Monday, September 29, 2014

ස්වීප් ටිකට්

පුංචි කාලෙ ඉඳං ස්වීප් ටිකට් කියන්නෙ මට හුරු දෙයක්. අපේ අප්පච්චි සතියකට 10-15 ක් ගන්ට අමතක කරන්නෙ නෑ. රුපියල් 50 කට වඩා ඇදුණු දවසක් මතකත් නෑ. ඒත්.. අප්පච්චි අතාරින්නෙම නෑ. මං ස්වීප් ටිකට් වලට වඩා වෛර කළේ.. අප්පච්චි බොන සිකරැට් වලට විතරයි.. ඇයි සිකරැට් වලට අපට වියදං කරන්ට තියෙන සල්ලි වගේ ම අප්පච්චිගෙත් අපෙත් ජීවිතත් පිච්චෙනවනෙ. සිස්සත්තෙ පාස් උනොත් අප්පච්චිව කැමති කරගන්ට පුළුහං වෙයි.. මට එහෙම හිතුණා.. සිස්සත්තෙ පාස් වෙලා තෑග්ගට මං ඉල්ලුවෙ.. ඔය කරුමක්කාරයො දෙන්නා එක්ක තියෙන ඇයි හොඳයිය නවත්තන්ට කියලා.. මාසෙකට විතර නවත්තපු අප්පච්චි ආයෙම පටං ගත්තා..

උසස් පෙළ පාස් උනාමත් මං ඉල්ලුවෙ සිකරැට් සහ ස්වීප් ටිකට් නවත්තන්ට කියලා.. ඒ පාර නං.. අප්පච්චි සිකරැට් බීම නං නැවැත්තුවා.. ඒත්.. ස්වීප් ටිකට් වලට නං සමු දෙන්ට අප්පච්චිට හිතක් නෑ. 

දැං මං ලොකුයි රස්සාවක් කරන වයස. අප්පච්චි  කිවුවෙ මට තව ඉගෙන ගන්ට කියලා.. මටත් හිතුණා තව ටිකක් ඉගෙන ගන්ට ඕනි කියලා. මං පරිගණක පාඨමාලාවක් හදාරන්ට තීරණය කළා.. මං දන්නවා අප්පච්චිට ලොකු සල්ලියක් නෑ කියලා.. විභාගයක් ලියලා පොඩි ගානක් ගෙවලා කරන්ට පුළුහං පාඨමාලාවක් තමයි මං තෝර ගත්තෙ. අප්පච්චි ඔය ස්වීප් ටිකට් වලට වියදං කරපු සල්ලි තිබුණා නං.. මට හොඳ කෝස් එකක් කරන්ට තිබුණා.. මං එහෙම කිවුවා නෙවෙයි කියැවුණා.. 

මං පොඩි රස්සාවකට ගියා.. එතැන මට හොඳයි. මට වෘත්තිමය සුදුසුකමක් ලැබුණෙ එතැන දී. දන්නෙම නැතුව බඳින වයසත් ඇවිත්... මං කසාද බැන්දා.. ළමයි ලැබුණා.. අප්පච්චි තාම ස්වීප් ගන්නවා..

අපරාදෙනෙ අප්පච්චි.. මොකටද දැන් ස්වීප් අරගෙන..
මට කරන්ට තව වැඩ ගොඩක් තියෙනවා.. අප්පච්චි කියනවා..


චූටි මල්ලිට 150,000/=
ලොකු නංගිට 100,000/=
................
................

ඔය වගේ අපේ හිතවත් ම කට්ටියකගේ නං දාලා ලියපු ලැයිස්තුවක්..මං දැක්කා අහම්බෙන්..

මොකද්ද අප්පච්චි මේ..?
හෙක්.. හෙක්.. ඔය මගෙ ස්වීප් එක ඇදුණාම දෙන්ට කියලා...
මෙයාලගෙන් අප්පච්චි ණයට එහෙම ගත්ත ද?
නෑ නෑ ළමයො.. එයාලට හරියට බැරි අමාරුකම් නෙ..
අපි පුළුවං විදිහට උදවු කරමුකො අප්පච්චි.. ඔය ස්වීප් ගැනිල්ල දැංවත් නවත්තන්ටකො..
අනේ උඹලගෙ කෙරුවාව... කියලා අප්පච්චි මගෙ දිහා සරදම් බැල්මක් හෙළුවා..

