Tuesday, March 12, 2013

බැරිදා විග්‍රහය! දිනෙන් දින ඉහල යන ජීවන වියදම

ගානක් හදන්ට තේරෙන කාලෙ ඉඳං නියතව සිද්ධ වුණු එකම දේ තමයි.. බඩු මිළ     ජීවන වියදම ඉහලට ගිය එක.. ඒක එහෙම වුණේ අපේ රටේ පාලකයින්ගේ වරදින් විතරක්ය කියලා කවුරු හරි කියනවා නං ඒක පට්ටපල් බොරුවක්.. අද තරංම නොවුනත් රටට ආදරයක් තියෙන මහත්-හොරු  අපේ රට සුද්දගෙන් පස්සෙ පාලනය කළා කියන එක කවුරුත් පිළිගන්නවා ඇතිනේ..

මං මගෙ ජීවිතේ පුරා දුකක් කියලා දැනෙන්ට දෙයක් විඳලා නැති වුණාට.. කටු මැටි ගෙවල් වල, ලෑලි ගහපු ගෙවල් වල, ටයිල් කරපු ගෙවල් වල, සිමෙන්ති දාපු ගෙවල් වල, කපරාරු නොකරපු ගෙවල් වල, තමන්ගෙ ගෙවල් වල, අනුන්ගේ ගෙවල් වල, ඇඳන් වල වගේම බිමත් බොහොම සන්තෝසෙන් නිදාගෙන තියෙන කෙනෙක් විදිහට මං දන්නවා.. ජීවත් වෙන එක අමාරුයි.. කවුරු කොහොම කිවුවත් ඒක අමාරුයි.. ඒත් මං අහලා තියෙන විදිහට ජීවත් වෙන එක අමාරුයි කියලා දිවි නහගන්න අයට නිරයට ගිහිං ගෙවන්ට වෙන්නේ මීට වඩා දහස් ගුණයක් අමාරු ජීවිත.. අපේ ජීවිත වලට සහනයෙන් ජීවත් වෙන්ට බැරි වෙන්ට ලොකුම හේතුවක් විදිහට මට පේන්නෙ මේ තාක්ෂණික දියුණුව කියන සංකල්පය කියලා මට හිතෙනවා.. දැං බලන්ටකෝ අපේ අත්තලා, මුත්තලා.. හේනකට, කුඹුරකට බැහැලා.. ගොවිතැනක් බතක් කොරගෙන අපූරුවට ජීවත් වුණා.. උන්දැලාට ඉහෙන් බහින ලෙඩක් තිබුණෙත් නෑ ලු නෙව.. ලොකු ලෙඩක් හැදුණොත් ඉතිං සෙත්ත පෝච්චි වෙලා යනවා ඇති වැඩිය දුක් විඳින්නේ නැතුව.. ඒත් මං හිතන්නේ නං... ඒ කාලෙත් අපේ කාලේ විදිහට නොවුනට ඔය ජීවන අර්බුදය තියෙන්ට ඇති..

එක අතකට තාක්ෂණයයි, අධි වේගයයි එක්ක සංකීර්ණ වෙච්ච මේ අලුත් ලෝකයෙ දුක ඒ කාලෙ තිබුණ දුකට වඩා අඩුත් ඇති.. අපට මතකයි අපි පොඩි කාලේ තිබුණු සුන්දරත්වය.. අපේ අප්පච්චිලා ඒ කාලෙ කියන්නෙ .. අපි වින්ද නිදහසින් අබ මල් රේණුවක තරම් මුන්ට තියෙනවයෑ.. කියලයි.. දැං අපි කියන්නෙත් ඒ ටික ම නේ.. නළුවො ටිකයි, ආම්පන්න ටිකකුයි වෙනස් වෙලා වුණාට චිත්‍රපටිය වෙනස් වෙලා නෑ.. මං කියන්නෙ බොරුද?

ආයෙ මාතෘකාවට ආවොත්.. ජීවන වියදම ඉහල යනවා තමයි.. මේ නාස්තිය පොඩ්ඩක් අඩු කර ගන්න පුළුවන්නම්.. අපට බැරි වෙයි ද.. මීට වැඩිය පොඩ්ඩක් වේගෙන්.. නැතිනම් පොඩ්ඩක් ජවයක් ඇතුව අපේ ගමන යන්ට..

