Monday, July 1, 2013

දිගටම හොරා කමු ද?

ලංකාව පුරා මෘදුකාංග භාවිතය ඉතා වේගයෙන් ඉහල යන බව අමුතුවෙන් කිවයුතු නොවේ.. වැඩි දෙනා භාවිතා කරන්නේ Microsoft සමාගමේ නිමැවුම් වන.. Windows මෙහෙයුම් පද්ධති (Windows XP, Windows 7, Windows 8 ආදිය..) වලින් එකක් හා MS Office බහුකාර්‍ය මෘදුකාංගයි.

එහෙත් මේවා භාවිතා කරන්නේ Original Version එක මිල දී ගැනීමෙන් නොව.. කොහෙන් හෝ හොර ක්‍රමයක් හොයාගෙන Crack කිරීමෙනි.. මේ හරහා අපට ඇතිවිය හැකි උපද්‍රවයන් බොහෝය.. Crack කිරීමේ මෘදුකාංග සපයන වෙබ් අඩවි වල ගෝනි ගානට ඇති වෛරසයන් හොඳම උදාහරණයන් වේ.. 

අනෙක් අතට.. මේ නිශ්පාදක සමාගම් වලට මේ Crack කිරීම නැවැත්විය නොහැකිද? අඩු තරමේ අවම කළ නොහැකිද? ඔවුනට එසේ කළ හැකි බව මගේ විශ්වාසයයි.. එහෙත් එසේ නොකර ඔවුහු ද හොර ගල් අහුලති.. තවත් පැහැදිලිව කිවහොත්.. ඇතැමෙකුට පමණක් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිති.. ඒ වෙන කිසිවක් නිසා නොව.. විශාල මුදලක් දී මෘදුකාංගයක් ස්ථාපනය කරගැනීමට ලංකාව වගේ රටවල් වල මිනිස්සු අකමැති බව ඔවුන් දන්නා නිසාය.. එසේ මිළ දී ගන්නට වුවහොත්.. නොමිලයේ ලැබෙන Linux, Ubuntu වැනි මෙහෙයුම් පද්ධතීන් වෙත ඉතා පහසුවෙන් අපේ මිනිසුන් ආකර්ශනය වන බව ඔවුන් දන්නා නිසාය.. එහෙම වුණොත් ඉඳහිට හෝ විකිණෙන original version එකක් නොවිකිණෙනවා පමණක් නොව... වෙළඳපොල තුළ තමන්ගේ ඇති අධිකාරිය බිඳෙන බවත් ඔවුන් දන්නා නිසාය.

ලංකාවේ යන්තම් ගැටගහගෙන නැගිටින සමාගම් හෝ ආයතන නොවේ.. සවි ශක්තිමත් ආර්ථිකයක් ඇති ව්‍යාපාරිකයින් මේ ගැන සිතිය යුතුය.. හොර කොපි වෙනුවට Original Copy එකක් ඇණවුම් කර මේ හොරකම අවම කරන්නට පූර්වාදර්ශයක් සැපයිය යුත්තේ ඔවුහුය.. අනෙක් අතට.. Microsoft වැනි මුදලට මෘදුකාංග විකුණන සමාගම් ද මේ නිශ්පාදන සාමාන්‍ය සමාගම් අතර ජනප්‍රිය කිරීමේ ක්‍රමවේදයක් ගැන සිතිය යුතුය. කුඩා සමාගම් වලට දැරිය හැකි මිළකට සිය නිශ්පාදන ඉදිරිපත් කිරීම හොඳ ක්‍රමයක් යැයි මට සිතේ..

හොරකම මුලිනුපුටා දැමීමෙන් මිස අභිමානවත් ජාතියක් ලෙස නැඟී සිටිය හැකි ද? 

ඇමරිකන් කාරයාගේ මෙවලම් ම හොරෙන් භාවිතා කරමින් ඇමරිකාවට පළු යන්ට බැනීම.. අකෘතඤ්ඤ කමක් මෙන්ම මෘග කමක් නොවේද ..?

