Sunday, November 17, 2013

පිටිකර බෙහෙත් කෝ මේ පය බර වායයි

                           
මළ කා ගියත් හිත පොබයන කවි අවිය
සළකා මය දැයේ දියුණ ද විදු රවිය
වළකා ලිය නොහැක ගිණි සිළු දැවි දැවිය
බලකාමය නිසා අප හැම තැවි තැවිය
  
නිවසට අප පැමිණ හූරා ගෙන වස්තූ
කරකාරෙට අරං එහි සිටි බවලත්තූ
මරු වසඟයට යවමින් සවිබල පුත්තු
හෙළ සිරිතටත් ගිණි අවි නොවැ කළෙ පත්තු
  
රහමෙර ගෙනත් හුරු කර, කර මාට්ටුව
මස මර මරා කන්ටත් කළෙ සීට්ටුව
හෙළ වෙද කම මරා බිහි කර වාට්ටුව
අවසන දුන්නෙ බහු ආගම් පූට්ටුව
  
සුද්දා දුන්නු අල හා මුහු උනු ගෝවා
රෙද්දේ පුරා පෙරෙමින් රහ කර කෑවා
මැද්දේ උන්ගෙ සැලසුම් මෙහි ගිණි ලෑවා
යුද්දේ කොටි හපුවො අප වෙත ගෙන ආවා
  
යන්තම් නිමා වී තිස් වසරක යුද්දේ
අඩියක් දෙකක් කරදර අතරින් ඇද්දේ
ලුණු රහ බලන්ටත් කල් මදි විය හොද්දේ
විරුවා නතර විය මහ උළු ගේ මැද්දේ
  
අයියා මල්ලි ලැම්බෝගිනිගෙනාවයි
පොඩි මල්ලී හඳේ එය හරිවිනෝදයි
මාමල' බාප්පල පියතුම වගේමයි
මහ ජනතාව මහ පාරේ උලා කයි
  
කලකට ඉහත අප හට අණවිණකරලා
රට හැර ගියපු අය කළු සුද්දන් මවලා
ඇවිදින් තිබේ විරුවන් විලසින් ඇඳලා
චෝගම් ගුලිය යන්නට අප හට කවලා
  
මොනවා නැතත් රට මැද හයි වේයායයි
ඉක්මණටම වගේ පැට්‍රල් හඳ පායයි
දැනටත් ළූණු බෑ කන්නට තුන්සීයයි
පිටිකර බෙහෙත් කෝ මේ පය බරවායයි
  

2 comments:

  1. රසවින්ද බව කියන්න මම ආවෙ..

    චතුර අයියගෙ කවි වලට තමයි මම කැමතිම..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සමී.. එය ලොකු සතුටක්..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..