Friday, December 19, 2014

බැරිදා විග්‍රහය..! මිනිස්සුන්ට සල්ලි නැද්ද?

අප රටෙහි ඔය කියන තරම් මුදල් හිඟයක් පවතිනවාද?
හිඟයකට වඩා විෂමතාවයක් තමයි පවතින්නෙ...

අද අපේ රටේ හුඟක් අයට වාහනයක්.. අඩු ගානේ ත්‍රීවීලර් එකක් හරි බයික් එකක් හරි තියෙනවා.. ඒ වගේම දහස් ගණන් අලුත් කාර් නිතරම පාරේ හමු වෙනවා.. එය සමස්ථයගේ ආදායම් තත්වය ඉහළ යෑමක් පෙන්වන සාධකයක් නොවෙයිද?

මිනිස්සු ළඟ වාහන තියෙනවා.. ඒ වාහන වලට ලීසිං තියෙනවා. ලීසිං වලට ඇරියස් තියෙනවා..

මිනිස්සු ළඟ සල්ලි නෑ කීවට.. කේ.එෆ්.සී, මැක්ඩොනල්ඩ්ස්, පීසා හට් වගේ වැඩි වියදම් සහිත තැන් වලට මිනිස්සු පොර කකා යනවා..

මේක කාරණා කිහිපයක එකතුවක්...

1. අපේ රට ඇතුළට මහා දැවැන්ත.. මුදල් සම්භාරයක් ණය විදිහට එනවා.. ඒ මුදල් වලින් ඉතා සුළු ප්‍රතිශතයක් හරි (අඩු ගානේ 10%ක් වත්)  රටේ මුදල් සංසරණ පද්ධතියට එකතු වෙනවා.. (අනික්වා.. අදාල ව්‍යාපෘති කරන විදේශීය සමාගම් හරහා සහ.. කොමිස් කාක්කන්ගේ විදේශීය ගිණුම් හරහා ආයෙමත් පිටරට ට යන බව ලේසියෙන්ම උපකල්පනය කරන්න පුළුවනි..) අන්න එහෙම ලංකාවෙ නවතින මුදල් නිසා.. සමස්ථයක් ලෙස රටේ මුදල් සංසරණය පවත්වාගෙන යන්න පුළුවන් වගේ පේනවා..

2. ඔය ඉහත කියපු අවන්හල් වලට යන කොට්ටාස කීපයක් ඉන්නවා..
 1. හොඳම සල්ලි කාරයො.. මෙයාලට ඉතිං අවුලක් නෑ .. සල්ලි තියෙන නිසා යනවා..
2. අමාරුවෙන් කීයක් හරි හොයා ගන්න මාස් පඩි කාරයා.. මාසෙකට දෙකකට සැරයක්වත් දරුවන්ට වෙනසක් තියෙන්ට එපැයි කියලා.. දරුවොත් එක්ක ඔය වගේ තැනකට ගිහිං.. බොහොම පරෙස්සමින්.. එහෙත්.. දරුවන්ගෙ බිරිඳගෙ සතුට වෙනුවෙන්..සල්ලි ටිකක් වියදම් කරනවා..
3. එදිනෙදා සල්ලි හොයාගන්න.. උදවිය.. (ත්‍රීවීලර් රියැදුරන්, බස් කොන්දස්තර වරුන් වැනි අය..)  ගතමන්ට් එක ටිකක් හොඳ දවසට.. අර ඉස්සෙල්ලා කට්ටිය වගේ ම සහ ගතමන්ට් එක එච්චර නැති උනත්.. හිතුණොත් ණය වෙලා හරි.. මේවට ගොඩ වෙනවා..

මේ ඔක්කොම ගොඩ රටේ සමස්ථ ජනතාවගෙන් 60%ක් විතර ඇති..
ඒ අතරෙ තව කී ලක්ෂයක් නං මිනිස්සු ඉන්නවා ඇතිද..? මේවයෙ තියෙන්නෙ මොනවද කියලා වත් දන්නෙ නැති..?

කොහොම උනත් මේ කෑම වල ගානයි පොස් කමයි මිසක.. වෙනත් වටිනාකමක් නැති බව නං බොහෝ දෙනා දන්නවා..

Wednesday, December 17, 2014

පවුලේ අයෙකු දේශපාලනය කරන විට ඉතිරි අය කරබාගත යුතු ද?



දේශපාලන ඉතිහාසයේ පවුල් සම්බන්ධතා ඇති වූයේ අද ඊයෙක නොවේ.. සැමියාගෙන් බිරිඳට.. තාත්තාගෙන් පුතාට.. අයියාගෙන් මල්ලීට.. ආදී වශයෙන් විවිධ අයුරින් බලය හුවමාරු වූ අතර.. එකට දේශපාලනය කළ අය ද මේ අතර සුලබ විය.. 

එහෙත් පවුල් පාලනය ගැන මේ තරම් කලකිරීමක් හා තිගැස්මක් ඇති වූ වෙනත් කාලයක් නොවූ බව පැහැදිලිය.. එය කොතරම් උග්‍ර වී ද යත්.. මෛත්‍රීපාල තාත්තා ගැන ඔහු ගේ දියණිය කතා කිරීම, මෛත්‍රීපාල අයියා ගැන.. ඔහු ගේ මල්ලී කතා කිරීම පවුල් පාලනය ට පෙරහුරුවකැයි මැවෙන අපූරු (මඩ) පුවත් අද ඇත.. 

සියල්ලෝම දේශපාලන සත්වයෝ නිසා මෙන්ම.. තමන්ගේ මිනිහා නිවැරදි නම්.. ඔහු වෙනුවෙන් සහයෝගය දැක්වීම තමන්ගේ එවුන්ගේ යුතුකමක් වන නිසා.. මගේ දැක්මට අනුව නම්.. පවුලේ අය සහයෝගය දැක්වීම.. අදහස් දැක්වීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුත්තකි..

ගැටලුව ඇත්තේ එතැන නොවේ.. එකී පවුලේ උදවිය.. සටන අවසන.. හයිකාරකම් පටන් ගන්නේද... එසැණින් ගැටළු පැටැලෙන බව කිව යුතුය.. 

තාත්තා ජනපති වූ පමණින්.. පුතා.. ඡන්දය ඉල්ලා මන්ත්‍රී වීම ගැටලුවක් නැත..
එහෙත්.. ජාතික රගර් කණ්ඩායමේ නායකයා වූවා නම් ගැටලු සහගතය.. 
තනිවම සීත කාමර වල සිට.. හොරට විභාග ලියා..  පට්ටම් ලැබුවා නම් ගැටලු සහගතය..
ලැම්බෝගිනි ගෙන්වන්ට ඕන කමට .. ලැම්බෝගිනි බද්ද අඩු කරනවා නම් ගැටලු සහගතය..

ඇමතිවරුන්ගේ ලිපියට රැකියා දෙන එක වැරදිය.. ඇමති මොනවා කීවත්.. ජනපතිගේ පුතා රැකියාවේ අවසාන භාරකාරයා වීම.. ඊටත් වඩා කුජීතය.. 

මේ විදිහට කුජීත වුණු ගැටලු එමටය.. ඒත් දිගින් දිගටම ඕවා කතා කිරීම ඵලක් නැත්තේ.. "කිසි වාසියක් නෑ ඒ වුණත් අපි මරාටයි ඡන්දේ " නිසා ය. 

පවුලත් එක්ක සංවිධානාත්මකව ගහපු ගේම් මෛත්‍රී ගේ දේශපාලනයේ නැත.. ඒ නිසා මැද මුලනේ පවුලෙන් තරම් සංගදියක් පොලොන්නරුවේ පවුලෙන් නොවන බව සක්සුදක් සේ පැහැදිලිය.. 

ඒත්... එය සුපිරිසිදු එකක් වන්නේයැයි.. සිතන්නේ නම්.. එය සිහිනයක්.. එහෙත් ඉඳ හිට සැබෑ වන එවන් සිහින ද ඇත..

Thursday, December 4, 2014

කැත ම උනත් ඇත්ත කතා..


කාලය.. ආසන්න වශයෙන් 1997 වසර..
අවස්ථාව .. රජයේ රූපවාහිනි නාලිකාවක.. සැටලයිට් නෝනා සමඟ කළ සාකඡ්ඡාවක්..
නිවේදකයා.. පාලිත පෙරේරා (ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරක)
ප්‍රශ්නය : මීට ඉස්සර කොටි බෝම්බ පුපුරුවද්දි.. එක්කෙනෙක් ඇවිත් තමයි පිපිරෙවුවෙ.. ඒත් දැන් කණ්ඩායම් වශයෙන් පැමිණීමේ ප්‍රවනතාවයක් තියෙනවා නේද? එයින් තේරෙන්නෙ ඔබගේ පාලනය යටතේ ආරක්ෂාව දුර්වල වෙලා කියන එක නේද?
(ඒ කාලයේ කණ්ඩායම් වශයෙන් ඇවිත් පිපිරවීම් 2-3 ක් කළා.. මහ බැංකු බෝම්බය වගේ)
පිළිතුර : නැහැ.. දැන් රටේ ආරක්ෂාව වැඩි වෙලා තියෙනවා.. ඒ නිසා එක්කෙනෙකුට ඇවිත් ඉස්සර වගේ විනාශයක් කරන්නට ඉඩක් නෑ.. ඒ නිසයි ඔවුන් කණ්ඩායම් වශයෙන් පැමිණෙන්නෙ..

මේක රටේ ඉහළ පෙලේ නායකයෙකු/ නායිකාවක විසින් කියන ලද අමු ම අමු ගොන් ම කතාව ලෙස මගේ හදවතේ සදාතනිකව තැන්පත්ව ඇත..

එහෙත් මේ කතාවට තරඟයක් දිය හැකිදැයි සලකා බැලිය හැකි කතා දෙක තුනක් පසුගිය දින කීපය තුළ මගේ ඇස ගැටිනි..
1. මට වඩා ගන්ට ගෙනාව දරුවෙක්.. වයස මාස 8 ක් විතර ඇති.. තාම අම්ම තාත්තා කියලවත් නෑ.. අපෙ හාන්දුරුවනේ.. මේ දරුවා එක පාරටම කිවුවා.. (දෑත් දෙපසට කර පෙන්වමින්..) ජයවේවා..! කියලා..
2. මං කියන දේ කරන මිනිහෙක් .. කරන දේ කියන මිනිහෙක්.. අපෙ හාන්දුරුවනේ..(අතකින් පපුවට ගසාගනී..)

ප.ලි
 (අවුරුදු 9 ට ඉස්සර කියපුවා වත් තවම කොළේ නෑ.. අනික වැඩියෙන්ම කොළේ.. කියපු ඒවා නෙවෙයි... කියලා අපට අමතකයි හිතලා වෙන්ටැ එහෙම කිවුවෙ.. )

Thursday, November 27, 2014

බැරිදා විග්‍රහය.. පොදු සිරා!

ජනාධිපතිවරණය.. නීත්‍යානුකූල ද? කියන ප්‍රශ්නෙදි.. අපිට ලැබෙන්නෙ.. ඔවු කියන උත්තරේ.. මොකද අද පවතින්නෙ.. මරා නීතිය නිසා..
ඒ නිසා එය නීත්‍යානුකූල නැහැයි කියලා ගේ ම ඉල්ලන එක තේරුමක් ම නෑ..
මරා ට වඩා සිරා හොඳයි ද? කියන ප්‍රශ්නෙදි.. අපට කට උත්තර නැතිවෙන ගතියකුත් තියෙනවා.. එහෙම වෙන්නෙ.. මරා ගෙන් සිරා ට එල්ලවෙන මඩ ප්‍රහාරත් එක්ක.. එයිටත් වඩා මරා ගෙ සහෝදර ගැන්සියට වඩා දෙතුන් ගුණයක් ලොකු සිරාගෙ සහෝදර ගැන්සිය දැක්කාම බය හිතෙන්නෙ නැද්ද හෆ්ෆා.. මරා ට වඩා පොදු බූරුවෙකුත් හොඳයි කියලා වරක් අපේ සහෘදයෙක් කියලා තිබුණා..
ඒ කතාව ඇත්ත.. පොදු බූරුවෙක් හොඳ උනාට පොදු සිරා .. බූරුවෙක් නෙවෙයි නේ....
මගෙ පපු කැනැත්තට දැනෙන විදිහට.. ගියපාර ගෙනාපු ඇස් ඇෆ් එක්ක සිරා ව සංසන්දනය කරලා බැලුවම.. මට හිතුණේ සිරා ඇස්. ඇෆ් තරං මේ වැඩේ ට සුදුසු නෑයි කියලා.. ඒත් ඇස් ඇෆ්.. ඡන්දෙ පැරදිලා.. හිරේ ගිහිං.. තමන්නෙ සබ්බ සකලමනාව ම නැති කරගත්තට පස්සෙ ආයෙමත් දේශපාලනේ ට ආපු එක ගැන මට ටිකක් අවුල්.. මොකද .. උන්නැහැ කිවුවෙ.. ජනාධිපති වෙලා.. විධායකය අහෝසි කරලා.. දිරාමාරු වෙලා යනවා කියලනෙ.. එහෙවු උන්දැ දැන ගන්ට ඕන.. උන්දැට ආයෙ කවදාවත්.. අවස්ථාවක් නැති විත්තිය..
එක්කො උන්දැ හිතන්ට ඇති.. මං පැරදිලා මාරු වෙන එක මගේ තත්තෙට හරි නෑ කියලා.. නැත්තං හිතෙන්ට ඇති.. ළිඳට වැටුණා නං ලිං කටෙන් ම ගොඩ එන්ට ඕන කියලා.. එහෙමත් නැත්තං.. පෘතග්ජනයෙක් වෙච්ච උන්දැට හිතෙන්ට ඇති.. දේශපාලනේ කියන්නෙත්.. ලොවන්ටම වටින ලොලිපොප් එකක් කියලා..
දැං මට තියෙන පස්නෙ.. එහෙවු ඇස් ඇෆ් මහත්තැනුත්.. ලොලිපොප් එකට වහ වැටුණා නං.. සිරා මාමා ගැන අහවල් කතා ද? කියන එකයි..
කොයි හැටි වෙතත් මගේ තරාදිය තාමත් බර.. සිරා ගෙ පැත්තට.. ඒ අර අපේ සහෘදයෙක් කියලා තිබුණා වගේ හතුරු මිතුරු තියරියෙන්..
රට මගේ මිතුරා ය .. මරා රටේ හතුරා ය.. එනිසා මරා මගේ හතුරා ය..
මරා මගේ හතුරා ය... සිරා මරා ගේ හතුරා ය.. එනිසා සිරා මගේ මිතුරා ය..

