Saturday, December 19, 2015

අරුම පුදුම ආදරේ

                    
අරුම පුදුම සුහද මිතුරො මරා ගන්නආදරේ
පතාගෙනම ඇවිත් ඔතා බදා ගන්නආදරේ
දුකෙත් සැපෙත් එකට ඉඳිමු මැරෙමු කියනආදරේ
කාසි පනම් එක්ක පස්සෙ දොරෙන් යා ලුආදරේ
  
තරුණ කාලෙ කට්ටි පැනල' හොරෙන් කරපුආදරේ
බැන්ද ගමන් ලැයිසොන් එක ලැබෙයි නමටආදරේ
ඊට පස්සෙ හැදෙන ළමයි හටයි වැඩියආදරේ
පුදුම වැඩේ මතක නෑලු ඉස්‍සර බැඳිආදරේ
  
පංති ගානෙ අරං ගිහිං වැඩිම හින්ද'ආදරේ
පුංචි පුතේ වෙයං කියයි දොස්තර නංආදරේ
හංදි ගානෙ කරක් ගහල' ඌ බැඳුනමආදරේ
වංදි දැකිය හැක මානව හිමිකම් නැති ආදරේ
  
අපි නං ඔය කාලෙ කිසිත් කෙරුවෙ නෑ නෙආදරේ
ටිකක් ඉඳිං කල් තියෙනව' කරන්ට බොටආදරේ
හොඳිං කියල' බැරි උනොතින් බිඳ දමන්ටආදරේ
දෙයියො ඉන්නවා පිහිටට සල්ලි වලටආදරේ
  
දින සති හෝ මාස වලින් ගෙවිල යද්දිආදරේ
බැරිම තැනදි තරුණ ළමයි හඳ පානටආදරේ
අලුත් ළමයි ඉපිදෙනවා තුලින් අලුත්ආදරේ
නිමා නොමැති සකක් නොවෙද ලොවක් තනනආදරේ
  

Tuesday, December 8, 2015

Payroll Software හරහා EPF E-Returns

E - Returns ලෙස හඳුන්වන්නේ .. ඉලෙක්ට්‍රොනික ක්‍රමය හෙවත් මෘදු-පිටපත් (Soft Copy) භාවිතයෙන් E-Mail මඟින් හෝ .. Web Site එකක් හරහා.. යම් කිසි ගනුදෙනුවක් කිරීමේ ක්‍රියා පිළිවෙතයි.  විශේෂයෙන්.. පසුගිය කාලය තුළ විශාල වශයෙන් අවධානයට හා දියුණුවට ලක් වූ අංශයක් වූ.. පරිගණක, අන්තර්ජාලය සහ ඊ තැපෑල පාදක කරගෙන.. කඩදාසි භාවිතය, වැයවන කාලය හා ප්‍රායෝගික අත්වැරදීම් අවම කරගැනීම උදෙසා ගත් වැදගත් පියවරක් ලෙස.. මෙම E - Returns නොහොත්.. E-Transfer ක්‍රමවේදය හැඳින්විය හැක.. 

ආයතනයක් විසින් මාසිකව කරන ගනුදෙනු අතර.. සේවකයින්ගේ මාසික වේතන ගෙවීම, සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලට මුදල් ගෙවීම, උපයන විට බදු ගෙවීම ආදිය දැක්විය හැක.. මේවා අතරින් බොහොමයක් අද වන විට.. ඉහත කී E-Returns System එකක් උපයෝගී කරගෙන ගනුදෙනු කිරීමේ පහසුව සලසා තිබීම විශාල වාසියකි. 

සේවකයින්ගේ වැටුප් E-Transfer ක්‍රමයට යැවීමේ පහසුව.. මේ වන විට.. වාණිජ්‍ය බැංකු බොහොමයක් ලබා දෙන අතර.. මෙහිදී සේව්‍යයාගේ ගිණුමේ සිට කෙලින්ම අදාල සේවකයාගේ ගිණුමට මුදල් බැර වේ. මෙහිදී සේවකයා සහ සේව්‍යයාගේ ගිණුම් එකම බැංකුවක තිබීම අත්‍යවශ්‍ය නොවන නමුත් සේව්‍යයාගේ ගිණුම... අදාළ පහසුකම සපයන බැංකුවක තිබීම අත්‍යවශ්‍ය වේ. 

මහජන බැංකුව, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව.. ඇතුළු විශාල බැංකු ප්‍රමාණයක් මෙම පහසුකම සපයයි.. මෙහිදී.. එක් එක් බැංකුව විසින්.. සේවක වැටුප් ආශ්‍රිත ගිණුම් දත්ත ලබා දෙන ක්‍රමවේදයක් (Format එකක්) දක්වා ඇති අතර.. එම ක්‍රමවේදයට අනුව අදාළ  (text file) ගොනුව සකස් කිරීම පහසු කර ගැනීමට Excel File එකක ක්‍රියාත්මක වන කුඩා මෘදුකාංගයක් ද බොහෝ බැංකු විසින් ලබා දේ.. .. එම Excel File එකෙහි දැක්වෙන පිළිවෙලට එම තොරතුරු ඇතුළත් කළ පසු.. එය අවශ්‍ය ආකාරයට text file එකක් බවට පරිවර්තනය කර ගැනීමේ පහසුකම මෙම කුඩා මෘදුකාංගයෙහි ඇත. එහෙත්.. වේතන ගනණය කිරීම සඳහා භාවිතා කරන Payroll Software එකක් භාවිත කරන්නෙකුට.. බොහෝ විට අදාළ පහසුකම නිතැතින්ම හිමි වේ. එවිට.. එක් එක් සේවකයාගේ වැටුප් විස්තර.. නැවතත්.. Excel File එකට ඇතුළත් කිරීමේ අවශ්‍යතාවයක් පැන නඟින්නේ නැත. 


මහ බැංකුව යටතේ පවතින් EPF සහ ETF සඳහා වන ගෙවීම් මාසිකව ලබා දීම ද.. ආයතනයක ඇති ඉතාම භාරදූර කාර්යයකි.. මෙහිදී.. මාසික EPF සඳහා... C Form ද, මාසික ETF සඳහා.. R4 Form එක ද ලබා දිය යුතුව ඇත. එහෙත් සේවකයින් වැඩි ගනණක් සිටින ආයතන වලට  සය මාසයකට වරක්  ලබා දිය හැකි.. ලෙස C3 Return හා Form II Return  පිළිවෙලින් EPF හා ETF වෙනුවෙන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබුණි.. 
 


නව E - Returns ක්‍රමය හඳුන්වා දීමෙන් පසු.. පැරණි ක්‍රම භාවිතයෙන් ඉවත්වන්නැයි (විශේෂයෙන් සේවක සංඛ්‍යාව 50 ට වැඩි ) ආයතන වලින් ඉල්ලා සිටියද එම ක්‍රමය භාවිත කළේ සුළු පිරිසකි.. එහෙත් දැන් දැන් එම ඉල්ලීම ඉතා තදින් සිදු කරන නිසා.. එයට යොමු වන පිරිසෙහි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව අප වටහා ගත්තේ.. අපගේ පාරිභෝගිකයන් රැසක් මෙම ක්‍රමය වෙත යොමු වීම නිසාය..

අප සමාගමේ BizPay - Payroll මෘදුකාංගය මෙම කාර්යයෙහි ලා ඔබට ලබා දෙන පහසුකම ගැන අපට සහතික විය හැකි බව පවසන්නේ ඉමහත් සතුටිනි..



Thursday, December 3, 2015

වාහන ආදායම් බලපත.. ඔන්ලයින් අලුත් කිරීම



අන්තර්ජාලය හරහා විවිධ පහසුකම් අත්විඳිමින් දිවිය පහසු කරගන්ට වැඩි කැමැත්තක් ඇති මට අද තවත් අලුත් අත්දැකීමක් ලැබුණා.. ඒ තමයි වාහනයේ ආදායම් බලපත්‍රය (Revenue License) අන්තර්ජාලය හරහා ලබාගත හැකි වීම. පේන විදිහට මේක අද ඊයෙ ආරම්භ කරපු දෙයක් නෙවෙයි.. අඩු වශයෙන් අවුරුදු දෙකක්වත් වෙනවා.. ඒත් අපි මේ ගැන හරි හැටි දැනුවත් නොවීම නිසා.. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල කොයි තරම් නම් රස්තියාදු වෙනවද?

මේ පහසුකම මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලය (බස්නාහිර පළාත) මඟින් දෙනවා කියලයි කියන්නෙ. මේ සඳහා බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වාහන වලට පමණක් අවස්ථාව ලැබෙනවා කියලා විස්තරයේ සඳහන් වුවත්.. නැගෙනහිර, උතුරු මැද සහ දකුණු පළාත් සඳහාත් මේ පහසුකම ඇති බව පෙනෙන්නට තිබෙනවා..

මෙකී පහසුකම සඳහා පිවිසීම ලබාගන්නට ක්‍රම දෙකක් දැනට හමුවුණා..මෙයින් මං ගියේ ටිකක් විතර හොයාගන්ට අමාරු පාරෙ..
අමාරු පාර - www.gov.lk
 www.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.. එහි තිබෙනවා සෙවීම් කොටුවක් (Search Box) එහි.. revenue license ලෙස ටයිප් කිරීමෙන් පසු දිස්වන Drop Down Menu එකේ Revenue License (New/Renew) ලෙස තිබෙනු ඔබට දැක ගත හැකියි.. එය තෝරාගැනීමෙන් පසු ලැබෙන පිටුවේ.. මේ පහසුකම ලබා ගැනීම සඳහා සහාය දෙන.. රක්ෂණ ආයතන සහ දුම් පරීක්ෂණ ආයතන මොනවාද කියා සටහන්ව තිබෙනවා..

ලේසි පාර.. www.motortraffic.wp.gov.lk
www.motortraffic.wp.gov.lk.. වෙත පිවිසෙන්න.. එහි මැද හරියෙ  වම් පසින් තිබෙනවා.. අපේ ආදායම් බලපත්‍රයේ හැඩයට සකස් කළ පිංතූරයක්.. 

මෙන්න මේ විදිහෙ.. ඔන්න ඔතනට කෙටුවාම.. යොමු වෙනවා තැනකට.. ඒකත් අර අමාරු පාරෙන් ගිහාම හමු වෙන තැන වගේමයි.. ඒ විස්තර ටිකමයි තියෙන්නෙ.. මෙතැන ඉඳං.. පාරවල් දෙකේ ම තියෙන්නෙ එකම ක්‍රියා මාර්ග ටික..

දැං ඔය ඉන්න පිටුවේ දකුණු පස පහත Login බොත්තමක් තිබෙනවා.. ඔබට දැක ගත හැකියි..
දැන් ඔබට තිබෙන්නේ.. Login බොත්තම ඔබා ඔබට ලැබෙන තේරීම් අතරින් එකක් තෝරා ගැනීමයි.. මා නම් තෝරා ගත්තේ Google. ඔබ කැමති නම්.. Facebook හෝ LinkedIn තෝරා ගත හැකියි.. කෙසේ වෙතත් ලොගින් වීමෙන් අනතුරුව තමයි සැබෑ ක්‍රියාදාමය පටං ගන්නේ.. දැන් පහළ දකුණු පස තිබෙනවා බොත්තම් තුනක් .. Check Status, Renew License, First License කියලා.. 

 First License කියන්නේ.. වාහනයක් ලංකාවෙ ලියාපදිංචි කිරීමෙන් පස්සෙ ගන්න පළවෙනි ආදායම් බලපත්‍රය ගන්න එක..
 Renew License කියන්නේ.. වාහනයක ආදායම් බලපත්‍රය අලුත් කරන එක..
Check Status කියන්නේ.. වාහනේ ආදායම් බලපත්‍රයේ තත්වෙ කොහොමද කියලා හොයා බලන එක..

ඉතිං අපි තෝරන්න ඕන..  Renew License කියන එක.. ඊට පස්සෙ මතු වෙන පිටුවෙ තියෙනවා.. පළාත තෝරන්න.. වාහනේ අංකය සටහන් කරන්න..  පහළින් තිබෙනවා පරණ බලපත්‍රයේ අංකය සහ වාහනයේ චැසි අංකය සටහන් කරන්න.. ඊට පස්සෙ OK බොත්තම එබුවාම.. එන්නෙ අලුත් පිටුවක්..

අලුත් පිටුවෙ.. රක්ෂණ සමාගම සහ  දුම් පරීක්ෂණ ආයතනය තෝරාගෙන.. ඒවා වලංගු ද කියලා පරීක්ෂා කරන්න බොත්තම් තිබෙනවා.. ඉන් පසුව සම්පත් බැංකුවේ Payment Gateway එක හරහා ඔබේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවීම කොළා ම... තාවකාලික බලපත්‍රයක් ලැබෙනවා.. ඒක මුද්‍රණය කරගෙන භාවිතා කරන්ට පුළුවන් තාවකාලිකව.. සතියක් ඇතුළත.. වාහනය ලියාපදිංචි කළ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ඔරිජිනල් ලැයිසොම හෙවත් Original Copy of Revenue License ලැබෙන බවයි කියන්නෙ.. 

මෙම පහසුකම වෙනුවෙන්.. 2%ක විතර සේවා ගාස්තුවකුත් අය කරනවා.. ඒත් ඉතිං අපට ලැබෙන පහසුව එක්ක ඒ මුදල සාධාරණයි කියලා මට නං හිතෙන්නෙ.. මේ සේවාව අනෙක් පළාත් වලටත් ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා..


Tuesday, December 1, 2015

අලුත් බ්ලොග් එකක් සාදා ගැනීම ! Create a new blog in blogger

කවි, කතන්දර හෝ වෙනත් ලේඛන ලිවීම සඳහා මෙන්ම තමන් ලියූ දෑ ආරක්ෂිතව තබා ගැනීමට ඇති අපූරු තැනකි බ්ලොග්(Blog).
මෙහිදී බ්ලොග් එකක් සාදා ගැනීම යන කරුණ තවමත් නුහුරු අය වෙනුවෙන් මේ ලිපිය ලියන්නට සිතුවෙමි.

බ්ලොග් භාවිතය හා සබැඳි වචන කිහිපයක් මුලින් ම හඳුනාගනිමු. 

Blog :  Web Log යන වදන කෙටි නාමය Blog වන අතර මෙය තොරතුරු සටහන් කළ හැකි වෙබ් අඩවියක් ලෙස හැඳින්විය හැක.
Blog Post : බ්ලොග් ලිපිය/සටහන
Blogger: බ්ලොග් සටහන් කරුවා
Layout/Template: බ්ලොග් එකේ සැකැසුම
Widget/Gadget: බ්ලොග් එක තුළ පිංතූර, සටහන් හෝ වෙනත් කිසියම් පහසුකමක් සපයන අයිතමයකි.

බ්ලොග් පහසුකම නොමිලේ සපයන ප්‍රධාන තරඟකරුවන් වන්නේ Wordpress (වර්ඩ්ප්‍රෙස්) සහ Blogger (බ්ලොගර්) යන ආයතන වේ. පළමුව බ්ලොග් එක සෑදීම සඳහා ඔබ තෝරාගන්නේ Wordpress ද නැත්නම් Blogger ද කියා තීරණය කළ යුතුය.

ඔබේ තේරීම බ්ලොගර්(Blogger)  නම්..
  • ගූගල් හා සම්බන්ධ යෙදුමක් ලෙස භාවිත වන බ්ලොගර් සම්පූර්ණයෙන්ම නොමිලේ අපට ලැබෙන පහසුකමකි. මේ සඳහා මූලික වශයෙන් ගූගල් ගිණුමක් අවශ්‍ය වේ. ඔබ gmail ගිණුමක් හිමි අයෙක් නම් නිරායාසයෙන්ම ඔබට ගූගල් ගිණුමක් හිමි වනු ඇත. 
  • ඔබගේ Web Browser එකේ URL Box එක හෙවත් Address Bar එකේ.. blogger.com ලෙස ඇතුලත් කරන්න.. ඔබගේ මුරපදය (password) යොදා ගිණුමට ඇතුළු වන්න. ඊළඟට මතු වන තිරයේ, DisplayName යටතේ.. ලිපි වල ඔබගේ නම දිස්විය යුතු ආකාරයට සටහන් කරන්න. 
  • දැන් Create a new blog තිරය මතු වූ පසු.. එහි Title ඉදිරියෙන් ඔබගේ blog එකේ නම සටහන් කරන්න. Address කොටුවෙහි බ්ලොග් එකෙහි ඇඩ්‍රස් එක (ඔබ ගේ බ්ලොගය goodauther යැයි සිතුවොත්.. එය goodauther.blogspot.com ලෙස සටහන් කරන්න. දැන් ඔබ කැමති Template Design එකක් තෝරාගත යුතුය.. (අවශ්‍ය නම් පසුව වෙනස් කරගැනීමේ හැකියාව ඇත.) 
  • දැන් ඔබගේ බ්ලොගය සාදා අවසන්ය. New Post බොත්තම එබීමෙන් ඔබට ඔබගේ වැඩ කටයුතු ආරම්භ කළ හැක. 

එහෙත් ඊට පෙර කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරමු. 

වම් පස කෙළවරෙහි ඇති Tabs අතරින් Settings Tab එකත් එහි Basic ටැබ් එකත් තෝරාගන්න.