28 comments:

  1. මාත් හෙට දාන්න ලියලා තියෙන්නෙ මේ හා අදාල සටහනක්.

    ඇතැම් අයට පමණක් එරෙහිව නඩු මාර්ගයට බහින්නෙ හිඟන්නන්ට එරෙහිව නඩු කියද්දී පාඩු වෙන්නෙ තමන්ට නිසා. තවත් විදියකට කිව්වොත් අතේ සතයක් තියෙන කෙනෙක් වැරැද්දක් කළා කියලා ඔප්පු කරන්න තමන්ගෙ නීතිඥයන්ට දහස් ගණනින් ගෙවිය යුතු වැය පාඩුවක්.

    ඔවුන් ඉලක්ක කරන්නේ මිල දී ගත හැකි අයවයි. ඒ නිසාම වැඩියෙන්ම විකිණීමට ඉලක්ක කරගන්නේ මිල දී ගන්නා අය බහුලව ඉන්න ඇමෙරිකන් වෙළඳපොල තුලයි. ඉඳහිට විකිණෙන එකක් සඳහා වෙළඳපොලක් අල්ලා ගන්නට නම් නෙමෙයි. තම අධිකාරිය තහවුරු කරගන්නට හදන්නේ අනිකාට වඩා හොඳ නිෂ්පාදනයක් දෙන්න උත්සාහයෙන්. ඒකයි වෙළඳපොල තරඟය.

    තමන්ගෙ ශ්‍රමයට හරි පඩි ලැබෙන්නේ නැතැයි කියන අයත් අනුන්ගේ ශ්‍රමය එළිපිටම හොරකම් කිරීම වරදක් යැයි නොදැක්කා වගේ ඉන්නවා.

    බැහැ, හොරකම සහ නිදහස් බෙදා ගැනීම යන දෙක අතර වෙනස දකින්නට හැකිවෙන තුරු අභිමානවත් කෙසේ වෙතත් තම කුසගිනි තම වෙහෙසින් නිවාගන්නට හැකි ජාතියක් ලෙස ද නැඟී සිටිය නොහැකියි.

    ReplyDelete
    Replies
    1. " තම කුසගිනි තම වෙහෙසින් නිවාගන්නට හැකි ජාතියක් ".. එහෙම වෙන්ට පුළුවන්නම් ඒ හොඳටම ඇති.. මටත් තවම බැරි උනා..ආණ්ඩුවට ගෙවන්ට තියෙන පඬුරු පාක්කුඩම් එක්ක මේක කොරන්ට හැකි වෙයි ද දන්නෙ නෑ.. උත්සාහය හා බලාපොරොත්තුව එහෙම දෙයක් කොරන්ට.. බොහොම ස්තුතියි අරුණි අක්කා අදහසට..

      Delete
  2. දරාගතහැකි මිලකට දුන්නත් ගනීවිද? ගොඩක් අය crack කරන්න පුරුදුවෙලා ඉන්නෙ,
    crack කිරීමේ ආදීනව ගැන ගොඩක් අය දන්නෑ.

    සිතුම් සයුර

    ReplyDelete
    Replies
    1. මේ පුරුද්ද තමයි නරක.. සත්තකින්ම ආදීනව ලෞකික හා ලෝකෝත්තර වශයෙන් තිබෙනවා..

      Delete
  3. අපේ කොහොමත් තියෙන්නේ හොරා කන සංස්තෘතියක්. ඉහල සිට පහලට..

    ReplyDelete
  4. මොනව හොරකම් කරත හොරකම හොරකමමයි.
    නිකන් දෙනවනම් ඔලුව කැකුම හරි ගන්න කැම්ටි ජාතියක් අපි

    ReplyDelete
    Replies
    1. බොහෝ අය ඉන්නවා.. ගන්න කැමති උනත්.. විවිධ බාධක නිසා නොගන්න.. විශේෂයෙන් ආර්ථික බාධක..

      Delete
  5. Replies
    1. පට්ටම ලැජ්ජයි කියන්න.. මාත් හොරෙක්.. ඒත් හොරකමින් මිදෙන්නට පෙරුම් පුරන..

