Sunday, November 24, 2013

ඉරිසියාකාරයා හා සියාතු ගේ ගෙදර

සියාතු ගේ ගෙදර සියාතුගේ වෙලා දැන් සෑහෙන දොහක්ය. සියාතුගේ පවුලේ නීතියට අනුව එකෙකුට අයිතිකාරයා වෙලා දිගට ම ඉන්ට බෑ ය. ගෙදර ජීවත් වෙන අය ගේ වයස, උගත් කම, හැකියාව වගේ ඒවා සලකා බලා සැරින් සැරේ බද්ද මාරු කොරන්ට උවමනාය. කරුමේ කියන්නේ මේ ගෙදර සියාතුගේ හත්මුතු පරම්පරාවෙන්ම පැවතගෙන අය ජීවත් වන්නේ ය. ගේ පොඩ්ඩ උනා ට දස්ස ගෘහ නිර්මාණ සිල්පියෙකු විසින් හදලා තියෙන හින්දා.. හැමෝට ම ජීවත් වෙන්ට පුළුවන් ය. එයිට අමතරව අහල පහල ගෙවල් වලිං පන්නපු එවුනුත් මේ ගෙදර ජීවත් වෙනවාය. එහෙං මෙහෙං ආපු එවුවන්ට ඉන්ට දීලා, දැං ගෙදර මුල ඉඳං හිටපු එකා මොකාද කියා හොයා ගන්ටත් අමාරුය. කොහොම වෙතත් සියාතුවා කාගෙත් හිත ගන්ට දස්සයාය. සියාතුවාගේ ඥාති අක්කාට ගේ තියෙන කාලෙ.. අක්කාටත් හොරෙන් අක්කාගේ පවර් එකෙන් ම ගේ ලියා ගන්ට තරම් සියාතුවාගේ වැඩ කිඩ සියුම් ඒවා විය.

ඒත් ගේ අයිතිකාරයා උනු දවසේ ඉඳං සියාතුවා ගේ තිබුණේ වැඩ වලට වඩා පඩ ය. පඩ වලිං කට්ටිය ආං බාං කරන එකත් පට්ට වැඩක් බව සියාතුවා දැන සිටියේ ය. ගෙදර ඉන්න එවුවන්ගෙන් බාගයක් ම ගෙදර පාලනය කොරන එක තමාගේ රාජකාරිය කියලා හිතුවත්.. ඒක කොළේ සියාතුවා ම ය. ගෙදර හිටපු අයගෙං වැදගැම්මකට ඇති වැඩක් කොරලා පණං හතරක් හම්බ කළේ කීප දෙනෙක් විතරය. සිදාදිය ට ගිහිං රස්සා කරලා ගෙදර වියදමට සල්ලි එවන අයත් ඉන්නවා ය. දුක මේ හම්බ කොරන සේසත සියාතුවාගෙත්.. ගෙදර පාලනය කොරන්ට ඉන්න අයගෙත්.. ඇඳුං ආයිත්තං, ගමන් බිමන් වලට පිරිමහගන්ට වත් මදි වීමය. ඒත් සියාතු නිකං හිටියේ නෑ ය.. අහල පහල හැම තැන ම ගොස් පොළියට සල්ලි අරං ආවේය. වියදං ටික සේප් කරගන්ට හැකි විය.. ගෙදර එවුං හිතුවේ වරදක් නැතැයි කියා ය.

දැං තවත් අවුලකි.. ගෙදර උන්ට කන්ට දෙනවා මදිවට පොළිය ගෙවන්ටත් ඕනෑ ය. සියාතු ඒත් නිකං හිටියේ නෑ ය. තව තවත් වැඩි පොළියට සල්ලි ඉල්ලං ආවේ ය. ගෙදර මිනිස්සු තාමත් සතුටින් ය. උන් හිතන්නේ අපට කන්ට බොන්ට ටික තියේ නං.. සියාතු චිත්තරපටි බැලුවට මොකෝ කියා ය.

පහුගියදා ගමේ පරණ යාළුවො සැට් එකකට එන්ට කියලා පාටියක් දාන්ට සියාතු සිතුවේ ය. එය ඇත්තටම ඉස්තරං පාටියක් ය. මෙවැනි පාටි සියාතු ට කජු කනවා වගේ ය. කරන්ට ඇත්තේ වටේ රවුමක් දාලා ණය ටිකක් ඉල්ලා ගැනීම විතරක් ය.