  • Blog Title එක අවැසි නම් වෙනස් කරන්න
  • කෙටි විස්තරයක් Description කොටුවෙහි ලියන්න
  • HTTPS Settings : බ්ලොගර් විසින් ලබා දුන් ඩොමේනයක් හැර වෙනත් ඩොමේනයක් භාවිත කරන්නේ නම් මෙම පහසුකම හිමි නොවේ.. බ්ලොගර් ඩොමේනයක් භාවිත කරනවා නම්.. මෙය Yes කියා තෝරන්න..
  • Permissions යටතේ.. බ්ලොග් එක සඳහා කර්තෲන් එක් කර ගත හැකි අතර කියවන්නේ Public නම් සියළු දෙනා දැක්වෙන අතර අවැසි නම් නම් කළ කිහිප දෙනෙකුට පමණක් වුවද කියැවිය හැකි ලෙස සකසා ගත හැක.  
  • දැන් ඔබ ගේ Basic Settings ටික Save කර ගන්න.
Posts and Comments ටැබ් එක තෝරන්න
  • ඔබගේ ලිපි වලට ප්‍රතිචාර (Comments) දැමිය හැක්කේ කාටදැයි තෝරන්න..(Anyone තේරීමෙන් එය හැමෝටම කළ හැකි වනු ඇත. )
  • Moderate මඟින්.. ප්‍රතිචාර පාලනය කළ හැකි නමුත්.. එය ප්‍රතිචාර දක්වන්නන්ව අසීරුතාවට පත් කළ හැකි නිසා.. Never යන්න තේරීම සුදුසුය. 
  • Show word verification : ස්පෑම් ප්‍රතිචාර වළක්වා ගැනීමට ඇති මෙම පහසුකම භාවිතා කිරීම නිසා පාඨකයින් අපහසුතාවට පත්වන නිසා... මෙය ද අක්‍රීය කර තැබීම සුදුසුය. 
  • දැන් මේ Settings ටිකත් Save කර ගන්න.
Layout ටැබ් එක තෝරන්න
  • About Me ගැජට් එක මඟින් ඔබ ගැන විස්තරයක් ඉදිරිපත් කළ හැක. Edit බොත්තම භාවිත කර අවශ්‍ය වෙනස් කම් සිදු කළ හැකි අතර.. අවශ්‍ය නම් මෙම ගැජට් එක ඉවත් කරන්නටද පුළුවන. 
  • මේ ආකාරයට Layout එකේ ඇති ගැජට් ඉවත් කිරීම මෙන්ම අලුත් ගැජට් ඇතුළත් කිරීම ද සිදු කළ හැක. 
  • දැන් මේ Settings ටිකත් Save කර ගන්න.
දැන් ඔබට ඔබගේ මුල්ම ලිපිය ලියා පළ කළ හැක.
  • New Post බොත්තම එබීමෙන් නව ලිපිය සඳහා තිරයක් ලැබේ
  • Post කොටුව තුළ.. පෝස්ටුවට අදාළ මාතෘකාව සටහන් කර පහළ විශාල කොටුව තුළ සටහන සටහන් කරන්න.. 
  • එහි තමාගේ සටහන මෙන්ම අවශ්‍ය පිංතූර, වීඩියෝ ආදිය ද ඇතුළත් කළ හැක. 
  • සටහන සම්පූර්ණ නම් Publish බොත්තම එබීමෙන්.. ඔබගේ නව ලිපිය.. අන්තර්ජාලය හා මුසු කළ හැක.. 
  • සටහන අවැසි පරිදි Label කිරීම සහ Schedule කිරීම කළ හැකි අතර අවශ්‍ය නම් Publish නොකර නිම නොකළ සටහනක් (Draft එකක්)  ලෙස Save කර තැබිය හැක
පසු සටහන : Word Press බ්ලොගයක් සාදාගන්නා ආකාරය (අවශ්‍ය නම්) ඊළඟ ලිපියෙන් දැක්වීමට බලාපොරොත්තු වෙමි..


Friday, November 27, 2015

කාව්‍ය චතුෂ්කය

පසුගිය පොහෝ දින සේන අම්බලම්ගොඩ ගුරු පියාණන් බැහැ දැකීමට ගිය අප හට එතුමාගෙන් වටිනා කියන පාඩමක් උගත හැකි විය. ඒ කාව්‍ය චතුස්කය නම් දුෂ්කර බන්ධනයක් ගැනයි. ඒ පිළිබඳව කිසිවෙකු මුහුණු පොතෙහි විමසා සිටි බවත් .. එයට පිළිතුරු දීමට තමාට අවස්ථාවක් නැති නිසා එයට පිළිතුරු දෙන ලෙස ඉල්ලා සිටිමින් එකී පාඩම අප වෙත ඉදිරිපත් කළ නිසා මෙම සටහන තබන්නට සිතුවෙමි..

පළමුව ඉහත රූපයේ දැක්වෙන ලෙස අංකනය කරගත යුතුය. තැඹිලි පාටින් දැක්වෙන කොටු වල එනම් 1,8 හා 16 කොටු වල .. යෙදෙන්නේ එකම අක්ෂරයකි. එම අක්ෂරය අපාය අක්ෂරයක් විය යුතුය.. කහ පාටින් දැක්වෙන කොටු වල එනම් 4 හා 12 කොටු වල..යෙදෙන්නේ එකම අක්ෂරයකි.. වෙනස් පද වල මෙම අක්ෂරය වෙනස් ව යොදා ගත හැක. ඔරලෝසුවේ කටු කැරකෙන අතට කියැවීමෙන් සම්පූර්ණ පැදිය කියැවිය හැක.මේ කාව්‍ය චතුස්කය මට මතක තියෙන විදිහයි.. වැරදි ඇතොත් පෙන්වා දෙන මෙන් එදා මා හා පාඩම උගත්.. සම්පත් සුදුසිංහ සහ සුසන්ත දන්දෙනිය ගමගේ සොයුරන්ගෙන් ඉල්ලා සිටිමි. මේ මා ගත් උත්සාහයකි.  

ම ගෙ හි තේ ත නි ව ම ද ස අ තේ පැ ති ර ම 
ම ර බි යක් ති බු ණ ම සි හි න යක් වි ල ස ම 
ම ට එ පා ත නි ක ම කි ම අ පා දු ක මෙ ..ම 
ම ත ක හා හු රු ක ම ය ළි ලෙ හා ග මි ම ම

Wednesday, November 18, 2015

බැරි දා විග්‍රහය!"ජනවාරි අට"

සුප්‍රකට "ජනවාරි අට" පෙරැළියෙන් පසු, දස මසකට වඩා මඳක් ගෙවී ගොස් අවසන් ය.. අලුත් ජනපති.. අලුත් ආණ්ඩුව ගැන මැසිවිලි බොහෝ ය. ඒවා අසාධාරණ ද නොවේ. ඒවාට ආණ්ඩුව පැත්තෙන් පිළිතුරු ද ඇත. ඒවා ද අසාධාරණ නොවේ. එසේ නම්.. අසාධාරණ වන්නේ කුමක් ද? අප සෙවිය යුත්තේ ඒ ගැන ය.
බලාපොරොත්තු අසාධාරණය.. 
"මුං" වපුරා.. "තල" අස්වැන්නක් බලාපොරොත්තු විය හැකිද? 

සමාජය අසාධාරණය.. 
දේශපාලකයින් බහුතරය විසින් අලුත් ජනපති හා අලුත් ආණ්ඩුව පිළිගත්ත ද, බහුතර නිළධාරීන්, බහුතර ව්‍යවසායකයින් මෙන්ම සැළකිය යුතු ජනතාවක් ද දකින්නේ අප්පොච්චි සිහිනයයි.

ජාත්‍යන්තරය අසාධාරණය..
පසුගිය රජය ජාත්‍යන්තර සම්බන්ධතා කෙරෙහි දැක්වූ අදූරදර්ශී ප්‍රතිපත්ති වෙනුවට පැහැදිලි ලෙස ම බොහෝ ප්‍රධාන රාජ්‍ය සමඟ අත්වැල් බැඳගෙන ගමන් කරන්නට උත්සාහ ගන්නා බවක් පෙනෙන මොහොතක ජාත්‍යන්තරය තුළ වර්ධනය වන යුධ වාතාවරණය අප රට කෙරෙහි කරන බලපෑම අයහපත් එකක් බව පැහැදිලිය..

විපක්ෂය අසාධාරණය..
රටේ දහසකුත් එකක් ප්‍රශ්න තිබියදී.. තම තමන්ගේ හිතවතුන් හට නීතිය හමුවේ ඇති ප්‍රශ්න විසඳාගැනීම ගැන අවධානය යොමුකිරීමත්.. සැබෑ ප්‍රශ්න විසඳා ගැනීමට ආණ්ඩුව හා උරෙනුර ගැටී නොසිටීමත් යහපත් දෙයක් නොවේ..

ආණ්ඩුව අසාධාරණය..
පළමුව සාධනීය ක්‍රියාත්මක වීමක් නැති අයවැයක් ගෙනාවේය. දෙවනුව.. හොරුන්ට ඇමතිකම් දුන්නේය.. ඊළඟට කම්බා හොරුන්ට සුදු හුණු ගෑවේය.. පොලීසිය ලවා දරුවන්ට ගැහුවේය.

කොහොම උනත්..
බහුතර ජනතාව ජීවත් වන්නේ ඉඡ්ඡා භංගත්වයෙන් බව සැබෑවකි.. විශේෂයෙන් පොදු ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ග රැසක් බරපතළ ලෙස අර්බුදයට ලක්ව ඇත. ඒ අතර තේ සහ රබර් ප්‍රමුඛ ය. සුළු හා මධ්‍ය පරිමාණ තේ ගොවියා අන්ත අසරණ වී ඇත.. මිළ ඉතා ප්‍රබල කඩා වැටීමකට ලක්ව ඇති අතර කාලගුණයේ ගැටළු නිසා.. අස්වැන්න ද අඩු වී ඇත.. රබර් වගාවටත් එම සෙතේ ම ය. මේවාට මධ්‍යකාලීන හා දිගු කාලීන විසඳුම් මිස.. කෙටි කාලීන විසඳුම් ඇතැයි මට නම් නොසිතේ.. විශේෂයෙන් කසළ තේ ජාවාරම් කරුවන් නිසා ලංකාවේ තේ වල ගුණාත්මක බවට සිදුවන හානිය වැළැක්වීම සඳහා වහා පියවර ගත යුත්තේ.. තවමත්.. තේ යනු ප්‍රධාන අපනයන භෝගයක් වන නිසා සහ.. ඒ වෙනුවෙන් ඇති යටිතල පහසුකම් සහ තාක්ෂණය අපතේ නොහැරිය යුතු නිසාය..
එළවලු පට්ට ගණං ය. අපි කන රතු කැකුළු නම්.. ජනවාරියේ 95ට තිබුණු අතර දැන් 60 කට විතර ගත හැකිය.. ඒත් සමස්ථයක් ලෙස අනෙක් සහල් වර්ග මිළ ඉහළ ගොස් ඇත.. අපේ ජනතාවගේ ප්‍රධාන ආහරය වන පරිප්පු 200ට ගිය ද.. අපි පරිප්පු නොකා අරින්නේ නැත.

අපට "ජනවාරි අට" පෙරැළිය ගැන සතුටු විය හැකි ද?
ඇත්තෙන්ම පුළුවනි.. ජීවිත අවධානමකින් තොරව.. ආණ්ඩු විරෝධී ලිපියක් ලියන්නට වුවද... අපට අයිතියක් ඇති බවට වූ විශ්වාසයක් අපට ඇත..
(ඔවු ගෙදරින් එළියට බහිද්දී ආපහු එන්ට ලැබෙයි කියා විශ්වාසයක් නොවූ යුගයක් ද අපට තිබුණි. ඒ යුගය අවසන් කළ රණවිරුවන්ට, ආරක්ෂක ලේකම් තුමාට සහ එවක ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට නිතැතින්ම ප්‍රණාමය හිමිවෙයි)

නිදහසේ නාමයෙන් අප එක් පියවරක් ඉදිරියට ගොස් ඇති බවක් දැනෙන බව කිවයුතුය..

Wednesday, November 11, 2015

සෝභිත සමිඳුනි .. නිවන් සුව!

            
සොයමින් නිවන් මඟ අතහැර මඟසැපවත්
දහමින් උගත් බෙදමින් දම් රස සරුවත්
නැගිටිය යුතු තැනදි නොතැකූ තමදිවි වත්
හිමියනි අපයි අසරණ නුඹ වියඅපවත්
  
සැම විට පතළ කළ කරුණා සෙනේසිත
උස් මිටි කමක් කළු සුදු භේදයක්නැත
හිමියනි නුඹ පැතුව යහපාලනේමත
හෙළ බොදු ලකුණ වෙන කාටත් වඩාඇත
  
නිසැකව මතු හෙළයෙ දම් මල් පිපේවා
යහ ගුණ දහම මිනිසත්කම් රැකේවා
නුඹ පැතු ලොව ම අප හට මතු ලැබේවා
නිබඳව මතු නිවන් මඟ මුණගැසේවා
  

Tuesday, September 22, 2015

බැරිදා විග්‍රහය! සාහිත්‍ය මාසයේ මගේ සතුට

මේ සාහිත්‍ය මාසයය..
මං.. බලන්ට ගිය.. ප්‍රදර්ශනයක් නෑ ය.. ඒත්.. විජය මාපලාන කවියා ට පින් සිදු වෙන්ට . කවි පොතක් මට ලැබුණේ තැපෑලෙන් නොමිලේ ම ය.. ඒ හැර මා මේ මාසයේ මිළ දී ගත් පොත් දෙකක් ය(අභ්‍යාස පොත් හැර) .. ඒ දරුවන්ගේ පාසලේ පුස්තකාලයට පිරිනැමීමට ය.. පොත් දෙක ම.. සිබිල් වෙත්තසිංහ නැන්දාගේ ය.. දෙකම ගුණසේන ප්‍රකාශන ය. දෙක ම පරිවර්තන ය. එකක්.. Thambaya Takes a ride ය. අනෙක The Seven Lives ය.
කට්ටිය ම පොත් පෙරලද්දි.. අලුත් පොත් නැති මං ගැන මට දුක සිතුණා වගේ ය.. ඉතිං මං ඊයේ ප්‍රශ්න දෙකක් ඇහුවේ ඒකය.
ඒ..
පොත් බලන්නෙ හොඳ මිනිස්සු ද?
පොත් බලන මිනිස්සු හොඳ ද?
කියා ය..
ඒකට උත්තර දීපු හුඟක් ඈයො කීවේ.. පොත් බලන එකෙයි.. හොඳ කමෙයි.. ඒ හැටි සම්බන්ධයක් නැති බව ය. ඒත් මූණු පොතේ ශෙයාර් වන පෝස්ටු වලින් එහෙම බවක් පේනවා අඩු ය.
එක් කෙනෙක්.. තමන් ගත්තු පොත් ගැන.. ඩිස්කවුන්ට් ගැන.. ගිය වියදම ගැන.. ලොකුවැයින් පොර ටෝක් දෙන අතරෙ.. කමෙන්ටු .. වලට එසැණින් පිළිතුරු දීලා තිබුණෙ පොත් ගැන තිබුණු උනන්දුව ට ම වෙන්ටෝනෑ ය.. ඒත් එක කොමෙන්ටුවකින්.. ඒ කොමෙන්ටු සැෂන් එක නිමා වෙලා තිබුණේ පුදුම විදිහට ය.. ඒ කොමෙන්ටුවෙන් අහලා තිබුණෙ ප්‍රශ්නයක් ය..
ඒ..
ඔයා කියවලා ඉවර වෙලා ඔය පොත් ටික අපටත් කියවන්ට ශෙයාර් කරගන්න කැමතිද?
කියා ය...
කොහොමින් කොහොම හරි.. අද මට මතක් උනේ.. අත නොතියපු පොත්.. අට්ටියක් මා සතුව ත් තියෙන වග ය. ඒක දිග කතාවක් ය.. ඒත් ඒක මගේ වරදකින් ම මට ලැබුණු තෑග්ගක් නිසා.. කියන්ට ම ඕනෑ ය..
මීට අවුරුද්දකට විතර (සමහර විට ඊටත් වැඩිය ඇති ය) ඉස්සර සඳස් කවි මඩුව කියලා කවි තරඟයක් තිබුණේ.. Jani Wasanthi සොයුරිය ගේ මූලිකත්වයෙන් ය..
ඔන්න ඒකෙ.. මාත්.. විනිසුරුවෙක් විදිහට උන්නා ය. ඉතිං.. අපි එක දෙක තුන එහෙමත් තේරුවා ය. ජානි ට.. ඕනෑ උනේ.. කට්ටියට.. ග්‍රෑන්ඩ් තෑගි ටිකක් .. හෙවත් පොත් ටිකක් දෙන්ට ය. ජානි හිටියේ නොරට නිසා.. ඒ කෙරුවාවත් මට බාර උනේ.. අපි දෙන්නගෙ ඇති උනු පිට් එක එතරම්ම වූ නිසාටත් වඩා.. එහෙං කියද්දි මෙහෙං බාර ගත්තු නිසා ය.
ජානි පොත් ටික ගන්ට මට සල්ලිත් එවුවා ය. ඒ රුපියල් වලිං ම දහ දාහක් ය.. විවේකෙ කොච්චර අඩු උනත්.. මාත් සරසවියට.. විජිත යාපා එකට.. එහෙම ගිහිං.. හොඳවැයිං පොත් ටිකක් ගත්තේ.. කස්ටියට දෙන්ට හිතාන ය.. රුපියල් තුන්දාහකට ටිකක් අඩුවෙන් වියදම යන්ට ඇති ය. තවත් පොත් ටිකක් ගන්ට තිබුණත් ඒ ටික ගන්ට ඉස්පාසුවක් ආවේ ම නැති ය. ඒ අතර සහතික පතක් ද ගහන්නට හිතා.. ඒකක් ද අමාරුවෙන් මං විහින් ම ඩිසයින් කළේ ඇඟේ අමාරුවට නොවේ ය. අන්තිමේ කාලය වේගයෙන් ගියේ ය. ජානි මාත් එක්ක තිබ්බ පිට් එකට මොනා උනාද දන්නේ නැති ය. ඇගේ දහදාහට මං කෙලියා කියා හිතුවාද දන්නෙත් නැති ය. එක් දිනක පමාව ට සමාවත් ඉල්ලාගෙන ඉතුරු කොටහ කරන්නට සැරසෙද්දි ජානි කිවුවෙ දැං වැඩක් නෑ කියා ය.
මගේ ඔළුවට පොල්ලෙන් ගැහුවා නම් ඊට වඩා සැප ය. එහෙනං ඉතිං.. එකවුන්ට් නොම්මරේ දෙන්ට මං සල්ලි ටික දාන්නම් කියා මං කීවේ වෙන කියන්ට දෙයක් නැති නිසා ය. ඊටත් කාලයකට පසු.. දැන් මාස කීපයකට පෙර.. මට එකවුන්ට් නොම්මරයක් ඇය දුන්නා ය. මගේ බිරිඳ ට කියා.. දහදාහම තැන්පත් කළේ.. ඒ සල්ලි දෙනකං මට ඉස්පාසුවක් නොතිබුණු නිසා ය. සල්ලි දාලා .. දාපු බව කිවුවම.. ජානි කිවුවේ.. ඒ සල්ලි දුන්නේ.. මූණු පොතේ .. මොකද්ද සත්කාර්යයකට බව ය.. ඒ පාර.. මට දැනුණේ මගේ ඔලුව උඩිං ටැක්ටරයක් ගියා වගේ ය.
බැරි මඟුල් බාර ගන්නවාටත්.. අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නවාටත්.. මේවා හොඳ පාඩං ය..ඒත්..අන්තිමේ එක හොඳක් උනේ ය..
එදා ගත්තු පොත් ටික මගේ ය. ඒ ටික මට අගේ ය.. දැං.. ඒ ලිස්ට් එක මට දැම්මෑකි ය.