ඔයාලා දන්නවනේ අපේ මෘදුකාංග ව්‍යාපාරයක් තියෙනවා කියලා.. ඉතිං ඒකෙදි ලැබුණු අත්දැකීමක් මං කියන්නං.. අපි වැඩ කරන කාලයෙන් 30% කට වඩා යන්නෙ.. අපේ ඇතැම් Customers ලා අපට කරන හොර බොරු ටික Handle කරන්න.. මේ මිනිස්සු මීට වඩා අවංක වුණා නම්.. අපේ කාලය කොච්චර ඉතුරු වෙයි ද?  ඒ කාලය මීට වඩා ප්‍රයෝජනවත් දෙයකට යොදන්න තිබුණනේ..

මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක්.. ආයෙ ඒකෙ දෙකක් නෑ.. ඒත් ඒ ගැන කතා කරලා වැඩක් වෙයිද? ලයිට් බිල් වැඩි වෙයි, පෙට්‍රල් වැඩි වෙයි, ඩීසල් මිළ වැඩි වෙයි, එලවළු මිළ වැඩි වෙයි, අනෙක් ආහාර පාන මිළ වැඩි වෙයි..අපව තමයි මේකෙන් පෑගෙන්නෙ.. ඇත්ත..! ඒත් එහෙම පෑගෙන්නෙ නැතුව.. නැගිටින්න ක්‍රමයක් හොයා ගන්න ඕනත් අපිම නෙවෙයිද? කාවවත් රවට්ටලා, කාටවත් පාඩුවක් කරලා නෙවෙයි.. තම තමන් ගේ ජීවන රටාව ධාර්මික කරගත්තොත් මට විශ්වාසයි අපේ රටේ නාස්තිය 40% විතර අඩු කරන්න පුළුවන් වෙයි කියලා..

මං එෆ්. බී එකේ දැක්කා.. බුදු දහම වෙනුවෙන් පණ දෙන්ට ඉන්න සිංහල බෞද්ධයා.. ඒ වෙනුවෙන් නොකරන එකම දේ.. ශ්‍රී සද්ධර්මය පිළිපැදීම විතරයි කියලා.. මේක 80%කට වත් සත්‍යයි කියලා මං හිතනවා..

ජීවන වියදම අඩු කරන්ට තව ක්‍රම තියෙනවා.. ඒත් මං හිතන්නේ මේක ගැන හැමෝම හිතන්ට වටිනවා කියලා..

8 comments:

  1. අනේ මන්ද, ජීවන වියදම ගැන නම් කතාකරල වැඩක් නෑ අයියා. ඕක තනිකරම දේශපාලනිකයි. ඒකෙන් බැට කන්නෙ මේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු උනාට හුඟ දෙනෙක්ට (මමත් ඇතුළුව) ඔය වගේ කාරණා ගැන කතා කරන්න උවමනාවක් නෑ, එක්කො කතාකරලම එපා වෙල. නැත්නම් වෙලාවක් නෑ. ඇයි අරහෙ වැඩි කරන එව්ව අල්ලන්නත් එක්ක වැඩිපුර වැඩ කරන්න එපෑයැ. මිනිස්සු හිරි වැටිච්ච ගානයි. මොනව උනත් වගේ වගක් නෑ. ඒ උනාට මම හිතන්නෙ මේක කවදහරි පුපුරල යයි. එදාට ඉතිං හුඟ දෙනෙක්ගෙ මධුසමය ඉවරයි. කොහොම උනත් මෙහෙම හිටී හිටීගමන් අරක වැඩිවෙන්නෙ මේක වැඩි වෙන්නෙ නම් ඉතිං රටකරවන අයගෙ කළමනාකරණයෙ හොඳකමට. අන්තිමට අපි හැමෝම විඳවනව. මම හිතන්නෙ අද තියෙන සමාජ ප්‍රශ්න හුඟකට මුල මිනිස්සුන්ට ජීවිතය විඳින්න වෙලාවක් නෑ. අතීත සමාජයෙ උනත් ඒ සමාජෙට සාපේක්‍ෂව ප්‍රශ්න තියෙන්න ඇති. අපි අතීත සුන්දර ගම ගැන හිතුවට ඒ සමාජයෙත් විවිධාකාර පුද්ගලයො ඉන්න ඇතිනේ. වෙනස අද තරම් ඒ ජීවිත සංකීර්ණ නැහැ, ඔවුන් පොළොවෙ පය ගහල ජීවත් වුනා. ඒත් ඇත්ත ජීවිතේදි අපිට ඉතිං ආයෙ එතැනට යන්න බැහැනේ, අපිත් ඉතිං ඔන්නොහෙ කොහොම හරි මේ රේස් එක දුවනව.

