Tuesday, August 25, 2015

පරිගණකයක් මිළට ගැනීමේදී සැලකිය යුතු කරුණු


1. Desktop or Laptop ?
පරිගණකයක් මිළට ගැනීමේදී.. ඔබ මිළට ගන්නේ ... කුමණ ආකාරයක පරිගණකයක් ද යන්න පළමුව තීරණය කළ යුතුය. එය ඔබගේ අවශ්‍යතාවය සහ වියදම් කිරීමේ හැකියාව මත තීරණය කළ යුතු දෙයකි. බැලූ බැල්මට.. මේ දෙකෙන්ම වෙන්නෙ එකම දේ.. 

ඔබ පරිගණකයෙන් වැඩ කරන්ට බලාපොරොත්තු වන්නේ.. එක ස්ථානයක නම්.. ඒ වගේ ම ටිකක් වැඩිපුර වෙලා පරිගණකය එක්ක කල් ගත කරන්න හිතනවා නම්.. Desktop  එකකට යන එක ඇඟට ගුණයි.. ඒ වගේ ම සාක්කුවටත් වාසියි..  ඒත් ඔබ පරිගණකය නිතර එහෙ මෙහෙ ගෙන ගොස් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම්..Laptop  එක නිවැරදි තේරීම වේවි... ඔබ පරිගණකය ඉතා කලාතුරකින් වගේම.. ලියුමක් ගහගන්න වගේ පොඩි පොඩි වැඩ වලටනං භාවිත කරන්නෙ.. Tablet PC එකක් හරි Notebook එකක් හරි ගන්න එක වඩාත් ලාභදායී වෙනවා.. 

2. Processor
Processor එක මොකද්ද කියලා හොයලා බලන්ට ඕන. Processor එක කියන්නෙ පරිගණකයේ මොළය.. ඉස්සර නං.. Speed එකයි Architecture එකේ නමයි තමයි කිවුවෙ.. Pentium iv ,2 GHz  වගේ.. ඒත් දැන් කියන්නෙ..  Cores ගාන.. සහ Speed එක.. Core i 3 - 2GHz වගේ.. ඒත් Core i 3 කියන්නෙ Cores 3ක් තියෙනවා කියලා වරදවා වටහා ගන්ට නරකයි.. ඒකෙන් කියන්නෙ.. Processing Power එකට සම්බන්ධ Rating එකක්.. 1 සහ 2 හිමි වෙන්නෙ.. Celeron සහ Pentium කියන පරණ Processors දෙකට.. මේ ක්‍රමේ ට.. 2GHz වේගෙන් Processors 2ක් වැඩ කරනවා වගේ මේ  Processor එක වැඩ කරන බව කියනවා.. ඒ වගේ ම.. බෙදා හදා ගෙන වැඩ කිරීම තුළින් (Multi Tasking) බහුකාර්ය හැකියාව ඉහළ නංවා ගෙන වඩාත් ඵලදායී ප්‍රතිඵල දෙන්ට මේ  Cores කිහිපයක් ඇති ක්‍රමය රුකුල් දෙන බවයි පැවසෙන්නෙ.. ඒ වගේ ම Threads ගණන කීයද කියලා දැන ගන්න එකත් වටිනවා.. Multi Threading කියන්නෙත් performance වැඩි කරගන්ට භාවිත කරන තාක්ෂණයක්.. ඒ වගේ ම Cache වල ප්‍රමාණය හොයලා බලන්ට පුළුවන් නම් වඩාත් හොඳයි.. සමහර Processors වල.. මේවා වෙන වෙනම පෙන්නන්නෙ නෑ.. ඒත්.. සමස්ථ Cache එක කීයද කියලා දක්වනවා.. i3 එකකට වඩා i5 එක හොඳ වෙන්නෙ.. i5 වල තියෙන Turbo Boost කියන තාක්ෂණය නිසා.. එමඟින්.. අවශ්‍ය වෙලාවට වේගය වැඩිකරලා දෙන්න හැකියාවක් ලැබෙනවයි කියලයි කියන්නෙ.. ඒ වගේම i3 වල 3MB වන Cache එක i5 වලදි 4 සිට 6 දක්වා වන බවයි කියැවෙන්නෙ.. ඒ වගේම i7 වලදි.. එය 8MB දක්වා වැඩි වී තිබෙන බවයි කියවෙන්නෙ.. 