Friday, September 18, 2015

නවක ගායිකාවක ගේ ගුණදම්

මගේ දුව ට.. පහුගිය සැප්තැම්බර් හය වෙනිදට.. අවුරුදු 8ක් සම්පූර්ණ උනා.. එයා ඉගෙන ගන්නෙ තුන්වැනි වසරෙ නෙ.. ඉතිං.. දැං.. ටික ටික තේරෙනවා.. ඉල්ලීම් එහෙම වැඩි වෙනවා.. උපන්දිනේ සමරන්ට යාළුවො දෙතුන් දෙනෙක්ටත් එන්ට කියන්ට ඕනි කියලා ඉල්ලීමක් ඉදිරිපත් උනා.. ඉල්ලීම දිහා සාධාරණව බලපු මගේ බිරින්දැ.. ඒකට එකඟ උනත්.. පවුලෙ කට්ටිය විතරක් සහභාගි වෙන සාම්ප්‍රදායික උපන්දින සාදයට .. මේ දරුවොත් එකතු උනොත්.. දෙගොල්ලන්ම බලාපොරොත්තු වන සුන්දර විනෝදය අහිමි වෙන්ට පුළුවං කියලා හිතපු මං යෝජනා කළා.. දරුවන් එක්ක සාදය ඊළඟ සතියට කල් දාන්ට.. ඒ වගේම සාදය වෙනුවට දුවගෙ යාළුවො වෙනුවෙන්.. අපේ ගෙවල් වලට වැඩි දුරක් නැති.. සීතාවක උද්භිද උද්‍යානයේ එකී දවස ගත කරන්ට..
ඉතිං.. මේ යෝජනාවට.. හැමෝම එකඟ උනු හින්දා.. දුවගෙ යාළුවොයි.. එයාලගෙ මවු දෙමවුපියොයි එක්ක අපි උද්‍යානෙට ගියා.. තවම බලන්ටය කියලා ඒ තරම් ම දෙයක් නැතත්.. සිරි නැරඹීමේ අදහසින් ඒ පැත්තෙ ගියත් ඒ තරම්ම පාඩුවක් නොවෙන්නෙ.. අක්කර එකසිය ගානකින් හැට ගානක් ම.. ඇවිදින්ට පුළුවන් වෙන තරමට වැඩ අවසාන කරලා තියෙන නිසා.. කොහොම උනත්.. අපි නම්.. ඇතුළු වෙලා.. මුල්ම හරියෙ හමු වෙන.. කුඹුක කියලා හඳුන්වන කුඹුක් ගස් වලින් පිරුණු ප්‍රදේශය පහු කරලා ගියේ නෑ.. ඒ ඉතිං.. ළමයි .. එල්ලගෙන එහෙම ලොකු දුරවල් ඇවිදින්ට බැරි නිසා.. ඒ අතරෙ.. මඟුල් ජෝඩු ඇතුළු විවිධ කණ්ඩායම්.. විවිධ ආකාරයේ.. රූගත කෙරීම් වල නිරතව ඉන්න බවත් දැනගන්ට ලැබුණා..

මේ අතර එක විදිහකට ඇඳගත්තු තරුණ ගෑණු ළමයි දෙන්නෙක්ව කොල්ලො ටිකක් වට කරගෙන රූගත කිරීම් කරන ආකාරයත් අපට දකින්ට ලැබුණා.. සිංදු වීඩියෝවක් සඳහා මේ රූගත කිරීම් කරනවා කියලයි කිවුවෙ.. ඔය අතරෙ.. එතන හිටපු එක ගෑණු ළමයෙක් එක්ක අපේ දූලා.. බොහොම හිතවත් උනා.. කොයි තරම් හිතවත් උනා ද කිවුවොත්.. කෑම බීම ගිහින් දෙනවා.. කැමරා, ෆෝන් අරං ගිහිං.. ෆොටෝ ගන්නවා.. එක කෙළියයි.. අනේ ඉතිං මේ ගෑණු ළමයත් ආඩම්බර කමක් එහෙම නැතුව.. බොහොම ආදරෙන්.. මෙයාලත් එක්ක කතා කර කර හිටියා..

ළමයින්ගෙ ආසාවට.. බෝට්ටුත් පැද්දට පස්සේ හවස් වේගන ආව හින්දා අපි පිටත් වෙනකොට.. හිටියේ තව කීප දෙනයි.. ඒ කට්ටියටත් තව ටිකකින් එළියට යන්ට වෙන බව තේරුණේ.. හවස 6 වෙනකොට.. ඔක්කොමලා එළියට යන්ට ඕන කියලා නීතියක් තියෙන බව.. ගේට්ටුවෙ හිටපු නිලධාරීන් කියපු නිසා.. ඉතිං කොහොම හරි.. අපි බොහොම සන්තෝෂෙන් ගෙදර ආවා..

ඔය අතරේ.. අර ගෑණු ළමයත් එක්ක වැඩිපුර හිතවත් උනු අපේ දූ ගෙ යාළුවා.. එයාගෙ මොබයිල් නොම්බරේත් ඉල්ලගෙන.. මගට ඇවිත් කෝල් එකක් දීලා..

එතකොට මේ ගෑණු ළමයා අහලා තියෙනවා .. ඔයාලගෙ බෑග් එකක් දාලා  ගියාද කියලා? දූගෙ යාළුවගෙ අම්මා අපෙන් කතා කරලා අහනකොට තමයි දැන ගත්තේ.. අපේ බිරින්දැගෙ.. සබ්බ සකලමනාව ම හෙවත්.. ෆෝන් එකයි.. පර්ස් එකයි ඇතුළු.. ගොඩක් දේවල් දාලා තිබුණු මල්ලක් උද්‍යානෙ අමතක වෙලා ඇවිත් කියලා..

හොඳ වෙලාවට මේ ගෑණු ළමයා.. බෑග් එක අරං ඇවිත්.. දූගෙ යාළුවට දීලා අපටත් කෝල් එකක් දුන්නා.. ඒක නිසා අපට ලැබෙන්නට නියමිතව තිබුණු ලොකුම ලොකු පෝරියල් එකකින් අපි බේරුණා..

ඉතිං මේ සිංදු කියන නංගිට වැඩි වැඩියෙන් හරියන්ට කියලා ප්‍රාර්ථනා කරන ගමන් ම.. මේ තියෙන උතුම් ගුණ ධර්ම තව තවත් වර්ධනය වේවා කියලත් මං හදවතින් ම ප්‍රාර්ථනා කරනවා..

සිරස නාලිකාවෙ යන සුජාතා ටෙලි නාට්‍යයෙ තේමා ගීතය වන මෙන්න මේ සිංදුව කියන්නෙත් ඔය අපිට උදවු කරපු නංගි කියලයි කියන්නෙ.. එයා ගෙ නම.. ශිරෝමි රත්නායක. අවාසනාවකට.. අපි කවමදාවත්.. ඔය කියන නාට්‍යය බලලා නෑ.. ඒ නිසා ම සිංදුව අහලත් නෑ.. ඒක ඉතිං මේ නංගිගෙ වරදක් නෙමෙයි නෙ.. 

Wednesday, September 16, 2015

හීන, ජීවිතය සහ පොත්

            
සාහිතේ මේ තරම්ආවට
ලාබ නෑ ඔය තරම්කීවට
පෝලිමේ ඉඳ අරංනාවට
මා ළඟත් පොත් තිබෙයිලාවට
  
ජීවිතේ හරි හම්බකරපු
දේ තමයි "ඒ හීන"විඳපූ
හීන වල ජීවිතේලියපූ
නෑ කෙනෙක් තව ලොවේහිටපූ
  
වේදනා මතකයන්විතරයි
පෑදුනා නම් සැබෑතිමිරයි
බාවනාවක සුවේපවරයි
මා මගේ හීනයේගොදුරයි
  

Friday, September 4, 2015

බැරිදා විග්‍රහය ! ප්‍රශ්න නගන්නට පෙර..

පසුගිය දින කිහිපයේ දැවෙන ප්‍රශ්න කෙරෙහි මා හට අවධානය යොමන්නට නොහැකි විය.. දැන් බැලූ විට..ඉන් ප්‍රධාන ප්‍රශ්න තුනක් මම හඳුනාගත්තෙමි..
1. කොකාකෝලා ප්‍රශ්නය ගැන අනුර කුමාර කතා නොකිරීම
2. මත්තල එයාර්පෝට් එකේ වී ගබඩා කිරීම
3. මහින්ද රාජපක්ෂ මන්ත්‍රී තුමා ජනාධිපතිතුමා එන විට අසුනින් නැගිටීම.

මෙම කාරණා තුනේදී ම දක්නට ලැබෙන්නේ අතිශය අන්තවාදී අදහස් වීම කණගාටුවට කරුණකි..

පළමු කාරණය සැළකූ විට.. කොකාකෝලා .. සමාජයට හානිකර දෙයක් බව අප දැනුවත් වන්නේ අදක ඊයෙක නොවේ.. එහෙත්.. සිගරැට් සමාගම් වලට මෙන්ම කොකාකෝලා සමාගමට ද ඇති කිසියම් සෘජු හෝ වක්‍ර බලයක් නිසා.. කිසිවෙකුට මේවා තහනම් කිරීමට තරම් හයියක් නැත. සිගරැට් පැකට්ටුවේ රූපමය අවවාද දානවාට වඩා.. සියයට දාහක ප්‍රමාණයකින් සාර්ථක වන ක්‍රමය .. සිගරැට් තහනම් කිරීම බව ජනාධිපති තුමා වුවද නොදන්නවා විය නොහැකි වුවත්.. එසේ තහනම් කිරීම ගැන එතුමා වචනයක් වත් කියන්නේ නැත. ජවිපෙ කියන්නෙත් නැත.. එජාපය කියන්නෙත් නැත.. ශ්‍රීලනිපය කියන්නෙත් නැත..
කොකාකෝලා පැනයද එසේම ය... මෙය වඩාත් උග්‍ර වන්නේ.. කොකාකෝලා කර්මාන්තශාලාවට යන තෙල් බටයකින් තෙල්.. කැළණි ගඟට කාන්දු වීම හරහා ය.. එසේ වතුර හරහා අපට විස එක් නොකළත්.. කොකාකෝලා මින් පෙරද දිගින් දිගටම අපේ ශරීර වලට විස එක් කළ බව නොරහසකි.. කෙසේ වෙතත්.. අලුතින් ඇති වූ තත්වය.. කොකාකෝලා වලට එරෙහි වීමට.. පැහැදිලි සාක්ෂියක් ලබා දෙයි.. මුලින් කොකාකෝලා සමාගම තහනම් කළ රජය, යළිත් එම තහනම හකුලාගෙන ඇත. ඉන්පසු කිසිවෙකු ඒ පිළිබඳව හඬ නගන්නේ නැත. ජනාධිපති තුමාත් නැත.. ජවිපෙත් නැත.. එජාපෙත් නැත.. ශ්‍රීලනිපෙත් නැත.. ඒත් කාටත් ප්‍රශ්නය ජවිපෙ සද්ද නැති එක ගැන වීම.. මහා උභතෝකෝටිකයක් නොවන්නේද? සැබෑ ප්‍රශ්නය පසෙක තබා.. දේශපාලන ඇහින් කිසිවෙකුට හෝ මඬ ගසන මේ පිරිස.. ඇත්තෙන්ම බයියන් ලෙස හැඳින්වීමේ වරදක් මා දකින්නේ නැත..


දෙවැනි කරුණ ද එසේමය.. ඇතැමෙකු.. එය මත්තල ගුවන්තොට හැදූ අයට මඩ ගසන්නට යොදා ගනී.. තවකෙකු.. එය වී ගබඩා කරන්නට තීරණය කළ අයට මඩ ගසන්නට යොදා ගනී..
ගුවන්තොට හදා හමාරය.. ඒ හැදිල්ල වැරදි බව කාටත් තේරී ත් හමාරය.. ඒවා හැදූ අය බලයෙන් පන්නාත් හමාරය.. දැන් ඒ ගැන තව දුරටත් කතා කිරීමෙන් ඇති ඵලය කිම?
මේ වන විට අපගේ වී ගබඩා (පසුගිය දෙසැම්බරයේ රටින් ගෙනා සහල් ගබඩා කිරීම නිසා) පිරී ඇති බැවු අද දයා ගමගේ මහතා කියනවා ඇසුණි. ඒ නිසා ම වී ගබඩා කිරීමට තැනක් නැති කමින්.. වී මිළදී ගැනීම ඉතාම පසුගාමී තත්වයකට පත්ව ඇත්තේ වී ගොවියා අසරණ කරමිනි.. මෙයට තාවකාලික විසඳුමක් ලෙස.. නිකං වහලා තියෙන ගුවන්තොටේ ගබඩා සංකීර්ණය යොදා ගැනීම දේශපාලන කෝණයෙන් නොබැලුවොත්.. එය අවස්ථානෝචිත ක්‍රියාවක් ලෙස දැකිය නොහැක්කේද? මේ නිසා තව දුරටත්.. මහින්දට හෝ රනිල්ට මඩ නොගහා.. සිදු වන දේ දෙස ඉවසිල්ලෙන් බැලුවොත් යහපත් බව මගේ හැඟීමයි...

තුන් වැනි කාරණය නම් මහින්ද පාර්ලිමේන්තු යාමෙන්.. හෑල්ලු වන්නේය යන අදහසයි.. එහෙත්.. මහින්ද පාර්ලිමේන්තු යා යුතු බව.. මහින්ද මෙන්ම.. මහින්දට ඡන්දය දුන් ජනතාවත් තීරණය කර ඇත.. මේ දුක් වන අය දුක් වන්නේ අවංකව නොවේ.. කින්ඩියටය.. දැන් මහින්ද කෙරෙහි අනුකම්පාවක් අවැසි නොවේ.. හොඳට හෝ නරකට ඔහු දැන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ය. අප කළ යුත්තේ සිදුවන දේ දෙස ඉවසිල්ලෙන් බලා සිටීම මිස.. ඔහුගේ නැති වූ ගෞරවය ගැන පුන පුනා කතා කරමින් ඔහුව තව දුරටත් තලා දැමීම නොවේ..

ප්‍රශ්න නගන්නට පෙර .. අප... ප්‍රශ්නය කුමක්දැයි.. සොයා බැලිය යුතුය..

Thursday, September 3, 2015

අනේ ඉතිං අපි දෙන්නට..! Happy 10th Anniverssary


මීට අවුරුදු 10කට ඉස්සර මේ වෙලාව වෙනකොට මං හිටියෙ සවාරියක අතර මැද..තනියෙම නෙවෙයි.. මගේ ආදර බිරිඳත් එක්ක.. ඒ සවාරියට කිවුවෙ.. Honey Moon එක කියලා.. 

සැප්තැම්බර් 01 වෙනිදා.. කසාද බැඳලා.. මඟුල් ගෙදර ඉවර උනාට පස්සෙ.. රත්නපුරේ රෙස්ට් හවුස් එක.. හග්ගල පැත්තෙ රෙස්ටොරන්ට් එකක (නම මතක නෑ).. තමයි 02 වෙනිදා රාත්‍රිය ගත කළේ.. 

ගෙදර අයගෙ.. යාළු මිත්‍රයන්ගෙ විරෝධය මැද්දෙත්.. අපේ ගමන අපි ගියේ .. අපේ දඬුමොණරෙන්.. ඒක නිසා වෙඩින් කපල් එකක් විදිහට අපිව හයිලයිට් උනෙත් නෑ.. 
හුඟක් තැන් වලදී.. ගමනත් පහසු උනා.. විශේෂයෙන්.. පාරවල් හදන නිසා වාහන තදබදය ඇතිවෙලා තිබුණු තැන් වලදි.. ලොකු වාහන වලට යන්න බැරි තැන් වලදි.. අපේ වාහනේ අපට ආශිර්වාදයක් උනා..

ඒත් සමහර අවස්ථා වලදි නම් කරදරේ වැටුණා.. තුන්වැනි දවසෙ එක තැනකදී (ගම්පොල ආසන්නයේදී) පැච් එකක් ගිහිං.. කිලෝ මීටර දෙකක් බයික් එක තල්ලු කරන්ට උනා..  හතරවැනි දවසෙ.. මාවනැල්ලෙ ඉඳං.. අවිස්සාවේල්ලට ම එනකං.. හොඳට තෙමුණා.. 