      Delete
  6. මගේ නම් දාල තියෙන්නේ ස්ටාටර් පැකේජය. රුපියල් හයදාහක් වුණා ඒකට. ඒත් මං මේ දවස්වල සිලෝන් ලිනක්සි නම් මෘදුකාංගය හැසිරවීම අධ්‍යයනය කරමින් ඉන්නේ. අත හුරු වු වහාම එයට මාරුවෙනවා.
    හොද ලිපියක් සහෝ

    ReplyDelete
    Replies
    1. බොහොම සංතෝෂයි සහෝදරයා.. අපි ලිං කටෙන් වැටිලා ඉන්නෙ.. ගොඩවෙන්නෙ කොහොමද කියා සිතමින්..

      Delete
  7. ඔය පරිඝනක විජ්ජාව ගැන මම වැඩිය දන්නෙ නෑ නමුත් මම හිතනවා ඔබ සාර්ථකයි කියා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මං සාර්ථක වෙන්නෙ.. එක්කෙනෙක් වත්.. මේ කියලා තියෙන දේ ගැන අලුත් ඇහැකින් බැලුවොත්.. තමයි.. ස්තුතියි..

      Delete
  8. තුන් වන ලොකයෙ මින්සුන්ගෙ දහදිය මහ්න්සියෙන් ඉගෙන ගන්න දක්ෂ සිසුන් වගෙ microsoft ආයතන ඔඋන්ගෙ සෙව්කයන් කරගෙන soft ware හදන අපිතම විකුනනව.....දරන්නත බරි මිල ගනන් වල්ත hacking is revolution.... using open sours is preventing them and hakin is attacking its a grate revloution

    ReplyDelete
    Replies
    1. "නයට ගත් ජීවිතය"

      යාළුවා, මේ නමේ තේරුම මොකක්ද? ඔයා අදහස් කළෙත් මම අදහස් කරන දේම නම් ඒක “ණයට ගත් ජීවිතය“ වෙන්න ඕන මම හිතන්නෙ.

      Delete
    2. "නයට ගත් ජීවිතය" නමකට නණලළ බේද මක්කටෙයි..

      ඔවු මේ සමීකරණය සරල නෑ.. සංකීර්ණයි.. එයාලා අපේ දක්ෂයන්ව එහෙට අදින්නෙ ඇයි.. කියලා ද.. අපේ දක්ෂයො එහෙට ඇදෙන්නෙ ඇයි කියලා ද කල්පනා කරන්න ඕන? කොහොම වෙතත් එයාලා අපට මෙහෙම එයාලගෙ නිශ්පාදන පාවිච්චි කරන්න දෙන්න ඒකත් හොඳ හේතුවක් තමයි..

      Delete
    3. // නමකට නණලළ බේද මක්කටෙයි..//

      මමත් දාගන්ට ඕන ‘තන අග පිනි බිඳුව‘ වගේ නමක්වත්. :P

      Delete
  9. අනේ මන්දා මේවා කවදා නතර වෙයිද? කොහෙත් බැලුවම හොරු.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ මෙතනදි බොහෝ දෙනා තුළ අපි මේ කරන්නෙ හොරකමක්ය කියන එක ගැන හැඟීමක් නෑ..