    ReplyDelete
    Replies
    1. මල්ලිගේ මතයට මම විරුද්ධ නෑ.. ඒත් රට කරවන අය පිළිබඳ සාධකය අපට වෙනස් කරන්න අමාරු සාධකයක්.. මොකද ඒකට ලැබුණු අවස්ථා බොහොමයක් අපි නැති කරගෙන ඉවරයි.. ආයෙ අවස්ථාවක් එනකම් අපට ඉවසන්න වෙනවා.. ඒත් ආකල්පමය වෙනසක් තුළින් ආධ්‍යාත්මික ගුණ වගාව පෝෂණය කළ හැකි නම් අපට මීට වඩා සාර්ථකව ජීවිතේ ගෙනියන්න පුළුවන්.. අපි ඔන්නොහෙ දුවන්නෙ නැතුව වට පිටාව බලාකියාගෙන.. හැල්මෙ දුවමු..

      Delete
  2. ක්‍රියාත්මක වීම අඩුයි නේ අයියා. දේශනාව පමණයි තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත.. ඒත් අපි එකා දෙන්නා හරි කිරියාත්මක වෙමු..

      Delete
  3. යකඩෝ හලාල් හින්ද නේද මේ අපේ ජීවන වියදම නැගලා තිබ්බේ.

    තම්බින්ට පල්ලි හදන්න හලාල් වලට තම්බි නොවන අපිත් සල්ලි වැඩිපුර දීලා හලාල් ගත්තු නිසා ජීවන වියදම වැඩි උනා.

    දැන් හලාල් නැති නිසා බඩු ලාබ වෙලා ජීවන වියදම අඩු වෙනවා.

    පොඩ්ඩක් ඉවසලා හිටින් ඕක එක දවසින් වෙන්නේ නෑ.

    අනික මත්තල එයාර්පෝර්ට් එක තව ටික දවසකින් ඕපන් කරනවා.

    හම්බන්තොට වරාය තියෙනවා.

    හයිවේස් තියෙනවා.

    ඕවායින් සතුටු වෙවී ඉන්න අපිට ඉතින් ජීවන වියදම නිසා දුක් වෙනන් කාලයක් කෝ බන් . .

    උඹ මේ ඕනවට වඩා හිතනවා . . :D

    ReplyDelete
    Replies
    1. හික්..හික්.. උඹට ඉතිං හලාල් නැතුවම බෑ නෙව.. මචෝ හලාල් වල ප්‍රශ්නේ ජීවන වියදම ඉහල යෑම කියලා අපි කවුරුත් කිවුවෙ නෑ නෙව.. අපිට හලාල් එක්ක තියෙන්නෙ වෙනත් ගැටළුවක්.. හැබැයි උඹ දන්නවද හලාල් භාණ්ඩ වර්ජනය මගේ ජීවන වියදම අඩු කරන්ට නං දායක වුණා.. චීස්, බටර් ගෙදරට ගෙනාවෙ නෑ.. ඒවා නොකෑවට මැරෙන්නෙ නැති බව පවුලේ සාමාජිකයින්ට මතක් කරලා නිකම් හිටියා..

      උඹ මේ ඕනවට වඩා හිතනවා . . :D
      මටත් එහෙම හිතෙනවා මචං..:D

      Delete
  4. නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න අපේ වෙබ් අඩවියට http://www.sinhapedia.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. ඒ පැත්තෙ ගියා.. විශ්වකෝෂයේ කතාව නම් තේරුණේ නෑ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..