ඔය බයික් එකේ හනිමූන් ගිය කතාව ප්‍රසිද්ධියෙ පළ කරන්නෙ ප්‍රථම වතාවට හොඳේ.. මට ඒක රසවත් උනාට.. අනෙක් අයට රසවත් නොවන නිසා... අපි ඒක බොහෝ දෙනාගෙන් වහං කළා..

කොහොම හරි.. අතුරු ආන්තරාවක් නැතිව.. හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නෙ නැතිව.. අපේ සවාරිය නිම කරලා 05 වැනිදා සියළු ආශිර්වාද මැද.. අලුත් මනමාලිව .. ගෙදරට කැන්දං එන්ට මට පුළුහන් උනා..

නියම සටන පටං ගන්නෙ ඊට පස්සෙයි කියලා දැනගෙන උන්නු හින්දම.. ජීවිතේ .. දුක සැප අසල නොසැලී ගෙවන්ට අපට පුළුහං උනා.. ඔවු.. ඔයා සාර්ථක බිරිඳක් වෙන්ට වගේ ම අපේ පවුලේ සාමාජිකයෙක් වෙන්ට ඉතා ඉහළ මට්ටමේ කැපවීම් කළා.. මගේ අම්මත්.. අක්කත්.. ඔයත් අපේ පවුලෙම කෙනෙක් විදිහට සලකමින්.. සුළු සුළු වැරදි තිබුණත් ඒවා නොසලකමින්.. කරපු කැපවීමුත් ඊට දෙවෙනි නෑ.. මං හිතන්නෙ ඔයාව මටත් වඩා මගේ පවුලේ උදවියට සමීපව දැනුණා.. ඇතැම් විට ඔයා තමයි මට ඒ අයගෙ ගැටළු වලට මැදිහත් වෙන්ට අවශ්‍ය තොරතුරු පවා ලබා දුන්නේ.. කොටින්ම.. අපේ පවුලෙ බැඳීමේ පුරුක බවට පත්වෙන්ට ඔයාට පුළුහං උනා..

ඊළඟට අපිට දරුවො ඉපදුණා.. ඔයාගෙ කාර්යභාරය එන්ට එන්ටම විශාල උනා.. ඔයාගෙ රස්සාව නිසා.. පවුලේ වැඩ වලට (විශේෂයෙන් දරුවන්ගෙ සතුට ට) බාධාවනුත් නොවුනා නෙවෙයි.. ඒ ගැන මං හිටියෙ ඒ තරම් සතුටකිනුත් නෙවෙයි.. මතකයිනෙ.. බඳින්ට ඉස්සරම ඔයා එකඟ උනා.. රස්සාව විවාහයට කරදරයක් නොවෙන විදිහට කරන්ටත්.. මං කියන වෙලාවක රස්සාවෙන් අයින් වෙන්ටත්..  ඒත් ඔයාට රස්සාව දිගටම කරන්ට දැඩිවම ඕන උනා..  ඔයාගෙ අම්මගෙ .. සහෝදරියන්ගෙ වගේ ම මගේ දෙමවුපියන්ගෙ බලපෑමුත් ඒකට හේතු වෙන්ට ඇති.. ඒ කාරණේදි නං තවම මං පරාදයි.. 

ඒ වගේ ම.. පහුගිය අවුරුදු දහයෙ... මගෙ අතිනුත්.. නොයෙක් අඩුපාඩු වෙන්ට ඇති.. විශේෂයෙන් මට කේන්ති යන්ට ඇති.. ඒ වගේම.. ආර්ථික වශයෙනුත්.. හිතන පතන තරමටම ඔයාට සැප සම්පත් දෙන්ට මට බැරි වෙන්ට ඇති.. ඒත්.. මං නිතරම .. මගේ යුතුකම් උපරිමයෙන් ඉටු කරන්ට උත්සාහ කළා.. අපි නිතරම උත්සාහ කරන්ට ඕන.. ඒ උත්සාහ වලින් සීයෙට හැත්තැ පහක් විතර වත්.. හරි යනවා නං.. අපි විශිෂ්ඨයි.. අඩු ගානෙ සීයෙට හැටක් විතර හරි යනවා නං.. අපි හොඳයි.. සීයෙට පනහක් උනත් කමක් නෑ... කොහොම උනත්.. කිසිවක් උත්සාහ නොකර ඉන්නවාට වඩා.. සීයෙට එකක් හරියන්ට හරි උත්සාහ කරන එක හොඳයි කියන එකට අපි එකඟ වෙන්ට ඕන.. 

තවම දහයයි ගියෙ.. මං හිතන්නෙ.. අඩු ගානෙ අපට තව.. පහලොවක්වත් යන්ට තියෙනවා..උත්සාහ කළොත්.. අපිට පුළුහං වෙයි.. අපේ පැතුම් එක්ක සමගාමීව.. සතුටෙන් ජීවිතේ ගෙවන්ට.. 

දුරක් ආවා
ඇවිදගෙන මාවතක
තවත් යන්නට
තිබේ බෝ දුර මඟක
අඳුර දුරලන
පහන් දල්වමු
රුදුරු වැසි කඳ
පෙමින් අවුරමු
කොහිද එළියක්
අපේ පෙම් සිත් මිසක




Tuesday, August 25, 2015

පරිගණකයක් මිළට ගැනීමේදී සැලකිය යුතු කරුණු


1. Desktop or Laptop ?
පරිගණකයක් මිළට ගැනීමේදී.. ඔබ මිළට ගන්නේ ... කුමණ ආකාරයක පරිගණකයක් ද යන්න පළමුව තීරණය කළ යුතුය. එය ඔබගේ අවශ්‍යතාවය සහ වියදම් කිරීමේ හැකියාව මත තීරණය කළ යුතු දෙයකි. බැලූ බැල්මට.. මේ දෙකෙන්ම වෙන්නෙ එකම දේ.. 

ඔබ පරිගණකයෙන් වැඩ කරන්ට බලාපොරොත්තු වන්නේ.. එක ස්ථානයක නම්.. ඒ වගේ ම ටිකක් වැඩිපුර වෙලා පරිගණකය එක්ක කල් ගත කරන්න හිතනවා නම්.. Desktop  එකකට යන එක ඇඟට ගුණයි.. ඒ වගේ ම සාක්කුවටත් වාසියි..  ඒත් ඔබ පරිගණකය නිතර එහෙ මෙහෙ ගෙන ගොස් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම්..Laptop  එක නිවැරදි තේරීම වේවි... ඔබ පරිගණකය ඉතා කලාතුරකින් වගේම.. ලියුමක් ගහගන්න වගේ පොඩි පොඩි වැඩ වලටනං භාවිත කරන්නෙ.. Tablet PC එකක් හරි Notebook එකක් හරි ගන්න එක වඩාත් ලාභදායී වෙනවා.. 

2. Processor
Processor එක මොකද්ද කියලා හොයලා බලන්ට ඕන. Processor එක කියන්නෙ පරිගණකයේ මොළය.. ඉස්සර නං.. Speed එකයි Architecture එකේ නමයි තමයි කිවුවෙ.. Pentium iv ,2 GHz  වගේ.. ඒත් දැන් කියන්නෙ..  Cores ගාන.. සහ Speed එක.. Core i 3 - 2GHz වගේ.. ඒත් Core i 3 කියන්නෙ Cores 3ක් තියෙනවා කියලා වරදවා වටහා ගන්ට නරකයි.. ඒකෙන් කියන්නෙ.. Processing Power එකට සම්බන්ධ Rating එකක්.. 1 සහ 2 හිමි වෙන්නෙ.. Celeron සහ Pentium කියන පරණ Processors දෙකට.. මේ ක්‍රමේ ට.. 2GHz වේගෙන් Processors 2ක් වැඩ කරනවා වගේ මේ  Processor එක වැඩ කරන බව කියනවා.. ඒ වගේ ම.. බෙදා හදා ගෙන වැඩ කිරීම තුළින් (Multi Tasking) බහුකාර්ය හැකියාව ඉහළ නංවා ගෙන වඩාත් ඵලදායී ප්‍රතිඵල දෙන්ට මේ  Cores කිහිපයක් ඇති ක්‍රමය රුකුල් දෙන බවයි පැවසෙන්නෙ.. ඒ වගේ ම Threads ගණන කීයද කියලා දැන ගන්න එකත් වටිනවා.. Multi Threading කියන්නෙත් performance වැඩි කරගන්ට භාවිත කරන තාක්ෂණයක්.. ඒ වගේ ම Cache වල ප්‍රමාණය හොයලා බලන්ට පුළුවන් නම් වඩාත් හොඳයි.. සමහර Processors වල.. මේවා වෙන වෙනම පෙන්නන්නෙ නෑ.. ඒත්.. සමස්ථ Cache එක කීයද කියලා දක්වනවා.. i3 එකකට වඩා i5 එක හොඳ වෙන්නෙ.. i5 වල තියෙන Turbo Boost කියන තාක්ෂණය නිසා.. එමඟින්.. අවශ්‍ය වෙලාවට වේගය වැඩිකරලා දෙන්න හැකියාවක් ලැබෙනවයි කියලයි කියන්නෙ.. ඒ වගේම i3 වල 3MB වන Cache එක i5 වලදි 4 සිට 6 දක්වා වන බවයි කියැවෙන්නෙ.. ඒ වගේම i7 වලදි.. එය 8MB දක්වා වැඩි වී තිබෙන බවයි කියවෙන්නෙ.. 

Hyper Threading කියන තාක්ෂණය හරහා එක Core එකකට  Threads 2ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා..  මේ තාක්ෂණය ඇති.. i3 වල සමස්ථ(Cores 2ක් ඇති නිසා)   Threads 4කුත්.. i7 වල  Threads 8කුත් තිබෙනවා.. 

3. RAM (Main Memory)
Cache වගේම හදිස්සියට අවශ්‍ය වෙන RAM එක තමයි.. පරිගණකයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රධාන මතකය වෙන්නෙ.. Cache වලට සාපේක්ෂව ප්‍රමාණයෙන් හා ධාරිතාවයෙන් විශාල.. මිළෙන් අඩු RAM 1GB සිට.. 32GB දක්වා විතර ධාරිතා වලින් මේ දිනවල RAM මිළට ගන්න පුළුවනි. ඒත් මේකෙ වැදගත්ම හරිය එන්නෙ.. RAM Type එකෙන් සහ RAM Speed එකෙන්.. DDR3 තමයි මේ දිනවල භාවිත වන RAM Type එක.  වෙන වෙනම ගන්නකොට RAM Speed එක හරිම වැදගත්..එය Mother Board එකේ Speed එකට සමාන වන ලෙස ගන්න පරෙස්සම් වෙන්න ඕන.. 

4. Hard Disk Drive (දෘඩ තැටිය)
ප්‍රධාන වශයෙන් මිළ ට අමතරව දෘඩ තැටියේ ඉඩ ප්‍රමාණය (Capacity) සහ වේගය (RPM) ගැනත් සැලකිය යුතුයි. සාමාන්‍යයෙන් 7200 ක RPM එකක් සහ 500 GB Capacity එකක් ප්‍රශස්ත අගයයන් ලෙස සැලකෙනවා. Cache සහ RAM වලට සාපේක්ෂව මිළ අඩු Hard Disk Drive එක ද්විතීයික මතකය (Secondary Storage) වශයෙන් දැක්වෙන අතර එය සියළු දත්ත සහ තොරතුරු ස්ථිරව ගබඩා කර ගැනීමට මෙන්ම ස්ථාපනය කරන මෘදුකාංග වලට අදාළ සියළු තොරතුරු රඳවා ගැනීමටත් භාවිත කරනවා. මේ නිසා ඉහත කී RPM සහ Capacity පරිගණකයේ කාර්යක්ෂමතාව කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කරනවා..

5. UPS
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල විදුලි බිඳවැටීම් නිතර සිදු වන නිසාත්.. විදුලි සම්බන්ධතා වල ඇති නිරන්තර අඩු වැඩි වීම් නිසාත්... UPS එකක් පරිගණකයක් සමඟ මිළ දී ගැනීම ඉතා වැදගත් වෙනවා.. සාමාන්‍ය 600VA UPS එකක් සාමාන්‍ය තත්ව යටතේදී ප්‍රමාණවත් වෙනවා.

6. Sound Card, VGA Card
Onboard හෙවත්.. Mother Board එක සමඟම පැමිණෙන Sound Card, VGA Card යොදා ගැනීම ප්‍රමාණවත් මෙන්ම ලාභදායී වෙනවා. එහෙත් යම් කෙනෙකු Quality එකෙන් වඩාත් වැඩි සංගීත හෝ ශබ්ද රස විඳීමට බලාපොරොත්තු වන්නේ නම් වෙනම Sound Card එකක් මිළට ගත හැකියි.

7. Monitor 
ඔබ මිළ දී ගන්නේ.. Desktop පරිගණකයක් නම්.. Monitor එකක් අවශ්‍ය වෙනවා.. එය අඟල් 17ක ප්‍රමාණයේ වත් තිබීම පහසුවක් වනු ඇති. එය LED හෝ LCD වර්ග වලින් එකක් නම්.. එය ඔබගේ ඉඩ ඉතිරි කර දෙන අතර විදුලිය ද පිරිමසිනු ඇති. තවද LED වර්ගයේ එකක් නම්.. එය විදුලිය උපරිමයෙන් පිරිමසිනු ඇති. ඉතින් මිළත් සමඟ ඉහත කරුණු Monitor එකක් මිළ දී ගැනීමේ දී සලකා බලන්න. 

8. KeyBoard & Mouse
Desktop පරිගණකයක් සඳහා අනිවාර්යයෙන්ම හොඳ KeyBoard එකකුයි Mouse එකකුයි අරගන්න මතක තබා ගන්න. ලාබ අඩු මිළ උපාංග ඉතාම කරදරකාරී වනු ඇති නිසා.. සාමාන්‍යයෙන් රුපියල්1000ක් පමණ වන KeyBoard එකක් සහ රුපියල් 700ක් පමණ වන Mouse එකක් මිළට ගැනීම සාර්ථක වේවි.

9. CD/DVD/Combo/DVDRW
ඔබගේ අවශ්‍යතාවය අනුව සංයුක්ත තැටි භාවිතය සඳහා උපාංගයක් තෝරා ගත යුතු අතර.. වත්මන් අවශ්‍යතාව හා මිළෙහි තත්වය අනුව.. DVDRW හෙවත්  DVD Writer එකක් මිළට ගැනීම වඩා සුදුසු තෝරා ගැනීම වනු ඇත. 

10. Warranty
ඉහත කී සෑම උපාංගයක් සඳහාම වගකීම් කාලයක් ඇතුව ලබාගැනීමට ප්‍රවේශම් වන්න. සාමාන්‍යයෙන්.. Mother Board එකට අවුරුද්දේ සිට අවුරුදු 3 දක්වාත්, RAM සඳහා අවුරුදු 5ක් දක්වාත්, Hard Disk, Monitor, UPS, CDR, DVDR, Combo, DVDRW සඳහා අවුරුද්දක් පමණත් Warranty එකක් ලබා දෙන අයුරු දැක ගත හැක. 



මේ සියළු කරුණු සළකා බලන අතර.. ඔබ මිළ දී ගන්නා පරිගණකය, ඔබ වෙසෙන පෙදෙසට වඩා කිට්ටු තැනකින්, විශ්වාසයක් ඇති තැනකින් ලබා ගැනීම අලෙවියෙන් පසු සේවයක් බලාපොරොත්තු වනවා නම්... ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. 