මේ විදිහට ගෙදර තියාගන්නවා නං .. සියාතුට සින්නක්කරේට ම ගේ ලියා දෙමු කියා ගෙදර හැමෝම කතා වෙනවා ය. තව ටික දොහක් ගියොත්.. අමුතුවෙන් ලියන්ට දෙයක් ඉතුරුවෙන එකක් නෑ කියා ඉරිසියාකාරයෙක් කෙඳිරුවේ ය. 

Tuesday, November 19, 2013

නව මං පෙතෙහි අගේ..

  
එකමත් එක රටකි ඇති සමුදුරු මැද්දේ
කඳු පෙළ මනරම්ය දිය උල්පත් ඇද්දේ
කෙත්වතු තිබේ හේනුත් තියෙනෙව' බැද්දේ
තවමත් ඇහෙනවා සියොතුන්ගේ සද්දේ
  
මුව මී ගෝණ ඉත්තෑ සා පොවුවන්ද
ගව සූකර බළල් බලු අග සවුවන්ද
කවදත් දහම හුරු ඇත් කුල සෙවුවන්ද
එබිමෙහි තවත් ඇත හොර රා බිවුවන්ද
  
මිණිකැට තිබේ පොළොවේ ඔබ මොබ නිතර
ගං දිය ගලයි හැඩ වී කඳු හෙල් අතර
මහ වැවු හැඩයි බැලුවෙමි මම වී නතර
වෙන මොන ලස්සනද නව මං පෙත් විතර
  

Sunday, November 17, 2013

පිටිකර බෙහෙත් කෝ මේ පය බර වායයි

                           
මළ කා ගියත් හිත පොබයන කවි අවිය
සළකා මය දැයේ දියුණ ද විදු රවිය
වළකා ලිය නොහැක ගිණි සිළු දැවි දැවිය
බලකාමය නිසා අප හැම තැවි තැවිය
  
නිවසට අප පැමිණ හූරා ගෙන වස්තූ
කරකාරෙට අරං එහි සිටි බවලත්තූ
මරු වසඟයට යවමින් සවිබල පුත්තු
හෙළ සිරිතටත් ගිණි අවි නොවැ කළෙ පත්තු
  
රහමෙර ගෙනත් හුරු කර, කර මාට්ටුව
මස මර මරා කන්ටත් කළෙ සීට්ටුව
හෙළ වෙද කම මරා බිහි කර වාට්ටුව
අවසන දුන්නෙ බහු ආගම් පූට්ටුව
  
සුද්දා දුන්නු අල හා මුහු උනු ගෝවා
රෙද්දේ පුරා පෙරෙමින් රහ කර කෑවා
මැද්දේ උන්ගෙ සැලසුම් මෙහි ගිණි ලෑවා
යුද්දේ කොටි හපුවො අප වෙත ගෙන ආවා
  
යන්තම් නිමා වී තිස් වසරක යුද්දේ
අඩියක් දෙකක් කරදර අතරින් ඇද්දේ
ලුණු රහ බලන්ටත් කල් මදි විය හොද්දේ
විරුවා නතර විය මහ උළු ගේ මැද්දේ
  
අයියා මල්ලි ලැම්බෝගිනිගෙනාවයි
පොඩි මල්ලී හඳේ එය හරිවිනෝදයි
මාමල' බාප්පල පියතුම වගේමයි
මහ ජනතාව මහ පාරේ උලා කයි
  
කලකට ඉහත අප හට අණවිණකරලා
රට හැර ගියපු අය කළු සුද්දන් මවලා
ඇවිදින් තිබේ විරුවන් විලසින් ඇඳලා
චෝගම් ගුලිය යන්නට අප හට කවලා
  
මොනවා නැතත් රට මැද හයි වේයායයි
ඉක්මණටම වගේ පැට්‍රල් හඳ පායයි
දැනටත් ළූණු බෑ කන්නට තුන්සීයයි
පිටිකර බෙහෙත් කෝ මේ පය බරවායයි
  

Friday, November 15, 2013

ගත කොහොම ද හිත වගෙ බෙදුවේ...?