      Delete
  10. අයියෙ මේක ඇත්තටම අපි වගේ රටවලට තියෙන ලොකු ප්‍රශ්නයක් වගේම ලොකු අභියෝගයක්. අද හන්දියක් හන්දියක් ගානෙ තියෙන කොමියුනිකේෂන් එකකින් රු 40 කට 50 කට ටයිප් සෙටින් කරවගන්න, රු. 200 - 500 කට වගේ ගානකට පොඩි පොඩි ඩිසයින් වැඩ කරගන්න පුළුවන්. ඒත් මේ නීත්‍යානුකූල මෘදුකාංග භාවිතකරමින් ඔය වැඩේ කරන්න උනොත් අර කිව්ව වැඩවලට ඒ වගේ කීපගුණයක් වැයකරන්න වෙනවනේද? ඒත් එහෙමය කියල හොරකම් කරන එක නම් සාධාරණීකරණය කරන්න බෑ. අනෙක බොහෝ රජයේ ආයතන පවා දැනටත් භාවිත කරන්නෙ මේ විදියෙ ව්‍යාජ මෘදුකාංග පිටපත්. මම හිතන්නෙ මේ මෘදුකාංග සමාගම් ඔවුන් අපේක්‍ෂා කරන ආදායම ලබාගන්නවා දැනටත් ඔවුන්ට තිබෙන වෙළඳපොලෙන්. ඉතිං ඇයි අපේ වගේ රටවල්වල රජයන් ඒ මහාපරිමාණ මෘදුකාංග නිපදවන සමාගම් සමඟ සාකච්ඡාකරල දැරිය හැකි මුදලකට ඒ ඒ මෘදුකාංගවල සංස්කරණයක් (බොහෝ විට මේ මෘදුකාංග සමඟ තිබෙන විශාල පහසුකම් ගොන්නෙන් කීපයකින් හැරෙන්න අනිත්වයින් අපි හැමවිටම ප්‍රයෝජනයක් ගන්නෙ නෑ) ලබාගන්න ගිවිසුමකට එළඹෙන්න උත්සාහ නොකරන්නෙ. එසේ නැත්නම් නොමිලේ ලබාගතහැකි මෙහෙයුම් පද්ධති ගැන මීට වඩා වැඩ කොටසක් ඒ ඒ රටවල රජයන්ට කළ හැකිනේ. බොහෝ රජයේ පාසල්, වෘත්තීය පුහුණු ආයතන සිසුන් පුහුණු කරන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතකරමින්. රජයේ ලියාපදිංචි පුද්ගලික ආයතනත් එසේමයි. අඩු තරමෙ ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධති ජනප්‍රිය කරවීමටවත් මීට වඩා කැපවිය යුතුයිනේද? මම විශේෂයෙන් අපි වගේ දියුණු වෙමින් පවතින රටවල රජයන් ගැන කතාකලේ මේ විදියෙ වැඩක් තමන්ගෙ රටතුළ ක්‍රියාත්මක කිරීමේ පහසුකම්, සාපේක්‍ෂව වැඩි හැකියාවක් තිබෙන්නෙ ඔවුන්ට නිසා. අනෙක් අතට පහුගිය කාලෙ අපේ රටෙත් වරින්වර මතුවුනු පරිදි ව්‍යාජ මෘදුකාංග පිටපත් තහනම දැඩිව ක්‍රියාත්මක කිරීමේ හැකියාවත් තිබෙන්නෙ ඔවුන්ට නිසා. හැමදේම තහනම් කරනවට වඩා ඒ ක්‍ෂේත්‍රය වෙනුවෙන් යම් සාධනීය වැඩ කොටසක් කිරීමෙන් වියහැකි වැරදි අවම කිරීම රටේ සුබසිද්ධියටත් හේතුවෙනවා.

    ReplyDelete
    Replies
    1. මේක තමයි කතාව... යන්තම් කම්පියුටරයක් අටව ගන්න එකාට ඒකට ගිය ගාන වගේ දෙගුණයක් විතර වියදම් කරලා සොෆ්ට්වෙයාර් එකක් ගන්න කියන එක අසාධාරණයි... වින්ඩෝස් උනත්, අනිත් ග්‍රැෆික් සොෆ්ට්වෙයාර් උනත් මාර ගනන්...

      මට නම් මේ වෙනකොට තේරිලා තියෙන විදියට අපේ රටවල තියෙන කම්පියුටර් ගාන කියන්නේ ඔය ලොකු කම්පැණිවලට දැනෙන්නෙවත් නැති තරම් ගානක්.. ඒක හින්දා එයාලට අඩුවට දෙන්න උවමනාවකුත් නෑ, ක්‍රැක් යුස් කරන එක නවත්තන්න තරම් අමාරුවකුත් නෑ...