Monday, August 24, 2015

ආඩම්බරයි ඔබ ගැන ආදර සංගා



සංගක්කාරව..අපි මුලින්ම දැක්කෙ.. 2000 වසරෙ පකිස්ථානයට එරෙහිව එක්දින තරඟාවලියෙදි. මුලින්ම ඔහුව ආදේශ උනේ රොමේෂ් කලුවිතාරණට.. ඒ කියන්නෙ ඔහුගෙ ස්ථානයට.. රොමේෂ් එක්දින තරඟ වලදි දිගින් දිගටම පිතිකරණයෙන් අසාර්ථක උනත්.. ඔහු අපේ සිත් සතන් වල පැලපදියම් වෙලා හිටපු කඩුළු රකින්නා.. ආකර්ශනීය, උද්‍යෝගිමත්, සුන්දර කලු ව පන්නලා ගෙනාපු මේ අලුත් කඩුළු රකින්නා ගැන අපට තිබුණෙ අකමැත්තක්.. විශේෂයෙන් .. සංගා.. මීට පෙර කඩුළු රකින්නෙකු වශයෙන් ඒ තරම් පළපුරුද්දක් නැති කෙනෙක් බවට ඒ දිනවල කතා වුණා.. ඒ වගේම.. ඒ දිනවල..ඔහු කලු තරම් හොඳට කඩුළු රැක්කෙ නෑ..
ඒත් ටික දිනක් යද්දි.. සංගා පිතිකරුවෙකු ලෙස කැපී පෙනෙන්න ගත්තා.. අර්ජුනලා, මහානාමලා, ගුරුසිංහලා නැති කණ්ඩායමේ.. පිතිකරණයේ වැඩි බරක් උහුලන්න.. සනත්, මාවන්, මහේල එක්ක උරෙනුර ගැටෙන්ට සංගටත් පුළුවන් උනා.. ඒ වගේම ඔහුගේ කඩුළු රැකීමත් ඔප්නැංවෙන්න පටං ගත්තා.. මුරලිගෙ දඟපන්දු වලටත් හොඳින් හුරු වුණු මේ අපූරු ක්‍රීඩකයාගේ පෞර්ෂය අපට දැනෙන්න ගත්තේ 2003 අරවින්දත් විශ්‍රාම ගියාට පස්සෙ..
ටෙස්ට් කණ්ඩායමේ කඩුළු රැකීමෙන් මිදෙන සංගා.. ටෙස්ට් පිතිකරුවෙකු ලෙස අති විශිෂ්ඨ දස්කම් දක්වන්නට උනා.. ඉතා ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි බස හසුරුවන ඔහු කණ්ඩායම වෙනුවෙන්, රට වෙනුවෙන් මෙන්ම යුක්තිය වෙනුවෙන් කතා කරන්නට කිසි විටෙක පසුබට උනේ නෑ..
නියම මහත්මයෙකු ලෙස.. පිළිවෙලින්, 20-20, එක්දින තරඟ වලින් නියම කලට .. සුපිරිම තත්වයේ සිටියදී.. සමුගත් සංගා.. ටෙස්ට් තරඟ වලින් අද දින සමුගැනීම.. වේදනාකාරී සිහිනයක් බඳුයි. එහෙත්.. සංගා පවසන්නේ.. ඔහුට වඩා විශිෂ්ඨයින් මේ ක්‍රීඩාවෙන් මීට පෙර සමුගෙන ඇති බවයි.. එසේ සමුගත්තාය කියා ක්‍රීඩාව නැති වූයේ නැති බවයි.. තමා ට ද එම තත්වය පොදු බවයි...
ඒත් මට නම් හැඟෙන්නේ.. සංගා තරම් විශිෂ්ඨයෙකු මේ බිමේ දී සමුගෙන නැති බවයි..
හෙටින් ඇරැඹෙන සංගා ගේ අලුත් දිවිය.. පෙරටත් වඩා සුන්දර එකක් වේවායි.. හදපතුලින්ම පතමි..
ඉවසමි හදවතින් නැග එන දුක් ....ගංගා
පවසමි ඔබ රජෙක් බඳු මිනිසෙකි සංගා

පිංතූරය.. ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවියෙන් සත්භාවයෙන් උස්සන ලද එකක් බව කරුණාවෙන් සළකන්න

Friday, August 7, 2015

අන්තර්ජාල භාවිතය

පරිගණක සාක්ෂරතාව Computer Literacy
සාක්ෂරතාව ඉතා ඉහල අගයක් ගන්නා ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව ද දිනෙන් දින ඉහළ යයි..ලංකාවේ එම අගය සමස්ථයක් ලෙස 10% ක් බව  කියවේ. අන්තර්ජාල පරිහරණය කිරීමට දන්නා අය 3% ක් පමණ වන බැවු කියැවෙන අතර තවත් 7% අන්තර්ජාලය ගැන දන්නා නමුත් පරිහරණය කිරීමට නොදන්නා බව පැවසෙයි.  කෙසේ වෙතත් පරිගණක භාවිතය මෙන්ම අන්තර්ජාල භාවිතය ද දිනෙන් දින ඉහළ යන බව සැවොම දන්නා කරුණකි..
ආශ්‍රිත

ජනගහනය (මිලියන 20) අනුව ලෝකයේ 58 වැනි ස්ථානය හිමි වන අප.. රැහැන් සහිත අන්තර්ජාල සම්බන්ධතා ප්‍රමාණය අනුව (හාර ලක්ෂයකට වැඩි) සම්බන්ධතා ගනණක් සමඟ 74 වැනි තැනට පත් වී ඇති අතර එම සම්බන්ධතා වල වේගය අනුව ඉන්නේ.. (2Mbps) 128 වැනි ස්ථානයේය. සම්බන්ධතා ගනණ අනුව 10 වැනි තැන ලබා ඇති ඉන්දියාව වේගය අනුව.. ලබා ඇත්තේ 137 (1.1 Mbps) වැනි තැනයි..
ජංගම දුරකථන ඇතුළු රැහැන් රහිත සම්බන්ධතා සැලකූ විට.. (ලක්ෂ නවය හමාරක් ඉක්මවා ඇති) අප.. 73 වැනි තැනත්.. වේගය (4.4 Mbps)  අනුව 114 වැනි තැනත් ලබාගෙන සිටී. ඉන්දියාව සම්බන්ධතා (මිලියන 6) අනුව 7 වැනි තැනත්.. වේගය (4.9 Mbps) අනුව 110 වැනි තැනත් ලබා ඇත..

ආශ්‍රිත

ඉන්දියාව පසු ගිය වසරට සාපේක්ෂව වේගය අතින් පහළ ගොස් ඇති අතර.. අප ලැයිස්තුවේ මඳක් ඉදිරියට විත් තිබීම කැපී පෙනේ..

කෙසේ වෙතත්.. මිලියන එක හමාරක් පමණ වූ සම්බන්ධතා භාවිත කරන අප.. එකී සම්බන්ධතා කොතරම් ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්නවාද යන්න විමසා බැලිය යුතුය.

සමාජ ජාල (Social Networks)
නිරවද්‍ය සංඛ්‍යා ලේඛන නැතත්.. මෙකී සම්බන්ධතා වැඩි වශයෙන් භාවිත කරන්නේ.. ෆේස්බුක්(facebook),ට්විටර්(twitter), හයිෆයි(Hi5), වේන් (Wayn) වැනි සමාජ ජාල භාවිතයට වන අතර.. එකී සමාජ ජාලයන් තුළ බොහෝ විට සිදුවන්නේ.. සම්ප්‍රපලාප දෙඩවීම නොහොත්.. චැට් කිරීම.. බැවු පෙනී යයි.. එහෙත්.. සැලකිය යුතු පිරිසක්.. කවි, කතන්දර ඇතුළු  සාහිත්‍යය, සංගීතය, චිත්‍ර ආදී නිර්මාණයෙහි යෙදීමට, ධර්මය බෙදා හැරීමට මෙන්ම මේ සියල්ල පරිශීලනයට ද මෙකී සමාජ ජාල යොදා ගැනීම සතුටට කරුණකි.. විශේෂයෙන් මේ හරහා සබුද්ධික  සමූහයන් (Community ) බිහිව ඇති අතර.. එය වඩාත් සංවාදශීලී.. ජන සමාජයක් ගොඩනැඟීමට ඉවහල් විය හැකි තත්වයකි. ඉහත කී සමාජ ජාලයන්ට අමතරව.. යම් කිසි කණ්ඩායම් ඉලක්ක කරගත්.. (Community Forums) වෙබ් අඩවි ද දැකිය හැක.. උදාහරණයක් ලෙස elakiri.com යනු ශ්‍රී ලාංකීය ජන සමාජය ඉලක්ක කරගෙන පවත්වාගෙන යන එවැනි වෙබ් අඩවියකි.. මේවා බොහෝ කොට නිර්මාණ, දැනුම ආදිය බෙදා හදා ගැනීමට යොදා ගැනෙන අතර Content Management System ලෙසින් හඳුන්වන Web Application එකක් භාවිතයෙන් සිය සේවාව පවත්වනු ලබයි.. ඇතැම් විෂයයන් සඳහා විශේෂිත වූ Forums ද දැකිය හැකි අතර ඒවා එකී විෂයයන් සම්බන්ධයෙන් වූ ගැටළු සාකඡ්ඡා කිරීමට කදිම තෝතැන්නක් වී ඇත. vbforums,  Technet Forums, MSDN Forums.. ආදී වශයෙන්.. උදාහරණ බොහොමයක් මේ සඳහා සැපයිය හැකි අතර.. ඒවායින් සමහරක් තමන්ගේ Products භාවිත කරන්නන්ගේ පහසුව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබයි..

සන්නිවේදන කාර්යය (Communication)
විශේෂයෙන් තමන්ගේ රටින් බැහැරව සිටින ඥාති මිත්‍රාදීන් සමඟ කතා බස් කිරීමට ස්කයිප්(Skype), වයිබර්(Viber) වැනි අන්තර්ජාල මෘදුකාංග යෙදවුම් (Software Applications)  යොදා ගන්නා අතර.. Images, Audio, Video ආදී වශයෙන් ඇති ලේඛන File Sharing තාක්ෂණය හරහා හුවමාරු කර ගැනීම ද, වෙනත් තැනක ඇති පරිගණකයක් පාලනය කිරීමට Remote Assistance තාක්ෂණය භාවිත කිරීමද මෙකී මෘදුකාංග වල ඇති පහසුකම් අතර දැකිය හැක. Yahoo, Google Talk, MSN Massenger වැනි යෙදවුම් ද ඉහත කී යෙදවුම් වලට විකල්පයන් ලෙස භාවිත කළ හැකි යෙදවුම් ය. මුලින් කී Facebook වැනි සමාජ ජාල හරහා ද මේ කාර්යයන් බොහොමයක් කරගැනීමේ පහසුව දැන් හිමිව ඇත..

දුරස්ථ සහායක මෘදුකාංග (Remote Assistance Software)
මේ සඳහාම නිපදවූ යෙදවුම්... ලෙස පිළිගැනෙන.. Teamviewer, WindowsRemoteAssistance, VNC, Chrome Remote Desktop, Remote PC වැනි යෙදවුම් ඉතා ජනප්‍රිය වුවත්.. පෙර කී.. යෙදවුම් වලත් බොහෝ දුරට මෙම කාර්යය කිරීමේ පහසුකම අන්තර්ගත වී තිබේ..

බ්ලොග් -blog
ඉහත කී යෙදවුම් වලින් බොහෝ සෙයින් වෙනස්.. එහෙත් තොරතුරු බෙදා ගැනීම සඳහා අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන තවත් මෙවලමකි "බ්ලොග්". Web Log  යන වදන් එක් කීරීමෙන් සෑදිණැයි සැලකෙන.. blog.. පුද්ගලිකව.. හෝ කුඩා සමූහයක් ලෙස සිය තොරතුරු, නිර්මාණ, ප්‍රවෘත්ති ආදිය අන් අයත් සමඟ බෙදා හදා ගැනීම සඳහා භාවිත කරයි. යම් නිර්මාණ හෝ.. තොරතුරු සංරක්ෂණය සඳහා ද බ්ලොග් ගත කිරීම සරල විසඳුමකි.  සිංහල බ්ලොග් කරුවන් අතර ද ඉතා හොඳ සාමූහිකත්වයක් ගොඩ නැංවී ඇති අතර.. විටෙක සාහිත්‍ය ධරයෙක් ලෙස, විටෙක පුවත් ප්‍රචාරකයෙක් ලෙස මෙන්ම විටෙක ජාත්‍යන්තර විචාරකයෙක් ලෙස නැගී එන බ්ලොග්කරුවා ප්‍රබල ජන සන්නිවේදකයෙකු බවට පත්වී ඇති බැවු පෙනේ.
මේ අනුව බැලූ විට.. අද වන විට.. අන්තර්ජාලය සමඟ භාවිත වන බොහෝ යෙදවුම් අපේක්ෂිත මූලික කාර්යය ඉක්මවා බොහෝ දෑ කර දෙන තත්වයට පත්ව ඇති බැවු පෙනේ. එහෙත් අප භාවිත කරන්නේ.. අදාල යෙදවුමේ ඇති පහසුකම් වලින් ඉතාමත් සුළුතරයක් බව මගේ අදහසයි..කෙසේ වෙතත් අප හට ඇති පහසුකම් වලින් වඩාත් ඵලදායී ලෙස.. ප්‍රයෝජන ගැනීම අප සතු යුතුකමකි.

දියවන්නා රිටි පැනීම..

මනාපයක් ඉල්ලාගෙන හැම තැන ...............රිස්සේ
දනින් වැටි වැටී ගොහොරුවෙ පිරි මඩ .........ඔස්සේ
වසන්තයක කොඩි ඔසවා වෙළකට ............බැස්සේ
රුවන් සක්මණින් ගොස් බොහො කලකට ....පස්සේ

බඩ මහතයි ඒක ලෙඩක් මගෙ වරදක් ......නොවෙයි
පෝස්ටර් ටිකත් ණයටයි.. මගේ සල්ලි .....නොවෙයි
දියවන්නා රිටි පැනීම ගතට වෙහෙස .......නොවෙයි
හිතට දුක උනත් පනින්නෙ . මුදලට හෙම නොවෙයි

බෙදා හදා කන එක ගැන කියල' දුන්නු ...........අයයි
සදා තනිව කන හැටි පෙන්නලා දුන්නු ............අයයි
මෙදා නොකා පස්සෙ කන්න පෙරුම් පුරන ....අයයි
සුදා වෙළේ ඉද්දි ෆයිල් ඉස්සුවෙ මේ .............අයයි

මට්ටු කරන්නට මේ අය මඟක් නැද්ද .............ඔබට
තුට්ටු දෙකේ ලණු මොකටද එල්ලෙන ........පාලමට
රට්ටු මොනා කීවත් අපි බය නැහැ ඔය ........හෙටට
කිට්ටු වෙයල්ලා හනිකට "සීලරතන" .............හිමිට

Wednesday, July 29, 2015

බැරිදා විග්‍රහය.. !මේ පාරවත් ඡන්දෙ දාමුද කෙළිං.. හිටං..?

මහින්ද රාජපක්ෂ කියන දූෂිත පාලකයට ආයෙත් බලයට එන්න අපි ඉඩ තියන්නෙ නෑ..
රට ආයෙත් යුද්ධයකට ගෙනියන යූ ඇන් පී පාලනයකට අපි ඉඩ තියන්නෙ නෑ..
ඔය වගේ කතා නිතරම ඇහෙනවා..
ඇත්තටම මෙයාලා කොහොමද එහෙම කියන්නෙ.. එහෙම කරන්න මෙයාලට තියෙන්නෙත්.. ඔයාලට අපිට තියෙන අයිතියම නේද? ඒ අයිතියෙන් කොහොමද අපි ඒ ගැන ලංසු තියන්නෙ.. ?
එයාලටත් .. අපිටත්.. පුළුවන් එක දෙයයි.. ඒ .. තමන්ගෙ කැමැත්ත ලකුණු කරලා එක ඡන්දයක්.. දාන්න.. කොච්චර කෑගැහුවත්.. ඔයිට එහා දෙයක්.. නීත්‍යනුකූලව නං කොරන්ට බෑ හිටං.. මිනිස්සු ඡන්දෙ දුන්නොත් එපා කියන්ටද? ඒ නිසා නිකං වහසි බස් දොඩවන්නෙ නැතුව.. එක එකාට බනින්නෙ නැතුව.. තමන්ගෙ සංවර්ධන වැඩ පිළිවෙල ඉදිරිපත් කරා නං.. ඒවා ගැන මිනිස්සු දැනුවත් කරා නං.. ඒවා ක්‍රියාත්මක කරන්ට අවශ්‍ය පසුබිම හැදුවා නං.. නාකද මං අහන්නෙ.. ?
මහින්දගෙ සුන්දර පොරොන්දු ටික වගේ ම චෝදනා පත්‍රයත් ඉතිං මානසික ඉහිල් වීමකට කියාපු විහිළු ටික..
රනිල් ගෙ.. කතා වලත් මෙලෝ රහක් නෑ.. කියන්නෙ එකම ටික.. ටික වෙලාවක් අලි බබා සහ හොරු හතලිහ පට්ට ගහලා.. ඊට පස්සෙ කියනවා.. අපි රැකියා ලක්ෂ 10ක් දෙනවා කියලා..අගමැති වෙලා අවුරුදු 5කින් රැකියා ලක්ෂ 10ක් දෙන එක මහ කජ්ජක්ය..(මාත් හිතාන ඉන්නවා.. (අඩු ගානේ ප්‍රාදේශීය සබා මන්ත්‍රී කමක්වත් නැතුව..grin emoticon ) රැකියා 10ක් විතර දෙන්න ඉදිරි අවුරුදු පහේ.. හිකි හිකිස්..)
අනුර කුමාර උන්නැහේ.. දුම්මල වරම අතට අරං.. ඉස්සෙල්ලම රාජ පස්ස පතුරු ගහනවා... ඊට පස්සෙ.. රනිල් ගොයියවත් පොඩ්ඩක් කොනිති ගහනවා.. අන්තිමේ කියනවා.. රට හදන්ට පුළුවන් එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි කියලා..
ඒ අතින් අපේ ෆොන්සේකා මහත්තැන් හොඳයි.. හිටපු රජා ගැන කියද්දි පොඩ්ඩක් තද වෙනවා තමයි.. අඩුම ගානෙ.. සාධාරණ ඉල්ලීමක් ජනතාවගෙන් කරනවා.. මොන පක්ෂෙන් හරි.. හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු එවන්ට කියලා.. ඒ මහත්තැන් තේරුම් අරන් තියෙනවා.. වෙලාවෙ හැටියට රටේ අවශ්‍යතාවය..
අපේ මිනිස්සු එහෙම ලේසියකට මේ කාලකන්නි පක්ෂ අතෑරලා.. තමන්නෙ දැන ඇඳුනුම්කම්.. අතෑරලා.. වහල් බව අතෑරලා.. තමන්නෙ වාසිය අතෑරලා.. හැබෑ මිනිස්සු විදිහට කෙලිං හිටගන්ට කැමති නෑ.. හිටං..
අපේ ඒ ගොංකං නිසා.. මේ රටේ බිහිවුණු රාජ්‍ය නායකයො කී දෙනෙක්.. නං..
හොරු.. මංකොල්ල කාරයො.. පාතාලයො.. කුඩු කාරයො, එතනෝල් කාරයො බවට පත් වුණා ද?
මේ පාරවත් ඡන්දෙ දාමුද කෙළිං.. හිටං..?

Wednesday, July 22, 2015

බැරිදා විග්‍රහය ! බැඳුම්කරේ මෙයයි හොරේ..!


මා මීට පෙර ද සඳහන් කළ පරිදි.. වත්මන් රජය නා ගත් ප්‍රධානතම තැන මහබැංකු බැඳුම්කර සිද්ධියයි..එම සිද්ධිය හා සම්බන්ධව හරිහැටි කරුණු දැක්වීමක් නැති නම්.. මහ බැංකු අධිපතිවරයාට විරුද්ධව ක්‍රියා කළ යුතුව තිබුණු බව මම එහිදී සඳහන් කළෙමි.. විශේෂයෙන්.. ඩිව් ගුණසේකර වැනි මා ගරු කරන පැරණි වාමාංශික නායකයෙකු අසත්‍යය පවසතතැයි සිතන්නට මගේ සිත ඉඩ දුන්නේ නැත. අනුර කුමාර සහෝදරයා ද කීවේ.. රනිල් ගෙන් බැඳුම්කර ගැන ඇසූ විට රනිල් කබ් රාල් ගැන කියන්නේ එතැන වංචාවක් සිදුව ඇති නිසා බවය. මේ සියල්ල නිසා ම රට විනාශ කළ මරා ප්‍රමුඛ අශුද්ධ සංධානයට මුහුණ දීමට තරම් ශක්තිමත් ශුද්ධ සංධානයක් රනිල් ප්‍රමුඛ එජාපයට තැනිය නොහැකි බව මගේ විශ්වාසය විය. එපමණක් නොව.. රටට විකල්පයක් නැති කරුමය ගැන අපමණ කණගාටුවක් සිතෙහි විය.