===============================================
ඉතුරුවක් නැති උනත්.. මේ වෙද්දි අපි ජීවත් වෙන්ට ඇති තරං හම්බු කළා. අනාගතේ ගැන හිතලා ජීවිත රක්ෂණයකුත් ගත්තෙ.. මළත්.. අඹු දරුවන්ට සහනයක් වෙනවනෙ කියලා හිතාගෙන. ඒත්.. ප්‍රියානි.. මගේ බිරිඳ නිතරම හිටියෙ හරිම බයෙන් මගෙ ජීවිතේ ගැන. දැං ඉතිං බය වෙන්ට දෙයක් නෑ මැරුණොත් ලක්ෂ දහයක් හම්බු වෙනව නෙ.. මං හිනාවෙවී කිවුවට ප්‍රියානි කිවුවෙ.. ලක්ෂ දහයෙන් මක් කරන්ටද මිනිහ නැතුව.. ළමයින්ට අප්පෙක් නැතුව.. කියලයි.. 

ඔය අතරෙ තමයි මං භාවනා පංතියකට ඇතුළු වුණේ.. මිනිස් සිත මහා පුදුමාකාර ශක්තියක් තියෙන දෙයක් කියලා අහලා තිබුණට.. අත් විඳින්ට ලැබුණෙ එහෙ ගියාට පස්සෙ.. බැඳීම් වලින් නිදහස් වෙන්ට වෙන්ට හිතට ලැබෙන ශක්තිය හරිම පුදුමයි.. ඒක විඳින්ට මිසක් කියන්ට බැහැ. මට මේ ගෙවන ජීවිතෙන් චුට්ටක් ඈත් වෙන්ට හිතුණෙ අඹු දරුවො කෙරෙහි අබ මල් රේණුවක තරම්වත් අහිතකින් නෙවෙයි.. ඒක ආත්මාර්ථකාමී හැඟීමක් වෙන්ට ඇති.. 

ඔහොම ගිහිං.. අභිනිශ්ක්‍රමණය කරයි ද දන්නෙ නෑ.. මං ගැන ඕන නෑ.. මේ ළමයි කොහොමද ලෝකෙට මූණ දෙන්නෙ..? 

සිදුහත් කුමාරයා අබිනික්මන් කරපු වෙලාවෙ.. රාහුල කුමාරයා ට කිසි අවුලක් උනා යෑ..? 

ඇයි ඔයාගෙ අප්පච්චි සුද්ධෝදන රජ්ජුරුවොද? ඔයාට ඕන තැනක යන්ට... හැබැයි මාවයි ළමයින්වයි අනාත කරන්නෙ නැතුව.. ඇයි වදේ එක්කො නොබැඳ ඉන්ට ඕන..

හරි හරි.. ඉතිං මං නො එන්ටම යනවා කීවයෑ..? මාසෙකට විතර භාවනා කරන්ට නෙ යන්නෙ..

========================================
අප්පච්චි.. මීට පස්සෙ ටිකට් ගන්නකොට මටත් එක්ක ගන්ට.. මං පොකැට්ටුවෙන් ගත් නෝට්ටුව අප්පච්චි අතේ ගුලි කළේ.. මිදුලේ දඟ කරන පොඩිත්තන් දෙස නෙත් යොමු කරමින්..



17 comments:

  1. //හෙක්.. හෙක්.. ඔය මගෙ ස්වීප් එක ඇදුණාම දෙන්ට කියලා... // අහිංසක කතාවක්....

    ReplyDelete
    Replies
    1. ඔවු.. අහිංසක බලාපොරොත්තුවක්..

      Delete
  2. //ඇයි ඔයාගෙ අප්පච්චි සුද්ධෝදන රජ්ජුරුවොද? //

    මේක දැක හිනා ගියාට්, ඒ එක්කම

    //මීට පස්සෙ ටිකට් ගන්නකොට මටත් එක්ක ගන්ට.. මං පොකැට්ටුවෙන් ගත් නෝට්ටුව අප්පච්චි අතේ ගුලි කළේ.. මිදුලේ දඟ කරන පොඩිත්තන් දෙස නෙත් යොමු කරමින්..//

    දැක්කම ....හිනාව කපල පුකේ ගහගන හිතුන!

    ReplyDelete
    Replies
    1. ඉතිං ගහගත්තැයි.. හික්.. හික්..

      Delete
  3. මමත් දැකලා තියෙනවා ගොඩක් වයසක අය ස්වීප් ටිකට් ගන්නවා. සමහරවිට ජීවිතේ පුරාම කරගන්න හිතාගෙන හිටපු ඒත් මේ දක්වා කරගන්න බැරිවෙච්චි දේවල් කරගන්න වෙන්න ඇති. සමහරවිට ජීවිතේම වින්ඳ දුක් එක ටිකට් එකකින් කෙළවර වේවි කියලා හිතලා වෙන්න ඇති.