Hyper Threading කියන තාක්ෂණය හරහා එක Core එකකට  Threads 2ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා..  මේ තාක්ෂණය ඇති.. i3 වල සමස්ථ(Cores 2ක් ඇති නිසා)   Threads 4කුත්.. i7 වල  Threads 8කුත් තිබෙනවා.. 

3. RAM (Main Memory)
Cache වගේම හදිස්සියට අවශ්‍ය වෙන RAM එක තමයි.. පරිගණකයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රධාන මතකය වෙන්නෙ.. Cache වලට සාපේක්ෂව ප්‍රමාණයෙන් හා ධාරිතාවයෙන් විශාල.. මිළෙන් අඩු RAM 1GB සිට.. 32GB දක්වා විතර ධාරිතා වලින් මේ දිනවල RAM මිළට ගන්න පුළුවනි. ඒත් මේකෙ වැදගත්ම හරිය එන්නෙ.. RAM Type එකෙන් සහ RAM Speed එකෙන්.. DDR3 තමයි මේ දිනවල භාවිත වන RAM Type එක.  වෙන වෙනම ගන්නකොට RAM Speed එක හරිම වැදගත්..එය Mother Board එකේ Speed එකට සමාන වන ලෙස ගන්න පරෙස්සම් වෙන්න ඕන.. 

4. Hard Disk Drive (දෘඩ තැටිය)
ප්‍රධාන වශයෙන් මිළ ට අමතරව දෘඩ තැටියේ ඉඩ ප්‍රමාණය (Capacity) සහ වේගය (RPM) ගැනත් සැලකිය යුතුයි. සාමාන්‍යයෙන් 7200 ක RPM එකක් සහ 500 GB Capacity එකක් ප්‍රශස්ත අගයයන් ලෙස සැලකෙනවා. Cache සහ RAM වලට සාපේක්ෂව මිළ අඩු Hard Disk Drive එක ද්විතීයික මතකය (Secondary Storage) වශයෙන් දැක්වෙන අතර එය සියළු දත්ත සහ තොරතුරු ස්ථිරව ගබඩා කර ගැනීමට මෙන්ම ස්ථාපනය කරන මෘදුකාංග වලට අදාළ සියළු තොරතුරු රඳවා ගැනීමටත් භාවිත කරනවා. මේ නිසා ඉහත කී RPM සහ Capacity පරිගණකයේ කාර්යක්ෂමතාව කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කරනවා..

5. UPS
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල විදුලි බිඳවැටීම් නිතර සිදු වන නිසාත්.. විදුලි සම්බන්ධතා වල ඇති නිරන්තර අඩු වැඩි වීම් නිසාත්... UPS එකක් පරිගණකයක් සමඟ මිළ දී ගැනීම ඉතා වැදගත් වෙනවා.. සාමාන්‍ය 600VA UPS එකක් සාමාන්‍ය තත්ව යටතේදී ප්‍රමාණවත් වෙනවා.

6. Sound Card, VGA Card
Onboard හෙවත්.. Mother Board එක සමඟම පැමිණෙන Sound Card, VGA Card යොදා ගැනීම ප්‍රමාණවත් මෙන්ම ලාභදායී වෙනවා. එහෙත් යම් කෙනෙකු Quality එකෙන් වඩාත් වැඩි සංගීත හෝ ශබ්ද රස විඳීමට බලාපොරොත්තු වන්නේ නම් වෙනම Sound Card එකක් මිළට ගත හැකියි.