Monday, November 3, 2014

බැරිදා විග්‍රහය ! යූ ඇන් පි ය ආවොත්..1

මට මතකයි.. මීට ටික දොහකට කලිං.. ඉදිරි යූ ඇන් පී ආණ්ඩුවකින් අපි බලාපොරොත්තු වෙන දේවල් ගැන අහලා තිබුණා.. ඉතිං ඕක කෙටියෙං කියන්ට ඇහැක? මං හා කියලා විතරක් නිකා හිටියා.. ඒත් දවසින් දවස.. ඔය බලාපොරොත්තු ගොන්න ලැයිස්තු ගත කොරන්ට පමා උනා.. ඉතිං අද හිතුණා පුළුවං හැටියට.. ඔයි වැඩේ අහවරක් කරලා දාන්ට..
1. නීතිය ස්ථාපිත කොට යුක්තිගරුක සමාජයකට අඩිතාලම දැමීම..
ක්‍රම ක්‍රමයෙන් පිරිහෙමින් පැමිණ.. අද වන විට සෙත්ත පෝච්චි වෙන්ට ඔන්න මෙන්න තියෙන නීතිය යළි ස්ථාපිත කිරීම මා ඉදිරි ආණ්ඩුවකින් බලාපොරොත්තු වන පළමු කාරණයයි.. එහිදී නීතියේ ඇති හිස්තැන් කෙරෙහි අවධානය යොමු කිරීමත්.. නීතිය ගැන ජනතාවගේ විශ්වාසය ඇති කිරීමත්.. නීතිය ආරක්ෂා කිරීමට සිටින නිළධාරීන්ගේ විනය ගරුක බව හා අවංක භාවය වර්ධනය වන අයුරින් ආකල්පමය හා මානසික සංවර්ධනය වැනි කරුණු ද ඇතුළුව ඊට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමත් මූලික කරුණු යැයි සිතමි.
2. නීතිය ගැන වර්ධනය වන විශ්වාසය ඇති ජනතාව ආකල්පමය වශයෙන් ශක්තිමත් හා ගුණ දහම් අතින් පිරිපුන් මිනිසුන් බවට පත් කිරීමේ පූර්වාදර්ශය.. පාර්ලිමේන්තුව තුලින් ම අරඹමින්.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු.. දූෂිත දේශපාලනඥයින් පුනුරුත්ථාපනය කිරීම.. (නීතිය ගැන හැබෑ පැහැදීමක් ඇති වීමට නම්.. පක්ෂ විපක්ෂ බේධයකින් තොරවම.. වැරදි කරුවන් නීතිය ඉදිරියේ නිරුවත් කළ යුතුය.) විශේෂයෙන් පසුගිය යූ ඇන් පී ආණ්ඩු ඇති වූ පසු සන්ධාන ඡන්ද දායකයින්ට ඇතිවුණායැයි කියන තාඩන පීඩන මෙවර ඇති නොවන බවට සහතිකයක් දිය යුතුය.. 
3. පැහැදිලි හා නිදහස් ජන මාධ්‍ය ප්‍රතිපත්තියක් ඇති කළ යුතු අතර.. ඒ සඳහා අවශ්ය ප්‍රායෝගික වට පිටාව සකස් කිරීම ඉතා වැදගත්ය..
4. ජාතීන් හා ආගම් අතර සංහිඳියාවක් ඇති කිරීම සඳහා සියළු පාර්ශව සතු සැබෑ ප්‍රශ්න දෙස නිර්භය හා සාධාරණ මැදිහත් වීමක් අත්‍යවශ්‍යය. උදාහරණ වශයෙන්.. පකිස්ථානය ඇතුළු මුස්ලිම් රටවල් වලින් මෙහි පැමිණෙන මුස්ලිම් සංක්‍රමණිකයින් හරහා වර්ධනය වන අපරාධ රැල්ල (කුඩු, සොරකම්..... ) මෙන්ම .. සංස්කෘතික මංකොල්ලයන් දැක්විය හැක.
5. දුම්වැටි සපුරා තහනම් කිරීම හෝ දැනට ඇති නීති තව දුරටත් තදින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන්නේ.. මුලු මහත් සමාජයටම දුම් වැටිය මහත් වූ පිළිලයක් වන්නා සේම බොහෝ දුරාචාර වලට මූලික අඩිතාලම වන බැවිනි.. වත්මන් රජය මේ පිළිබඳ ගත් පියවරයන් ගැන සාපේක්ෂව සතුටු වෙමි..
6. නිශ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.. නව අවස්ථා බිහිකිරීම හා තිබෙන අවස්ථා වැඩි දියුණු කරගැනීම ආදී වශයෙන් විවිධ ආකාරයෙන් කළ යුතු අතර.. නව තාක්ෂණය හා සම්පත් භාවිතයේ ප්‍රශස්ථ විශ්ලේශණයක් සිදු කළ යුතුය..
7. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ගෙන් බදු අය කිරීමේ ක්‍රියාවලිය තුළ ඔවුන් විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සංශෝධනය කර වඩාත් සමාජ හිතකාමී සාධාරණ ක්‍රියාවලියක් හරහා ඔවුන් ද ජාතික ආදායම් ක්‍රියාවලියට සම්බන්ධ කොට ගත යුතුය..
ඉතිරිය.. පසුවට..

Friday, October 17, 2014

ද්‍රෝහිකම..

යාළු මිත්‍රයන්ට.. දෙමවුපියන්ට.. සහෝදර සහෝදරයින්ට.. දරුවන්ට වගේම ඕනම කෙනෙකුට.. උදවු නැතුවම බැරි වෙලාවට උදවු කරන්ට.. හැබැයි ඕනවට වඩා එයාලා ගැන හොයා බලන්ට යන්ට එපා.. එහෙම හොයා බලන එක එයාලට කරන ද්‍රෝහි කමක්..

අර ඉහත කියපු කස්ටිය ඇතුළුව තමන්ව ආස්සරේ කරන හෝ නොකරන ඕනම කෙනෙක්ගෙන් බැරිම වෙලාවක උදවුවක් ඉල්ලන්ට.. හැබැයි.. පුංචි පුංචි දේවල් වලට එයාලට කරදර කරන්ට එපා.. එහෙම කරදර කරන එක ඔයාලටම කරගන්න ද්‍රෝහි කමක්..

Monday, September 29, 2014

ස්වීප් ටිකට්

පුංචි කාලෙ ඉඳං ස්වීප් ටිකට් කියන්නෙ මට හුරු දෙයක්. අපේ අප්පච්චි සතියකට 10-15 ක් ගන්ට අමතක කරන්නෙ නෑ. රුපියල් 50 කට වඩා ඇදුණු දවසක් මතකත් නෑ. ඒත්.. අප්පච්චි අතාරින්නෙම නෑ. මං ස්වීප් ටිකට් වලට වඩා වෛර කළේ.. අප්පච්චි බොන සිකරැට් වලට විතරයි.. ඇයි සිකරැට් වලට අපට වියදං කරන්ට තියෙන සල්ලි වගේ ම අප්පච්චිගෙත් අපෙත් ජීවිතත් පිච්චෙනවනෙ. සිස්සත්තෙ පාස් උනොත් අප්පච්චිව කැමති කරගන්ට පුළුහං වෙයි.. මට එහෙම හිතුණා.. සිස්සත්තෙ පාස් වෙලා තෑග්ගට මං ඉල්ලුවෙ.. ඔය කරුමක්කාරයො දෙන්නා එක්ක තියෙන ඇයි හොඳයිය නවත්තන්ට කියලා.. මාසෙකට විතර නවත්තපු අප්පච්චි ආයෙම පටං ගත්තා..

උසස් පෙළ පාස් උනාමත් මං ඉල්ලුවෙ සිකරැට් සහ ස්වීප් ටිකට් නවත්තන්ට කියලා.. ඒ පාර නං.. අප්පච්චි සිකරැට් බීම නං නැවැත්තුවා.. ඒත්.. ස්වීප් ටිකට් වලට නං සමු දෙන්ට අප්පච්චිට හිතක් නෑ. 

දැං මං ලොකුයි රස්සාවක් කරන වයස. අප්පච්චි  කිවුවෙ මට තව ඉගෙන ගන්ට කියලා.. මටත් හිතුණා තව ටිකක් ඉගෙන ගන්ට ඕනි කියලා. මං පරිගණක පාඨමාලාවක් හදාරන්ට තීරණය කළා.. මං දන්නවා අප්පච්චිට ලොකු සල්ලියක් නෑ කියලා.. විභාගයක් ලියලා පොඩි ගානක් ගෙවලා කරන්ට පුළුහං පාඨමාලාවක් තමයි මං තෝර ගත්තෙ. අප්පච්චි ඔය ස්වීප් ටිකට් වලට වියදං කරපු සල්ලි තිබුණා නං.. මට හොඳ කෝස් එකක් කරන්ට තිබුණා.. මං එහෙම කිවුවා නෙවෙයි කියැවුණා.. 

මං පොඩි රස්සාවකට ගියා.. එතැන මට හොඳයි. මට වෘත්තිමය සුදුසුකමක් ලැබුණෙ එතැන දී. දන්නෙම නැතුව බඳින වයසත් ඇවිත්... මං කසාද බැන්දා.. ළමයි ලැබුණා.. අප්පච්චි තාම ස්වීප් ගන්නවා..

අපරාදෙනෙ අප්පච්චි.. මොකටද දැන් ස්වීප් අරගෙන..
මට කරන්ට තව වැඩ ගොඩක් තියෙනවා.. අප්පච්චි කියනවා..


චූටි මල්ලිට 150,000/=
ලොකු නංගිට 100,000/=
................
................

ඔය වගේ අපේ හිතවත් ම කට්ටියකගේ නං දාලා ලියපු ලැයිස්තුවක්..මං දැක්කා අහම්බෙන්..

මොකද්ද අප්පච්චි මේ..?
හෙක්.. හෙක්.. ඔය මගෙ ස්වීප් එක ඇදුණාම දෙන්ට කියලා...
මෙයාලගෙන් අප්පච්චි ණයට එහෙම ගත්ත ද?
නෑ නෑ ළමයො.. එයාලට හරියට බැරි අමාරුකම් නෙ..
අපි පුළුවං විදිහට උදවු කරමුකො අප්පච්චි.. ඔය ස්වීප් ගැනිල්ල දැංවත් නවත්තන්ටකො..
අනේ උඹලගෙ කෙරුවාව... කියලා අප්පච්චි මගෙ දිහා සරදම් බැල්මක් හෙළුවා..

===============================================
ඉතුරුවක් නැති උනත්.. මේ වෙද්දි අපි ජීවත් වෙන්ට ඇති තරං හම්බු කළා. අනාගතේ ගැන හිතලා ජීවිත රක්ෂණයකුත් ගත්තෙ.. මළත්.. අඹු දරුවන්ට සහනයක් වෙනවනෙ කියලා හිතාගෙන. ඒත්.. ප්‍රියානි.. මගේ බිරිඳ නිතරම හිටියෙ හරිම බයෙන් මගෙ ජීවිතේ ගැන. දැං ඉතිං බය වෙන්ට දෙයක් නෑ මැරුණොත් ලක්ෂ දහයක් හම්බු වෙනව නෙ.. මං හිනාවෙවී කිවුවට ප්‍රියානි කිවුවෙ.. ලක්ෂ දහයෙන් මක් කරන්ටද මිනිහ නැතුව.. ළමයින්ට අප්පෙක් නැතුව.. කියලයි.. 

ඔය අතරෙ තමයි මං භාවනා පංතියකට ඇතුළු වුණේ.. මිනිස් සිත මහා පුදුමාකාර ශක්තියක් තියෙන දෙයක් කියලා අහලා තිබුණට.. අත් විඳින්ට ලැබුණෙ එහෙ ගියාට පස්සෙ.. බැඳීම් වලින් නිදහස් වෙන්ට වෙන්ට හිතට ලැබෙන ශක්තිය හරිම පුදුමයි.. ඒක විඳින්ට මිසක් කියන්ට බැහැ. මට මේ ගෙවන ජීවිතෙන් චුට්ටක් ඈත් වෙන්ට හිතුණෙ අඹු දරුවො කෙරෙහි අබ මල් රේණුවක තරම්වත් අහිතකින් නෙවෙයි.. ඒක ආත්මාර්ථකාමී හැඟීමක් වෙන්ට ඇති.. 

ඔහොම ගිහිං.. අභිනිශ්ක්‍රමණය කරයි ද දන්නෙ නෑ.. මං ගැන ඕන නෑ.. මේ ළමයි කොහොමද ලෝකෙට මූණ දෙන්නෙ..? 

සිදුහත් කුමාරයා අබිනික්මන් කරපු වෙලාවෙ.. රාහුල කුමාරයා ට කිසි අවුලක් උනා යෑ..? 

ඇයි ඔයාගෙ අප්පච්චි සුද්ධෝදන රජ්ජුරුවොද? ඔයාට ඕන තැනක යන්ට... හැබැයි මාවයි ළමයින්වයි අනාත කරන්නෙ නැතුව.. ඇයි වදේ එක්කො නොබැඳ ඉන්ට ඕන..

හරි හරි.. ඉතිං මං නො එන්ටම යනවා කීවයෑ..? මාසෙකට විතර භාවනා කරන්ට නෙ යන්නෙ..

========================================
අප්පච්චි.. මීට පස්සෙ ටිකට් ගන්නකොට මටත් එක්ක ගන්ට.. මං පොකැට්ටුවෙන් ගත් නෝට්ටුව අප්පච්චි අතේ ගුලි කළේ.. මිදුලේ දඟ කරන පොඩිත්තන් දෙස නෙත් යොමු කරමින්..



