි.. බඩු මිළ     ජීවන වියදම ඉහලට ගිය එක.. ඒක එහෙම වුණේ අපේ රටේ පාලකයින්ගේ වරදින් විතරක්ය කියලා කවුරු හරි කියනවා නං ඒක පට්ටපල් බොරුවක්.. අද තරංම නොවුනත් රටට ආදරයක් තියෙන මහත්-හොරු  අපේ රට සුද්දගෙන් පස්සෙ පාලනය කළා කියන එක කවුරුත් පිළිගන්නවා ඇතිනේ..

මං මගෙ ජීවිතේ පුරා දුකක් කියලා දැනෙන්ට දෙයක් විඳලා නැති වුණාට.. කටු මැටි ගෙවල් වල, ලෑලි ගහපු ගෙවල් වල, ටයිල් කරපු ගෙවල් වල, සිමෙන්ති දාපු ගෙවල් වල, කපරාරු නොකරපු ගෙවල් වල, තමන්ගෙ ගෙවල් වල, අනුන්ගේ ගෙවල් වල, ඇඳන් වල වගේම බිමත් බොහොම සන්තෝසෙන් නිදාගෙන තියෙන කෙනෙක් විදිහට මං දන්නවා.. ජීවත් වෙන එක අමාරුයි.. කවුරු කොහොම කිවුවත් ඒක අමාරුයි.. ඒත් මං අහලා තියෙන විදිහට ජීවත් වෙන එක අමාරුයි කියලා දිවි නහගන්න අයට නිරයට ගිහිං ගෙවන්ට වෙන්නේ මීට වඩා දහස් ගුණයක් අමාරු ජීවිත.. අපේ ජීවිත වලට සහනයෙන් ජීවත් වෙන්ට බැරි වෙන්ට ලොකුම හේතුවක් විදිහට මට පේන්නෙ මේ තාක්ෂණික දියුණුව කියන සංකල්පය කියලා මට හිතෙනවා.. දැං බලන්ටකෝ අපේ අත්තලා, මුත්තලා.. හේනකට, කුඹුරකට බැහැලා.. ගොවිතැනක් බතක් කොරගෙන අපූරුවට ජීවත් වුණා.. උන්දැලාට ඉහෙන් බහින ලෙඩක් තිබුණෙත් නෑ ලු නෙව.. ලොකු ලෙඩක් හැදුණොත් ඉතිං සෙත්ත පෝච්චි වෙලා යනවා ඇති වැඩිය දුක් විඳින්නේ නැතුව.. ඒත් මං හිතන්නේ නං... ඒ කාලෙත් අපේ කාලේ විදිහට නොවුනට ඔය ජීවන අර්බුදය තියෙන්ට ඇති..

එක අතකට තාක්ෂණයයි, අධි වේගයයි එක්ක සංකීර්ණ වෙච්ච මේ අලුත් ලෝකයෙ දුක ඒ කාලෙ තිබුණ දුකට වඩා අඩුත් ඇති.. අපට මතකයි අපි පොඩි කාලේ තිබුණු සුන්දරත්වය.. අපේ අප්පච්චිලා ඒ කාලෙ කියන්නෙ .. අපි වින්ද නිදහසින් අබ මල් රේණුවක තරම් මුන්ට තියෙනවයෑ.. කියලයි.. දැං අපි කියන්නෙත් ඒ ටික ම නේ.. නළුවො ටිකයි, ආම්පන්න ටිකකුයි වෙනස් වෙලා වුණාට චිත්‍රපටිය වෙනස් වෙලා නෑ.. මං කියන්නෙ බොරුද?

ආයෙ මාතෘකාවට ආවොත්.. ජීවන වියදම ඉහල යනවා තමයි.. මේ නාස්තිය පොඩ්ඩක් අඩු කර ගන්න පුළුවන්නම්.. අපට බැරි වෙයි ද.. මීට වැඩිය පොඩ්ඩක් වේගෙන්.. නැතිනම් පොඩ්ඩක් ජවයක් ඇතුව අපේ ගමන යන්ට..

ඔයාලා දන්නවනේ අපේ මෘදුකාංග ව්‍යාපාරයක් තියෙනවා කියලා.. ඉතිං ඒකෙදි ලැබුණු අත්දැකීමක් මං කියන්නං.. අපි වැඩ කරන කාලයෙන් 30% කට වඩා යන්නෙ.. අපේ ඇතැම් Customers ලා අපට කරන හොර බොරු ටික Handle කරන්න.. මේ මිනිස්සු මීට වඩා අවංක වුණා නම්.. අපේ කාලය කොච්චර ඉතුරු වෙයි ද?  ඒ කාලය මීට වඩා ප්‍රයෝජනවත් දෙයකට යොදන්න තිබුණනේ..

මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක්.. ආයෙ ඒකෙ දෙකක් නෑ.. ඒත් ඒ ගැන කතා කරලා වැඩක් වෙයිද? ලයිට් බිල් වැඩි වෙයි, පෙට්‍රල් වැඩි වෙයි, ඩීසල් මිළ වැඩි වෙයි, එලවළු මිළ වැඩි වෙයි, අනෙක් ආහාර පාන මිළ වැඩි වෙයි..අපව තමයි මේකෙන් පෑගෙන්නෙ.. ඇත්ත..! ඒත් එහෙම පෑගෙන්නෙ නැතුව.. නැගිටින්න ක්‍රමයක් හොයා ගන්න ඕනත් අපිම නෙවෙයිද? කාවවත් රවට්ටලා, කාටවත් පාඩුවක් කරලා නෙවෙයි.. තම තමන් ගේ ජීවන රටාව ධාර්මික කරගත්තොත් මට විශ්වාසයි අපේ රටේ නාස්තිය 40% විතර අඩු කරන්න පුළුවන් වෙයි කියලා..