      Delete
    2. මට මෙතනදී තිබෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකේ ආදායම පිළිබඳ ගැටලුවක් නෙවෙයි (DDT)මල්ලි , අපේ අභිමානය පිළිබඳ ගැටළුවක්.. අපේ රජයේ ආයතන, දැවැන්ත සමාගම් පවා.. හොර කොපි පාවිච්චි කිරීම මොනතරම් ලැජ්ජා නැති වැඩක් ද?

      පහුගිය කාලෙ ක්‍රියාත්මක උනු මෘදුකාංග හොර කොපි තහනම හැම අස්සක් මුල්ලකම ක්‍රියාත්මක කරන්න මේක සුදුසු වෙලාවයි කියලා මං හිතන්නෙ නෑ.... මොකද එහෙම දේකට.. අපේ වෙළඳපොල සූදානම් නැති නිසා..

      සුළු මුදලක් ගෙවලා රෙජිස්ටර් වෙන්න ක්‍රම වේදයක් හදලා පසුව එවැනි නීතියක් ක්‍රියාත්මක කරනවා නම් හොඳයි..

      ලංකාවෙ සොෆ්ට්වෙයාර් වලට නියම මාර්කට් එක එනවා නම්.. ඔය කියන විදිහෙ ප්‍රශ්න ගොඩක් ඇතිවෙන්නෙ නෑ..

      අපේ රටවල දක්ෂයන්ට මෙහෙ අවශ්‍ය පහසුකම් ලැබෙනවා නම්.. පිටරටට කඹුරන්ට යයි ද?
      මෘදුකාංගයකට වියදම් කරන මුදල අහක යන්නෙ නෑ (වියදම් කරන්න මුදල් තියෙනවා නම්..).. ඒ මුදල ටිකක් වැඩි උනත්.. පරිගණකයෙන් අදාල වැඩේ වඩාත් කාර්‍යක්ෂමව කරගන්න ඒ මෘදුකාංගය උදවු වෙනවා.. පරිගණකයේ සෞඛ්යයටත් හොඳයි..
      ඔක්කොටමත් වඩා අපට හොරු කියන අවමානයෙන් මිදෙන්න පුළුවන්..

      අද කාලෙ පරිගණක තිබුණට බොහෝ දෙනා කරන්නෙ යන්තම් එක්සෙල් කෑල්ලක කොට කොටා විනාඩි 5හේ වැඩේ විනාඩි 50 කුත් අරගෙන, නිවැරදි බව හා සුරක්ෂිත බව යන කරුණුත් ඒ හැටි සැලකිල්ලට නොගෙන යන්තං සන්තං ගොඩ යන එකයි.. ඒත් කාර්‍යයට අවශ්‍ය විදිහට මෘදුකාංගයකට වියදම් කිරීම ඉතා සරු සාර ආයෝජනයක් කියලා හිතන මිනිස්සු අපේ රටේ බොහොම හිඟයි.. ඒ නිසාම තුට්ටු දෙකේ මෘදුකාංග නිපදවන්නො රට හැම තැනම.. අඩු ගානක් අරගෙන වැඩේ බාර අරං.. ජර බොර කරලා පොල්ල තියලා යනවා..

      මේකට එක් මූලික හේතුවක් තමයි.. මෘදුකාංග කියන එකේ නියම වටිනාකම මිනිස්සු නොදන්නා කම.. ඔවුන් හිතන්නෙ පරිගණකය තමයි මාර ගැජට් එක කියලා..

      හරියට.. නුවණැස බල්ලට දාලා.. කය තමයි මාර භාන්ඩෙ කියලා හිතනවා වගේ..