Wednesday, September 17, 2014

මං එච්චර හොඳ නෑ


ඊයේ වන තුරු මං හිතාගෙන හිටියේ.. මං මාර හොඳ එකෙක් කියලා.. ඒත් .. හැම දවසෙම රෑ ජාමෙට.. එදා දවස තුළ මං අනුන් වෙනුවෙන් කරපු එක හොඳ වැඩක් මෙනෙහි කරන්ට ඊයෙ මං තීරණය කළා... මෙන්න මේ ලිපිය කියෙවුවහම තමයි .. එහෙම කරලා බලන්න හිතුණෙ..
කිවුවට විශ්වාස කරන්ට සහෝදරවරුණි.. ඊයෙ දවස තුළ.. විතරක් නෙවෙයි.. මේ වන තුරුම .. මම පොයින්ට්ලස්.. 


ඒ විතරක්ය.. හිතට එන නරක සිතුවිළි ගැනත් මං පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටියා.. රාග, ද්වේශ සහ මෝහ.. කියන සිතුවිළි 10-15ක් වත් අඩුගානේ මට මාට්ටු.. 

මං එච්චර හොඳ නෑ.. බොලවු..

Sunday, September 14, 2014

එක්තරා කතාවක් 2..! කෙහෙල් ඇවරිය

එක්තරා කාන්තාවක් එක්තරා පළතුරු කඩේකට ගියේ කෙහෙල් ඇවරියක් මිළට ගන්නට ය.
ගනුදෙනුව අවසන් කරමින් ඇයට කෙහෙල් ඇවරිය පත්තර පිටුවක ඔතා දුන් එහි සිටි එක්තරා සේවකයෙක්  එම පත්තර පිටුවේ පිටුපස රාජ තේජසින් බබලන එක්තරා මහරජ කෙනෙක් ගේ පින්තූරය දැක මෙසේ කීවේය.

අක්කේ බලාගෙන .. පින්තූරෙ උනත් විශ්වාස නෑ.. කෙහෙල් ඇවරියත් කයි..!

Friday, September 12, 2014

එක්තරා කතාවක් 1 - ඒ බරත් අපට නෙ..

එක්තරා කතාවක්
එක්තරා පුද්ගලයෙක්..
එක්තරා දරුවෙක් හුරතල් කරමින් උඩ දමනු දුටු
තවත් එක්තරා පුද්ගලයෙක්..
ඔහොම කරන්ට එපා..
එක්තරා මහරජෙකුටත් ඉස්සර එක්තරා දූ කුමාරියක් ඉඳලා
උඩ දාන්ට ගිහිං වැටිලා මැරුණලු..
දන්නවා නේද කතාව.. යැයි ඇසීය..

අර සරම කැඩිලා ළමයා අතහැරුණු සංගදිය නේදැයි...
තවත් එක්තරා පුද්ගලයෙක් කතාවට සම්බන්ධ විය...

මෙය අසා සිටි එක්තරා කාන්තාවක්..
අනේ ඇත්තට වෙලාව තමයි නේද? අද හිටියානම්.. යැයි කියමින් සිය අත කම්මුලේ තබා ගත්තාය.

මඳ සිනහවක් නැඟූ එතැන සිටි තවත් එක්තරා පුද්ගලයෙක් මෙසේ පැවසුවේය..
අද හිටියානම්.. හප්පේ ඉතිං.. ඒ බරත් අපට නෙ..!

Thursday, September 11, 2014

කලකින් හමු වූ ජූලී

                     
බෙහෙත් ගන්ට කියා මාව නංවාගෙන රියේ
මහත්තයෙක් ළඟට යළිත් දක්කාගෙන ගියේ
පහත්වෙලා බලා මදෙස අත ගා හිස මයේ
යළිත් එන්න කියපි දෙකක් ඉන්ජැක්සොන් තියේ
  
බොන්ටනොවේ දෙන්නෙ බෙහෙත්, ඇඟට තදින් විදී
ඉන්ට හිටින්ටත් බැරි වී, බෙරිහන් දෙමිරිදී
කන්ට ගෙනෙමි පීස' එකක් හිටු බෙරිහන් නොදී
යන්ට යන ගමන් පැවසෙයි ඉවසුම මගෙ මදී
  
පෝලිමෙ පිටුපස ඉන්නා කෙනා දැකල' හුරුයි
වේලි වේලි ඉන්නෙ නමින් අඬ ගසනා තුරුයි
පාලි මොටද මගෙ ඇස් වල වදන් කෝසෙ සරුයි
ජූලි නේද මේ ඉන්නේ, ඈ මට සඳ හිරුයි
  
වැඩිය වෙලා නැති මුත් හනි හනික කතා කළා
නඩය අපේ සී සී කඩ ගිය බැවු සිහිකළා
වඩය නිසා වුණු රණ්ඩුව ගැන ඉඟි බිඟිකළා
කුඩය යටින් යන නෝනගෙ ගමන පමා කළා
  
සැමී, ලිසී දෙන්නම දැන් කොයිබද ඉන්නේ
නිකී, විකී මිය ගිය බව ළඟදිනෙදන්නේ
ෂැගී හරිම සැර, නැත කිසිවක් ඉවසන්නේ
දුගී වෙලා ඇති බව වික්ටර්පවසන්නේ
  
මතක් කළා කියන්න අපෙ යාළුවොදුටුවෝතින්
හිතක් මටත් හිතයි එන්න වටයක් ලැබුණෝතින්
නෙතක් දිදී ජූලිට මගෙ වලිගයවැනුවෝතින්
සෙතක් නොවනු ඇත ඇය මා සෙනෙහෙන්බැඳුණෝතින්
  
අමතක කර පරණ මතක සෙනෙහෙන් අපබැඳුණූ
මොහොතක සුවයම සොයනෙමි මෙදියත් තුළදරුණූ
අහසක එක ඉර ද සඳ ද පායයි විට හිතුණූ
පහසක මහ රසක් කොහිද හිතවත් කම බිඳුණූ
  

Wednesday, August 13, 2014

සුනිල් අන්නාසි වික්ක හැටි..

නිමල් අන්නාසි ව්‍යාපෘතියක් පටන් ගත්තේ මහත් බලාපොරොත්තු සහිතවය. ඔහු තම හිතවතුන් කිහිප දෙනෙකු ද හවුල් කරගෙන හොඳ අන්නාසි වර්ග කිහිපයක් හොඳ ඉඩ කඩක වගා කළේය. හොර බොරු නැතිව, වස විස නොයෙදූ අන්නාසි වගාව සරු වී අස්වනු නෙලන්නට පටන් ගත්තද, අන්නාසි වලට බලාපොරොත්තු වූ තරම් ඉල්ලුමක් නොමැති බැවු දැනගත් නිමල් මෙම ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට නම්.. හොඳ තැරැවුකරුවෙක් නොහොත් මාර්කටියර් කෙනෙක් අවශ්‍ය බැවු තේරුම් ගත්තේය. දක්ෂ නිර්මාණශීලී තරුණයෙකු මෙන්ම තමන් තරමක් හොඳින් දන්නා හඳුනන සුනිල් අභියෝගාත්මක රැකියාවක් හොයන බව ආරංචි වූ නිමල්, සුනිල් ඇමතුවේ.. සුනිල්ටත්, නිමල්ටත් දෙදෙනාට ම යහපතක් වනු ඇතැයි සිතමිනි..
ඉතාම මිත්‍රශීලීව නිමල් හා සුනිල් දෙදෙනා සිය අදහස් හුවමාරු කරගත්තේ මෙසේ ය..
නි: මල්ලි ඔයා රස්සාවක් හොයනවා කියලා ආරංචි වුණා.. ඔයා දැනට රස්සාවක් කරනවා නේද?

සු: ඔවු අයියා.. දැං සෑහෙන කාලෙක ඉඳං මං අහවල් තැන වැඩ කරන්නෙ.. පඩි නම් ටිකක් අඩුයි.. ඒ ඇරෙන්න එතනින් අයිං වෙන්න මට කිසිම හේතුවක් නෑ.. ඒත් මට හිතෙනවා මට මීට වඩා දෙයක් කරන්න පුළුවං කියලා..

නි: හොඳයි මල්ලි.. ඔයා දන්නවනෙ.. මං අන්නාසි ව්‍යාපාරයක් කරනවා.. හොඳ අන්නාසි වර්ග ටිකක් මගෙ ගාව තියෙනවා.. ඒත් මේක තව ටිකක් සමාජගත කරන්න ඕන කියලා මං හිතුවා.. මල්ලිට පුළුවන්.. මුලින් ඔයා කරන රස්සාව කරන ගමන් ම මගේ ව්‍යාපාරය ට උදවු කරලා.. වෙළඳාම සරු උනහම .. මගෙත් එක්ක ස්ථිරවම එකතු වෙන්න.. 

සු: අයියා කෙසෙල් වගා කරන්නෙ නැද්ද? අන්නාසි වලට වඩා දැං කෙසෙල් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා.. ආනමාළු, ඇම්බුං වගේ ඒවාටත් වඩා ඇඹුල්, සීනි විකුණන්න පුළුවන්.. ඒවා වගා කරන විදිහ අවශ්‍ය නම් මං කියලා දෙන්නම්..

නි: හොඳයි මල්ලි.. අපි දවසක හමු වෙලා කතා කරමුකො.. තෙරුවන් සරණයි..!

ප.ලි
ෂෝයි.. සංවාද පොඩ්ඩ නේද?

Tuesday, August 5, 2014

සුබ ගමන්..!

මං සමනොල කන්ද මුදුණින් ඉපැදුණේ මගේ උවමනාවට කියලා එහෙම හිතන්ට එපා.. 
මං පහලට ගලාගෙන ගියේ ඉහලට ගලන්ට මට ආසාවක් ඇති වුණේ නැති නිසා නොවෙයි.. අනෙක මං ගලපු පාර වුණත්.. මං ආසා කරපු පාර ම නෙවෙයි.. 
වංගු අතරින්.. ගල් වල වැදි වැදී.. මං ගියෙ දුෂ්කර ගමනක් විතරක් නෙවෙයි.. මට යන්ට කිසිම උවමනාවක් නොතිබුණු ගමනක්... 
ඒත් මිනිස්සු නම් කියන්නෙ.. එහෙම යනකොට මං හරි ලස්සනයි කියලා.. පහලට ගලං යන්ට යන්ට.. මං ලොකු උනා.. ශක්තිමත් උනා.. 
ඒත් මට.. මට ඕන දේ කරන්ට නම් ඉඩක් ලැබුණේම නැති තරම්.. 
ඔයාලා හිතනවද මට ඕන උනා කියලා.. අහිංසකයින්ගෙ ගෙවල් කඩලා දාන්න..? 
මට ම මාව පාලනය කරගන්ට බැරි වුණු නිසයි එහෙම දේවල් සිදු වුණේ.. 
තව තවත් දුරට යද්දි මගේ ගැඹුර සහ පළල දෙක ම වැඩි වුණා.. 
ඊළඟට මට ලුණු රහ දැනෙන්ට ගත්තා.. මං දැන ගත්තා මගේ ගමනාන්තය කිට්ටුයි කියලා.. 
මට හඬන්ට කඳුළු වත්.. හෙලන්ට සුසුම් වත් තිබුණෙ නෑ.. මං මගේ ගමන හමාර කළා.. 
දැං මට තියෙන්නෙ අලුත් තැනක්.. එතැනට කිවුවෙ මුහුද කියලා.. 
මට ආයෙමත් ගඟට එක්කාසු වෙන්ට නං කාලාන්තරයක් යයි.. 
ඒ අතර කොයි කොයි ඉසවු වලට යන්ට වෙයි ද? අනේ මංදා..!

ඔවු.. ඔයාට එක එක විදිහෙ තැන් වලට යන්ට වෙයි.. 

කැමැත්තෙන් හරි අකැමෙත්තෙන් හරි ඔයාට ඒ තැන් වලට යන්ට වෙනවා.. 
සමහර විට.. ලුණු ලේවායකට.. එතැනින් අහසට.. අහසින් පොළොවට.. පොළොව යටට.. ඇල, දොල, ගංගා.. ලිං, පොකුණු.. කක්කුස්සි, මඩ වගුරු.. තව කොච්චර තැං තියෙනවද? 
ඔයාට තිබුණා උත්සාහ කරන්ට.. ගඟ වෙලා උන්න කාලෙ.. මේ ගමන ඉවරයක් කරන්ට.. 

එහෙම කරන්ට පුළුවංය?

ඇයි බැරි..? ඒත් ඒකට අවස්ථාව එන්ට ඕන.. එහෙම කරන ක්‍රමය දැන ගන්ටත් ඕන.. ඔයා උත්සාහ කරන්ටත් ඕන..හරි පාරට වැටෙන්ටත් ඕන.. 

හපොයි.. එහෙනං ඒක කරන්ට බැරි දෙයක්..

නෑ.. කරපු අය ඉන්නවා.. විශ්වාසය අත්‍යවශ්‍යයි.. බාග විට ඔයාට ඉදිරියෙදි මඟ පෙන්වන්නෙක් හමු වෙන්ටත් පුළුවනි.. 


සුබ ගමන්..!

Friday, June 20, 2014

බැරිදා විග්‍රහය! කැමතිද එක්ව නැඟිටින්නට?