එහෙත්.. පසුගිය විසි වැනි දින.. නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් බැඳුම්කර සිද්ධිය සම්බන්ධව ඉදිරිපත් කර ඇති විග්‍රහය ට සවන් දීමෙන් පසු මහබැංකු අධිපතිවරයා නිවැරදි බවක් හැඟුණි. එහෙත් එක් පාර්ශවයක කරුණු පමණක් සෑහෙන්නේ නැත.. . දැන් යළිත් දොරටු විවෘත ය.. සියළු කරුණු කාරණා සහිතව සංවාදයකට එළැඹීමට කබ්‍ රාල්, ඩිව් හා සුජීවට අවශ්‍ය මනා වේදිකාවක් පමණය...




වීඩියෝව මෙතැනින්
නැත්නම්.. මෙතැනින්..

ප.ලි
රනිල්  බැඳුම්කර ගැන කියද්දි ..කබ්‍ රාල් ගැන කතා කළේත්..
ඩිව් සුජීවත් එක්ක සංවාදයකට එන්න බෑ කිවුවේත්.. ඇයි කියා.. මේ විග්‍රහය ඇසූ කෙනෙකුට මනාව තේරුම් ගත හැක..

Thursday, July 9, 2015

පරිගණකය හෙවත් Computer එක

පරිගණකය හෙවත් Computer එක පසුගිය කෙටි කාලය තුළ ඉතා වේගයෙන් ජනතාව අතරට ඇතුළු වූ ඉලෙක්ට්‍රොනික උපාංගයකි.

එඬේර යුගය
පරිගණකයේ ඉතිහාසය ගැන කතා කරන විට එය එඬේර යුගය තෙක් දිවෙන බැවු ඇතැමෙකු සඳහන් කරන්නේ.. ආදි කාලීන එඬේරා.. සිය ගවයින් හෝ බැටලුවන් ගණනය කිරීමෙහිලා.. බොරලු කැට ගණන් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන ලද හෙයිනි.. එහෙයින් ආදි කාලීන පරිගණකයේ මූලික කාර්යය වන්නට ඇත්තේ ගණනය කිරීම බව අපට සිතාගත හැක.  පසු කාලීනව, ගණනය කිරීම සඳහා විවිධ ක්‍රමවේදයන් සහ සරල යන්ත්‍ර සූත්‍ර භාවිත කෙරිනි. Abacus හෙවත් ඇබකසය කුඩා ළමුන් සඳහා තවමත් ජනප්‍රිය ගණනය කිරීමේ සරල යන්ත්‍රයකි.

පරිගණකයේ පියා..
කෙසේ වෙතත්.. පළමු යාන්ත්‍රික පරිගණකය නිපදවන ලද්දේ 19 වැනි සියවසේ ජීවත් වූ එංගලන්ත යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු වූ Charles Babbage (චාර්ල්ස් බැබේජ්)  බවයි පැවසෙන්නේ.. ඒ නිසාම ඔහු "පරිගණකයේ පියා" ලෙස හැඳින්වෙනවා..  Programmable Computer යන අදහස ඔහු විසින් හඳුන්වාදුන් බවත් කියැවෙනවා..  1822 අවුරුද්දෙදි ඔහු විසින් සාදන ලද පරිගණකය හඳුන්වා ඇත්තේ "Difference Engine" නමින්.

මෙය ප්‍රමාණයෙන් කෙතරම් විශාල වී ද යත්.. කොටස් 25,000 ක් පමණ එක්කොට සාදා තිබු අතර.. අඩි 8 ක් උස ටොන් 15ක් පමණ බරකින් යුක්ත උපකරණයක් උනා.. මෙම පරිගණකයෙන් ලැබෙන ප්‍රථිඵල මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ යන්ත්‍රයක් සැකසූ බැබේජ්.. වත්මන් මුද්‍රණ කලාවේ පියා බවටද පත් වූ බව බොහෝ දෙනා නොදන්නා දෙයක්. එම මුද්‍රණ යන්ත්‍රය බරින් ටොන් දෙක හමාරක් පමණ වුවත්.. එය ඉතාම දියුණු තත්වයේ එකක් වූ බව පැවසෙනවා..

එදා වගෙද අද
එදා ඔය තරම් ලොකුවට නිපදවපු පරිගණක වලට වඩා බොහෝ වැඩ ඉතා වේගයෙන් සිදු කරන, අත්ල මත තබා ගත හැකි පරිගණක පවා මෑත කාලය තුල ඉතා සුලභ දසුනක්.

Desktop, Laptop, Palm Top, Notebook, Tablet PC මෙන්ම.. 2G, 3G, 4G Mobile Phones ද පරිගණකයේ විවිධ කුල ලෙස හඳුන්වා දිය හැකියි..  එමෙන්ම ඇනලොග් සහ පළමු ඛාණ්ඩයේ දුරකථනයන් මෙන්ම Calculator එකත්.. පරිගණකයේ ම විවිධ අවධින් නියෝජනය කරනවා නොවේදැයි ප්‍රශ්න කිරීමෙහි වරදක් නැහැ.

මේ නිසා දැන හෝ නොදැන.. ලංකාවේ සෑම දෙනාම පාහේ පරිගණකයක් පාවිච්චි කර ඇති බවයි මා නම් විශ්වාස කරන්නේ.

පරිගණක පද්ධතියක මූලික කොටස්

පරිගණක පද්ධතියක් තුළ හඳුනාගන්නා මූලික කොටස් ලෙස ..Hardware, Software, Liveware හැඳින්විය හැකියි.
පද්ධතිය තුළ අතට හසුවන අජීවී සෑම දෙයක්ම Hardware ගණයට අයත් වන අතර.. Keyboard, Mouse, Monitor, Printer, CPU, HardDisk ආදිය උදාහරණ ලෙස දැක්විය හැක.. මේවා.. Input, Output, Storage, Process යන ප්‍රධාන අනුකොටස් වලට බෙදේ..

මෘදුකාංග හෙවත් Software ලෙස පොදුවේ හැඳින්වුවද.. Firmware සහ Software වශයෙන් ප්‍රධාන ඛාණ්ඩ දෙකක් වේ. පරිගණකය නිශ්පාදනයේදී නිශ්පාදකයින් විසින් ඇතුළු කර ඇති මෘදුකාංග..Firmware ලෙස හඳුන්වන අතර.. Software ඛාණ්ඩය ප්‍රධාන වශයෙන් Systems Software සහ Application Software වශයෙන් බෙදී යයි.. මෙහෙයුම් පද්ධතිය හෙවත්.. Operating System එක සහ Driver Software,.... Systems Software යටතට ගැනෙන අතර..සාමාන්‍ය User විසින් භාවිත කරන Software.. Application Software (හෙවත්.. MS Word, MS Excell...) දැක්විය හැක..

පරිගණක පද්ධතිය හා සම්බන්ධ වන User , System Administrator, Systems Analyzer, Programmer  ඇතුළු සියළු ජීවී පුද්ගලයින්  Live Ware   ඛාණ්ඩයෙහිලා ගැනේ..

තවත් කොටසක් ඉදිරියට..








Tuesday, July 7, 2015

කල දුටු කල වළ ඉහගං

මචං මේ පාරවත් මොනවා හරි කරගමුද බං..?
ඒ කිවුවෙ මචං..?
පොලිටික්ස් වලිං මොනා හරි සපෝට් එකක් ගමු..
මොනාටද බං..?
හොඳ රස්සාවකට පැනගමු..
නැත්තං මොකක් හරි කොන්ත්‍රාත්තුවක් අල්ලගමු..
අයියෝ එපා බං..
ඒ මොකෝ..?
මේ අවුරුදු තිස් අටටම දේශපාලන මතයක් දැරුවා මිසක්ක මං කවදාවත් දේශපාලකයොන්ගෙන් උදවු ගන්ට ගියෙ නෑ නෙ මචං.. ඉස්සරහටත් ඕන නෑ.. ඔය විදිහට දේශපාලකයින්ගෙන් පටු වාසි ගන්ට බලාපොරොත්තු වෙන ආකල්පය රටෙන් තුරන් කරන්ට තියෙනවා නං ලොකු දෙයක්..
මං නං මචං මොකක් හරි රස්සාවකට පැන ගන්ට ඕන.. කල දුටු කල වළ ඉහගං කියනවනේ..
මචං මේ දවස් වල මාර රස්නයක් නෙ තියෙන්නෙ නේ..?

Friday, July 3, 2015

මහින්දට නොමිනේෂන් දීම..

පසුගිය දින කිහිපයම පුරා දේශපාලනය ගැන සිතන හෝ කතාකරන හැම මොහොතකම.. මහින්ද එන්නේ බුලත් කොලෙන්ද .. නැත්නම් වෙනත් කොලයකින්ද යන කුහුල අප වෙත තිබූ බව නොරහසකි.. මොකෙන් ආවත් මහින්ද පාර්ලිමේන්තුව තුළට ඒම වැළැක්වීමට ක්‍රමයක් නැති බැවු අප නොදැන සිටියා නොවේ.. එය වැළැක්වීමට නොහැකි නම්.. සන්ධානයෙන් පැමිණීම වැළැක්වීමේ අමුතු අවශ්‍යතාවයක්ද නැත..
ඊයේ මහින්දට නොමිනේෂන් නොදෙන බවට පළවූ වාර්තා දෙස බලා සතුටක් ඇති වූයේ අනෙකක් නිසා නොව.. මහින්ද, විමල්, දිනේශ්, ගම්මන්පිල, වාසු ප්‍රමුඛ අශුද්ධ සන්ධානය වෙනම ඉල්ලූ කල.. මෛත්‍රීගේ ශ්‍රීලනිපය, රතන හාමුදුරුවො, ෆොන්සේකා වැනි යහපාලන බලවේග සාපේක්ෂ පාරිශුද්ධ බවක් ඇතිව සංධාන ගත වී ඡන්දයකට යාම මාගේ ඡන්දය කා හට දෙන්නේ ද යන ගැටළුවට පිළිතුරු සපයනු ඇති බවට ඇති වූ බලාපොරොත්තුවයි..

එහෙත් මහින්දට සන්ධානයෙන් නොමිනේසන් දෙන්ට තීරණය කරනවාත් සමඟ මාගේ එකී බලාපොරොත්තුව බිඳවැටුණා පමණක් නොව.. එකී අශුද්ධ සංධානයට වැඩි බලයක් ලැබී.. ශුද්ධ සංධාන යටපත් වීමේ අවදානමක් මතුව ආ අතර.. මා යළිත් එජාපය දෙසට දෝලනය වන්නට විය.. පසුගිය වකවානුවේ ඉතා දුර්වල.. හිතුවක්කාර.. පාලකයෙකු බව ඔප්පු කළ රනිල්ට ඡන්දය දෙන්නට ද හිත හදා ගත නොහැක.. එහෙත් මහින්ද අගමැති වී.. නැවතත් ජනතාව යන්තමින් භුක්තිවිඳින්නට ගත් නිදහස, සාධාරණත්වය නැති වෙනවා ඉවසා සිටින්නටත් නොහැක..

රතන හිමියනි, ෆොන්සේකා මැතිඳුනි.. ඔබ දෙපළ ඉදිරියේදී ගන්නා තීරණ ගැන දෑස් දල්වා බලා හිඳිමි..

මහින්දගේ පැමිණීම අන් හැමට වඩා ඔබ දෙදෙනාට.. අන්තරායකර විය හැක..

කෙසේ වෙතත්.. මහින්ද ගේ ආගමනය කෙටි කාලීනව.. රතන හිමි, ෆොන්සේකා, රාජිත, අර්ජුන, රන්ජන්, විජයදාස වැන්නන්ටද දිගු කාලීනව මුලු රටටමද මහා කොඩි විනයක් වන බැවු නොකිව මනාය..

Thursday, July 2, 2015

නැව ගිලුනත් බෑන් චූන්

මට නැව ගිලෙතත් බෑන් චූන් කතාව ගැන හොඳම අත්දැකීම ලැබුණේ ටයිටැනික් චිත්තරපටිය බලපු දොහේ ය. ටයිටැනික් නැව ගිලෙන්ට යද්දි.. දහස් ගනං ඈයො.. ජීවිතය බේරගන්ට සටං කරද්දි.. මේ බෑන් චූං ගහපු හාදයො ටික වගේ වගක් නැතිව හිටියෙ .. ආසාවට නොවේය.. ඒක උන්දැලගෙ රස්සාව නිසාය... රස්සාව හරියට කොරන්නෙ නැතිව පණ බේරගන්නවට වඩා.. රස්සාව හරියට කොරලා මැරෙන එක උතුම් කියලා හිතන්ට තරං මහා නිර්භීත කමක් ඇත්තටම උන්ට තිබුණද කියලා මට විඩෙන් විඩේ නොහිතුණා නොවේය..

කොයික වෙතත්.. අපේ ජීවිතේ ගෙවිච්ච පැත්ත දිහා ආපහු හැරිලා බැලුවම.. අපිත් නැවු ගිලෙද්දි බෑන් චූන් ගහපු අවස්ථා ඕනෑ තරං හොයා ගත්තෑකිය.. ඒ අතරෙ සුන්දරම සුන්දර කතාවක් මතක් උනේ මගේ අතිජාත මිත්‍රයා අද දුරකතනයෙන් කතා කරපු වෙලාවේය...

ඒ නවසිය අනූ අට අවුරුද්දය.. අපි තුන්වැනි පාරට උ/පෙ ලියන්නට සැරසෙන කාලයයි.. අපේ සුමේධ සර් කිවුවේ හිස ගිණිගත්තෙකු එගිණි නිවන ලෙස.. පාඩං කොරන්න්ට කියාය.. ඒ නිසාම මාත් මගේ මිතුරාත් එක් දිනක් තෝරාගෙන රැය පහන් වන තුරු ශිල්ප ප්‍රගුණ කරන්ට හෙවත්.. ගණං දෙක තුනක් ප්‍රැක්ටිස් වෙන්ට කතිකා කරගෙන එයට පූර්වයෙහි මනා නින්දක් ද ලබාගෙන අපගේ නිවසේ සදා නිම නොකළ සුදුසු ස්ථානයක මේසයක් තබාගෙන සැට් උනේ මේ ගණං දෙක තුන ගොඩ දාගෙන මිස නොනැගිටිමුයි කියාය..

අප එක දිගට මිනිත්තු 25-30 ක් වැඩ කරන්නට ඇත..  කිසියම් තෙහෙට්ටු ගතියක් නිසා කෙටි විවේකයක් ගමු දැයි එකෙකු ඇසීමෙන් පළමු කෙටි විවේකය රාත්‍රී 10.00 ට පමණ ගන්නට තීරණය විය.. එම කෙටි විවේකය හැකි ඉක්මණින් එනම් පාන්දර 2 ට පමණ අවසන් කර නැවතත් පාඩම් කරන්නට ගත්තේ.. මා පියන් රැවටීම උචිත නොවන දෙයක් බව තේරුම් ගත් නිසාය.. සැලැකිය යුතු වෙලාවක් හෙවත් මිනිත්තු 45ක් පමණ එක දිගට පාඩම් කළ අපි ඉන් අනතුරුව කතා කරන්නට වූයේ.. නැවත කෙටි විවේකයක් ගන්නවාද නැතිනම් .. කෙටි නින්දක් දමා පසු දින නැවතත් පාඩම් කරනවාද යන්න පිළිබඳවය.. ඉතාම හොඳින් කරුණු කාරණා සලකා බැලූ අප දෙදෙනා පාන්දර 4 වන විට කෙටි නින්දක් ලබා ගැනීමට ගත් තීරණය පසුදිනය යහතින් ගත කිරීමේ අරමුණින් ගත් තීරණයක් බව කිව යුතුය..

මේ ආකාරයට අප එදා පාඩම් කළ ආකාරය ගැන සිතන විට විවිධ ප්‍රස්ථා පිරුළු සහ කියමන් සිහියට නැඟීම අරුමයක් නොවේය.. එහෙත් ඇතැම් ප්‍රස්ථා පිරුලක් දුටු විට මෙතෙක් මේ කතාව මතක් වන්නේ අප දෙදෙනාට පමණක් විය යුතුය..

එදත් අපි එහෙමය.. ඕනම වැඩක් අන්තිම මොහොත දක්වා තබා ගැනීම අපේ පුරුද්දය.. ඒ අන්තිම මොහොතට හොඳින් මුහුණ දීම සඳහා හොඳින් රිලැක්ස් වීම අනිවාර්යය... තවමත් අපි එහෙමය.. ලෙඩා මළත් බඩ සුද්දය.. නැව ගිලුනත් බෑන් චූන් ය..



Friday, June 26, 2015

අධිකරණ තීන්දු වලට එරෙහි වීම

එදා මෙන් නොව.. අද අධිකරණය.. ස්වාධීන තීන්දු තීරණ ලබා දෙන බවක් පැහැදිලිව පෙනේ.... ඒවායින් සමහරක්.. තීරණ... පොදු සමාජයේ ඇසින් වැරදි ඒවා විය හැක.. එහෙත් අධිකරණ විනිසුරුවරයන්ගේ වගකීම පවතින නීතියට අනුව වඩාත් අපක්ෂපාතීම තීන්දුව ලබා දීම මිස.. බහුතරයේ හෝ වෙනත් කෙනෙකුගේ කැමැත්ත ඉටු කිරීම නොවේ..

