Tuesday, November 5, 2013

කැමති/සුදුසු වෘත්තිය තෝරා ගැනීම

මේ ගැන මාධව හබරකඩ සහෝදරයා ලිපි පෙළක් ලියාගෙන යනවා. ඒ අතර තිබුණු මේ ලිපිය කියවන්න ගිහිං තමයි මට මේ ලිපිය ලියන්න හිතුණෙ.

අපි වෘත්තියක් තෝරාගැනීමෙදි තමන්ගෙ කැමැත්ත, හැකියාව, වාසනාව වගේ කරුණු බොහොමයක් ගැන සිත යොදවන්න අවශ්‍යයි. කැමැත්තයි හැකියාවයි තිබුණු පලියට එම වෘත්තියෙහි යෙදෙන්න තරම් කෙනෙකු වාසනාවන්ත වෙන්නෙ නෑ. සමහර විට ඔහුට සුදුසු ම වෘත්තිය වෙනත් එකක් වෙන්න පුළුවන්.
උදාහරණයක් විදිහට මං ඒ කාලෙ (වෘත්තියක් තෝර ගන්න කාලෙ) කැමතිම වෘත්තිය වුණේ රියැදුරු වෘත්තිය. ඒ පිළිබඳ හොඳ හැකියාවකුත් මට තිබුණා. ඒත් ඒක කරන්න අයිතියක් මට තිබුණෙ නෑ. වෙනත් විදිහකින් කියනවා නම් මගේ පවුලේ අය, ඥාති හිත මිත්‍ර සමාජය මං එහෙම වෘත්තියක් කරනවාට කැමති උනේ නෑ. ඒ නිසා මං හෙවුවෙ ඊළඟ විකල්පය.

මං මුලින් ම තාවකාලික ව සමීක්ෂණ නිලධාරියෙකු විදිහට වැඩ කළා. මිනිසුන් අතර ට යන එක සතුට ඇති කරන දෙයක් උනත් ආයතනය ගැන සහ එම ව්‍යාපාරය පැවැත්වෙන අයුරු ගැන ඇති වූ කලකිරීම මත එම රාජකාරිය මං දිගින් දිගට කරන්න හිතුවෙ නෑ.

ඊ ළඟට ගෙවල් වලට ගොහිං ගණිතය විෂය උගන්වන්න හිතුවා. ඒ වැඩෙත් එතරම් සතුටුදායක උනේ නෑ. ළමයින්ට මාව හිතට අල්ලන්නෙ නැතුව ඇති.

ඊ ළඟට පිරිවෙනක රජයේ පත්වීමක් අරගෙන ගණිතය උගන්වන්න ගියා. එතැනදී ආයතනයත්, ඉගෙනගත් ශිෂ්‍යයනුත් සතුටු වුණත් මගේ හිතට සතුටක් දැනුණෙ නෑ.

ඊ ළඟට Software Developer කෙනෙක් විදිහට ගමන ආරම්භ කළා. වෙනත් ප්‍රශ්න නිසා ආයතන කිහිපයකට මාරු උනත්, මෙතැනදී නම් කරන දේ ගැන සතුටක් තිබුණා.  බොහෝ විට ඒ ඇති වූ ප්‍රශ්නත් ආයතන කලමණාකරනය පිළිබඳ ප්‍රශ්න.

බැලුවහම මගේ සිහිනය වෙලා තිබුණේ පාරිභෝගිකයො රවට්ටන්නෙත් නැති, සේවකයො රවට්ටන්නෙත් නැති ආයතනයක්. ඒ සිහිනය මං ම හෙළිකරගත යුතු එකක් කියලා මට තේරුණා. මීට වසර 3 යි මාස 4 කට විතර ඉස්සර.. Perfect Software Solutions(Pvt) Ltd  කියලා පුද්ගලික සමාගමක් ඇරඹෙන්නෙ එහෙමයි. අද වෙනකොට ඒ හීනය සෑහෙන දුරට සාර්ථකව හෙළි වෙලා තියෙනවා. මොන ප්‍රශ්න තිබුණත්.. මං අද වෘත්තීය වශයෙන් තෘප්තිමත්.