සතියක දෙකක ඉඳං අපේ රටට ආයෙමත් යුධ වාතාවරණයක් ඇති වෙලා වගේ දැනෙනවා.. හිතලා බැලුවොත්.. යුධ වාතාවරණයක් ඇති වුණා කියනවට වඩා ගැලපෙන්නෙ.. තිබුණු තත්වය පොඩ්ඩක් උග්‍ර උනා කියන එකයි.. මේ ගැන මාත් තැං තැං වල සුට්ට සුට්ට කතා කළා තමයි.. ඒත් මේ ටිකත් කියන්ටම ඕන ටිකක්..
ඔන්න අපි ඉගෙන ගත්තු ඉතිහාසයට අනුව.. අපි විජය රජ්ජුරුවන්ගෙ ආගමනයෙන් ඇති වුණු ජාතියක් ලු නෙ.. (එතකොට ඊට ඉස්සර හිටපු කට්ටියට මොකද උනේ කියන පස්නෙකුත් එනවා..) කොයි හැටි වෙතත්.. විජය රජ්ජුරුවොත් එක්ක මෙහෙ ආපු ඔළු ගානට වඩා ඔළු ගානක් මෙහෙ තියෙන්ට ඇතිනෙ.. ඉතිං ඔය දෙගොල්ල කලවං වෙවී.. කවලං වෙවී නෙ අපේ රටේ හෙළයො.. නොහොත් සිංහලයො හැදෙන්ට ඇත්තෙ.. එතකොට අපේ වැඩිපුර ඇත්තෙ උතුරු ඉන්දියාවෙ ජාන ද? නැත්නම්.. ආදි ලංකා වාසීන්ගෙ ජාන ද?
ක්‍රි.ව අට වැනි සියවසේ විතර තමයි අරාබි වෙළෙන්දො ටිකක් ලංකාවට ඇවිත් තියෙන්නෙ.. මේ අය සිංහල කාන්තාවො ඉස්ලාම් ආගමට හරවගෙන විවාහ කරගත්ත බවත්.. කියැවෙනවා.. පහලොස්වැනි සියවස වෙනකොට ආසියාකරයෙ මුස්ලිම් වෙළෙන්දො සෑහෙන බලයක් පතුරෝගෙන ඉඳලා තියෙනවා.. එහෙම වෙළඳාමට ආපු කස්ටිය තොග පිටින් ලංකාව ඇතුළු ආසියාතික රට වල පැලපදියම් වුණා විතරක් නෙවෙයි එයාලගෙ ආගම පතුරුවන්නත් වැඩ කටයුතු සිද්ධ කරලා තියෙනවා.. ඔය අවු අස්සෙ නෙ 16 වැනි සියවසේ පෘතුගීසි කාරයා මෙහෙට එන්නෙ.. කොහොම උනත් මෙයාලා.. රටේ අනෙක් වැසියො එක්ක බොහොම දක්ෂ විදිහට චාටුවෙන් තමන්ගෙ කර්තව්‍ය කරගෙන ගියා මිසක.. බල පුළුවන්කාරකම් පෙන්නන්න ගියේ නෑ.. මං කියන්න ගියෙ අරාබි රට වලින් ඇවිත් තියෙන්නෙ පිරිමි විතරයිනෙ.. එතකොට එයාලා කළවං උනෙත් කවලං උනෙත්.. ලංකාවෙ හිටපු හෙළ කාන්තාවො එක්ක නෙ.. ඊට පස්සෙ මෙයාලා ව්‍යාප්ත වෙන්ට වෙන්ට.. තව තවත් කවලං උනේ අපේ රටේ උන්නු අයත් එක්කමනෙ.. එතකොට මෙයාලගෙ වැඩිපුර තියෙන්නෙ කාගෙ ජාන ද?
එතකොට තවදුරටත් මෙයාලා මේ රටේ ආගන්තුකයො ද? මට නං එහෙම හිතෙන්නෙ නෑ.. මෙයාලා අපේ ම මිනිස්සු..
අපේ මුතුන්මිත්තො ඉන්දියාවෙන් ආවය කියලා.. අපි හිතන්නෙ නෑ .. අපේ මවු රට ඉන්දියාවයි කියලා.. අපිට මේක අපේ වගේ දැනෙනවා.. මේ ඉන්න මිනිස්සු හැමෝම (මුස්ලිම් හා දෙමළ ඇතුළුව).. අපේ වගේ දැනෙනවා.. අනේ ඒත්.. ඇයි මුස්ලිම් මිනිස්සුන්ට එහෙම දැනෙන්නෙ නැත්තේ.. එයාලාගෙන් වැඩි දෙනෙක් තාමත් එයාලගෙ මවු රට විදිහට සලකන්නෙ.. එක්කො අරාබිය.. නැත්නං.. පකිස්ථානය . එයාලා අපේ සංස්කෘතියට බද්ධ වෙනවා.. අනුගත වෙනවා වෙනුවට.. පකිස්ථානයේ හෝ අරාබියේ සංස්කෘතියක් මෙහෙ ස්ථාපිත කරන්ට හදනවා.. අපටත් එතකොට දැනෙන්ට ගන්නවා.. මුං පිට එවුං කියලා.. ඒක වරදක්ද?
ඇයි මුං ට හලාල් නැතුව කන්ට බොන්ට බැරි.. (අවුරුදු දහස් ගානක් පුළුවං උනු දේ අවුරුදු 10-15 ඉඳං තමයි බැරි..)
ඇයි මුන්ට සාමාන්‍ය විදිහට අඳින්ට පළඳින්ට බැරි.. (මීට අවුරුදු 10-15 කට කලිං ඇන්දා වගේ) නින්ජා කිට් එක මොකටද? උන්ගෙ ගැට්ට පෙන්නන්ට නෙවෙයි ද?
ඇයි.. මුං අඩියෙන් අඩියට පල්ලි හදන්නෙ..? ඇයි.. හදා ගත්ත පල්ලියෙ නිහඬව යාඥා කරලා එන්නෙ නැතුව.. මුළු රටටම ඇහෙන්ට අඳෝනා දෙන්නෙ ? මේ පෙන්නන්නෙ උන්නෙ ආධිපත්‍යය.. නෙවෙයිද?
ඇයි.. මුංගෙ කඩ වලිං අපි කිසි වෙනසක් නැතුව ගනු දෙනු කරද්දි.. මුං සිංහල, දෙමළ කඩ මඟ හැරලා උංගෙ කඩ වලටම රිංගන්නේ.. ? මේ පෙන්නන්නේ තමන්ගේ කුහක කම නොවෙයි ද?
කියන්ට කාරණා එමටයි.. ඔය විදිහට.. තමන් ලංකාවෙ කොටසක් වෙනවා වෙනුවට.. ලංකාව පකිස්ථානයක් නැත්නම්.. අරාබි රටක් කරන්ට හදන හිංදයි අපට අවුල්..
අරාබියෙන්.. ලංකාවට ආධාර කරනවාලු.. හැබැයි ඒ ආධාර සියළු ජන කොටස් වලට බෙදෙනවද? නෑ මුස්ලිම් අයට විතරයි..
ඉන්දියාවෙන් ආධාර කරනවාලු.. කාටද? දෙමළ අයට විතරයි..
සිංහල අයට විතරක් තෝරලා ආධාර කරන මොකක් හරි රටක් තියෙනවද? එහෙම එකක් නෑ..
ඒ ඔක්කොම ගියාවෙ.. අපි තාමත් කැමතියි.. එක රටක සහෝදරයො වගේ... එක ජාතියක් වගේ ජීවත් වෙන්ට..
උඹලා කවදාවත් කැමති වෙයිද?

එක රට තුළ ම බෙදි බෙදි දවසින් .....දවස
දුක අප බැඳෙන එක සසරට එක .....විළස
රැක ගත යුතුය දිවයින මෙම මතු නොලස
අක මැති නොවී එලපන් සාමයෙ ...පළස

ප.ලි.
සර්වාගමික, සර්ව ජාතික උමතුවෙන් බෙරිහන් දෙන මහත් වූ බුද්ධිමතුන්ටත් මේ ටික වැටහේවා...

Friday, June 13, 2014

සිතාරා -1

මට මතකයි.. ඒ කාලකන්නි හැන්දෑව. ප්‍රියංගිත් මාත් අත් පටලගෙන ආවෙ කවි මඩුවක සුන්දර අසිරිය විඳින්ට හිතාන. මටත් කවි කියන්ට ආරාධනා ලැබුණනෙ. ප්‍රියංගි කොහොමටත් මගේ රසිකාවියක්. වැඩේ නැගලා ගියා... ඉතා උණුසුම් සංවාදයක්.. සිතාරා.. මට වඩා දෑවුරුද්දක් බාල වුණත්.. ඈ.. හරි අපූරුවට මගෙත් එක්ක වාද කළා.. මටත් නොදැනීම.. මගේ මුවින් මෙවන් කවියක් පිටවුණා..

කවුරුන් කොහොම වැවුවත් මල්, මල් ...........වත්තේ
බමරුන් නොවෙද ලද මොහොතෙදි රොන් ....ගත්තේ
තිසරුන් රඟන මානස විල .......................ඉස්මත්තේ
පැවරුන් නියම ලෙස මම කරලයි .................ඇත්තේ

හොපොයි.. කට.. සිතාරට කට උත්තරත් නෑ.. අනේ ඒකි වේදිකාවෙන් බැහැලා ගියා අඬාගෙන.. ප්‍රියංගි.. එයත් අඬන්න පටං ගත්තා.. 

එදා දවස නිමා උනා.. ප්‍රියංගි.. දැඩි ලෙස මාව ප්‍රතික්ෂේප කළා.. මට දැනුණ හිත් වේදනාව නං එසේ මෙසේ එකක් නෙවෙයි.. මං ප්‍රියංගිට කොයි තරම් ආදරය කළා ද? කොයි තරම් අපේ අනාගතය ගැන සිහින මැවුවද? 

සුමේධ.. බාගෙකුත් අරං කාමරේට සැට් වුණේ මගෙ දුක නිවන්ට..

මචං.. මාර කේස් එක නේද? අරකි ඇඬුවෙ නැත්තං වැඩේ ඔච්චර දුර දිග යන්නෙ නෑ මචං.. දැං ඉතිං උඹට තියෙන්නෙ ඒකිට සෙට් වෙන්ට.. 


උඹට පිස්සුද බං? මට මුගේ කතාවට තියෙන කේන්තිය තවත් වැඩි වුණා.. විහිළු නෙවෙයි බං.. ඒකි ප්‍රියංගිට වඩා ලස්සනයි.. උඹටම හරියන්ට කවිකමත් තියෙනවා.. ඔක්කොටමත් වැඩිය.. උඹට ප්‍රියංගිව නැතිවුණේ ඒකි හින්දනෙ..

ඔවු බං ඒ කතාවත් ඇත්ත.. ඒත් ඒකි කැමති වෙයිද?

.... මතු සම්බන්ධයි..

Thursday, May 29, 2014

බැරිදා විග්‍රහය..! පිරිමි සංගම් නැත්තේ ඇයි... ?

මේ ලිපිය ලියන්න පාදක වුණේ ටික දවසකට කලින් බස් රථයක සිදු වුණු සිද්ධි කිහිපයක්.. ඔන්න ඉතිං මං ගෙදර යන්ට කියලා කොළඹ - අවිස්සාවේල්ල පුද්ගලික බස් රථයකට නැංගා කියමුකො. බස් එකේ ප්‍රමාණයට වැඩියම නොවුණත්.. එකිනෙකා තෙරපෙන්න තරමට සෙනඟ. 

හෝමාගම හරියෙදි ඉඳගෙන හිටපු අවුරුදු 45 පැනපු ගෑණු කෙනෙක් ඒ අසලම හිටගෙන හිටපු තරුණයෙකුට බණිනවා ඇහුණා.. ඒ ගැහැණියට ඉස්සරහින් ඉඳගෙන හිටපු තරුණයෙකුත් නැගිටලා අර තරුණයට බැන්න බව පෙනුනා. පිටිපන හරියෙදි අදාල තරුණයා බස් එකෙන් බැහැලා ගියා.  ඊට පස්සෙ එතනම හිටපු තරමක් වයසක පිරිමියෙකුත්..තවත් තරුණයෙකුත් අර කාන්තාවත් ඉඳගෙන හිටපු තරුණයාත් මොනවද කතා වුණා... දැක්කා.. "අපිට ඒ වෙලාවෙ කියන්න එපෑ. එහෙමනම් අල්ලලා පොලීසියට බාර දෙනවනේ"  කියලා අර වයසක පිරිමි කෙනා කියනවා ඇහුණා.. 

පාසැල් නිල ඇඳුම ඇඳගත්තු ගැහැණු දරුවෙක් ඔය බස් එකට නැංගා.. මං හිතන්නෙ හෝමගම හරියෙදි වෙන්ට ඇති. කොහොම හරි මේ දරුවට අල්ලගන්ට අයිනක් තිබුණෙ නෑ.. හරිම අපහසුවෙන් ඉන්න බව පෙනුණත් කවුරුවත් පොඩි ඉඩක් දෙන්න ඉදිරිපත් වුණෙත් නෑ.. ටික ටික සෙනඟ අඩු වෙද්දි මීගොඩ හරියෙදි.. මට ලැබුණු අයින කතා කරලා ඒ ළමයට දුන්නෙ වින්ද අපහසුතාවය දැක්ක නිසා..

