Tuesday, July 16, 2013

හිඟා කෑම

අනේ මහත්තයා.. මගේ උකුල් ඇටේ කැඩිලා දැන් අවුරුද්දක් වෙනවා.. සිංහල බෙහෙත් තමයි කරන්නෙ.. තාම දවල්ට කෑවෙත් නෑ මහත්තයා..

තොර තෝංචියක් නැතුව කියෝගෙන යන ඔහුගේ ලා දුඹුරු පැහැ ගත් අපිළිවෙලට පිහිටි දත් ටික මා හා සිනාසෙයි..

කැහැටු වූ ඔහුගේ සිරුර දෙස ත්.. කිසියම් දෙයක් තබා බැඳ ඇති සෙයක් පෙනෙන උදර ප්‍රදේශය දෙසත් බැලූ මා..

දැන් මගෙන් මොනවද ඕන..? කියා ඇසුවේ.. ඔහුට අවශ්ය මුදල් බව නොදැන නොවේ..

සල්ලි කීයක් හරි තමා..

දුම්රිය පිටත් වීමට සූදානම්ව හූ කියයි.. රුපියල් විස්සේ කොළයක් පසුම්බියෙන් ගෙන ඔහු අත තබා කෝච්චියේ එල්ලුනෙමි..
================================================
මෙය කාර්යාල වෙලාව නිසා ඒ හැටි සෙනඟක් නැත.. එහෙත් අසුන් ගනණට වාගේ සෙනඟ ඇත.. ඉඩ කඩක් සොයා ඉඳ ගත්තෙමි.. සුපුරුදු ලෙසම ඉඳගන්නා අතර අසල අසුනේ සිටි මහත්මයා සමඟ සිනාසුනෙමි..  පෙරළා සිනාසෙන්නට තරම් මනුස්සකමක් ඇති මහත්මයෙක් වූ හෙතෙම.. මා හා කතාවට වැටෙන්නට ද සූදානම් බවක් පෙනුණි..

මහත්තයා ස්ටේශන් එකේ හිටපු වයසක මනුස්සයාට සල්ලි දුන්නා නේද?  ඔහු මගෙන් විමසන්නේ කුමක්දැයි මම දැන ගත්තෙමි..

ඔවු.. මහත්තයා කියන්න යන්නේ.. මිනිහගෙ උකුල් ඇටේ අමාරුවක් නෑ කියලා නේද?
ඇයි මේ මිනිස්සු මේ තරම් අහිංසකයින් එක්ක තරහා ඇත්තට.. මිනිහට ලෙඩක් දුකක් නැති වුණත්.. හිඟාකන්න තරම් ජීවිතේ පරාජිත බවක් දැනෙණ කෙනෙක් වෙන්න ඇතිනේ.. තමන් දෙන්නෙ නැත්නම්.. කට පියාගෙන ඉන්න එපාය.. මට ඇති වුණේ කලකිරීමකි..

මගේ පැනයෙන් ඔහු වික්ෂිප්ත වූ බවක් නොපෙනිණ..

හෙක්.. හෙක්.. එහෙනම් මහත්තයා මිනිහා ගැන දන්නවා..? ඔහු දැන් හදන්නේ මේ මනුස්සයාගේ පට්ටන්දරය දිග හරින්නට විය යුතුය.. වාසනාවකටදෝ.. ඊළඟ ස්ටේෂන් එකෙන් ගැබිණි මාතාවක් ගොඩ වූයෙන්.. මගේ අසුන ඇයට දී.. මා සිටගත්තේ ගැබිණි මවට තිබූ ආදරයට වඩා.. නිවී හැනහිල්ලේ ඉන්න තිබූ ආසාවටය.. ඉන් පසු මම වෙනත් තැනකින් ගොස් හිඳ ගතිමි..

========================================
තරමක් සෙනඟ පිරුණු දුම්රියේ .. අර මහත්මයා සෙමින් සෙමින් මා අසලට එයි.. මහත්තයා කරපු දේ හරි අගෙයි.. ඒ මනුස්සයා නොකිවුවට.. උකුල් ඇටේ බිඳිලා තියෙන්නෙ එයාගෙ නෙවෙයි.. එයාගෙ දුවගෙ.. හැබැයි අනිත් ඔක්කොම ඇත්ත..
මං ඊළඟ ස්ටේෂන් එකෙන් බහිනවා.. ආයෙත් හම්බවෙමු.. කියමින් ඔහු සමු ගත්තේ.. මගේ හිතේ බොහෝ ප්‍රශ්න ඉතිරි කරමිනි..