      Delete
    3. අයියා මම අදහස්කරපු දේ තේරුම් අරන් නැත්ද මන්දා. මම කිව්වෙ මොකුත්ම නොකරනවට වඩා ප්‍රායෝගිකව කරන්න උත්සාහ කළ හැකි දෙයක්. නමුත් මෘදුකාංග සංවර්ධනය කියන එක ගැන නම් මම සඳහන් කළේවත් නෑ. මොකද පැහැදිලිව ඒක අධික වියදම්කාරී වැඩක් නිසා. ඒක අධික ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් බවත් ඇත්ත. ඒත් අවසන් නිපැයුම සඳහා පුළුල් වෙළඳපොලක් තිබිය යුතුයි. බැහැයි කියල දෙයක් නැති බවත් ඇත්ත, ඒත් එවැනි කාර්යයක් සඳහා අපි වගේ රටක කිසිවෙක් මුදල් යොදවයි කියල මට සිතෙන්නෙ නෑ.

      Delete
    4. මෙහෙයුම් පද්ධති නිර්මාණය දැවැන්ත වැඩක් බව ඇත්ත.. ඒත්.. එතැනින් මෙහා.. මෘදුකාංග (Desktop application software) පහසුවෙන්ම ලංකාව තුළ නිපදවිය හැකියි.. වගේම නිපදවෙනවා.. මං කතා කළේ ඒ ගැන.. එබඳු මෘදුකාංග වල පැහැදිලි හිඩැසක් ලංකාවේ බොහොමයක් තැන් වල පවතිනවා.. එයට හේතුව බොහෝ දෙනා අඩු ගානට දෙන කුණු ගොඩවල් වලට රැවටීම කියලයි මං කිවුවෙ.. අනික ඒ උත්තරය හිරු ටත් එක්ක..

      මල්ලි කියපු දේ හරි.. රජය මේ සඳහා මැදිහත් විය යුතුයි.. නොමිලේ ලබා දෙන මෙහෙයුම් පද්ධති ගැන අවධානය යොමු කරන එක හොඳයි.. ඒත් අවශ්යතාවය ගැන මූලිකව සිතිය යුතුයි..

      Delete
  11. නමුත් මේ වෙද්දි බොහොමයක් ආයතන නීත්‍යානුකූල මෘදුකාංග පාවිච්චි කරනවා ඉස්සරට වඩා. ඒ වගේම මේ වෙද්දි අපේ ශාඛා වලට විවෘත මෘදුකාංග පවා ස්ථාපිත කරනවා අපේ IT අංශය මගින්..office වෙනුවට openoffice.

    ReplyDelete
    Replies
    1. ඉස්සරට වඩා.. ඒක ඇත්ත..
      office වෙනුවට openoffice.
      සාර්ථක ද?
      office ගොඩක් ඉදිරියෙන් නේද?
      ස්තුතියි අදහසට..

      Delete
  12. 2014 න් පස්සෙ WINDOWS XP Update දෙන්නෙ නැහැ.. මම හිතන්නෙ තවම ලංකාවේ ගොඩාක් දෙනා භාවිත කරන්නෙ XP.. ඉතිං 2014 න් පස්සෙ Internet use කරන ඒ අයටනම් Update නවත්තන්න තමයි වෙන්නෙ.








    රාජ්‍ය ආයතන වල තවමත් XP තමයි රන් වෙන්නෙ... Genuine උනත් මෙහෙම දෙයක් වෙනවනම් ඇති වැඩේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. XP කියන්නෙ අවුරුදු 10කට වඩා පරණ .. ඒත් බොහෝ දෙනාගෙ හිත ගිය මෙහෙයුම් පද්ධතියක්.. මොන මොන අලුත් දේවල් ආවත්.. බොහෝ දෙනා මේකෙන් මුදවගන්න බැරි වුණු නිසා මෙවැනි පියවරක් ගන්නවා ඇති.. එහෙත් එය කූඨ වෙළඳ උපක්‍රමයක් කියලා තමයි පෙනෙන්නෙ.. ඇත්තටම එය වැරදියි.. අප්ඩේට්ස් නැතුව වුණත් XP පාවිච්චි කරන්න පුළුවන් නෙ.. මිනිස්සු එහෙම කරාවි.. මං මයික්‍රොසොෆ්ට් එක අගයනවා නෙවෙයි.. මං කතා කළේ අපේ මිනිස්සුන්ගෙ ආකල්ප ගැන.. ස්තුතියි අදහසට

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..