7. Monitor 
ඔබ මිළ දී ගන්නේ.. Desktop පරිගණකයක් නම්.. Monitor එකක් අවශ්‍ය වෙනවා.. එය අඟල් 17ක ප්‍රමාණයේ වත් තිබීම පහසුවක් වනු ඇති. එය LED හෝ LCD වර්ග වලින් එකක් නම්.. එය ඔබගේ ඉඩ ඉතිරි කර දෙන අතර විදුලිය ද පිරිමසිනු ඇති. තවද LED වර්ගයේ එකක් නම්.. එය විදුලිය උපරිමයෙන් පිරිමසිනු ඇති. ඉතින් මිළත් සමඟ ඉහත කරුණු Monitor එකක් මිළ දී ගැනීමේ දී සලකා බලන්න. 

8. KeyBoard & Mouse
Desktop පරිගණකයක් සඳහා අනිවාර්යයෙන්ම හොඳ KeyBoard එකකුයි Mouse එකකුයි අරගන්න මතක තබා ගන්න. ලාබ අඩු මිළ උපාංග ඉතාම කරදරකාරී වනු ඇති නිසා.. සාමාන්‍යයෙන් රුපියල්1000ක් පමණ වන KeyBoard එකක් සහ රුපියල් 700ක් පමණ වන Mouse එකක් මිළට ගැනීම සාර්ථක වේවි.

9. CD/DVD/Combo/DVDRW
ඔබගේ අවශ්‍යතාවය අනුව සංයුක්ත තැටි භාවිතය සඳහා උපාංගයක් තෝරා ගත යුතු අතර.. වත්මන් අවශ්‍යතාව හා මිළෙහි තත්වය අනුව.. DVDRW හෙවත්  DVD Writer එකක් මිළට ගැනීම වඩා සුදුසු තෝරා ගැනීම වනු ඇත. 

10. Warranty
ඉහත කී සෑම උපාංගයක් සඳහාම වගකීම් කාලයක් ඇතුව ලබාගැනීමට ප්‍රවේශම් වන්න. සාමාන්‍යයෙන්.. Mother Board එකට අවුරුද්දේ සිට අවුරුදු 3 දක්වාත්, RAM සඳහා අවුරුදු 5ක් දක්වාත්, Hard Disk, Monitor, UPS, CDR, DVDR, Combo, DVDRW සඳහා අවුරුද්දක් පමණත් Warranty එකක් ලබා දෙන අයුරු දැක ගත හැක. 



මේ සියළු කරුණු සළකා බලන අතර.. ඔබ මිළ දී ගන්නා පරිගණකය, ඔබ වෙසෙන පෙදෙසට වඩා කිට්ටු තැනකින්, විශ්වාසයක් ඇති තැනකින් ලබා ගැනීම අලෙවියෙන් පසු සේවයක් බලාපොරොත්තු වනවා නම්... ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. 