=========================================
තමන් වෙනුවෙන් මිනිසුන් රවටන බොහෝ දෙනා අතර.. අනුන් වෙනුවෙන් තම ආත්ම ගරුත්වය පවා අහිමි කරගත් මේ මිනිසා ගැනත්.. ඒ ගැන මට කියන්නට තරම් කාරුණික වූ මහත්මයා ගැනත්.. සතුටෙන්ම මෙනෙහි කළෙමි..

15 comments:

  1. කාගෙවත් ජිවිත කොහොමටත් දුටු මනින් මනින්නට අමාරුයි. හොදට සිනා සී ඉන්න මිනිහා ඉන්නේ ගිනි ගොඩක වෙන්න හැකියි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිත තුළින් අපට ඉගෙන ගන්න නම් බොහෝ දේවල් තියෙනවා..

      Delete
  2. You are 100% right. It is very hard for a human to ask for help (especially money) knowing how people think and assume. People should give on the spirit of giving, not thinking about what they will do with the money. My mother use to say ‘Dun de suwndai, ke de gandai’

    Sorry I can’t write in Sinhala (it’s my keyboard)

    ReplyDelete
    Replies
    1. Thank you very much for the contribution of ideas..

      Delete
  3. යදියෙකුට හෝ පුලන්නෙකුට මුදලක් හෝ යමක් දීමෙන් ලැබෙන්නේ කුෂලයයි.ඒකට බාධා කරන්නේ තමන්ගේ හෝ අනුන්ගේ ලෝභ සිතයි. අප සිටින මේ දේශීය පරිසරය තුලදී,තේ අවශ්‍ය සම්පත් ඇත්නම් එවැනි කුසල් කිරීමට අවස්ථාව ලැබෙන්නේ අපි අප රටම තුලම ජිවත්වන නිසයි.එහෙත් පිට රටක කෙටි කලකට හෝ සිටින විට එම අවස්ථාව ලැබෙන්නේ නැහැ.හේතුව අප එම රටට ආගන්තුක බැවින් අනුග්‍රහය ලැබිය යුතු යදියන් හෝ පුලන්නන් සොයා ගන්නට දන්නේ නැති කමය. මා එක් වරක් එසේ සිටි මාස 10ක කාලය තුල එවැනි කුශලයක් මට කර ගැනීමට නොහැකි වුනා.

    ReplyDelete
    Replies
    1. "ඒකට බාධා කරන්නේ තමන්ගේ හෝ අනුන්ගේ ලෝභ සිතයි"
      ද්වේශ හෝ මෝහ සිත වෙන්නත් පුළුවන්..

      Delete
  4. හීන පිරුනු ලෝකයක් බං මේක.. දුකත් ඒවගේමයි. අසරණ කමත් ඒ වගේමයි. කියාගන්න බැරි දේවලුත්ඒ වගේමයි.. ගැලපීම සුපිරියි..

    ReplyDelete
  5. මගේ නං අදහස තමයි හිත සතුටින්, කැමත්තෙන් දෙනවා නං ගන්න කෙනා මොන අරමුණකින් ‍ඒ දේ ගත්තත් අපිට කමක් නැහැ. මොකද අපේ හිත පිරිසිදු යි!

    ReplyDelete
    Replies
    1. කුසලයක් කරලා හිත පිරිසිදු කරගන්ට පුළුවන්නම් ඒක ලොකු දෙයක්..

      Delete
  6. හිඟන්නන්ට මම නං කීයක්වත් දෙන්නෙ නෑ බොහෝවිට. මොකද සල්ලි දෙන්නෙ නැති උදවියට කැපිල්ලක් දාල බහින අයි ආර් සී හිඟන්නන් තමයි දැන් වැඩිහරියක් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. නිකං නෙවෙයි මහත්තයා ඉල්ලන්නෙ.. පිනට කිවුවලු..

      Delete
  7. දැන් හිගන්නො සිල්ලර දුන්නම බලනවා දහයෙ කාසියක්ද කියල

    ReplyDelete
    Replies
    1. හිඟා කෑමත් ව්‍යාපාරයක් වෙලා නෙ.. ඇත්තම අහිංසකයෙකුට වත් කීයක්වත් දෙන්න බොහෝ අය මැලි වෙන්නෙ.. මේ හොරු හින්දා..

      Delete
    2. ඒත් ඉතිං රටේ ඉන්න අනිත් හොරුන්ට අපේ කැමැත්තෙන්ම කීයක් දෙනවද කියලා අපි හිතන්නෙවත් නෑ නෙ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..