     
ලොව වැනසෙද්දී කවි ලිවු මා සිත - නුඹ වැනසෙද්දී සසල වෙළා
මල්ලියෙ අද නම් පමණට වැඩියෙන් - නුඹ මා හදවත සිදුරු කළා
  
නුඹ දෙඩු වදනක විස තිබුණා නම් - දරා ගනිමි දෙවරක් නොසිතා
දිය - කිර වෙන් කර රස බැලුවා නම් - නුඹ වනු ඇත හෙටටත් සමතා
  
ඔවදන් මනුදම් ඇසුරින් හුරුකර - නුඹ ලොකු වන තුරු බලා හිඳී
මවුපියො, ගුරුවරු, නෑ සියො ගැන නම් - නුඹ හිතුවා මගෙ හිතට මදී
  
තනි වූ පෙම් හිත දෙතුන් දෙනෙකු වෙත -දෙන්නට නුඹ කොහොම ද හිතුවේ
හිත විතරක් නම් කමකුත් නෑ තව -ගත කොහොමද එළෙසට බෙදුවේ
  

Wednesday, November 13, 2013

බැරිදා විග්‍රහය !තාරුණ්‍යය - සමයම

තාරුණ්‍යය පුදුමාකාරය. සීමා මායිම් ගැන වගේ වගක් නැති, ඉවසීම කියා දෙයක් හඳුනන්නේ නැති, පෙරලන්න හිතුණොත් මහාමේරුවත් ලොකු නැති.. එවන් තාරුණ්‍යයක් මටත් තිබුණාදැයි  මම මගේ හිත විමසමි. 

මගේ තරුණ කාලයේ ම මා ද පිළිකුල් කළ අයුරෙන් හැසිරුණු මගේ සමවියෙහි වූ තරුණ තරුණියන් පිරිසක් ද සිටි බව මට මතකය. ඔවුහු මිතුරු සමූහයක් වූ අතර, වැඩි දෙනෙකු තනි පුද්ගලයින් විය.  එක කොල්ලෙකු සමඟ කෙල්ලන් 2-3 ක් සහ එක කෙල්ලකු සමඟ කොල්ලන් 2-3 ක් එකට සැරීම මෙම කණ්ඩායමේ ස්වරූපයයි. කාලය යද්දී එක එක කුරුල්ලා කිරිල්ලියකුත් අරං මාරු වූ අතර.. අවසන මේ සමයම නිමා විය. 

මා මේ සටහන ලියුවේ මාගේ ඥාති සොහොයුරෙකුගේ එවන් වූ පිංතූර පෙළක් දැකීමෙන් හටගත් කම්පනයෙනි. ඔහු ඉන්නේ භද්‍ර යෞවනයේ ය. ඇතැම් පින්තූර වල ඔහු හා වෙළී කෙල්ලන් දෙදෙනෙකු සිටින අතර.. තවත් පින්තූරයක ඔහු තවකෙකු සමඟ එක් කෙල්ලෙකු හා වෙළී හිඳියි. මේවා සමාජ සමයං ය. එහෙත් එවන් වූ සමයං මීට 14 අවුරුද්දකට පෙරත් තිබුණි. ඒ අනුව නිසි කල ආ කල මේවා නිමා වනු ඇත. එතැනට වෙනත් පිරිසක් එනු ඇත.

තරුණ වියේදී වේවා, මැදි වියේදී වේවා සිංහලයන් විදිහට අප අපගේ සීමා මායිම් පුළුල් කළ යුතු තැනදී ඒවා පුළුල් කරනවා මිස ඒවා නොතැකිය යුතු නැත.


Sunday, November 10, 2013

සුබ උපන්දිනක් වේවා සොඳුරිය..!

                                
සඳුදා උදයේ සිට
සිකුරාදා වන විට
ඔබ ගෙවනා කටුකදිවිය
නොතේරෙන්නෙ නෑ මට
  
හතරේ කණිසම වදී
ඔබ කුස්සියටමවැදී
උයයි පිහයි එක යුද්දෙට
හය වෙද්දිත් මම නිදී
  
ලෑස්ති වෙන්නට පෙර
තෙල් ගා තැවිලිත්කර
අප්පච්චිට සලකන එක
අගයමි ලෙස පෙම් බර
  
පොඩි උන් වත් ඇහැරවා
ලදහොත් කෑමත් කවා
හනි හනිකට දුව යන්නේ
රැකියාවට දුර ගෙවා
  
නිවසට හැන්දෑවට
එයි මඳහස කැටි කොට
දරුවන්ගේ පාඩම් වැඩ
බලයි තදින් සැරකොට
  
මවු පියො දෙදෙනට මගේ
ඔබෙ අම්මා හට වගේ
සලකන එක හරි සතුටක්
වැඩි වෙයි ඔබෙ ඇති අගේ
  
කරදර බාධක මැද
මා හා දුක් විඳවිඳ
එන භවයෙත් මගෙ ම වෙන්න
ඇයි පැතුවේ රන් කඳ
  
උපන් දිනය සමරන
ඔබ හට පෙම සමඟින
පතමි පැතුම් ඉටුවන්නට
දින දින මතුඑළඹෙන
  

Thursday, November 7, 2013

සුදු වන කරමලය

නිතර දකින කුකුලා ගේ කරමලය සුදුයි කියලා කියනවනේ. ඇත්තටම මම මේ කියන්ට යන්නේ ඒ කතාව නං ඇත්තමයි කියලා.