Monday, August 24, 2015

ආඩම්බරයි ඔබ ගැන ආදර සංගා



සංගක්කාරව..අපි මුලින්ම දැක්කෙ.. 2000 වසරෙ පකිස්ථානයට එරෙහිව එක්දින තරඟාවලියෙදි. මුලින්ම ඔහුව ආදේශ උනේ රොමේෂ් කලුවිතාරණට.. ඒ කියන්නෙ ඔහුගෙ ස්ථානයට.. රොමේෂ් එක්දින තරඟ වලදි දිගින් දිගටම පිතිකරණයෙන් අසාර්ථක උනත්.. ඔහු අපේ සිත් සතන් වල පැලපදියම් වෙලා හිටපු කඩුළු රකින්නා.. ආකර්ශනීය, උද්‍යෝගිමත්, සුන්දර කලු ව පන්නලා ගෙනාපු මේ අලුත් කඩුළු රකින්නා ගැන අපට තිබුණෙ අකමැත්තක්.. විශේෂයෙන් .. සංගා.. මීට පෙර කඩුළු රකින්නෙකු වශයෙන් ඒ තරම් පළපුරුද්දක් නැති කෙනෙක් බවට ඒ දිනවල කතා වුණා.. ඒ වගේම.. ඒ දිනවල..ඔහු කලු තරම් හොඳට කඩුළු රැක්කෙ නෑ..
ඒත් ටික දිනක් යද්දි.. සංගා පිතිකරුවෙකු ලෙස කැපී පෙනෙන්න ගත්තා.. අර්ජුනලා, මහානාමලා, ගුරුසිංහලා නැති කණ්ඩායමේ.. පිතිකරණයේ වැඩි බරක් උහුලන්න.. සනත්, මාවන්, මහේල එක්ක උරෙනුර ගැටෙන්ට සංගටත් පුළුවන් උනා.. ඒ වගේම ඔහුගේ කඩුළු රැකීමත් ඔප්නැංවෙන්න පටං ගත්තා.. මුරලිගෙ දඟපන්දු වලටත් හොඳින් හුරු වුණු මේ අපූරු ක්‍රීඩකයාගේ පෞර්ෂය අපට දැනෙන්න ගත්තේ 2003 අරවින්දත් විශ්‍රාම ගියාට පස්සෙ..
ටෙස්ට් කණ්ඩායමේ කඩුළු රැකීමෙන් මිදෙන සංගා.. ටෙස්ට් පිතිකරුවෙකු ලෙස අති විශිෂ්ඨ දස්කම් දක්වන්නට උනා.. ඉතා ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි බස හසුරුවන ඔහු කණ්ඩායම වෙනුවෙන්, රට වෙනුවෙන් මෙන්ම යුක්තිය වෙනුවෙන් කතා කරන්නට කිසි විටෙක පසුබට උනේ නෑ..
නියම මහත්මයෙකු ලෙස.. පිළිවෙලින්, 20-20, එක්දින තරඟ වලින් නියම කලට .. සුපිරිම තත්වයේ සිටියදී.. සමුගත් සංගා.. ටෙස්ට් තරඟ වලින් අද දින සමුගැනීම.. වේදනාකාරී සිහිනයක් බඳුයි. එහෙත්.. සංගා පවසන්නේ.. ඔහුට වඩා විශිෂ්ඨයින් මේ ක්‍රීඩාවෙන් මීට පෙර සමුගෙන ඇති බවයි.. එසේ සමුගත්තාය කියා ක්‍රීඩාව නැති වූයේ නැති බවයි.. තමා ට ද එම තත්වය පොදු බවයි...
ඒත් මට නම් හැඟෙන්නේ.. සංගා තරම් විශිෂ්ඨයෙකු මේ බිමේ දී සමුගෙන නැති බවයි..
හෙටින් ඇරැඹෙන සංගා ගේ අලුත් දිවිය.. පෙරටත් වඩා සුන්දර එකක් වේවායි.. හදපතුලින්ම පතමි..
ඉවසමි හදවතින් නැග එන දුක් ....ගංගා
පවසමි ඔබ රජෙක් බඳු මිනිසෙකි සංගා

පිංතූරය.. ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවියෙන් සත්භාවයෙන් උස්සන ලද එකක් බව කරුණාවෙන් සළකන්න

Friday, August 7, 2015

අන්තර්ජාල භාවිතය

පරිගණක සාක්ෂරතාව Computer Literacy
සාක්ෂරතාව ඉතා ඉහල අගයක් ගන්නා ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව ද දිනෙන් දින ඉහළ යයි..ලංකාවේ එම අගය සමස්ථයක් ලෙස 10% ක් බව  කියවේ. අන්තර්ජාල පරිහරණය කිරීමට දන්නා අය 3% ක් පමණ වන බැවු කියැවෙන අතර තවත් 7% අන්තර්ජාලය ගැන දන්නා නමුත් පරිහරණය කිරීමට නොදන්නා බව පැවසෙයි.  කෙසේ වෙතත් පරිගණක භාවිතය මෙන්ම අන්තර්ජාල භාවිතය ද දිනෙන් දින ඉහළ යන බව සැවොම දන්නා කරුණකි..
ආශ්‍රිත