පහත්ගම හරියට එද්දි මටත් සීට් එකක් ලැබුණා.. කලු අග්ගල හරියෙදි මට එහාපැත්තෙ සීට් එකත් හිස් වුණාම .. එතැන ඉඳගත්තෙ.. අර මුලින් කියපු වයසක පිරිමි කෙනා.. එයා මගෙත් එක්ක කතාවට වැටුණා..."මේ බස් වල පුතා පුදුම අසාධාරණකම් වෙන්නෙ. අර අතන සීට් එකේ වාඩි වෙලා හිටපු ගෑණි කොල්ලෙක් ඇඟට හේත්තු වුණා කියලා ඒ කොල්ලට හොඳටම බැන්නා. ඊට ඉස්සරහ සීට් එකේ හිටියෙ එයාගෙ පුතෙක් හරි කවුරු හරි.. මිනිහත් ඒකට බැන්නා.. අන්තිමේ අර කොල්ලා යන ගමන නවත්තලා බැහැලා ගියා.. මේ බස් වල තියෙන තදබදෙත් එක්ක ඇඟේ ගෑවෙන්නෙ නැතුව යන්න හරි අමාරුයි. මම නං කොහොම හරි නැග්ග ගමන් පිරිමියෙක් ගාවට යනවා.. මොනවා උනත් ආත්ම ගෞරවය ඔක්කොටම වඩා වටිනවනෙ.." මගේ හූ මිටි අස්සෙ මේ මහත්තයා කියෝගෙන යනවා..
"සමහර විට ඌ ඇත්තටම හේත්තු වුණා වෙන්නත් ඇති.. එහෙමනම් ඒක කියන විදිහක් තියෙනවනෙ.. මල්ලි පොඩ්ඩක් එහාට වෙලා ඉන්න කිවුවා නම් හරි නෙ.. කොල්ලා බැහැලා ගියාට පස්සෙ මං කිවුවා ඔහොම තමයි බස් වල යනකොට තෙරපෙනවා... කියලා.. එතකොට මේ ගෑණි කියනවා ඌ සිපර් එක ඇරගෙන හිටියලු.. එහෙම නම් එවෙලෙ කියන්න තිබුණනෙ..එහෙම කිවුවා නම් අපි අල්ලලා පොලීසියට බාර දෙනවනෙ.. මේ ගෑණිගෙ කතාවෙ හැටියට මට නං සුවර් මේකි පට්ට **යක්.. ඔය වගේ කතා කිවුවම අපේ පිරිමිත් හොයන්නෙ බලන්නෙ නැතිව ගෑණිගෙ පැත්ත අරගන්නවා.. මං නං කවදාවත් ගෑණියෙකුට සීට් එකක්වත් දෙන්නෙ නෑ.. ළඟ ගෑණියෙක් හිටියොත් බහිනකොට පිරිමියෙකුට කතා කරලා සීට් එක දීලා යනවා.. මගෙ අම්මත් ගෑණියෙක් තමයි.. ඒ වුණත් මේවයෙ යන්නෙ වැඩි හරියක් **යො. අපේ ඇඟට ගෑණු කොච්චර හේත්තු වෙනවද? ඒවට අපි ඔහොම බැන්නොත් කොහොම තියෙයිද?  මං නං ගෑණියෙක්ගෙ බෑග් එකක්වත් ගන්නෙ නෑ. දාන්න කියනවා උඩ තියෙන රැක් එකෙන්.. හිටපු ගමං අපට පිරිමින්ගෙනුත් කරදර වෙනවා.. හොඳ රස්සාවල් කරන හොඳට ඇඳ පැළඳගත්තු අය ඇවිත් හේත්තු වෙනවා.. එහෙන් මෙහෙන් අල්ලනවා.. හැබැයි හොඳින් කිවුවාම ආයෙ එන්නෙ නෑ.. පිරිමි අපට වෙන අසාධාරණකම් ගැන කතා කරන්න කවුරුත් නෑ.. මට නම් තියෙන්නෙ හරිම කලකිරීමක්"

කලින් ලිපියකත්  මං ඔය වගේ අපට විඳින්න වෙන කරදර ගැන පොඩියක් කතා කළා.... ඇත්තටම මේ සමාජයේ පිරිමි අපටත් හරියට අසාධාරණකම් වෙනවා.. ඒක නිසා කාන්තාවො හිංසනයට ලක් විය යුතු නෑ..  ඒත් මීට වැඩිය අවබෝධයකින් හා අවධානයකින් හැමදෙනාම කටයුතු කළ යුතුයි කියලයි මට හිතෙන්නෙ.. නං නැතුවට පිරිමි සංගම් නං ඕන තරං .. නැද්ද මං අහන්නෙ..? වඩේ එකයි .. ගල් බෝතලෙයි තමයි ආයුදේ....:D


Wednesday, April 23, 2014

බැරිදා විග්‍රහය !අපිත් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නු මිනිස්සු..

අපිත් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නු මිනිස්සු..! ඇයි අපට මෙහෙම කරන්නෙ..? පොලීසියෙන් බැට කා ඔලුව පලාගත් පුද්ගලයා අසන්නේ මහත් සංවේගයෙනි.. ඔහුට පහරදීම වැරදි බව අමුතුවෙන් කිව යුතු නැත. මා මේ කතා කරන්නේ ඒ ගැන නොවේ.. 

ඔහු ආණ්ඩුවට ඡන්දය දීම නිසා ඔහුට විශේෂ වරප්‍රසාදයක් ඇති බවක් ඔහුගේ කතාවෙන් ගම්‍ය වීම ගැනයි.. ආණ්ඩුවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දුන්නත්, ඡන්දය කටු ගෑවත්, ඡන්දය නොදා ගෙදර හිටියත්.. අප සැවොම එක සමානව නිකරුණේ ගුටි නොකන්නට අයිතිය ඇත්තෝ වෙමු.. මේ තිබෙන්නේ පොදු පෙරමුණු කාරයාගේ ආණ්ඩුවක් හෝ යූ ඇන් පී කාරයාගේ ආණ්ඩුවක් නොව සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ ම ආණ්ඩුවක් බව පාලකයෝත්.. ජනතාවත් තේරුම් ගන්නා තාක්.. මේ බලකාමය.. මේ ම්ලේඡ්ඡත්වය.. මේ තුඡ්ඡ බව කෙළවර නොවනු ඇත..

Sunday, April 20, 2014

සයිබර් අවුරුදු උළෙල - 2014 - මේ පාර නම් යනවා..


බැරිවුණි එන්න සයිබර් උළෙලට     පෙරදී
දුකකිණි අත්හැරියෙ කාලයෙ අණ     පරිදි
මොකටද කතා දුරු කර ලමු පෙර      වැරදි
නැඟ ගමි හැකි විගස දඬුමොණරෙට බර දී

අකුරක හැඩය හරි හැටියට දැන        ගන්න
බල බල හැඩ ද වැඩ රස ලොව   පිහිනන්න
තුඩ තුඩ සතුට රැවු පිළිරැවු            පතුරන්න
අද එමි මොහොතකට හෝ ඔබ දැක ගන්න

Monday, April 7, 2014

බැරිදා විග්‍රහය ! විස්සයි විස්ස කුසලානය

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීමත් එක්ක අපේ ක්‍රිකට් පොතේ අලුත් පරිඡ්ඡේදයක් පෙරලුණි.. තවත් විදිහකින් කියනවානම්.. එක්තරා පරිඡ්ඡේදයක් අහවර වුණි.. මේ තරඟාවලිය අවසන අපට කතා කරන්නට දෑ බොහෝය..
සංගා හා මහේල විශ්‍රාම ගත්තෝය.. ඒ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු විශ්‍රාම ගනිද්දී තිබුණු ඉහලම අභිමානය ද ඇතිවය.. එම අභිමානය.. ඔවුන් දෙදෙනා තරම්ම වීරයන් වූ.. රෝයි, දුලිප්, රුමේෂ්, අර්ජුන, අරවින්ද, සනත්, වාස් හෝ මුරලි දිනාගත්තේ නැත.. ඒ සුදුසු කාලය හඳුනා ගැනීමට ඔවුන් දක්ෂ නොවූ නිසාය.
දිල්ෂාන්ට ද සුදුසු කාලය පැමිණ ඇති බව අපි දනිමු.. හනි හනිකට දිල්ෂාන් ද මෙය තේරුම් ගත යුතුය.. දැන්ම විශ්‍රාම ගතහොත්.. සංගා හා මහේලට තරම්ම නොවෙතත්.. සැලකිය යුතු ගෞරවයක් ලබමින් ඔහුට විශ්‍රාම ගත හැකි වනු නියතය..
මාලිංග ගේ නායකත්වය.. ගැන ද විවිධ මත පළවුණි.. ශ්‍රීලංකා කණ්ඩායම පාලනය වූයේ නායකත්ව මණ්ඩලයකින් බවට පැවසිනි... ඒ කෙසේවතුදු.. නව නායකත්වය යටතේ ශ්‍රීලංකා පිළ නව පණක් ලැබ ගත් බව නොරහසකි.. කණ්ඩායම් හැඟීම ඉතා ඉහල මට්ටමක තිබුණි.. කණ්ඩායම් හැඟීමෙන් මහත් සේ පිරිපුන් ක්‍රීඩක දෙපලක් වන සංගා හා මහේල වෙත යළිත් සිත දිව යයි.. එහෙත්.. කිසිවෙකු රොෂාන් මහානාම හෝ අර්ජුන තරම් වේයැයි නොසිතමි.. නායකත්වයේදී ඇතැම් තැන් වල දී තීරණ ගැනීම, පිටිය සකස් කිරීම මෙන්ම අතිශය වැදගත් කරුණක් වන්නේ කණ්ඩායමේ සහයෝගය නොමඳව ලබා ගැනීමයි.. මෙම කරුණු කිසිවක මාලිංග තරම් සාර්ථක වූ අයෙකු නැති තරම්ය.. නායකත්ව මණ්ඩලයක් හරහා හෝ ඔහු තම වගකීම ඉටු කළේ නම්.. එයට අපහාස කිරීම, අවතක්සේරු කිරීම නම් කුහක කමයි.. මාලිංග තමා සතු තුරුම්පු මනාව යොදාගත් ආකාරය විශ්මය ජනකය.. ඔහු ඉදිරියටත් කණ්ඩායමේ නායකයා විය යුතු බව මගේ වැටහීමයි..
කණ්ඩායමේ සමබර බව ගැන සිතා බංකුවට වී සිටි පළමු නායකයා චන්දිමාල් නොවේ.. පළමුවැන්නා.. මාවන් ය.. එලියෙන් සිටීමට චන්දිමාල්ට තරම් සාධාරණ හේතු නොතිබියදීත් මාවන් එලියෙන් සිටියේය..එය එදා ශ්‍රී ලංකා පරාජයට හේතු විය..
කෙසේ වෙතත් චන්දිමාල් සිය අඩුපාඩු නිවැරදි කරගෙන යළිත් කණ්ඩායමට ඇතුළු වීමට උත්සාහ කළ යුතුය..
මෙවර තරඟාවලියේදී අපගේ විශ්වාසය දැල්වූ පිතිකරුවා වූයේ තිරිමාන්නයි.. ඔහු වඩාත් විශ්වාසයෙන් හා නොබියව පන්දුවට පහරදෙන අන්දම දුටු විට.. සංගා හා මහේල ගේ අඩුව පිරවීමට අප සතු ප්‍රධානම අවිය ඔහු බව හැඟෙයි..
සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීම ගැන ද හිතේ ඇත්තේ මහත් ප්‍රසාදයකි.. රංගන හේරත් තව ටික කලකින් සමුගතයුතු නිසා.. සචිත්‍ර ගේ සහායට හොඳ දඟ පන්දු යවන්නෙකු සිටිය යුතුය.. ඒ ජීවන් මෙන්ඩිස්, සුරාජ් රන්දිව් හෝ චතුරංග ද සිල්වා විය හැක..
අවසන ඕනම දේකට ඔට්ටු.. තිසර, කුලසේකර හා මැතිවුස් ට මාගේ ප්‍රණාමය පුද කරමි..
රත් විය තැටිය රොටි සදමුද එසැණ ......තොසා
නෙත් යුග පිරුණි ජය ගොස වැදි සවන ...වසා
මත්තට හැඳින දැන මඟහැර නැඟෙන ....දොසා
ලත් ජය මතින නැගිටිමු නොම වැටෙන ලෙසා