    ReplyDelete
  4. ස්වීප් ටිකට් එකක් ගන්නවා කියන්නේ බලාපොරොත්තුවක් ඇති කරගැනීම විතරයි.දැන් දිනපතාම අදින ටිකට් තියෙන නිසා ඒ බලාපොරොත්තුව ඉටු වීම හෝ නොවීම දිනපතාම දැක ගන්න පුළුවන්.බලාපොරොත්තුවක් ඇතිවීමෙන් ජීවිතය ඉදිරියටම පවත්වා ගෙන යෑමට දිරි ගැන්වීමක් ලැබෙනවා.මහලු වියේදී විවිධ හෙතුන් මත ඒ කියන්නේ ආර්ථික සහ ආර්ථික නොවන හේතුන් මත බොහෝ අයගේ බලාපොරොත්තු නැති වෙලා තමන් හුදකලා වෙලා කියල හැඟීමක් ඇති වෙලා කියලයි ඒ අයට වැටහිලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හුදකලා බව කෙසේ වෙතත්.. පරාජිත බව නම් බොහෝ අයට තියෙනවා.. ඒ නිසා ජය ගන්න මෙවැනි හීන වල එල්ලෙනවා..

      Delete
  5. ඒක හොදයි. ඒ මනුස්සයගේ සතුට නේ

    ReplyDelete
  6. මමනම් දැන් පුතා අප්පච්චි සීයා කියන චරිත තුනම රඟපාලා තියනවා. රඟපාමින් ඉන්නවා. බොහොම කලාතුරකින් තමයි ස්වීප් ටිකට් ගන්නේ. ලොතරැයි කියන්නේ ලංකාවේ නීත්‍යානුකූලව කෙරෙන ලොකුම සූදුව. දැනට සෑහෙන කාලෙකට ඉහතදී මගේ ගුරුවරයෙක් තමයි කියලා දුන්නේ ලොතරැයියක් ඇදෙන්නට තියන සම්භාවිතාව ඉතාම කුඩා එකක් කියලා. ඊට පස්සේ තමයි අවුරුද්දකට එකක් විතර ස්වීප් ගන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්වීප් එකක් ගන්න ඕනෑ, දිනුමේ අගය අන්තිම ඉහල ගිය වෙලාවට විතරයි.

      මෙය ගණිතයේ එන expected value සංකල්පයෙන් විස්තර කරන්න හැකියි.

      Delete
    2. සංකරණ සංයෝජන පාඩමේදී ඉගෙනගත්තු හැටියට උදාහරණයක් දෙන්නම්.
      අපි හිතමුකො මහජන සම්පත ටිකට් එකක්. ඒකෙ ඉංග්‍රීසි අකුරකුයි තවත් ඉලක්කම් හයකුයි තියෙනවා. එතකොට ඒ ඇසුරෙන් හදන්න පුළුවන් එකිනෙකට වෙනස් ටිකට් ගණන .

      25x10x10x10x10x10x10 = 25000000

      දෙකෝටි පනස් ලක්ෂයක්. එතකොට ලංකාවෙ හැමෝම එක ටිකට් එක ගානෙ ගත්තත් තව ඉතුරුයි. ඒක හින්දා ඔක්කොම මුද්‍රණය කරන්නෙත් නෑ. මට ඔය ගැන කියා දුන්නු ගුරුවරයා කිව්ව හැටියට ලක්ෂ 50ක් වත් මුද්‍රණය වෙන්නෙ නෑ. ඉතින් දිනුම ඇදෙන්න නම් මුලින්ම ඒ ටිකට් එක මුද්‍රණය වෙලා තියෙන්න ඕනා. ඔය මේ පාර කාටවත් දිනුමක් නෑ කියන්නෙ ඒ ටිකට් එක මුද්‍රණය කරලා නෑ කියන එකලු.

      Delete
    3. ඔවු.. ඔය කතා තුන ම මාත් පිළිගන්නවා.. විචාරක මහත්තයගෙ රඟපෑම ට.. සුබ පැතුම්..

      Delete
  7. අනේ මන්දා ....භාවනා කරනකොට තන්හාව ඇතිවෙනවා කියල මම ඇහැව්වමයි.
    මමත් හෙට ඉඳන් පටන් ගන්නවා.........

    ReplyDelete
    Replies
    1. අන්න පොයින්ට් එකට ආවා.... භාවනා කරද්දි තණ්හාව නැති වෙනවා වගේ ම.. භාවනා කරන්ට .. ආර්ථික නිදහසක් තියෙන්ටත් ඕන..

      Delete
  8. මං ඔය සිංඩියේ රෙජිස්ටර් වගෙයි මතක.. කොයි එකටත් ඇඩ් කරන්නම්කො..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..