ජනගහනය (මිලියන 20) අනුව ලෝකයේ 58 වැනි ස්ථානය හිමි වන අප.. රැහැන් සහිත අන්තර්ජාල සම්බන්ධතා ප්‍රමාණය අනුව (හාර ලක්ෂයකට වැඩි) සම්බන්ධතා ගනණක් සමඟ 74 වැනි තැනට පත් වී ඇති අතර එම සම්බන්ධතා වල වේගය අනුව ඉන්නේ.. (2Mbps) 128 වැනි ස්ථානයේය. සම්බන්ධතා ගනණ අනුව 10 වැනි තැන ලබා ඇති ඉන්දියාව වේගය අනුව.. ලබා ඇත්තේ 137 (1.1 Mbps) වැනි තැනයි..
ජංගම දුරකථන ඇතුළු රැහැන් රහිත සම්බන්ධතා සැලකූ විට.. (ලක්ෂ නවය හමාරක් ඉක්මවා ඇති) අප.. 73 වැනි තැනත්.. වේගය (4.4 Mbps)  අනුව 114 වැනි තැනත් ලබාගෙන සිටී. ඉන්දියාව සම්බන්ධතා (මිලියන 6) අනුව 7 වැනි තැනත්.. වේගය (4.9 Mbps) අනුව 110 වැනි තැනත් ලබා ඇත..

ආශ්‍රිත

ඉන්දියාව පසු ගිය වසරට සාපේක්ෂව වේගය අතින් පහළ ගොස් ඇති අතර.. අප ලැයිස්තුවේ මඳක් ඉදිරියට විත් තිබීම කැපී පෙනේ..

කෙසේ වෙතත්.. මිලියන එක හමාරක් පමණ වූ සම්බන්ධතා භාවිත කරන අප.. එකී සම්බන්ධතා කොතරම් ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්නවාද යන්න විමසා බැලිය යුතුය.

සමාජ ජාල (Social Networks)
නිරවද්‍ය සංඛ්‍යා ලේඛන නැතත්.. මෙකී සම්බන්ධතා වැඩි වශයෙන් භාවිත කරන්නේ.. ෆේස්බුක්(facebook),ට්විටර්(twitter), හයිෆයි(Hi5), වේන් (Wayn) වැනි සමාජ ජාල භාවිතයට වන අතර.. එකී සමාජ ජාලයන් තුළ බොහෝ විට සිදුවන්නේ.. සම්ප්‍රපලාප දෙඩවීම නොහොත්.. චැට් කිරීම.. බැවු පෙනී යයි.. එහෙත්.. සැලකිය යුතු පිරිසක්.. කවි, කතන්දර ඇතුළු  සාහිත්‍යය, සංගීතය, චිත්‍ර ආදී නිර්මාණයෙහි යෙදීමට, ධර්මය බෙදා හැරීමට මෙන්ම මේ සියල්ල පරිශීලනයට ද මෙකී සමාජ ජාල යොදා ගැනීම සතුටට කරුණකි.. විශේෂයෙන් මේ හරහා සබුද්ධික  සමූහයන් (Community ) බිහිව ඇති අතර.. එය වඩාත් සංවාදශීලී.. ජන සමාජයක් ගොඩනැඟීමට ඉවහල් විය හැකි තත්වයකි. ඉහත කී සමාජ ජාලයන්ට අමතරව.. යම් කිසි කණ්ඩායම් ඉලක්ක කරගත්.. (Community Forums) වෙබ් අඩවි ද දැකිය හැක.. උදාහරණයක් ලෙස elakiri.com යනු ශ්‍රී ලාංකීය ජන සමාජය ඉලක්ක කරගෙන පවත්වාගෙන යන එවැනි වෙබ් අඩවියකි.. මේවා බොහෝ කොට නිර්මාණ, දැනුම ආදිය බෙදා හදා ගැනීමට යොදා ගැනෙන අතර Content Management System ලෙසින් හඳුන්වන Web Application එකක් භාවිතයෙන් සිය සේවාව පවත්වනු ලබයි.. ඇතැම් විෂයයන් සඳහා විශේෂිත වූ Forums ද දැකිය හැකි අතර ඒවා එකී විෂයයන් සම්බන්ධයෙන් වූ ගැටළු සාකඡ්ඡා කිරීමට කදිම තෝතැන්නක් වී ඇත. vbforums,  Technet Forums, MSDN Forums.. ආදී වශයෙන්.. උදාහරණ බොහොමයක් මේ සඳහා සැපයිය හැකි අතර.. ඒවායින් සමහරක් තමන්ගේ Products භාවිත කරන්නන්ගේ පහසුව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබයි..