Monday, March 24, 2014

මෙලොව සැරි සරණකං - නුඹට ගරු කරමි මං

පහුගිය පාළොස් වැනි දා.. උදෙන්ම රූපවාහිනී සංස්ථාවට යන්ටෙයි කියලා පිටත් උනේ (මතකනෙ අර කෝකිල හඬට 11 වසරක් පිරීම නිමිති කොට ගෙන තිබුණු වැඩසටහන.. අන්න ඒකට) මගේ දඬුමොණරෙට ගොඩවෙලා.. ඔන්න.. ඉතිං මං රූං කියලා යද්දි එක පාරටම ගියර් අහුවෙන්නෙ නැතුව ගියා.. මගේ පූරුවෙ වාසනාවකට ද මංදා.. දඬුමොණරෙ නැවතිලා තිබුණෙ.. අපේ අමල් (Amal Pussallage) වෙන්ට මන්ත්‍රී තුමාගෙ ගෙවල් ඉස්සරහා.. ඉතිං ඒ ගෙදරට දඬුමොණරෙ තල්ලු කරලා.. අදාල ගමන බස් එකක නැගලා ගොහිං කොරගත්තයි කියමුකො..
දවල් 1.30 ට විතර උනා .. අමල් තුමාගෙ ගෙදරට එනකොට.. ගෙවල් හරියෙ පේන්ට කවුරුවත් හිටියෙ නෑ..උදවුවට ඉන්න කෙනෙක් ඇරෙන්ට (මං හිතන්නෙ මැතිවරණ ප්‍රචාරක වැඩට ගොහිං වෙන්ටැ..)ඉතිං කොහොමිං හරි.. මං ආයෙත් දඬුමොණරෙ තල්ලු කරගෙන කිලෝ මීටර් එක හමාරක් දුරින් තියෙනවයි කියන වැඩපොළක් ගාවට යන්ට පටං ගත්තා..සුට්ට දුරක් යද්දි ම..
අයියේ.. පෙට්‍රල් ඉවර වෙලාද? එහෙම ඇහුවෙ පාරෙන් එහා පැත්තෙ නතර කොරලා තිබුණු තැපැල් නයින්ටියක හිටපු මට වඩා අවුරුදු 2-3 ක් වත් වැඩිමල්ය කියලා හිතෙන.. හඩු කිට් එකක් ගහගත්තු හාදයෙක්..
නෑ... මේ ගියර් වල අවුලක්ද කොහෙද? මං උත්තර දුන්නෙ ඕනවට එපාවට වගේ..
මෙන්න බොලේ අර මල්ලියා පාර පැනලා දුවගෙන එනවා..
සුළු පරීක්ෂණ කීපයක් කිරීමෙන් පස්සෙ මල්ලියා ලෙඩේ හොයා ගත්තා..
චේන් එක පැනලනෙ මචං.. (ඒ පාර මචං ලු.. )
පැනලද කැඩිලද? (මේ වෙනකොට මට මචං ගැන පැහැදීමක් ඇති වෙලා)
කැඩිලා.. කිලෝ මීටර 2 ක් විතර තල්ලු කරන්න තියෙනවා.. ලණුවක් අර කඩෙං ගන්න.. මගෙ බයිසිකලෙන් අදිමු..
අනේ ඔයාට කරදරයිනෙ.. ඔයා වෙන වැඩ පාලු වෙනවනෙ.. කමක් නෑ මං තල්ලු කරගෙන යන්නම්..
නෑ.. මං මාලු බිස්නස් කරන්නෙ.. දැං වෙළඳාම ඉවරයි.. මං ඒ පැත්තටයි යන්නෙ.. අර කඩෙන් ලණුවක් ගනිංකො මචං..
ඔන්න ඉතිං ලණුව ගෙනාවා..
අපේ යාළුවා.. ම බයිසිකල් දෙකේ ගැට ගැහුවා..
ඔන්න දැං.. මගෙ දඬුමොණරෙත් ඇදීලා යනව.. එක පාරටම හුට හුටස්.. ක්‍රෑස්.. ගාලා හිටියා.. චේන් කේස් එක ඇතුළෙ චේන් එක හිර වෙළා.. චේන් කේස් එක ගලවන්ට උපකරණ එපාය.. වෙලාවට අපි දෙන්නගෙම දඬුමොණර වල තිබුණු උපකරණ.. ඒකට ප්‍රමණවත් මදි.. අපේ යාළුවා දිවුවා ඉස්සරහ කඩේට.. ඒ මුදලාලි එහා පැත්තෙ තිබුණු ත්‍රිරෝද රථ පාක් එක පෙන්නුවා.. අපේ යාළුවා හිස් අතින්ම ආපහු හැරෙද්දි.. ඔන්න තව මාළු බයිසිකලයක් එනවා.. හෝවු.. හෝවු ගාලා.. මේ හාදයා බයිසිකලේ නැවැත්තුවා..
මේ අයියගෙ බයිසිකලේ චේන් එක කැඩිලා.. හිරවුණා.. ගලවගන්න යතුරක් නෑ.. උඹේ යතුරු සැට් එක දියංකො.. කියලා පෝර උරයක් ඉල්ලගනිමින් මගෙ දිහාට හැරිලා.. මේ මගේ අයියා කියලා කිවුවා.. මාත් ඉතිං බොහොම කෘතඥ්ඥ පූර්වක හිනාවක් පෑවා.. අයියා ගියා.. මල්ලි දැං ඇවිත් චේන් කේස් එක ගලවනවා..
මුං නං... පුදුම හු&*^ලා .. වීල් පාක් එකක යතුරක් නැති වෙනවද මචං..
අපි නං කාට හරි කරදරයක් වෙලා කියලා දැක්කොත් ටක් ගාලා පුළුවන් සප් එකක් දෙනවා.. ඒකයි මචං සිංහල කම කියන්නෙ..
මගෙ ඇඟේ මයිල් කෙළිං උනා ඌ ඒක කියපු විදිහට..
ඇත්තටම ඔයාට ගොඩාක් පිං මේ කරන උදවු වලට.. (මං ඉතිං වෙන මොනවා කියන්නද?)
මේ මනුස්සයා මාවත් ඇදගෙන ගැරේජ් එකකට ගියා.. වෙලාවට බාසුන්නැහැ කන්ට ගිහිං..
බාසුන්නැහැ ඇවිත් වැඩේ කරලා දෙයි.. අතේ සල්ලි තියෙනවා නේද? මං ගිහිං එන්නම්.. උදේටත් කන්නෙ නැතුවයි මේ ඉන්නෙ..
හරි.. හරි.. බොහොම ස්තුතියි.. බොහොම පිං.. කරපු උදවුවට..
ටික වෙලාවක් යද්දි බාසුන්නැහැ ආවා..
මහත්තයගෙද බයික් එක.. මට එක්කෙනෙක් කඩේට ඇවිත් කියලා ගියේ.. අපි මෙතන පුස්සයිකල් විතරයි හදන්නෙ.. කමක් නෑ කොහොම හරි හදලා දෙන්නම්කො..
පැයක පමණ මහන්සියක් දරා ඔහු මගේ වැඩේ කරලා දුන්නා.. (100% ක් ම නොවුණත්.. පැදගෙන යන ගානට.. මං අවිස්සාවේල්ලට ගිහිං අලුත් චේන් එකක් දාගත්තා)
ප.ලි.
ඇතැම් දේවල් තුළින් බොහෝ සේ දුර්වල වුවද.. මෙවන් උදාර මිනිසුන් රන්, රිදී, මුතු, මැණික් වලට වඩා බෙහෙවින් වටී.. හැබෑ සිංහලයෝ ඔවුහුය.. නම නොදන්නා සොයුර, මේ මගේ උපහාරයයි..

Thursday, March 13, 2014

පොකුණු දිය

නාගන්නට හිතාන පොකුණ අසබඩට ආවත්, ඒ අමතකව ගිය කලෙක මෙන්, මා නිසසල පොකුණු දිය දෙස නිරර්ථකව බලා සිටියේ මන්දැයි නොදනිමි. එක් වරම කෑ කෝ ගසාගෙන දිවගෙන ආ පිරිසක් පොකුණට පැන දඟලන්ට පටන් ගත්තේ පොකුණු දිය බොර කරමිනි..මා සමඟ ආ මගේ මිතුරු කැළ.. වාදයකය..

උන් මේ පොකුණ වනසාවි.. අපි කාටවත් ඒක පාවිච්චි කරන්ට වෙන්නෙ නෑ..
උන්ටත් මේක පාවිච්චි කරන්ට අයිතියක් තියෙනවා.. තවකෙකු කියයි..
උන් දැඟලුවා කියලා වතුර ටික ගෙනියන්නෑ නෙ.. ඒ තවත් අදහසකි..
අපි ඉස්සෙල්ලා බැස්සා නම් උන්ට මොනවා හිතෙයිද? අදහස් නොනවතින සෙයකි..
එයාලා මේක පාවිච්චි කරන විදිහේ ගැටළුවක් තියෙනවා.. ඒත් අතේ ඇඟිලි පහ එක වගේ නෙවෙයිනේ.. අපි ඉවසමු..
එතකොට අපට නාන්න වෙන්නෙ නෑ නෙ..
අපි ගෙදර ගිහිං නාගමු..
උඹලට ගෙවල් වල නාන කාමර තියෙන හින්දා හොඳයි..
මට නාන්න වෙන්නෙ නෑ.. අපේ ළිඳේ වතුර හිඳිලා..
සොරි මචං..

Friday, March 7, 2014

ආදරණීය මෑණියන්ට සුබ උපන්දිනක් වේවා

   
ගොතා කවි පද නිම කරන්නට නොහැක නුඹ ගැන හිත් පුරා
අපේ ලෝකයෙ මල් වවන්නට නුඹේ කඳුළැලි වත් කරා
පිපුණු මල් පිරියමින් රැකගෙන පුදසුනේ තැන් පත් කරා
සිතා නොසිතා මගේ දිවියම නෙළූ නුඹ විය සිත්තරා
  
මගේ ආයුෂ තිබේ නම් තව එයත් නුඹටම අයිතිවේවා
මා කරන හැම කුසල් නිසැකව නුඹට අනුමෝදන්ව යේවා
සිතේ ඇතිවන නොයෙක උවදුරු දුරුව නිබඳව තොස් වැඩේවා
නුඹට මට මතු භවක් තිබුණොත් මා නුඹේ පුතණුවන් වේවා
  


මගේ ආදරණීය මෑණියන්ගේ උපන් දිනය වෙනුවෙන් කවි පංතියක් ලියන්නට නොහැකි වීම කණගාටුවකි.. ඇයට නිරෝගී සුවය, චිර ජීවනය ලැබේවා කියා පතමි..

Saturday, March 1, 2014

කොළේ හයියෙන් ගැසීම

ඕමි ගහනවා කියලා කාඩ් සෙල්ලමක් තියෙනවා දන්නවද? කෙටියෙන් කියනවා නං මේකෙ හතේ කාඩ් එකේ ඉඳන් ඉහළට තමයි සෙල්ලමට ගන්නෙ.. එක් පිළකට දෙන්නා බැගින් තමයි බෙදෙන්නෙ.. කාඩ් හතර බැගින් වූ වට දෙකකින් එක්කෙනාට කාඩ් 8 බැගින් ලැබෙන ලෙස බෙදනවා. මුල්ම කාඩ් අත ලැබෙන කෙනා "තුරුම්පු" කියන්ට ඕන (තුරුම්පු කියන්නෙ ඒ තරඟය තුළ බලවත්ම වංශය (හාරත, ඉස්කෝප්ප, රුවිත, කළාබර කියලා වංශ හතරක් තියේ) ). ඉතිං තරඟය සෙල්ලම් කරගෙන යද්දි එක පැත්තෙ දෙන්නටවත් තමන්ගෙ අතේ තියෙන කාඩ් කුට්ටම පෙන්නගන්න තහනම්. ඒ නිසා එක එක්කෙනා දාන කොළ ගැන හොඳ අවබෝධයකින් සෙල්ලම් කරන කණ්ඩායමට දිනන්න අවස්ථාව වැඩි වෙනවා.. ඒ වගේම තමන්ගෙ හැකියාව අනෙකාට කියා පාන්ට පුංචි පුංචි සංඥා කිහිපයකුත් සමාජය තුළ ස්ථාපිත වෙලා තියෙනවා.. ඒ අතර ප්‍රමුඛ එකක් තමයි වාසි කොළේ හයියෙන් ගහන එක. ඒ කියන්නෙ.. යම් කිසි වංශයකින් තමන් ළඟ තිබුණු කොළ ඉවර වෙලා.. ඊළඟ වටයේ ඒ වංශය ඇදිලා ආවොත් තුරුම්පුවකින් කපන්න හෝ තමන් ළඟ ඒ වංශයේ ඒ වෙනකොට තියෙන ලොකුම කොළේ තියෙනවා නම් ඊට කළින් වටයෙදි තමන් දාන කොළේ හයියෙන් දානවා.. මේ තමන්ගේ සඟයට වාසියක් ලැබුණොත් මේ වංශෙන් ඇදලා එවන්න කියලා දෙන ඉඟියක්.. ඒ වගේම ඉස්කෝප්ප නං ඔළුව කසන්න, කළාබර නං කකුල කසන්න.. ආදී වශයෙන් පොඩි පොඩි ක්‍රමවේද තියෙනවා.. 

ඔන්න මං හදන්නෙ.. ඕමි ගැහිල්ලට සම්බන්ධ කතා දෙකක්ම කියන්ට

1.) අපේ මිතුරෙකුගේ ගෙදර තිබුණා පොඩි දානයක්.. මේ දානෙ ගෙදර ඕමියක් ගහද්දි කට්ටිය මදි වෙලා අපේ මිතුරෙක්ව අඬගහගත්තා..පළවෙනි වතාවෙම තුරුම්පු කියන්න තිබුණේ අපේ අලුතෙන් ආව මිතුරට.. ඉතින් අපි කොළ අත බෙදලා බලන් ඉන්නවා තුරුම්පු කියනකං.. දෙතුන් පාරක් ඇහුවම.. තුරුම්පු මොනවද කියලා.. මිනිහා කියපි.. 

තුරුම්පු "ඕමි" කියලා.. බැලින්නම් මිනිහා කාඩ් ගැහිල්ල ගැන මෙලෝ දෙයක් දැනගෙන ඉඳළා නෑ...

2) දවසක් හවසක අපේ මිතුරු කැළක් එක්ක ඕමි සෙල්ලම් කරමින් ඉන්න වෙලාවක.. මං තවත් මිතුරෙකු සමඟ කතාවට වැටුණා... ඒ ඉස්පාසුවෙදි මගේ සඟයා දාපු කොළේ මොකක්ද කියලා මට බලාගන්න බැරි උනා.. මං ඇහුවා 
මොකක්ද මචං උඹ දාපු කොළේ කියලා..
මං රුවිත අට හයියෙන් ගැහුවේ කියලා මගේ යාළුවා කිවුවා.. 

Monday, February 17, 2014

මං තාමත් කළුයි...

         
එදා ඇඳපු කොට කලිසම මගේ පුතුට ලොකුයි
එදා අඬපු ඇහැ මාගේ අද පේනව අඩුයි
එදාටත් වඩා වැඩියෙං උඹ නං මට දුරයි
මං තාමත් කළුයි මගේ හිසකේ නං සුදුයි
  
මල් දුන්නට ලී හොයන්න කැලේ පැන්න මං
වල් ගොන්නට පහර දිදී සුද්ද කරපු මං
කල් ගන්නට විභාගයෙන් බොරුත් කිවුව මං
සිල් පැන්නට ඉහිං කනිං තාම කළුයි මං
  
හිතට සවිය ගතට දිරිය තාමත් මට තිබෙයි
දහම දනිමි ඇසුරු කරමි හැබැයි නිරාමිසයි
දුකම නොවේ දුරස් වීම සොබාවයක් නිසයි
මං තාමත් කළුයි.. ඒත් හිසකේ නං සුදුයි
  

Saturday, February 15, 2014

මම මගේ හිත සහ ඇය..

ඇය: අයියෙ කොහොමද ඉතිං.. මං අයියගෙ කවි වලට හරිම ආසයි.. මටත් කවි ලියන්න කියා දෙන්නකො..
හිත : කෙල්ල උඹව මුරුංගා අත්තෙ තියන්ටයි හදන්නෙ..
මම : බොහොම ස්තුතියි නංගි.. හිතෙන දේ ලියන්න.. භාෂාව ගැන පරෙස්සම් වෙන්න.. හොඳ කවි වැඩි වැඩියෙන් කියවන එක ප්‍රයෝජනවත් වෙයි..
ඇය: අයියා මාර හැන්ඩ්සම්නෙ...
හිත: මං කිවුවෙ නැද්ද?
මම: හික් හික්.. නංගි මාව මුරුංගා අත්තෙ තියනවා නේද?
ඇය: ඔය ඉතිං අයියා වැරදියට හිතනවනෙ.. මං කිවුවෙ මට හිතුණ දේ.. එහෙනං මං මුකුත් නොකියා ඉන්නම්කො..
හිත: ඒ පාර මොකාටද එන්න යන්නෙ..
මම: අයියෝ නෑ නංගි.. මං පොඩි විහිළුවක් කළේ.. ගනං ගන්න එපා..
ඇය: හරි නරකයි..
හිත: බඩුම තමයි..
මම: අපි ඉතිං නරක අයනේ..
ඇය: හරි.. හරි.. ඔය මදෑ රණ්ඩු වුණා..
හිත: කවුද බං රණ්ඩු වුණේ? මේකිට පිස්සුද?
මම: ඔයා මගෙත් එක්ක රණ්ඩු උනාද.. ? මං දන්නෙත් නෑ..
ඇය: 
හිත: 
මම: 
ඇය: අයියෙ ඒක නෙවෙයි.. මගෙ කවි පංතියක් තියෙනවා.. පොඩ්ඩක් බලලා හරිගස්සලා දෙන්න බැරිද?
හිත: ඕකටයි එහෙනං මේ හොරගල් ඇහිලුවෙ..
මම: අයියෝ ඕක මොකද්ද.. හරිගැස්සිල්ල කෙසේ වෙතත්.. බලලා.. වැරදි අඩුපාඩු තියේ නං මට තේරෙන විදිහට කියලා දෙන්නම්කෝ..