ආසන්නතම සිද්ධිය හමුදා නිලධරයා සම්බන්ධ තීන්දුවයි.. මට නම් එය පෙනෙන්නේ.. අධිකරණයේ ස්වාධීන තීන්දුවක් ලෙසයි.. ඔහු නිවැරදි නම්, කළ යුත්තේ..මේ තීන්දුව ට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කොට.. අධිකරණයෙන්ම සාධාරණයක් ඉටු කර ගැනීමයි.. ඇතැම් විට   මෙම තීන්දුව ගෙන ඇත්තේ නීතියේ යම් හිඩැසකින් නම්.. ජනපතිවරයා හමුවේ මෙම ගැටළුව ඉදිරිපත් කිරීම.. සාර්ථක පියවරක් වනු ඇත.. වත්මන් ජනපතිවරයා.. නිකරුණේ අධිකරණයේ වැඩ වලට ඇඟිලි ගසන මදාවියෙකු නොවන බව අපි දනිමු..

රට වෙනුවෙන්.. ඉතා බරපතල යුදයක යෙදුණු පුද්ගලයෙකු පිළිබඳ මෙවන් තීරණයක් ඇසීමට අප කවුරුත් කැමති නැත..  ඇතැම් විට විනිසුරුවන්ට  වැරදුණා ද විය හැක.. මන්ද විනිසුරුවන් ද මිනිසුන් වන බැවිනි.. එබැවින් නැවත වරක් මෙම සිද්ධිය අධිකරණය තුළ විභාග කිරීම වඩාත්ම ප්‍රායෝගික ක්‍රියාව වනු ඇත..

ආණ්ඩු විරෝධී පිරිස් .. මෙය ආණ්ඩුව විසින් දුන් තීරණයක් පරිද්දෙන් මේ සම්බන්ධව ආණ්ඩුවට දොස් පවරමින් සිටිති.. ඡන්දයක් අත ළඟ තබාගෙන මෙවන් තීන්දුවකට අධිකරණයට බලපෑම් කරන්නට  ආණ්ඩුවට මොලේ කොලොප්පම් යැයි සිතනවා නම්.. ඒ ඔවුන්ගේ දේශපාලන අඳබාල කම මිස අන් කවරක්ද? මෙය දේශපාලන අර්ථයෙන් නොදැක.. අපේ සහෘදයෙකු.. අපේ ම මිනිසෙකු හට සිදුවූ අකරතැබ්බයක් ලෙස සලකා..ඔහුගේ නිදහස පතමු.. එය වඩාත් සාධාරණ ක්‍රමයකට ලැබේ නම් ජාතියක් ලෙස ආඩම්බර වියහැකි බව සිත්හි තබාගමු..

Monday, June 22, 2015

0% available (plugged in, not charging) Consider replacing your battery

පෙරේදා හොඳටම කලබොල දවසක්.. රියල් මචං ගෙ පස් කන්දක හුස්ම ගන්න සීන් එකට යන්න තිබුණු නිසා.. දඩි බිඩියෙ යද්දි.. ලැප් එකට ගහලා තිබුණු ප්ලග් එක ගලවන්න බැරි වෙලා.. ඊට පස්සෙ තවත් ගමනක් යන්ට වුණු නිසා.. ගෙදර එනකොට රෑ උනා.. කොහොමිං කොහොම හරි.. ඊයෙත්.. හවස තමයි ලැපා දිහා ඇහැක් ඇරලා බැලුවෙ..

ඔන් කරලා බුකියට ලොග් උනා.. බැටරිය 100% කියලා තමයි පෙන්නුවෙ.. සම්පත් අයියගෙ පොටෝ දෙක තුනකට ලැයික් දාන්ට ඉස්පාසුවක් උනේ නෑ..  මෙන්න ලැප් එක ඕෆ් උනා.. ඕන මඟුලක් කියලා දමලා ගහලා නිදියගත්තෙ..ඕක ගැන හිත යොමු කරන්ට ගියොත්.. නිදි දෙවුදුවට හිරිහැරයක් වෙයි කියන බයට..

උදේ නැගිටලා..ඔන් කරන්නත් කලිං ම ප්ලග් එක ගැහුවා.. මෙන්න බොලේ.. චාර්ජිං බල්බ් එක කොල පාටින් පත්තු වෙනවා (ඒ කියන්නෙ චාර්ජ් වෙන්න දෙයක් නෑ කියන සඥ්ඥාව) . ඔන් කරලා බැලුවම.. පෙන්නන්නෙ අර හෙඩිමෙ තියෙන වාක්‍ය පොඩ්ඩ.. උදේ පාන්දර තියෙන හීතල හිංදා වෙන්ටැති දාඩිය දැම්මෙ නෑ... ඒත් හිතුණෙ බැට්‍රියට අබ සරණයි කියලා.. ඒත් අන්තර් ජාලය පැත්තෙ හොයලා බලන්ට ඕන කියලා හිතුණෙ.. මොකක් හරි ගොඩ වෙදකමක් තියෙයිද කියලා බලන්නයි..

අනේ ඒත් බලන බලන ඒවයෙ තියෙන්නෙ.. දැන් නං උඹට කෙලවෙලා කියලා විතරමයි.. ඒත් එක දෙයියෙක් වගේ මහත්තයෙක් කියලා තිබුණා.. ප්ලග් එකයි බැටරියයි ගලවලා.. තත්පර දහයක් පවර් බටන් එක ඔබාගෙන ඉඳලා බලන්ට කියලා.. පල්ලෙහයින් තවත් මහත්තයෙක් කියලා තිබුණා.. ඒක වැඩ කළා කියලත්.. මටත් හිතුණා ඕක කොරලා බලන්ට..


දෙයියංගෙ පිහිටයි .. බුදුංගෙ සරණයි කියලා.. මෙන්න යකඩෝ.. ගිඩි ගිඩි ගාලා චාර්ජ් වෙනවා හිටං.. මට ලොකු සතුටක් දැනුණා කාලෙකට පස්සෙ.. ඉතිං හිතුණා.. ලැප් පාවිච්චි කරන ඔයාලත් එක්ක බෙදාගන්න... ඔයාලටත් ඔහොම අකරතැබ්බයක් උනොත්.. ඕක කොරලා බලන්න..

මේ තියෙන්නෙ.. අර දෙයියා වගේ මහත්තයා දීලා තිබුණු උපදේසෙ..

Can you take the battery and charger out and press the power button for 10 seconds, then put the battery in to see if it starts to charge up, if not then unfortunately, your only option is to get a new battery.

මෙන්න ලිංක් එක 







Tuesday, June 9, 2015

ලෙඩ්ඩු සහ ඉස්පිරිතාල


අපේ රටේ තරම් ලෙඩ්ඩු වෙන රටවල් වල ඉන්නවාද කියා සිතෙන්නේ රෝහලක් කරා ගිය පසුය.. එය.. රජයේ රෝහල, පුද්ගලික රෝහල... ඩිස්පැන්සරිය කියා වෙනසක් නැත.. නිරන්තරයෙන් ඒවා පිරී ඉතිරී යයි.. විවිධ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට එන රෝගීන්ගෙන් අඩුවක් ඇත්තේම නැත... එහෙත් රෝගීන්ට මෙම ආයතන වලින් නිසි ප්‍රතිකාර ලැබෙනවාද යන්න විමසා බැලිය යුතුය...
පසුගිය සෙනසුරාදා රැයෙහි.. මාගේ පියාණන් තරමක් අසාධ්‍ය තත්වයෙන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කළේ උණ හා කකුලේ තුවාල නිසාය.. මූලික ප්‍රතිකාර ඒකකයට ගොස් සිටින අතර.. එහි සඳහන් පුවරුවක පසුගිය දිනවල ප්‍රතිකාර ගත් රෝගීන් සංඛ්‍යාව සඳහන්ව තිබුණි.. එය දිනකට 250-350 අතර ප්‍රමාණයක් විය.. මේ ප්‍රමාණය.. සායන, බාහිර රෝගී අංශය, වාට්ටුවල ප්‍රතිකාර වලට අමතරව ය.. මේ අනුව බැලූ විට.. රෝගීන් අඩු වශයෙන් 3000ක් වත් දිනක් තුළ.. රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා ඇත.. රෝහලට ඇතුලත් වීමට පෙර.. අප ඩිස්පැන්සරියක් වෙත ගොස් වෛද්‍යවරයෙකු හමුවූ අතර.. ඔහු දිනකට ප්‍රතිකාර කරන රෝගීන් ප්‍රමාණය.. 150-200 අතර වෙයි..මේ ආකාරයට තැන් තැන් වල පුංචි.. පුංචි.. ඩිස්පැන්සරි.. විශාල ගනණක්.. ප්‍රධාන පුද්ගලික රෝහල් තුනක්.. අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇත.. මේ තැන් සියල්ල පාහේ පිරී ඉතිරී ඇති බැවු දක්නට හැක.. මේවායින් ප්‍රතිකාර ගන්නා.. රෝගීන්.. ප්‍රමාණය.. දළ වශයෙන් දිනකට 5000 ඉක්මවනු ඇතැයි සිතිය හැක..
මේ අනුව සමස්ථයක් වශයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පමණක්.. දිනකට රෝගීන් 8000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ගනියි.. එහෙත් ඔවුන්ගෙන් කී දෙනෙක් නිස් පරිදි සුව වනවාද යන පැනයට අපට පැහැදිලි පිළිතුරක් දිය නොහැක..
අප්පච්චිගේ ඇඳට එහා ඇඳට පෙරේදා හවස ආ ලෙඩා සමඟ ඊයේ දහවල් කතා කළෙමි.. ඔහු පැමිණ ඇත්තේ බුලත්කොහුපිටියටත් එහා සිටය..ඔහුට ඇත්තේ කකුලේ තුවාලයකි..
අද බෙහෙත් දාලා ටිකට් කැපුවා.. පුදුම කරුමයක් මේක.. කෑගල්ලෙ ඉස්පිරිතාලෙට ගියා එහෙත් උදේ ආවා හවස ටිකට් කැපුවා.. යන යන තැන ඔහොමයි.. මිසී කෙනෙක්ට කිවුවාම කියනවා.. තමුසෙ වගේ ලෙඩ්ඩු මේකෙ තියාගත්තොත්..ලෙඩ්ඩු කීදෙනෙකුට මැරෙන්න වෙයිද කියලා..
හැන්දෑවෙ අප්පච්චි බලන්ට හිහාම.. අප්පච්චිට ඉන්සියුලින් විදින්ට ආවෙ මගේ මිත්‍රයෙක්.. ඉතිං යාළුවත් එක්ක ටිකක් කතා කරන්න ලැබුණා..
‍ඊයෙ .. අදට වඩා ගොඩක් බිසී නේද? මං ඊයෙ කතා කළේ නැත්තෙ ඔයාලා බිසී නිසා..
ඔවු.. ඊයෙ ලෙඩ්ඩු හොඳටම වැඩියි.. අදත්.. තියටර් ගිය අය 20-30ක් ඉන්නවා.. ආවම පිරෙයි..
වාට්ටුවෙ ඇති වෙන්න නර්සස් ලා ඉන්නවද?
වාට්ටුවෙ ඉන්න ඕනි ගාන නම් ඉන්නවා.. ප්‍රශ්නෙ තියෙන්නෙ ලෙඩ්ඩු වැඩි එක..
එහෙම උනාම ඉතිං හැම ලෙඩා ගැනම බලන්න වෙන්නෙ නෑ නේද?
අනික..දැං ඉතිං කාලයක් මෙතන ඉඳළා ඔයාලට මේවා සාමාන්‍ය දේවල්නෙ..
ඒක තමයි අපි විශේෂයෙන් බලන්නෙ ජීවිතයට අනතුරක් තියෙන අය ගැන විතරයි.. අනිත් ඇය ගැන බලන්න වෙලාවක් නෑ..
ඔන්න ඔහොමයි මිත්‍රයා කිවුවෙ..
ජීවිත අවදානමක් නැත්තං.. එළියෙන්ම බෙහෙත් ගන්න එක දාහෙන් සම්පතයි කියලා ඉතිං අපි තේරුං ගන්න ඕනි..
ඉතිං අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්ට.. ඉස්පිරිතාල හදලා විතරක් වැඩක් නෑ.. ඒවට අවශ්‍ය තරම් හෙද කාර්ය මණ්ඩලයක් බඳවා ගන්නත් ඕන.. ප්‍රතිකාර මීට වඩා ස්ථිර වෙන්ටත් ඕන.. කාර්ය මණ්ඩලය හොඳට උද්‍යෝගිමත්ව තියා ගන්ටත් ඕන..
රෝගාතුරව ඉන්න මගේ අප්පච්චිට වගේ ම රට පුරාම මේ වගේ විවිධ රෝග ආබාධ වලින් දුක් විඳින රෝගීන්ට .. නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා.. පුළුවං නං.. ඔයාලත් එහෙම කරන්ට..

Sunday, June 7, 2015

මහා සවු දන්සැලාක්..!

මහා සවු දන්සැලාක්..!
මහා සවු දන්සැලාක්..!
තමන්ට හැකි උපරිමයෙන් කෑ ගසමින් කොඩි වනමින් පාරේ යන එන වාහන නවත්වන්නට වෙර දරන මගේ පොඩිත්තො දෙන්නා ළඟට කිට්ටු කරපු මං ..
පුතේ.. මෙතන.. මහා සවු... නෑ.. තියෙන්නෙ සවු දන්සැලක්.. කියා කීවේ.. උන්ගේ දිරිය බිඳ දමන්නට නොවේ.. යථාර්තවාදී වීම කියා දෙන්නටයි..
මොහොතකට..
සවු දන්සැලක්.. කියමින් කෑ ගැසූ දෙදෙනා .. යළිත්.. සුපුරුදු වාක්‍ය ඛන්ඩයම කියමින් කෑ ගසන්නට වන්හ..
අපේ රටේ දන්සැල් සියල්ලක්ම නමින් මහා ඒවා වුවත්.. බොහෝ දන්සැල් දන්සැලක අර්ථයෙන් ගත් කළ.. නොසැළකිය හැකි තරම් ඒවා බව මගේ අදහසයි..
මා දකින අයුරින්.. එකී දානය..
නිර්මල ලෙස ඉපැයූ ධනයෙන් සකස් කළ දානයක් විය යුතුයි..
කෙනෙකුගේ කුස පිරවීම.. අරමුණු කරගත්තක් විය යුතුයි..
දායකත්වය දරන්නන් සැදැහැ සිතින්, අදාල දායකත්වය දැරිය යුතුයි..
සෞඛ්‍ය කාරණා වැදගත් වන බැවින් පිරිසිදුව සකස් කළ යුතුයි..
දන්සැල අසල වටපිටාව.. සහ.. ඒ අවට හැසිරීම ප්‍රසන්න, පිරිසිදු හා සිත්ගන්නා සුළු විය යුතුයි..
දානය ලබන්නාට සිදුවන යම් අපහසුතාවයක් වේ නම් එය අවම කිරීම ගැන ප්‍රමුඛත්වයක් දිය යුතුයි..
මාර්ග අවහිර නොවන පරිදි.. වාහන නැවැත්විය හැකි තැනක් තෝරා ගන්නේ නම් හොඳයි..
දන් ලබන්නා ද.. අවශ්‍යතාවය මත පිහිටා දන් ලබා ගන්නේ නම් එය දානයේ වටිනා කම වැඩි කරනු ඇත..
එහෙත්.. අද බොහෝ විට ඇත්තේ කැපී පෙනීම, ෆන් ගැනීම හා පොර වීම, පෙර සිට පැවැත්වෙන නිසා පැවැත්වීම.... වැනි අරමුණු වලින් දන්සැල් පැවැත්වීම බව මගේ අදහසයි..
ඇතැම් දන්සැල් වල මත්පැන් පානය පවා සිදු කෙරෙන බව මා අසා ඇති අතර.. එවන් දන්සැල් බොහෝ විට ආරවුලකින් කෙළවර වේ..
එනයින් බැලූ කල.. මහා දන්සැල් ඇත්තේ අතලොස්සක් විය හැක..
ඒ අතරම දන්සැලකින් සිදුවන අමතර ප්‍රතිලාභ ගැනද අප විමසිලිමත් විය යුතුය..
පිරිස් සමඟ එක්ව පොදු කාරණාවක් උදෙසා සංවිධානය වීම..
දන්නා .. නොදන්නා.. හැමදෙනාට සංග්‍රහ කිරීම තුළින් ලබාගන්නා.. අනන්‍ය වූ සතුට..හා සැනසුම..
අන්‍යෝන්‍ය සුහදශීලීත්වය ගැන රට තුළ මතු කළ හැකි ... ආකල්පමය වෙනස..
මෙවැනි කාරණා මේ අතර වෙයි..
මේ අතර.. අපේ ගමේ.. පොඩියට මොන්ටිසෝරියක් කරගෙන යන ගුරුවරියක් සිටී.. ඇය මෙවර.. පුංචි ළමයින් සඳහා කතන්දර පොත් දන්සැලක් දී ඇති බැවු ආරංචි විය.. පොසොන් පොහොය දින වන්දනාවේ යන දරුවන්ට කතන්දර පොත් වල ඇති ගැලපීම පිළිබඳ ප්‍රශ්නයක් ඇතත්.. ආකල්පමය වශයෙන් ගත් කල ..ඇගේ එම උත්සාහය අගය කළ යුතු බව මගේ අදහසයි..
සියළු දානයන් අතර ධර්ම දානය උතුම් බවත්.. ඊටත් වඩා.. එක සිල්පදයක් රැකීම උතුම් බවත් .. අප බුදුරජාණන් වදාරා ඇති වගක් බණකින් ඇහුණා මතක තිබේ..
කෙසේ වෙතත්.. නැවැත්ම සඳහා වන ධර්මයේ පැවැත්ම සඳහා දානය අත්‍යවශ්‍ය සාධකයක් බව කිව යුතුය..