ප.ලි.
අද වෙනකොට නං වාහන දක්කනවා කියනකොටත් ඔළුවෙ කැක්කුමයි.. (ඒ කාලෙ කොළඹ වාහන පදවලා තිබුණෙ නැති නිසා වෙන්න ඇති ආසා හිතෙන්න ඇත්තේ..)

7 comments:

  1. තමන්ට ගැලපෙන රැකියාව පලමු වතාවෙම ලැබෙනවා නම් ඒ පුද්ගලයා පුදුම විදියෙ වාසනාවන්තයෙක්.
    මාත් දැනට රැකියා හතරක් කලා. ඒ හතරෙන් එකක් කලේ එකම එක දවසයි. එක දවසෙන්ම එපා වෙලා අස් වුනා.

    ReplyDelete
    Replies
    1. තමන්ට ගැලපෙන් රැකියාව ජීවිත කාලයට ම නොලබන අය තමයි වැඩි..

      Delete
  2. හැමදේම පටන් ගන්න ලේසියි..පවත්වාගෙන යන්න තමයි අමාරු.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ කරන එක ඊටත් අමාරුයි.

      Delete
  3. හ්ම්ම්. මමත් කැමතිම දේ සම්බන්ධ රැකියාවක් මට ලැබුණාද කියල මටත් ශුවර් නෑ. නමුත් මම දැන් කරන රැකියාව මම කරන්නෙ සතුටින්. මොකද මම කරන රැකියාව මම ඉගෙනගත්තු දේවල් යම් තරමකට හෝ භාවිතා කරන, මගෙ යම් අනාගත සැළසුම් වලට ගැළපෙන රැකියාවක් කරන්න පුළුවන්.
    මම කරන්නෙ තත්ව ස්ථාපනය (Quality Assurance), ISO Systems, R&D සම්බන්ධ රැකියාවක්. නමුත් මගෙ යාළුවො හුඟක් කියන්නෙ "උඹට කම්පියුටර් සම්බන්ධ ජොබ් එකක් කරන්න තිබුණෙ බන්" කියල. මොකද මම හැම වෙලේම කම්පියුටර් එක්ක ගැවසෙන, එක එක වැඩ කරන නිසා. නමුත් මම ඒකත් නොකරන්නෙ නෑ, මම ග්‍රැෆික්, වෙබ් සම්බන්ධ වැඩ කරනව.

    මම ඕ ලෙවල් කරන කාලෙ ඉඳල මගෙ ආසාව තිබ්බෙ විද්‍යාඥයෙක් / ඉංජිනේරුවෙක් වෙන්න. මම දැන් ඉංජිනේරුවෙක්. නමුත් රැකියාව කෙලින්ම ඉංජිනේරු වෘත්තියක් නම් නෙමෙයි. :)
    මම ආසයි ලියන්න පොඩි කාලෙ ඉඳල, රචනා එහෙම මම ඒ කාලෙ ගොඩක් හොඳට ලියනව කියල ගුරුවරු කිව්ව. දැනුත් ලියන්න ආසයි. බ්ලොග් එකෙන් තමයි ඉතින් දැන් කරන්නෙ. :)
    මම ආසයි මිනිස්සුන්ට සවන්දෙන්න, ඔවුන්ගේ ගැටළු වලට උදව් කරන්න. ඒක නම් ලොකුවට කෙරෙන්නෙ නෑ, නමුත් යාළුවන්ගෙ හිත් වල තියෙන ප්‍රශ්න වලට උදව් කරන එක කරනව සමහර වෙලාවට.
    මම ආසයි උගන්නන්න. ඒකත් හැබැයි මම කරන්නෙ බ්ලොග් හරහාම තමයි. මගෙ ඡායාරූපකරණය, කොටස් වෙලඳපළ, හා මගෙ පුද්ගලික බ්ලොග් අඩවිය හරහා.

    ReplyDelete
    Replies
    1. බලං ගියාම ඔයා ඕල් රවුන්ඩර් කෙනෙක් නෙ.. බොහෝ දුරට හීනත් හැබෑ කරගෙන නෙ.. ජය පතමි..

      Delete
    2. වෘත්තීය මාර්ගෝපදේශනය ගැන ලිපි ටිකක් වෙනමම ලියන්න මම පටන් ගත්තු අලුත් බ්ලොග් එක දැක්කද?
      Career Guidance LK
      http://careerguidancelk.blogspot.com/

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..