Tuesday, March 5, 2013

මේ කට මගේ නෙවෙයි..

වෙනදා නැති සැහැල්ලුවකින් නිවසට ගොඩවුණු සිරිමෙවන් දැක නන්දාට ඇති වූයේ කුකුසකි..
අද වැඩට ගියේ නැද්ද? 

ඇය ඇසුවේ එතරම් අහිංසක ස්වරයකින් නොවේ..
නෑ වැඩට තමයි ගියේ.. 

සිරිමෙවන්ගේ ස්වරයද ඉතා සන්සුන්ය.. සිරිමෙවන්ගේ සන්සුන් කම නන්දාව නොසන්සුන් කළ බවක් පෙනුණි..
බොරු කියන්ට එපා.. ඇත්ත කියනවා.. ! 
එය තරවටු ස්වරයකි..
හ්ම්.. ඇත්තම තමයි.. අද අපේ ඔෆීසියේ උපදේශන වැඩසටහනක් තිබුණා..සිරිමෙවන් තවත් සන්සුන් වෙමින් ආලින්දයේ පුටුවකට බර දුන්නේ මඳ සිනාවක් ද සහිතවය..
"එහෙනම් පවුල් ජීවිතේට වැදගත් උපදෙස් ටිකක් දෙන්ට ඇති..ඒකයි මේ සන්සුන් කම.." නන්දාට දැනුණේ සහනයකි..
ඉතිං මොනවද කිවුවේ..? 

ඇයට ඉවසුම් නැත..
අපේ ජීවිත වල තියෙන නිස්සාර කම තමයි.. අපි මේ පංචස්කන්ධයක් කර ගහගෙන දුවන ගමන් කරන මෝඩ වැඩ ගැන තමයි.. 
ඒ කිවුවෙ..?
අපි රූප දකිනවා.. ඒ රූප වලට ඇලෙනවා.. නැතිනම් ඒවත් එක්ක ගැටෙනවා.. ඒත් රූප දකින ඇහැ අපේ නෙවෙයි..එහෙනම් ඒ ඇහින් දකින රූප එක්ක අපි මොකට ගැටෙනවද?  මොකට ඇලෙනවද?
මේ මොන මගුලක්ද අප්පා මේ මිනිහා කියන්නේ..!  මට අංගොඩ එක්ක යන්න වෙයි වගේ.. රතුකට්ට පැන්න නන්දාගේ මුවින් එවැන්නක් පිටවීම ගැන කිසිදු කලබලයක් සිරිමෙවන්ගේ මුහුණින් දිස් නොවිනි..
අපිට සද්ද ඇහෙනවා.. ඒ සද්ද එක්ක අපි ඇලෙනවා.. ගැටෙනවා.. ඒත් මේ සද්ද ඇහෙන කණ අපේ නෙවෙයි.. අපේ නොවන කණකින් ඇහෙන සද්ද එක්ක අපි මොකට ගැටෙනවද?
නන්දාගේ වදන් වලින් හිත පාරවා නොගන්නටත් එක්ක ඔහු මෙනෙහි කරමින්ම තෙපලේය..

තමුසෙ එහෙනම් මහණ වෙනවා.. තමුසෙ වගේ පිම්පියෙක් එක්ක එන්ට එපා කියලා අම්මලා කියද්දි මම ආවේ.. තමුසෙගෙ බොරු වලට රැවටිලා.. මාව නුවර එක්ක යන්නම් කිවුවා.. නුවර එළියෙ එක්කයන්නම් කිවුවා.. අවුරුද්දට සැරයක් ට්‍රිප් එකක් යමු කිවුවා.. ළමයි හදමු කිවුවා.. කෝ එකක්වත් කළාද?
ඇය තම සිතේ මෙතුවක් තෙරපී තිබූ ආවේගය දෝරේ ගලා යන්නට දී මුව විවර කරද්දී කඳුළක් දෙකොපුල්  දිගේ ඇදුණි..

අපේ කටින් එක එක වචන පිටවෙනවා.. ඒත් මේ කට අපේ නෙවෙයි.. ඒ පිටවෙන වචනත් එක්ක අපි ඇලෙන්නේ ගැටෙන්නේ මොකටද?

එසේ කිවූ සිරිමෙවන් තමාට නන්දාගෙන් ගැලවීමක් තිබේදැයි හරිහැටි නොදැනම.. එහෙත් සන්සුන් ඉරියවුවෙන්ම තමන් ගේ කාමරයට ගියේ ඇඳුම් අහවර කර උදයේ ඉගෙන ගත් භාවනාව පුරුදු කළ යුතුයැයි සිතමිනි..
ඇයි තුන්දොර සංවර කරගන්න ඕනි කියලා දන්නෙ නැද්ද..? 

නන්දා කෑ ගැසුවත්.. එය සිරිමෙවන්ට ඇසුනේ නැත.

9 comments:

  1. කාලාවට ලිස්සලා යෑම.. හි හි..

    ReplyDelete
    Replies
    1. කලාවට, ධර්මානුකූලව ලිස්සා යෑම.. හිකිස්..

      Delete
  2. ලෝකෝත්තර දැනුමක් ලෞකික ලෝකෙකට ගලා එනකොට විඳින්න වෙන ගැහැට නේද?

    ReplyDelete
    Replies
    1. කොහොමත් විඳින තරමක් විඳින්නෙ ගැහැට ම නේ අයියා..

      Delete
  3. බොහොම ලස්සනට ලියල තියෙනවා. මේ ගැටීම ඇලීම නොමැති තැන ජීවිතේ හරිම සුන්දරයි මල්ලි. මේ කතාව වගේ අපි අපේ ජීවිත හදා ගත්තොත් වරදින්නෙ නෑ. බොහෝ දෙනෙක් මේ ගැන හිතන්නෙ අවතක්සේරුවෙන්. ඒ අය යෝනිසෝමනසිකාරයෙන් බලනවා නම් පැහැදිලිවම නිවීම තියෙන්නෙ මේ ජීවිතේමයි. සැමියා හා බිරිඳ අතර ගැටීම් ගොඩාක් අඩුවෙන් තියාගන්න මේ දේ පුරුදු කලාම කොයිතරම් සාමයක් තියේවිද ගෙදර.

    ReplyDelete
    Replies
    1. සතුටුයි... අක්කේ.. සතුටුයි.. අක්කා.. මේ නිර්මාණය තේරුම් ගත් ආකාරය ගැන... බොහොමත්ම ස්තුතියි අදහසට..

      Delete
  4. මට මතක් වුනේ අපේ මාමා. නැන්දා කෑගහනකොට එයා හැසිරුනේ මෙහෙමෙයි :P

    ReplyDelete
    Replies
    1. වෙලාවකට මාත් ඔහොම හැසිරෙනවා.. :D

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..