අපි වැඩියෙන්ම ආදරය කරන දෙන්නා තුන්දෙනා අතරෙ අපි හැසිරෙන විදිහෙන් ම ඒ ටික හිතා ගත්තහැකි නේ. අනික් අය අතින් වෙන සැළකිය යුතු වැරදි ඉවසන්ට පුළුවන් වන අපට මේ ලෙංගතු මිනිස්සුන්ගෙ චූටි වැරැද්දත් ඇති හිත රිදෙන්න.

මගේ අම්මා, අප්පච්චි, බිරිඳ සහ දරු දෙදෙනා තමයි මගේ උදහසට වැඩිපුර ම පාත්‍ර වෙන්නෙ.. උදහසට පාත්‍ර උනා කියලා ආයෙ මං උල තියන්නෙ එහෙම නෑ. ඒත් නිතරම අපි අතර පුංචි පුංචි ගැටුම් ඇති වෙනවා.

ඒත් ඔය තරම් ම ලෙංගතු මගේ අක්කත් එක්ක දැං එහෙමට පැටලිල්ලක් ඇති වෙන්නෙ නෑ.. සමහර විට එයා දැං වෙනම පවුලක නිසා වෙන්ට ඇති.

ඕකෙ තවත් පැත්තක් තියෙනවා.. අපි කොච්චර කිවුවත් වඩාත්ම නිදහස් ව හැසිරෙන්නෙ කිට්ටුම යාළුවත් එක්ක කියලයි මං නම් හිතන්නෙ. යාළුව ව අපි ඉතිං ආමන්ත්‍රණය කරන්නෙ "මචං" කියලා නෙ. ඔය වගේ නිදහසේ ඉන්න වෙලාවක.. අම්මට, පෙම්වතියට පවා මචං කියවෙන්ට ගිය වෙලාවල් තියෙනවා..

චූටි අතීත කතාවකුත් අමුණන්නම්..

ඉස්සර ලස්සන කෙලි පොඩ්ඩක් දැක්කම ළඟ ඉන්න යාළුවට කකුලෙන් ගහලා පෙන්නන එක අපේ පුරුද්දක්. දවසක් පෙම්වතියත් එක්ක ළඟින් ඉඳගෙන කතාබහ කර කර ඉන්නකොට.. ලස්සන කෙල්ලෙක් ගියා.. මටත් නොදැනීම මගේ කකුල වැඩ කළා.. කියපු බොරුව නං මොකද්ද කියලා මතක නෑ.. ඒ හැටි අවුලක් උනේ නැති බව විතරක් මතකයි..

කොහොම උනත් පෙම්වතිය හොඳම යාළුවෙක් තරම් ළඟින් දැනෙනවා කියන්නේ වාසනාවක්. 

Wednesday, November 6, 2013

සොඳුරිය..ට

        
නෙතු අග සුපිපෙන කඳුළැලිමුතුවන්
මුව මත ලෙල දෙන සිනහව අමවන්
සුළඟට නැලැවෙන කෙහෙරැළිතඹවන්
මට නැත අන් කිසිවක් ලොව නුඹ වන්
  
මොනවා නුඹ මට කෙරුවත් තරහින්
පනවා දඬුවම් වැඩි දුර නොගිහින්
එනවා යළි මගෙ අසලට විගහින්
දෙනවා ඉඟි බිඟි ම'වෙතට හොරැහින්
  
රැකගෙන පති දම් සහ මගෙ දරුවන්
පණ මෙන සලකා දෙගුරු ද හොබවන්
බැතියෙන සැරසී කිස තොස නිමවන්
මම දෙන පෙම මදි නම් මට කමවන්
  

Tuesday, November 5, 2013

කැමති/සුදුසු වෘත්තිය තෝරා ගැනීම

මේ ගැන මාධව හබරකඩ සහෝදරයා ලිපි පෙළක් ලියාගෙන යනවා. ඒ අතර තිබුණු මේ ලිපිය කියවන්න ගිහිං තමයි මට මේ ලිපිය ලියන්න හිතුණෙ.

