Thursday, May 14, 2015

හරි මඟ

සුන්දර රූ සපු හිමි කාන්තාවන් දෙදෙනෙක්.. හදිසි අනතුරක් නිසා අසාධ්‍ය තත්වයට පත්වුණා.. ඔවුනට පියවි සිහිය නොතිබූ අතර ඔවුන් මරණාසන්න බවයි.. රෝහලේ ඇති උපකරණ පෙන්වා දුන්නේ.. එහෙත් නොපෙනෙන ලෝකය තුළ නොපෙනෙන යමක් සිදු වෙමින් තිබුණා.. මෙම කාන්තාවන් දෙදෙනා.. මෙලොවින් චුත වන්නට නියම වී තිබුණා.. ඔවුන් ගුරු පාරක් දිගේ ඇවිද ගියා.. ඔවුනට හමු වුණේ මංසන්ධියක්.. එහි දොරටුපාලයෙක් විය හැකියැයි සිතිය හැකි කෙනෙකු සිටියා..
මේ පාරවල් යන්නෙ කොහේටද?
කාන්තාවන් විමසා සිටියා.. 
තමන්ලගේ ඊළඟ භවය වෙත..
දොරටුපාලයා රළු විදිහට උත්තර දුන්නා..
අපි කොහොමද හරි පාර තෝරගන්නෙ.. ?
ඊළඟ ප්‍රශ්නය..
ඔබ කර ඇති පිං පවු අනුව සහ වඩවා ගෙන ඇති සිහිය අනුව.. ඔබට නිසි මාර්ගය තෝරාගත හැකි වනු ඇත.. 
මේ.. බැරිද.. පොඩි ඉඟියක් දෙන්න.. ? එක් කාන්තාවක් තොඳොල් වෙමින් පැවසුවා.. 
ඕවා ඉතිං ඕවා නිකං කරන්න බෑ.. 
කාන්තාවන් දෙදෙනාම තමන්ගෙ අත් බෑග පරීක්ෂා කළේ.. මුදල් ටිකක් යහමින් අත මිට මොළවන්ට හිතාන.. ඒත් පසුම්බි හිස් බව තේරුණු කාන්තාවන් පසු බැස්සා.. 
අනික කොච්චර කළත්.. ඔය හුඟක් පාරවල් වලිං වැටෙන්නෙ එක වගේ ම තැන් වලට..
ඉතිං අපි මොකද කරන්නෙ?
මෙතනින් හොඳයි කියලා සිතෙන පාරක් තෝරාගෙන යන්න..ඔබ මෙතන පසු කළ සැණින් ඔබ ගේ වත්මන් භවය නිම වනු ඇති.. 
නැහැ මට මැරෙන්න බෑ.. කාන්තාවන් කඳුළු සලන්නට වුණා..
ඔබ දෙදෙනාම පැවති දිවිය බොහෝ සාර්ථකව ගතකර ඇති හැඩයි..
නැහැ.. මට මොන මාර්ගය තෝරාගන්නද කියා හිතාගන්න බෑ.. මට බයයි..
ඕකට කියන්නේ සංසාර බිය කියා.. ඔබ ක්‍රියා කරද්දී සංසාර බිය ඇතිව ක්‍රියා කළා නම්.. අද බිය වන්නට දෙයක් නෑ.. ඔබ නිසැකයෙන් ම හොඳ මාර්ගයක් තෝරා ගනීවි..
මට ආ මඟින් ආපසු යන්න බැරිද?
ඔබට ආ මඟ සොයා ගත හැකිද? සොයාගත හැකි නම් ඔබට යා හැක..
කාන්තාවන් දෙදෙනාම ආපසු හැරී බැලුවේ තමන් ආ මඟ කුමක්ද කියා..
එහෙත් හැම මඟක් ම එක වගේ.. ආ මඟ සොයන්නට බැහැ.. අඩි සලකුණු.. සටහන් වෙලත් නෑ..
වෙනත් ක්‍රමයක් නැද්ද?
ඔබට සිදු වෙනවා තෝර ගන්නට.. මරණය හෝ රමණය
රමණය? කා එක්කද?
මා පවසන කෙනෙකු සමඟ..