Friday, February 14, 2014

ZTE ZXV10 W 300 router එකේ 4 වැනි Port එකෙන් LAN, Internet යන්නෙ මෙහෙමයි..

අපේ ඔෆිස් එකේ තියෙනවා ඔය උඩිං කියලා තියෙන ජාතියෙ Router එකක්.. ඉතිං ඔය Router එකට පරිගණක 4ක් සම්බන්ධ කොරන්ට පුළුහං උනාට.. 4 වැනි Port එක නෙවෙයි ක්‍රියාත්මක වෙන්නෙ.. පස්සෙ Router එකේ මොකක් හරි අවුලක්වත් ද කියලා හිතලා.. ඔයි ජාතියම මෙවුවා එකක් අපේ ගෙදර තිබිලා හයි කොරලා බැලුවා.. මොන ඒ සන්තෑසියමයි.. පස්සෙ පොඩියක් හොයලා බලනකොට තමයි.. අපේ SLT එකේ මහත්තුරු (නෝනලා වෙන්ටත් පුළුහං) ඔය මෙවුවා එකේ 4 වැනි මෙවුවා එක PEO TV බලන්ට ලු වෙන් කොරලා තියෙන්නෙ.. ඒකෙං LAN, Internet යන්ට බෑ ලු කියලා. දැනගත්තෙ..

ඔය අතරෙ අපේ අන්තර්ජාලෙ පොඩියක් මෙවුවා වෙලා ඕක හදලා දෙන්ට කියලා.. SLT එකේ මහත්තැන් කෙනෙක් අපේ ඔපීසිය පැත්තට ආවා.. අනේ වාසනාවන් උන්දැට මේ ගැන කිවුවම.. මොකද්දෝ පොඩි සෙල්ලමක් දාලා උන්දැ වැඩේ ගොඩ දාලා දුන්නා.. ඒත් ඉතිං මං වැඩේ බාර දුන්නු අපේ හාදයා උන්දෑ මොකද්ද කොළේ කියලා හරියට බලාගෙන නෑ.. කොහොම උනත් අපි ඔය වැඩේ හරි ගිය සතුට බුක්ති විඳිමින් ටික දොහක් සතුටින් කාලය ගත කොළා..

ඒත් අවාසනාවන්ත අයුරින් අපේ ජංජාලෙ අවුල් ගොඩක් සිද්ධ උනා.. ලොකුම අවුල කොම්ප්ලේන් හතර පහක්ම දාලත්.. SLT එකෙන්.. සතියක්ම යනකං වැඩේ ගොඩදාලා දුන්නෙ නැති එක.. ඔය අතරෙ මාත් දන්න සෙල්ලං දාලා බැලුවා.. අපේ පැත්තෙ අවුලක් ද කියලා.. ඔය අතරෙ තමයි.. අර එදා ආපු ටැක්නීසියන් මහත්තැන් හරි ගස්සපු ලෙඩේ ආයෙත් මතුවෙන්නෙ.. පස්සෙ ජංජාලෙ හරි ගියත් පරණ ලෙඩේ ... ඒ කියන්නෙ 4 වැනි මෙවුව එක වැඩ කොරන්නෙ නැති ලෙඩේ ආයෙමත් පැල පදියං වෙනවා.. 


අන්තර්ජාලේ පීරලා මං හෙවුවත් මේ හුට්ටප්පරේ විසඳගන්න කෙරේමයක් මට කිසිම කෙරේමයක් මුලිච්චි වෙන්නෙ නෑ.. බැරිම තැන මං SLT එකේ Chat මහත්තැන් එක්ක මේ හුට්ටප්පරේ ගැන කියනවා.. උන්දැ දාපු කොම්ප්ලේන් එක පළ දරලා.. සනිකෙන්ම වගේ පැය 3-4කට පස්සෙ SLT එකෙන් අපේ ඔපීසියට මෙවුවා එකෙන් කතා කොරනවා.. එයාලා කියනවා වැඩේ ගොඩ දාගන්න විදිහ.. හරි ලේසියි.. මෙන්න මෙහෙමයි..

1. Router එකට ලොග් වෙන්න 

2. Interface Setup කියන මෙනුව තෝරන්න
  2.1  LAN කියන අනු මෙනුව තෝරන්න
  2.2 DHCP කොටස යටතේ තියෙන DHCP Server කියන එකේ .. Physical Ports 4 ම tick කොරලා දාන්න (4 වැනි මෙවුවා එක un tick වෙලයි තියෙන්නෙ)

  2.3 දැං ඉතිං Save කොරන්න..
3. දැං යන්ට ඕන Advanced Setup මෙනුවට

  3.1 ඕකෙ තියෙනවා VLAN කියලා මෙවුවා එකක්.. ඒක ඔබන්න
  3.2 VLAN  function එක activate වෙලා තිබුණොත් deactivate කොරන්න..

දැං රාජකාරිය ඉවරයි.. එයාලා කිවුවා.. පරිගණකය Restart කරලා හරි Network එක Disable / Enable කරලා හරි බලන්න කියලා.. ඒත් එහෙම කරන්න ඕන උනේ නෑ.. නිකම්ම අපූරුවට වැඩ කොරන්ට ගත්තා..

ඔයාලටත් ඔය පස්නෙ තියෙනවා නං.. ප්‍රයෝජනවත් වෙයි කියලයි දැම්මෙ..

මේ වතාවෙ.. SLT මහත්තුරු දීපු සහයෝගය ඉහළින්ම අගය කොරන්ට ඕන..

Tuesday, February 11, 2014

පුර සිරි අනුහස්

       
නු ව න'ඟ කැලුම සැඟැවුණු ඉඟි සැලෙන නුරා
සි යො ළ ඟ බැඳෙන සසොබන ගති පෙළෙන සරා
අ ව ස ඟ අම රසය හැම රස නහර පුරා
මෙ ප ත'ග පතල තෙද බලනුය නුවර අරා
  
තුරු හිස් වෙහෙසවා නොගෙනෙති නව නින්දා
රණ ගොස් සිහි දවා නිකැළැල් බව සින්දා
සඳ රස් දිය පුරා යති සිහිනය කැන්දා
අනුහස් බලග පුර සිරි මිහිමත ඇන්දා
  
සිකි පිල් සැලේ නුබ පුපුරා නිලට නිලේ
අම විල් ජලේ මිණි උතුරා පෙළට දිලේ
බිඟු දැල් පෙළේ මත සපුරා තිබෙනබලේ
වණ මල් දොළේ නැත සතුරා මම ය හෙළේ
  

Monday, February 3, 2014

බැරිදා විග්‍රහය ! පුල්ලි මාරුව



ජවිපෙ නම් කොටියාගේ පුල්ලි මාරුවක් සිදුවිය.. කැලය නම් මාරු වූ බව හිතන්ට අමාරුය.. එහෙමමයි කියන්ට තවම කල් වැඩි බවත් ඇත්තය..  ජවිපෙ කොටියා ඇල්ටීටී කොටියා හා පටලවා ගන්ට අවැසි නෑ ය.  අවැසි ම නම් පටලවා ගත්තත් කමක් නෑ ය. මොකද  ජවිපෙ කොටියා අපේ උන්ටම කොරපු හරිය ඇල්ටීටී කොටියා ට දෙවැනි නෑ ය. කොහොම උනත් පරණ කතා දැං වැඩක් නෑ ය. ජවිපෙ දැං හීලෑ කොටියෙක්ය.

මේ කරදහිය ලියන්ට හිතුණේ.. වත්පොතේ ජවිපෙ නංගියෙක් උදේ පාන්දර දමා තිබූ පෝස්ටුවක් දැකලාය. උන්දෑ කියන්නෙ අනුර කුමාර දිසානායක ජනතාවගේ විපක්ෂ නායක කියලා ය. නොකියා කියන්නේ ජවිපෙ ජනතාවගේ විපක්ෂය කියා ය. මං නං කියන්නේ මේක මහ විහිළුවක් කියාය. ජනතාවගෙන් අතිමහත් බහුතරය තවමත් ජවිපෙට විරුද්ධය. විරුද්ධ අද කරපු පවකට නොවේය. මේවා පරණ පවු ය. එජාපය ට වගේ ම ජවිපෙටත් මේ පවු ගෙවලාම ඉවර කරන්ට වෙනවා ය.

එයිට අමතරව ජවිපේ හිතන විදිහෙත් ලොකු අවුලක් තියෙනවාය.. උන් හිතන්නේ නිවැරදි දැක්ම තියෙන්නේ උන්ට විතරක්ය කියාය. උන් හිතන්නේ ජනතාව ඉන්නේ උන් එක්ක කියාය. උන් හිතන්නේ වැඩක් කරන්ට පුළුවන් උන්ට විතරක්ය කියාය.

ඒ විතරක් නොවේය.. උන් හිතන්නේ උන් එක්ක නැති එවුන් ද්‍රෝහියෝ කියාය, ප්‍රතිගාමියෝ කියාය. මෝඩ හැත්තක් කියාය.

ඒ විතරකුත් නොවේය.. උන් මේ මෑත යුගයේ.. ප්‍රජාතන්තරවාදී උනාට පස්සේ ආණ්ඩු කිහිපයක කොටස් කාරයෝ වෙලා හිටියෝය. ඒ කාලේ මීයෙක් වදලා කන්දක් වැදූ තරමට ප්‍රචාරේ දුන්නෝය.. අදටත් ආණ්ඩුව කරන්නේ මේ වැඩේ ය. එක අතකින් ආණ්ඩුව ජවිපෙ ක්‍රම වේදය කොල්ල කෑවේය. අනිත් අතට ජවිපෙ ජනතාව මහා පරිමාණෙන් රවට්ටන මේ පිළිවෙතට මුල පිරුවේය. දැන් රජයේ මාජ්ජ වල පළු ඇරියත්.. ඒ කාලේ රජයේ මාජ්ජ වල බලය ලැජ්ජා නැති විදිහට යොදාගෙන එජාපෙට ගැහුවේය.

මේ ඔක්කොම කියන්නේ අනුර කුමාර ට හැදෙන්ට නොව.. අනුර කුමාරට පක්සෙ හදනවානම් අදහසක් ගන්ටය.. ඒ වෙන මොකවත් නොවේය.. ජවිපෙ කියන්නෙ තවමත් .. දේශපාලන ව්‍යාපාරය තුළ අඩුවෙන්ම දූෂණය වෙච්ච පක්සයක් නිසාය..

අනුර කුමාර .. මං කැමතිම කතාකාරයෙක්ය. වාචාලවංස වගේ ගිරිය පිප්පගෙන නන්දෙඩෙවුවේ නැති වුණාට.. අනුර කුමාර කියන්නේ තර්කානුකූල කතාය... හරි එඩිතර කතා ය.. අනුර කුමාරටවත්, ජවිපෙටවත් බැරි නැත.. ඒත් ඇඟිල්ලේ තරම දැන ගත යුතුය.. නව නායකයාටත්.. ජවිපෙටත් මං මගේ හදපතුලෙන්ම සුබ පතනවාය..


Wednesday, January 29, 2014

මගේම ආදරයක් සොයා..

         
මගෙ හද මුලින් බැඳුණේ මහ සයුරවෙත
ඇය මට ආදරෙයි තව පෙම්වතුන් ඇත
අමතක කර දමා මා ඇගෙ චපල හිත
නදියට බැඳිමි පෙම් මගෙ නව පැතුම් මත
  
වෙනසක් කොහිද නදියත් කිසි කමක් නැත
හිඟයක් නොමැත ඇයටත් හුඟ දෙනෙක් ඇත
හරවා හිත මගේ යළි පොඩි දොලක් වෙත
නිදහස් කරගතිමි එම හුරතලෙන් කැත
  
දොලටත් කියන අයිතිය බොහො දෙනෙක් ඇත
මොනවා කරන්නද හදවත නැඟෙයි මත
බෝතලෙ හැටට විකුණන කඩ පිළක් වෙත
ගොස් මිල දී ගතිමි දැන් තරඟයක් නැත
  

Thursday, January 23, 2014

හැඟුම් වලට ඉඩ දුනිමි..

"හැඟුම් වලට ඉඩ දෙන්න" කියා පුවරුවක ගසා තිබුණද, එය කියවන්නට මට හැකි වුවද, හැඟුම් යනු කවරක්ද, ඒවාට ඉඩ දෙන්නේ කෙසේද යන්න ගැන එදා මට අවබෝධයක් තිබුණේ නැත..

හැඟුම් කියන්නේ අපට හිතෙන දේවල් වෙන්ට ඇති කියා සම්පත් අයියා කීවේ ඔහුට තිබුණු තේරුමේ හැටියටය.. අපට හිතෙන දේවල් වලට ඉඩ දෙන එක නම් හොඳ දෙයක්.. මම මටම කියා ගතිමි.. ඒත් මං ටික ටික ලොකු වෙද්දි.. හිතෙන දේවල් වලට ඉඩ දුන්නොත් නම් මහා විනාශයක් වෙන බව තේරුම් ගියේ.. මගේ හිතට.. හොඳ අදහස් වලට සාපේක්ෂව විශාල වශයෙන් නරක අදහස් ආව නිසාය.. ඒවාට ඉඩ දුන්නා නම් මං වැලිකඩය..නැතිනම් බෝගම්බරය..

ඒ කාලෙ සම්පත් අයියා කිවුවේ.. හැඟුම් කියන්නේ අපට දැනෙන දේ කියාය.. අපේ හදවතට දැනෙන දේ කියාය.. ඒවාට ඉඩ දෙනවා නම් කොච්චර හොඳ ද.. මට හිතුණේ එහෙමය.. මට මොන දේ හිතුණත්.. මං ඒක කරන්න ඕනි ද නැද්ද කියලා මට දැනෙනවා.. අන්න ඒ දැනීමට තමයි එහෙනම් මං ඉඩ දෙන්න ඕන.. 