Friday, June 5, 2015

පෙමට කිසි තහනමක් නොවේ

සිල් බිඳං අපි ලැබූ සුවේ
තාම හිත ආදරෙන් දැවේ
නෑ මෙවන් දෑ තවත් ලොවේ
වෙන් වීම අහඹුවක් නොවේ
  
හිත ද ඒ මේ අතට නැවේ
ඇය ට හිමිවී දිනත් ගෙවේ
එකතු නොම වූ නමුත් බවේ
පෙමට කිසි තහනමක් නොවේ
  
අත් කරන් ජය අරන් ජවේ
මා ඔබෙන් අන් මඟක දිවේ
පාලුවෙන් කිතියකුත් කැවේ
හිත් අහසෙ වැට කඩොළු නොවේ
  
ළබැඳි බව හදවතට පෙවේ
දැන නොදැන පෙම් පවස නිවේ
නොම බැඳුණු කිසි දිනෙක පවේ
සබඳ මිස ඔබ බිරිඳ නොවේ
  

Sunday, May 24, 2015

කෘතවේදී මිනිස්සු.. 2! හදිසි අනතුර



මේක මීට අවුරුදු 10කට කලිං තමයි සිද්ධ උනේ.. එතකොට මගේ විවාහ උත්සවේ වෙනුවෙන් අපේ ගේ පිලිසකර කරන කාලෙ.. අපි තීන්ත ගත්තෙ.. කිරිවන්දල චන්ද්‍රා එකෙන්.. මොනවා හරි අඩුපාඩුවක් ගේන්න අප්පච්චි ගියා.. ඔය කඩේට.. ඔහොම ගිහිං පැයකින් විතර.. ගෙදරට කෝල් එකක් ආවා..

ඒකෙන් කියැවුණේ.. අප්පච්චි අනතුරක් නිසා තුවාල වෙලා අවිස්සාවේල්ලෙ ඉස්පිරිතාලෙට ඇතුල් කළා කියලා.. ආරංචිය ආපු සැනින්.. මං මගෙ හුටු හුටුවෙන්.. සුරුස් ගාලා එතැනට ඉගිල්ලුණා.. ගිහිං බලනකොට.. ඒ වෙනකොටත් කරන්න අවශ්‍ය ප්‍රතිකාර ටික කෙරිලා තිබුණා.. මගේ (ඒ දවස් වල වෙන්ට) බිරිඳගේ අම්මා හොඳ වෙලාවට එතන ඉඳපු නිසා.. බලනකොට.. ලේ වල සීනි මට්ටම ඉතාම වැඩි අගයක් තිබුණේ.. මට මතක විදිහට.. තුන්සිය ගානක් ද කොහෙද..

කොහොමින් කොහොම හරි.. කකුළේ අස්ථි වගයක් පුපුරලත් තිබුණ නිසා.. වාට්ටුවට ඇතුළු කළා.. ඊට පස්සෙ තමයි හොයලා බැලුවෙ.. මොකද්ද උනේ කියලා..

අප්පච්චි තීන්තත් අරගෙන කහ ඉරෙන් පාර පනිද්දි යතුරු පැදියක වැදිලා තමයි මේක වෙලා තියෙන්නෙ.. හැපුණු ගමන් යතුරු පැදි කරු.. ඒ හරියෙම වැටුණට යතුරු පැදිය මීටර් විස්සක් තිහක් ගිහිං තමයි නතර වෙලා තියෙන්නෙ.. හිතා ගත්තැකිනෙ යතුරු පැදියෙ වේගෙ..

යතුරු පැදි කරු.. අවුරුදු 38ක විතර අයියා කෙනෙක්.. මිනිහා හොඳටම බය වෙලා.. ඒ මදිවට මිනිහගෙ කලිසමත් ඉරිලා..

මල්ලි .. මට බ්‍රේක් කරන්නවත් වෙලාවක් තිබුණෙ නෑ.. තාත්තා එක පාරටමනෙ පැන්නෙ.. මිනිහා තටම තටම කිවුව විදිහට මට තවත් දුක හිතුණා..

මං අනික් පැත්ත බලලා.. මේ පැත්තෙන් ආපු ලොරිය ගිය ගමන් පැන්නා.. බයිසිකලේ දැක්කෙ නෑ.. මගේ තමයි වරද.. ඕං අපේ අප්පච්චි වරද පිළිගත්තා.. අර මනුස්සයා ගැන දුක හිතිලද මංදා..

ඒ උනාට මහත්තයා.. මෙයා ඇවිත් තියෙන වේගෙ වැඩියි.. එකක් වංගුව.. එකක් කහ ඉර.. පාරෙ වාඩි වෙලා හිටියත් මිනිස්සු යට කරගෙන යන්න බෑ නෙ.. රෝහල් පොලීසියෙ රාලහාමි.. ටිකක් වැඩේ තද කරන්න වගේ කල්පනාව.. කොහොම හරි.. දෙන්නගෙ කට උත්තර ලියා ගත්තා..

දවස් දෙක තුනකින්.. ටිකට් කපාගෙන අප්පච්චි ගෙදර එක්ක ආවා.. තෙල් බෙහෙත් වලින් තමයි .. අර කැඩුණු බිඳුණු තැන්.. සනීප කොරගන්න උත්සාහ කළේ... අනේ ඉතිං අර අයියා හරි හොඳයි.. නිතරම අපේ ගෙදරට කතා කරලා සුව දුක් අහනවා..

ඔය අතරෙ දවසක පොලීසිය අර අයියත් එක්ක.. අපේ ගෙදරට ආවා..

අනේ මල්ලි කොහොම හරි මේක ෂේප් කරලා දෙන්න.. අර අයියා.. බැගෑපත් වෙනවා.. මගේ බයිසිකලෙත් ගන්න දෙයක් නෑ.. ඒක නම් ඕන දෙයක්... කාලෙ... නඩු දැම්මොත් එහෙම මහ ලෙඩක්.. 

හරි.. හරි.. අයියා.. අපේ අප්පච්චිගෙ නෙ වැරැද්ද.. අපි මේක ඇදගෙන යන්න අදහසක් නෑ.. මාත් ඉතිං ෆුල් ෂේප්..

ඔය අතරෙ ආපු අහල පාල නොයෙල් අයියා.. අප්පච්චිට කිවුවෙ..
මේක නිකං අරින්න එපා.. පොඩි වන්දියක් ඉල්ලගන්න.. අඩුගානෙ බෙහෙත් කරන්නවත්.. කියලා.. ඒත්.. ඉතිං අලට වැඩියිනෙ කොස්.. අපේ අප්පච්චිත්.. කියනවා..
චී.. චී.. ඒක හරි නෑ නෙ.. මගෙ වැරැද්දෙන් නෙ හැපුණෙ.. කියලා..

රාළහාමිත් ආයෙ පැහැදිලි කළා.. අප්පච්චි කොයිතරම්.. වැරදි උනත්.. නඩුවක් කිවුවොත් අවාසිය අර බයිසිකල් අයියටම තමයි.. කියලා.. ඒත් ඉතිං අපි ප්‍රතිපත්ති ගරුකයි නෙ.. අන්තිමට රාළහාමිටත් මළ පැන්නා.. එහෙනම් ඕන එකක් කරන්න කියලා.. මිනිහා කට උත්තරය ලියාගෙන වැඩේ අහවර කළා..

අනේ අර අයියා මුව නොසෑහෙන සේ ස්තුති කරලා කාර් එකේ නැගලා යද්දි හෝන් එකකුත් ගැහැවුවා.. ඊට පස්සෙ නිතරම කෝල් කරලා සැප දුක අහන්න ටැලිපෝන් නොම්මරේ නැති වෙන්න ඇති මයෙ හිතේ.. අවිස්සාවේල්ල පැත්තෙ එවෙන්නත් නැතුව ඇති..

අපේ අම්මා තාම ඉඳ හිට මතක් කරන්නෙ.. ලේසියෙන් දේකට එකඟ නොවෙන අප්පයි පුතයි දෙන්නා බොහෝම සමඟියෙන්.. කරපු පරිත්‍යාගය ගැන..ජුගුප්සාජනක හැඟීමකින්.. මටත්.. අප්පච්චියි මායි සමඟියෙන් කරපු වැඩක් හැටියට මුලින්ම මතකෙට එන්නෙ මේ සිද්ධිය.. කොහොම උනත්.. වර්තමානෙ.. අප්පච්චිට ඇවිදීමේ අපහසුවක් ඇති වෙන්නත් ඔය අනතුර බලපාන්න ඇති කියලා පොඩි අදහසක් තියෙනවා..


Friday, May 22, 2015

සබඳ

ආදරය කියන්නේ..
ඔබ මගේ
මම ඔබේ
.......
නෑ ඔබට
හෝ මෙමට
ලැබෙන කිසිවක් ඉබේ...

පාවෙනා වළාකුළු
වලත් දිය බිඳු තිබේ
..........
වාසනාවට සබඳ
ලැබෙන සේරම ලැබේ
........

Wednesday, May 20, 2015

හිරු නැවතත් පැමිණේවි

උඹ අඬපන් තව හයියෙන් මට කඳුළු ...නො ඒවී
ඒ උනත් දෑස බලපන් එය කතා ...............කරාවී
හෙමි හෙමින් නමුත් උඹටත් ටික ටික ..වැටහේවී
ගෙවුණාද නෑ අතීතය සදහට ..................පවතීවී
ගුරු පාර තාර කාපට් උගුලට ....................යටවේවී
අළු කොබෙයි රුව මකා කලු කපුටන් .......මතුවේවී
වැව ගාව නෙළුම් කොළ මත මොණරුන් සැතපේවී
කොයි තරම් දුර ගියත් හිරු නැවතත්........පැමිණේවී

Monday, May 18, 2015

නූලෙන් බේරුණේ..

ලොවම කිවුවා
හැමට රහසින්
ඇයත් මා හට
පෙම් කළායයි..
හොඳ වෙලාවට
මං නොදන්නේ
තව ටිකෙන්
සේරම හමාරයි..

Saturday, May 16, 2015

නුඹ කොහිද

වෙනදාට
මා ළඟම
සෙනෙහසින්
දැවටෙනා..
මටම සරි
සිහිනයක්
ළඟ ඇතැයි
මුමුණනා...
හෙට උදෑසන
ගැනත්
මැසිවිලි ද
අමුණනා....
නුඹ කොහිද
නුඹ කොහිද
මට නිබඳ
සුව දෙනා..

Thursday, May 14, 2015

හරි මඟ

සුන්දර රූ සපු හිමි කාන්තාවන් දෙදෙනෙක්.. හදිසි අනතුරක් නිසා අසාධ්‍ය තත්වයට පත්වුණා.. ඔවුනට පියවි සිහිය නොතිබූ අතර ඔවුන් මරණාසන්න බවයි.. රෝහලේ ඇති උපකරණ පෙන්වා දුන්නේ.. එහෙත් නොපෙනෙන ලෝකය තුළ නොපෙනෙන යමක් සිදු වෙමින් තිබුණා.. මෙම කාන්තාවන් දෙදෙනා.. මෙලොවින් චුත වන්නට නියම වී තිබුණා.. ඔවුන් ගුරු පාරක් දිගේ ඇවිද ගියා.. ඔවුනට හමු වුණේ මංසන්ධියක්.. එහි දොරටුපාලයෙක් විය හැකියැයි සිතිය හැකි කෙනෙකු සිටියා..
මේ පාරවල් යන්නෙ කොහේටද?
කාන්තාවන් විමසා සිටියා.. 
තමන්ලගේ ඊළඟ භවය වෙත..
දොරටුපාලයා රළු විදිහට උත්තර දුන්නා..
අපි කොහොමද හරි පාර තෝරගන්නෙ.. ?
ඊළඟ ප්‍රශ්නය..
ඔබ කර ඇති පිං පවු අනුව සහ වඩවා ගෙන ඇති සිහිය අනුව.. ඔබට නිසි මාර්ගය තෝරාගත හැකි වනු ඇත.. 
මේ.. බැරිද.. පොඩි ඉඟියක් දෙන්න.. ? එක් කාන්තාවක් තොඳොල් වෙමින් පැවසුවා.. 
ඕවා ඉතිං ඕවා නිකං කරන්න බෑ.. 
කාන්තාවන් දෙදෙනාම තමන්ගෙ අත් බෑග පරීක්ෂා කළේ.. මුදල් ටිකක් යහමින් අත මිට මොළවන්ට හිතාන.. ඒත් පසුම්බි හිස් බව තේරුණු කාන්තාවන් පසු බැස්සා.. 
අනික කොච්චර කළත්.. ඔය හුඟක් පාරවල් වලිං වැටෙන්නෙ එක වගේ ම තැන් වලට..
ඉතිං අපි මොකද කරන්නෙ?
මෙතනින් හොඳයි කියලා සිතෙන පාරක් තෝරාගෙන යන්න..ඔබ මෙතන පසු කළ සැණින් ඔබ ගේ වත්මන් භවය නිම වනු ඇති.. 
නැහැ මට මැරෙන්න බෑ.. කාන්තාවන් කඳුළු සලන්නට වුණා..
ඔබ දෙදෙනාම පැවති දිවිය බොහෝ සාර්ථකව ගතකර ඇති හැඩයි..
නැහැ.. මට මොන මාර්ගය තෝරාගන්නද කියා හිතාගන්න බෑ.. මට බයයි..
ඕකට කියන්නේ සංසාර බිය කියා.. ඔබ ක්‍රියා කරද්දී සංසාර බිය ඇතිව ක්‍රියා කළා නම්.. අද බිය වන්නට දෙයක් නෑ.. ඔබ නිසැකයෙන් ම හොඳ මාර්ගයක් තෝරා ගනීවි..
මට ආ මඟින් ආපසු යන්න බැරිද?
ඔබට ආ මඟ සොයා ගත හැකිද? සොයාගත හැකි නම් ඔබට යා හැක..
කාන්තාවන් දෙදෙනාම ආපසු හැරී බැලුවේ තමන් ආ මඟ කුමක්ද කියා..
එහෙත් හැම මඟක් ම එක වගේ.. ආ මඟ සොයන්නට බැහැ.. අඩි සලකුණු.. සටහන් වෙලත් නෑ..
වෙනත් ක්‍රමයක් නැද්ද?
ඔබට සිදු වෙනවා තෝර ගන්නට.. මරණය හෝ රමණය
රමණය? කා එක්කද?
මා පවසන කෙනෙකු සමඟ..
දෑස පියා මඳක් කල්පනා කර මම මරණය තෝරා ගන්නවා.. කියූ එක් කතක්.. තමන් යා යුතු මාර්ගය ලෙස තෝරාගත්තේ.. එතැන තිබූ තරමක් දුෂ්කර බවක් පෙන්වූ මාර්ගයක්..
ඇයි ඔබ මේ මඟ තෝරා ගත්තෙ..?
මං අහලා තියෙනවා.. නිවැරදි මඟ දුෂ්කරයි කියා.. 
ඉතින් වඩාත් ම දුෂ්කර මඟ මෙය නොවෙයි නේද?
ඔවු.. ඒත් මේ පාර.. මගේ ප්‍රමාණයටයි තියෙන්නෙ.. මීට වඩා දුෂ්කර පාරවල් මට ඔරොත්තු දෙන එකක් නෑ.. ඕක වැඩියම හිතලා වැඩක් නෑ.. අපි අභියෝග වලට මූණ දෙන්ට ඕන.. 
ඔබට සිතෙන්නෙ නැද්ද? ආපහු යන්න තිබුණා නම් කියා..?
මට තියෙන හොඳම විකල්පය මේකනෙ..
ඒත් ඔබේ දරුවො.. සැමියා.. දෙමවුපියො.. ?
ඒත්.. ඒ ගොල්ලො ගැන දැං හිතලා වැඩක් නෑ..නේද? මං හිතන්නෙ මෙතැන ඉඳං කොහොමද මං ඊළඟ මරණයට සූදානම් වෙන්නෙ කියලා..
හොඳයි ඔබට සුබ ගමන්.. කියූ දොරටුපාලයා.. අනෙක් කාන්තාව දෙසට සිය දෑස් යොමු කළා..
ඔබ රමණයට සූදානම් ද?
ඔවු.. කිසියම් අසරණ බවකින් මෙන්.. ඇය පැවසුවා.. 
එවන් දේකට යොමු වීම ඔබේ දරුවන්ට... සැමියා ට කරන අසාධාරණයක් නොවේ ද?
මං එයාලා වෙනුවෙන් ආපහු යන්නනෙ එහෙම කරන්නෙ.. 
ආපසු ගිහින්..?
මං එයාලට කියලා දෙනවා.. මරණයට පෙර සූදානම ගැන.. මමත් සූදානම් වෙනවා.. 
මේ රමණයෙන් වින්දනයක් ලබන්ට ඔබේ බලාපොරොත්තුවක් නැද්ද?
රමණයෙන් ලැබෙන වින්දනය තාවකාලිකයි නේද? ඊට වඩා මට වටින්නෙ
මරණයට වන සූදානම..

ඒ සඳහා ඕනම කැප කිරීමක් කරන්න සූදානම්..?
ඔවු ඉතිං.. එහෙම නොවුණොත්.. ඉරණම ඊට වඩා නරක් වෙන්න පුළුවනි නෙ..
එන්න යං..
ඔවුන් යන්නට පටං ගත්තේ.. පළමු කාන්තාව ගිය මඟෙහි ම වීම.. දෙවැනි කාන්තාවට මහත් ගැටළුවක් විය.. 
මුකුත් හිතන්ට එපා.. ඔයාටත් දැං සංසාර බිය දැනිලා නේද තියෙන්නෙ..? අපි අභියෝග බාර ගන්න ඕන.. සමහර වෙලාවට අපට විකල්ප නෑ.. විශ්වාස කෙනෙක්ව විශ්වාස කරන්න වෙනවා..