දෑස පියා මඳක් කල්පනා කර මම මරණය තෝරා ගන්නවා.. කියූ එක් කතක්.. තමන් යා යුතු මාර්ගය ලෙස තෝරාගත්තේ.. එතැන තිබූ තරමක් දුෂ්කර බවක් පෙන්වූ මාර්ගයක්..
ඇයි ඔබ මේ මඟ තෝරා ගත්තෙ..?
මං අහලා තියෙනවා.. නිවැරදි මඟ දුෂ්කරයි කියා.. 
ඉතින් වඩාත් ම දුෂ්කර මඟ මෙය නොවෙයි නේද?
ඔවු.. ඒත් මේ පාර.. මගේ ප්‍රමාණයටයි තියෙන්නෙ.. මීට වඩා දුෂ්කර පාරවල් මට ඔරොත්තු දෙන එකක් නෑ.. ඕක වැඩියම හිතලා වැඩක් නෑ.. අපි අභියෝග වලට මූණ දෙන්ට ඕන.. 
ඔබට සිතෙන්නෙ නැද්ද? ආපහු යන්න තිබුණා නම් කියා..?
මට තියෙන හොඳම විකල්පය මේකනෙ..
ඒත් ඔබේ දරුවො.. සැමියා.. දෙමවුපියො.. ?
ඒත්.. ඒ ගොල්ලො ගැන දැං හිතලා වැඩක් නෑ..නේද? මං හිතන්නෙ මෙතැන ඉඳං කොහොමද මං ඊළඟ මරණයට සූදානම් වෙන්නෙ කියලා..
හොඳයි ඔබට සුබ ගමන්.. කියූ දොරටුපාලයා.. අනෙක් කාන්තාව දෙසට සිය දෑස් යොමු කළා..
ඔබ රමණයට සූදානම් ද?
ඔවු.. කිසියම් අසරණ බවකින් මෙන්.. ඇය පැවසුවා.. 
එවන් දේකට යොමු වීම ඔබේ දරුවන්ට... සැමියා ට කරන අසාධාරණයක් නොවේ ද?
මං එයාලා වෙනුවෙන් ආපහු යන්නනෙ එහෙම කරන්නෙ.. 
ආපසු ගිහින්..?
මං එයාලට කියලා දෙනවා.. මරණයට පෙර සූදානම ගැන.. මමත් සූදානම් වෙනවා.. 
මේ රමණයෙන් වින්දනයක් ලබන්ට ඔබේ බලාපොරොත්තුවක් නැද්ද?
රමණයෙන් ලැබෙන වින්දනය තාවකාලිකයි නේද? ඊට වඩා මට වටින්නෙ
මරණයට වන සූදානම..

ඒ සඳහා ඕනම කැප කිරීමක් කරන්න සූදානම්..?
ඔවු ඉතිං.. එහෙම නොවුණොත්.. ඉරණම ඊට වඩා නරක් වෙන්න පුළුවනි නෙ..
එන්න යං..
ඔවුන් යන්නට පටං ගත්තේ.. පළමු කාන්තාව ගිය මඟෙහි ම වීම.. දෙවැනි කාන්තාවට මහත් ගැටළුවක් විය.. 
මුකුත් හිතන්ට එපා.. ඔයාටත් දැං සංසාර බිය දැනිලා නේද තියෙන්නෙ..? අපි අභියෝග බාර ගන්න ඕන.. සමහර වෙලාවට අපට විකල්ප නෑ.. විශ්වාස කෙනෙක්ව විශ්වාස කරන්න වෙනවා..

7 comments:

  1. This is really a creative writing! An eye-opener to many. Thanks.

    ReplyDelete
  2. මේ හැම දේකම අවසානය ඒතන තමා..............

    ReplyDelete
    Replies
    1. හැම කෙනෙක්ටම ඔය විදිහෙ අවස්ථාවක් නොලැබෙන එකයි වෙනස..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..