මට නිරෝ ගැන ආදරයක් දැනුණේ ඔය කාලයේ ය. ඒ දැනීමට ඉඩ දිය යුතු බවට මම තීරණය කළෙමි. ඉතිං මං නිරෝ ට ආදරය කළෙමි.. ඒත් නිරෝට ඒ ආදරය දැනුණේ නැත. ඇය මගේ ආදරය ප්‍රතික්ෂේප කළාය. ඒත් දිගටම මගේ හැඟීමට ඉඩ දෙන්ට මං තීරණය කළෙමි. 

නිකම් පිස්සෙක් වෙන්ට එපා බං.. හැඟීම් තිබුණට ඒවට ඕන විදිහටම හැසිරෙන්න එපා.. මොලයක් තියෙන්න පොඩ්ඩක් කල්පනා කරලා බලපං. සම්පත් අයියාට හොඳට ම කේන්ති ගිහින්ය. ඔහු කියන්නේ හැඟුම් වලට උනත් පාලනයකින් යුතුව බුද්ධියෙන් විමසා ඉඩ දිය යුතුයි කියා ය.

මගේ හැඟීම වෙනස් විය.. නිරෝ කෙරෙහි මගේ ආදරයක් නැති බවක් දැනිණ.. මම ඒ හැඟීම ට ඉඩ දුනිමි.. 

Wednesday, January 22, 2014

කෙනෙකු විඳිද්දී.. තවකෙකු විඳින්නට සූදානම් වන..

කෙනෙකු කලින් සකස් කරගත් කර්මයන්හි ඵල විඳිද්දි.. තව කෙනෙක්.. කර්මයන් සකස් කරගන්නා අයුරු.. අපූරු ධර්මයකි.. සවන් දී බලන්නම වටින.. අපූරු දම් දෙසුමක්..

 මෙම දිගුව මා වෙත යොමු කළ.. සිරිපාල රත්නායක.. මගේ ආදර මිතුරාට... පින් සිදු වේවා..

අතිගරුතර පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ ගේ සුමදුර දම් දෙසුම අහලා ඔබත් අවබෝධ කරගන්න.. මේ ධර්ම දානමය පින්කමට දායක වූ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ හැමට පුණ්‍යානුමෝදනා කරන්න..

මෙය ඔබ හා බෙදා ගන්න හිතුවෙ.. මගේ යුතුකමක් විදිහට..

Sunday, January 12, 2014

ජරාව..

මට ලොකු ලොකු උලවු තේරෙන්නෙ නෑ මචං.. 
ඉස්සර වගේ නෙවෙයි දැං බය නැතුව පාරෙ බැහැලා යන්ට පුළුහං..

ඔවු පාරෙ බැහැලා යන්ට නං පුළුහං.. හැබැයි කාර් එකක... මොටෝ සයිකලේක තියා බස් එකකවත් නං යන්න බෑ..

අප්පට සිරි.. අර මොකෝ..?

බස් ගාස්තුව වත් ගෙවා ගන්ට බැරි අපට මොන මොටෝ සයිකල් ද බං..?

අපට බැරි උනාට ඔය පාරෙ පුරවලා වාහන තියෙන්නෙ..?

ඒවා ඉතිං ලොකු ලොක්කංගෙයි.. ලීසිං කොම්පැනි වලයිනෙ.. අපට නැති උනාට බේබිලාට නං ලැම්බෝගිනි..!

අනුන්ට ඉරිසියා කොර කොර ඉන්නෙ නැතුව .. තමනුත් ගොඩයන්න මොකක් හරි කෙරුවොත් මොකද?

කුඩු විකුණන්ට ද? අරක්කු විකුණන්ට ද?  ගෑණු විකුණන්ට ද? නැත්තං.. #$ දෙක විකුණන්ට ද?


හැක්.. හැක්.. ඇයි විකුණන්ට වෙන මුකුත් ඇත්තෙම නැද්ද? විකුණපං ශ්‍රමය.. ඉගෙන ගත්තු දෙයක් පොරෝජනේ ට  අරං කොරහංකො දෑතෙ රස්සාවක්..


දෑතෙ රස්සාවල් කරලා කොහෙ ගොඩ යන්ට ද බං.. පටං ගත්තු වෙලාවෙ ඉඳං ටැක්ස් දැ වැක්ස් ද මොකද්ද මඟුලක් ගහලා  ඌට කෙලවන්ට නේ හදන්නෙ.. අනික දැං දෑතෙ රස්සාවලුත් බල්ලට ගිහිං බං.. මහන්සියෙ හැටියට ගානක් හම්බකරන්ට බෑ..


අනේ පලයං බං යන්ට .. උඹලා දුක් මහන්සි වෙලා හම්බකරන තුට්ටු දෙක බාර් එකට පිදුවම හරියාය?

යකෝ පඩි දවසට පොඩි සොට් එකක් දානවා තමයි.. ඒ වියදම යන්නෙ ඉතිං මාසෙට සැරයක් නෙ බං.. එහෙමත් සොමියක් නැත්තං අපි මෙච්චර මැරෙන්නෙ මොන රෙද්දට ද?

උඹ මාසෙකට දෙතුන් වතාවක් බීලා ගෙදර එනවා මං දැකලා තියෙනවනෙ..?

මෙහෙමයි.. මගේ පඩියට එක දවසක.. රවියගෙ පඩියට එක දවසක.. සමරෙ ගෙ පඩියට තව දවසක.. අපි තුන් දෙනා නෙ බං සැට් වෙන්නෙ... මං කිවුවෙ මාසෙට දවසයි මං බීමට වියදං කොරන්නෙ කියලා.. අනික මං ඒ ගාන කොහොම හරි පඩියට පිටිං හොයා ගන්නවා..

ඒ කියන්නෙ උඹ ජරාව කනවා..?

නෑ බං ඉතිං .. වෙන මොනවා කරන්නද.. බලපං ළමයි දෙන්නගෙ.. පහසුකං ගාස්තු, වෑන් ගාස්තු, පොත්පත්, කොන්සට්.. මගේ බස් ගාස්තු, රක්ෂණේ.. ඒ මදිවට  අපේ ඔපිස් එකේ එක්කො එකෙක් මැරෙනවා.. නැත්තං බඳිනවා.. මුකුත්ම නැත්තං.. කාගෙ හරි ළමයෙක්වත්  ගෙට වෙනවා..


ඉතිං උඹ ළමයිව කොළඹ දාපු හින්දනෙ.. උඹට තිබුණෙ ගමේ ඉස්කෝලෙට යවන්න නෙ.. 


උඹ නං කියයි.. යකෝ ගමේ ඉස්කෝලෙ මොනවද තියෙන්නෙ..? මොනවද උගන්නන්නෙ? ඒ ගුරුවරුන්ට බණිනවා නෙවෙයි බං.. එයාලට උගන්නන්ට තියෙන පහසුකම් මදි..ගමේ ඉස්කෝලෙට යන අපේ අයියගෙ ළමයිනුයි .. අපේ  ළමයිනුයි බැලුවම.. වෙනස තේරෙනවා.. කොළඹ ගිහාම ඉංගිරිස් ටිකක් හරි හුරු වෙනවනෙ.. 
අපි  විඳින දුක් අපේ දරුවො විඳින්ට ඕන නෑ බං..

හරි.. උඹට ළඟපාත රස්සාවක් කොරන්ට තිබුණානෙ...?

තිබුණා.. තිබුණා..අපටත් පන්දම් තිවුනා නං.. යකෝ ඒවට ඉතිං දේශපාලන හෙංචයියලාගෙ  කට්ටිය පුරවලා ඉවරයිනෙ..

වියදම අඩු කරන්ට විදිහක් ඇත්තෙම නැත්තං ආදායම වැඩි කොරගන්ට මොකක් හරි විදිහක් බලපං.. 

ඒක තමයි බං ඔය හීනියට ජරාව සුට්ටක් කන්නෙ..


එහෙම නෙවෙයි බං.. ත්‍රී වීල් එකක්වත් පාරට දාපං..


කුණුහරප කියනව..යකෝ දැං වීල් එකක් කීයද? අනික.. පඳුරකට ගහපු ගමං.. දුසිං ගනං විසිවෙනවා දැං වීල්..

ඒක නෙවෙයි බං.. උඹේ දරුවො යන්නෙත් කොළඹ නෙ.. උඹ වැඩ කොරන්නෙත් මගෙ ඔපීසිය ළඟම නෙ.. අනික උඹ හැමදාම සති අන්තෙට සෙට් වෙනවනෙ.. උඹට ඔය පස්න නැද්ද?

ඇත්තටම නෑ බං.. මං ජරාවක් උනත් පිළිවෙලකට කනවා.. උඹ වගේ හීනියට නෙවෙයි..



Friday, January 10, 2014

කවිය හා පැදිය II

කවිය හා පැදිය නමින් මා ලියූ ලිපිය ම පාදක කරගෙන මෙම ලිපිය ලියන්නට සිතුවේ ෆේස් බුකියේ "සඳැස් කවි මඬුව" නමින් ඉවෙන්ට් එකක් අරඹා ඇති ජානි වසන්ති සොයුරියගේ ඉල්ලීමක් ද ඉටු කිරීමේ අරමුණ ද ඇතිවය..
පැදි වලට තමයි අපි සඳැස් කවි කියලා කියන්නෙ.. 

මෙකී පැදි.. ගී, සැහැලි, සිලෝ හා සීපද වශයෙන් ප්‍රභේද වෙනවා.. 

යහ ගී, දුවඟ ගී, පියුම් ගී ආදී වශයෙන් අනුදත් ගී විරිත් බොහොමයක් පවතිනවා.. මේ ගැන අප හිතවත් Shanaka Iroshana Peiris කිවිඳු අපූරු ගොනුවක් සකස් කර තිබෙනවා.. 
ගී විරිත්
මේවා බැලූ බැල්මට නිසඳැස් වගෙයි.. එහෙත් මේවා අයිති සඳැස් කුලයට..

සිවුපද හෙවත් සී පද යනු සඳැස් කවිය ඉදිරියට ගෙන ආ ප්‍රමුඛයාය. තවත් ආකාරයකට කියනවා නම්.. සඳැස් කවිය සමාජගත වූයේ සිවුපදයෙනි.. මෙලෙස අප විවිධ වූ විරිත් වලින් සිවුපද නිර්මාණ කරන අතර.. අනුදත් සිවුපද විරිත් බොහොමයක් ඒකරාශී කොට ශානක ඉරෝශන කිවිඳු විසින් ගොනු කිහිපයක් සකස් කර තිබෙනවා..

සිවුපද විරිත් 1

සිවුපද විරිත් 2

සිවුපද විරිත් 3

සිවුපද විරිත් 4

සිවුපද විරිත් 5

සිවුපද විරිත් 6

සිවුපද විරිත් 7

සිවුපද විරිත් 8

.. සැහැලි ගැන වැඩි පුර කතා නොවුනත්.. සැහැලි යනු "ගී" සහ "සිවුපද" මිශ්‍ර වූ පැදි විශේෂයක් බව තමයි පෙනෙන්නේ.. 

විකිබුක්ස් වල එබඳු සැහැලි ගැන ලියැවුණු ලිපි කිහිපයක් දකින්නට පුළුවන්.. 
සිංහල සැහැලි

සිලෝ යනු සංස්කෘත ශ්ලෝකයේ අනුසාරයෙන් බිහි වූ පැදි විශේෂයකි.. එය ඉතා රසවත් මෘදු භාෂා විලාශයක් අනුගමනය කෙරෙන මෙම සිලෝ කෝට්ටේ යුගයේ දී හෙළ සාහිත්‍යයට එක්වුණා කියලා තමයි සැලකෙන්නෙ.. මේ ගැන වැඩි විස්තර තියෙන ලිපියක් නම් හොයාගන්න බැරි වුණා.. එහෙත් කෝට්ටේ යුගයේ ලියැවුණු එළු සිලෝ ශතකය නම් අගනා ග්‍රන්ථය පිළිබඳව ලියැවුණු ලිපියක් පහත දැක්වෙනවා.. 

එළු සිලෝ ශතකය

මේ ආකාරයට ප්‍රභේද වන සඳැස් කවිය.. තුළ එළිවැට හා එළිසම ප්‍රභල තැනක් ගන්නේ.. සිවුපදය තුළයි.. නිවැරදිව යති පිහිටුවා ගායනය කිරීමෙන් මෙකී පැදි වල සුන්දරත්වය විඳ ගත හැකියි.. මෙතෙක් අප කතා කළ ආකෘතිමය ලක්ෂණ හරහා ම සඳස් කවිය ඉදිරියට ගෙන යාමට නම්.. සඳස් කවියෙකු හැම විටම ප්‍රසාද, ඕජස්, මධුරතා, අර්ථ ව්‍යක්ති, සමාධි වැනි උසස් ගුණ ඉස්මතු වන සේ කවි පබැඳිය යුතුය.. හුදු ශබ්ද රසයෙන් හෝ අර්ථ රසයෙන් නොසෑහී.. සර්ව රසයක් ගෙන ආ යුතුය..

Monday, January 6, 2014

රැඳෙනු හැකිනම්.. නුඹ ළඟ ම..

          
නුඹෙ දිවිය පරදුවට තියලා සෙනෙහසින්
මගෙ දිවිය රැකි අයුරු වැසි සහ හිරු රැසින්
මට මතක දිනට පෙර සිට මගෙ ළඟ තොසින්
නිති සිටිය නුඹව නැත අමතක කිසි ලෙසින්
  
යුග දිවියෙ මිහිර ලගු කොට දරු පෙම උසින්
මඟ නොමඟ කියා දී සුලලිතමුදු බසින්
දහදිය ද කඳුළු කැටයම් කර මුතු ලෙසින්
මගෙ උරට දැමුව හැටි සෙනෙහේ අනුහසින්
  
මල මිලින වෙන තුරුම ඔද පතුරන ලෙසින්
අත පය ද නැත වසඟ එද ඇත පසු පසින්
කළ මෙහෙය අසම සම විය මට නුඹ විසින්
නුඹ ළඟ ම රැඳෙනු හැකිනම් මිය නොම ගොසින්