මං එෆ්. බී එකේ දැක්කා.. බුදු දහම වෙනුවෙන් පණ දෙන්ට ඉන්න සිංහල බෞද්ධයා.. ඒ වෙනුවෙන් නොකරන එකම දේ.. ශ්‍රී සද්ධර්මය පිළිපැදීම විතරයි කියලා.. මේක 80%කට වත් සත්‍යයි කියලා මං හිතනවා..

ජීවන වියදම අඩු කරන්ට තව ක්‍රම තියෙනවා.. ඒත් මං හිතන්නේ මේක ගැන හැමෝම හිතන්ට වටිනවා කියලා..

Tuesday, March 5, 2013

මේ කට මගේ නෙවෙයි..

වෙනදා නැති සැහැල්ලුවකින් නිවසට ගොඩවුණු සිරිමෙවන් දැක නන්දාට ඇති වූයේ කුකුසකි..
අද වැඩට ගියේ නැද්ද? 

ඇය ඇසුවේ එතරම් අහිංසක ස්වරයකින් නොවේ..
නෑ වැඩට තමයි ගියේ.. 

සිරිමෙවන්ගේ ස්වරයද ඉතා සන්සුන්ය.. සිරිමෙවන්ගේ සන්සුන් කම නන්දාව නොසන්සුන් කළ බවක් පෙනුණි..
බොරු කියන්ට එපා.. ඇත්ත කියනවා.. ! 
එය තරවටු ස්වරයකි..
හ්ම්.. ඇත්තම තමයි.. අද අපේ ඔෆීසියේ උපදේශන වැඩසටහනක් තිබුණා..සිරිමෙවන් තවත් සන්සුන් වෙමින් ආලින්දයේ පුටුවකට බර දුන්නේ මඳ සිනාවක් ද සහිතවය..
"එහෙනම් පවුල් ජීවිතේට වැදගත් උපදෙස් ටිකක් දෙන්ට ඇති..ඒකයි මේ සන්සුන් කම.." නන්දාට දැනුණේ සහනයකි..
ඉතිං මොනවද කිවුවේ..? 

ඇයට ඉවසුම් නැත..
අපේ ජීවිත වල තියෙන නිස්සාර කම තමයි.. අපි මේ පංචස්කන්ධයක් කර ගහගෙන දුවන ගමන් කරන මෝඩ වැඩ ගැන තමයි.. 
ඒ කිවුවෙ..?
අපි රූප දකිනවා.. ඒ රූප වලට ඇලෙනවා.. නැතිනම් ඒවත් එක්ක ගැටෙනවා.. ඒත් රූප දකින ඇහැ අපේ නෙවෙයි..එහෙනම් ඒ ඇහින් දකින රූප එක්ක අපි මොකට ගැටෙනවද?  මොකට ඇලෙනවද?
මේ මොන මගුලක්ද අප්පා මේ මිනිහා කියන්නේ..!  මට අංගොඩ එක්ක යන්න වෙයි වගේ.. රතුකට්ට පැන්න නන්දාගේ මුවින් එවැන්නක් පිටවීම ගැන කිසිදු කලබලයක් සිරිමෙවන්ගේ මුහුණින් දිස් නොවිනි..
අපිට සද්ද ඇහෙනවා.. ඒ සද්ද එක්ක අපි ඇලෙනවා.. ගැටෙනවා.. ඒත් මේ සද්ද ඇහෙන කණ අපේ නෙවෙයි.. අපේ නොවන කණකින් ඇහෙන සද්ද එක්ක අපි මොකට ගැටෙනවද?
නන්දාගේ වදන් වලින් හිත පාරවා නොගන්නටත් එක්ක ඔහු මෙනෙහි කරමින්ම තෙපලේය..

තමුසෙ එහෙනම් මහණ වෙනවා.. තමුසෙ වගේ පිම්පියෙක් එක්ක එන්ට එපා කියලා අම්මලා කියද්දි මම ආවේ.. තමුසෙගෙ බොරු වලට රැවටිලා.. මාව නුවර එක්ක යන්නම් කිවුවා.. නුවර එළියෙ එක්කයන්නම් කිවුවා.. අවුරුද්දට සැරයක් ට්‍රිප් එකක් යමු කිවුවා.. ළමයි හදමු කිවුවා.. කෝ එකක්වත් කළාද?
ඇය තම සිතේ මෙතුවක් තෙරපී තිබූ ආවේගය දෝරේ ගලා යන්නට දී මුව විවර කරද්දී කඳුළක් දෙකොපුල්  දිගේ ඇදුණි..

අපේ කටින් එක එක වචන පිටවෙනවා.. ඒත් මේ කට අපේ නෙවෙයි.. ඒ පිටවෙන වචනත් එක්ක අපි ඇලෙන්නේ ගැටෙන්නේ මොකටද?

එසේ කිවූ සිරිමෙවන් තමාට නන්දාගෙන් ගැලවීමක් තිබේදැයි හරිහැටි නොදැනම.. එහෙත් සන්සුන් ඉරියවුවෙන්ම තමන් ගේ කාමරයට ගියේ ඇඳුම් අහවර කර උදයේ ඉගෙන ගත් භාවනාව පුරුදු කළ යුතුයැයි සිතමිනි..
ඇයි තුන්දොර සංවර කරගන්න ඕනි කියලා දන්නෙ නැද්ද..? 

නන්දා කෑ ගැසුවත්.. එය සිරිමෙවන්ට ඇසුනේ නැත.