Tuesday, October 22, 2013

දොස්තර ගේ සාස්තර

මේ සිද්දිය වෙනකොට මට වයස 10ක් විතර ඇති. මට ඒ කාලෙ සූටියට පපුවෙ මහන්සිය වගේ තිබුණා.. ඒ කිවුවෙ උදේ ඉඳං රෑ වෙනකං දැඟලුවාට පස්සෙ රෑට පපුව ඇතුළෙ රූං රූං ගානවා.. එයිට අමතරව අපේ අම්මට මං හරිම කෙට්ටුයි.. ඇත්තටම පොඩි කාලෙ මං ටිකක් කෙට්ටුයි. ඒත් ඒක අසාමාන්‍ය නෑ. අපේ අම්මට විතරයි අසාමාන්‍ය වුණේ. අපේ අම්මට අනුව මගේ ඇඟත් ටිකක් දුර්වලයි. ඒ නිසාම මාසෙකට දෙකකට සැරයක් විශේෂඥ වෛද්‍යවරයෙක් මුණගැහිලා විටමින් එකක් එහෙම ලියා ගන්නවා..  ඔය වගේ දවසක් ගියා විශේෂඥ දොස්තර මහත්තැන් කෙනෙක් බැහැදකින්න. ඉතිං දොස්තර මහත්තයාට මගේ දුර්වලකම් ගැන පේලියක් දෙකක් කියනකොට ම තේරුණා පස්නේ මොකද්ද කියලා.. මගේ අත අල්ලගත්ත දොස්තර මහත්තයා මෙන්න මෙහෙම කිවුවා..

ඇල්වතුර නාවන්නෙ නෑ නේද? උණුවතුරමනෙ නාවන්නෙ ..
හෙම්බිරිස්සාවක් හැදුණ ගමන් උස්සගෙන යනවා නේද ඉස්පිරිතාලෙ?
තාම කවනවා නේද?
තනියෙම කොහෙවත් යවන්නෙ නෑ නේද?
.................................................
................................................

ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තරේ උනේ ඔවු කියන එක. දොස්තර මහත්තැන් මට කිවුවා මෙහෙම.

පුතා ගෙදර ගිහිං තාත්තට කියන්න.. ඒ දොස්තර මහත්තයා සාස්තර කියන්නත් දන්නවා කියලා..

ඊට පස්සෙ ආයෙත් අම්මා දෙසට හැරුණු දොස්තර මහත්තැන් පුතා විතර ද ඉන්නෙ?  කියලා ඇහුවා.
නෑ දුවෙකුත් ඉන්නවා.. කියලා අම්මා උත්තර දුන්නා..

පුතා පුතෙක් විදිහට හදන්න. දුව දුවෙක් විදිහට හදන්න.
බය නැතුව ඇල්වතුර නාවන්න.. නෑවට පස්සෙ රස්නෙට ප්ලේන්ටියක් දෙන්න.
ඔය විදිහෙ උපදෙස් වට්ටෝරුවක් දොස්තර මහත්තැන්ගෙන් අපේ අම්මට ලැබුණා..

ඇත්තටම ඒ උපදෙස් ටික මට සෑහෙන තරමේ නිදහසක් ලබා දුන් බව මට මතකයි.

අපේ අප්පච්චි මට දුවන්න පනින්න අවසර දෙන්නෙත් හරි අඩුවෙන්.. කොටිංම බයිසිකලයක් ගෙනත් දුන්නත්.. ඒක පදින්න පුරුදු වුණේ හොරෙං.. අප්පච්චි කෙසේ වෙතත් අම්මා එදායින් පස්සෙ මට කොල්ලෙකුට අවශ්‍ය නිදහස දෙන්න නිතරම උනන්දු උනා..

හැබැයි තවමත් අම්මට මං කෙට්ටුයි.. 

14 comments:

  1. අම්මල ඔහොම තමයි බං.

    ReplyDelete
  2. එහෙම වෙන්නට එපායැ. තව කන්න...

    ReplyDelete
  3. අම්මලා නම් ඔහොමම තමයි. හැබැයි මම නම් පොඩි කොල්ලෝ ඉන්න දෙමව්පියන්ට කියන්නේ උඹේ දොස්තර මහත්තයා කිව්ව ටික තමයි.

    ReplyDelete
    Replies
    1. මගෙ කොල්ලත් මං හදන්නෙ.. දොස්තර මහත්තයා කියපු පිළිවෙලට.. හික්ස්..

      Delete
  4. තව කන්න තව කන්න.. ඔය අම්මලට පේන කෙට්ටුව අරින්න බෑ කවදාවත්ම..

    ReplyDelete
  5. ෂයියෝ අපේ අම්මට නම් මාව කෙට්ටුවට පේන්නේ නෑනේ,වෙන එකක තියා කාටවත් ම මාව කෙට්ටුවට පේන්නේ නෑනේ

    ReplyDelete
    Replies
    1. කවුරු හරි කෙට්ටුයි කිවුවොත් කියන්ට මල්ලි.. අපි එයාව ඇස් දොස්තර කෙනෙකුට පෙන්නලා පස්නයක් නැත්තං මුල්ලේරියාවට එක්ක යං..

      Delete
  6. හොඳට කාලා සතුටින් ඉදිං එතකොට බලන් ඉන්නැද්දි මහත් වෙයි...

    මේ බ්ලොග් එකේ දෙපැත්තේ නිල් පාට මාරු කරන්න පුලුවන්නං හොඳයි. පෝස්ටෙක කියෝනකොට ඇස්වලට කරදරයි මේ නිල් පාට. ලයිට් කලර් එකක් නැතුව ඩාක් කලර් එකක් දාන්න පුලුවන් නම් හොදයි. :)

    ReplyDelete
    Replies
    1. මගෙ එහෙමට කෙට්ටුවක් නෑ බං.. උසේ හැටියට මහත..:D

      පාට ගැන කියපු ඒවා නං හරි ඇති මධුරංග.. මං උත්සාහ කරලා බලන්නං..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..