අපි වෘත්තියක් තෝරාගැනීමෙදි තමන්ගෙ කැමැත්ත, හැකියාව, වාසනාව වගේ කරුණු බොහොමයක් ගැන සිත යොදවන්න අවශ්‍යයි. කැමැත්තයි හැකියාවයි තිබුණු පලියට එම වෘත්තියෙහි යෙදෙන්න තරම් කෙනෙකු වාසනාවන්ත වෙන්නෙ නෑ. සමහර විට ඔහුට සුදුසු ම වෘත්තිය වෙනත් එකක් වෙන්න පුළුවන්.
උදාහරණයක් විදිහට මං ඒ කාලෙ (වෘත්තියක් තෝර ගන්න කාලෙ) කැමතිම වෘත්තිය වුණේ රියැදුරු වෘත්තිය. ඒ පිළිබඳ හොඳ හැකියාවකුත් මට තිබුණා. ඒත් ඒක කරන්න අයිතියක් මට තිබුණෙ නෑ. වෙනත් විදිහකින් කියනවා නම් මගේ පවුලේ අය, ඥාති හිත මිත්‍ර සමාජය මං එහෙම වෘත්තියක් කරනවාට කැමති උනේ නෑ. ඒ නිසා මං හෙවුවෙ ඊළඟ විකල්පය.

මං මුලින් ම තාවකාලික ව සමීක්ෂණ නිලධාරියෙකු විදිහට වැඩ කළා. මිනිසුන් අතර ට යන එක සතුට ඇති කරන දෙයක් උනත් ආයතනය ගැන සහ එම ව්‍යාපාරය පැවැත්වෙන අයුරු ගැන ඇති වූ කලකිරීම මත එම රාජකාරිය මං දිගින් දිගට කරන්න හිතුවෙ නෑ.

ඊ ළඟට ගෙවල් වලට ගොහිං ගණිතය විෂය උගන්වන්න හිතුවා. ඒ වැඩෙත් එතරම් සතුටුදායක උනේ නෑ. ළමයින්ට මාව හිතට අල්ලන්නෙ නැතුව ඇති.

ඊ ළඟට පිරිවෙනක රජයේ පත්වීමක් අරගෙන ගණිතය උගන්වන්න ගියා. එතැනදී ආයතනයත්, ඉගෙනගත් ශිෂ්‍යයනුත් සතුටු වුණත් මගේ හිතට සතුටක් දැනුණෙ නෑ.

ඊ ළඟට Software Developer කෙනෙක් විදිහට ගමන ආරම්භ කළා. වෙනත් ප්‍රශ්න නිසා ආයතන කිහිපයකට මාරු උනත්, මෙතැනදී නම් කරන දේ ගැන සතුටක් තිබුණා.  බොහෝ විට ඒ ඇති වූ ප්‍රශ්නත් ආයතන කලමණාකරනය පිළිබඳ ප්‍රශ්න.

බැලුවහම මගේ සිහිනය වෙලා තිබුණේ පාරිභෝගිකයො රවට්ටන්නෙත් නැති, සේවකයො රවට්ටන්නෙත් නැති ආයතනයක්. ඒ සිහිනය මං ම හෙළිකරගත යුතු එකක් කියලා මට තේරුණා. මීට වසර 3 යි මාස 4 කට විතර ඉස්සර.. Perfect Software Solutions(Pvt) Ltd  කියලා පුද්ගලික සමාගමක් ඇරඹෙන්නෙ එහෙමයි. අද වෙනකොට ඒ හීනය සෑහෙන දුරට සාර්ථකව හෙළි වෙලා තියෙනවා. මොන ප්‍රශ්න තිබුණත්.. මං අද වෘත්තීය වශයෙන් තෘප්තිමත්.

ප.ලි.
අද වෙනකොට නං වාහන දක්කනවා කියනකොටත් ඔළුවෙ කැක්කුමයි.. (ඒ කාලෙ කොළඹ වාහන පදවලා තිබුණෙ නැති නිසා වෙන්න ඇති ආසා හිතෙන්න ඇත්තේ..)

Monday, November 4, 2013

හදිසියේ දුටු එ'දිගැසා

       
නුඹට සිංහල බැරි නිසා
දොඩමි මම අණ්ඩර බසා
එපා මා හා උරණ වන්නට
දනිමි දෙනුවන් වල රසා
  
නුඹ ම පෑ ඉඟි බිඟි වසා
යොමා නෙතු වෙනතක්දෙසා
මාත් මිනිසෙකු වගක් නොසිතා
පෙළනු කිම මා මේ ලෙසා
  
නොබිනුවෙමි මම නම්මුසා
නුඹයි මා හද දිනු යසා
එක හිනාවක් ළඳේ ඇති මට
නො එමි පෙම ඇති දැයි අසා