සන්නිවේදන කාර්යය (Communication)
විශේෂයෙන් තමන්ගේ රටින් බැහැරව සිටින ඥාති මිත්‍රාදීන් සමඟ කතා බස් කිරීමට ස්කයිප්(Skype), වයිබර්(Viber) වැනි අන්තර්ජාල මෘදුකාංග යෙදවුම් (Software Applications)  යොදා ගන්නා අතර.. Images, Audio, Video ආදී වශයෙන් ඇති ලේඛන File Sharing තාක්ෂණය හරහා හුවමාරු කර ගැනීම ද, වෙනත් තැනක ඇති පරිගණකයක් පාලනය කිරීමට Remote Assistance තාක්ෂණය භාවිත කිරීමද මෙකී මෘදුකාංග වල ඇති පහසුකම් අතර දැකිය හැක. Yahoo, Google Talk, MSN Massenger වැනි යෙදවුම් ද ඉහත කී යෙදවුම් වලට විකල්පයන් ලෙස භාවිත කළ හැකි යෙදවුම් ය. මුලින් කී Facebook වැනි සමාජ ජාල හරහා ද මේ කාර්යයන් බොහොමයක් කරගැනීමේ පහසුව දැන් හිමිව ඇත..

දුරස්ථ සහායක මෘදුකාංග (Remote Assistance Software)
මේ සඳහාම නිපදවූ යෙදවුම්... ලෙස පිළිගැනෙන.. Teamviewer, WindowsRemoteAssistance, VNC, Chrome Remote Desktop, Remote PC වැනි යෙදවුම් ඉතා ජනප්‍රිය වුවත්.. පෙර කී.. යෙදවුම් වලත් බොහෝ දුරට මෙම කාර්යය කිරීමේ පහසුකම අන්තර්ගත වී තිබේ..

බ්ලොග් -blog
ඉහත කී යෙදවුම් වලින් බොහෝ සෙයින් වෙනස්.. එහෙත් තොරතුරු බෙදා ගැනීම සඳහා අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන තවත් මෙවලමකි "බ්ලොග්". Web Log  යන වදන් එක් කීරීමෙන් සෑදිණැයි සැලකෙන.. blog.. පුද්ගලිකව.. හෝ කුඩා සමූහයක් ලෙස සිය තොරතුරු, නිර්මාණ, ප්‍රවෘත්ති ආදිය අන් අයත් සමඟ බෙදා හදා ගැනීම සඳහා භාවිත කරයි. යම් නිර්මාණ හෝ.. තොරතුරු සංරක්ෂණය සඳහා ද බ්ලොග් ගත කිරීම සරල විසඳුමකි.  සිංහල බ්ලොග් කරුවන් අතර ද ඉතා හොඳ සාමූහිකත්වයක් ගොඩ නැංවී ඇති අතර.. විටෙක සාහිත්‍ය ධරයෙක් ලෙස, විටෙක පුවත් ප්‍රචාරකයෙක් ලෙස මෙන්ම විටෙක ජාත්‍යන්තර විචාරකයෙක් ලෙස නැගී එන බ්ලොග්කරුවා ප්‍රබල ජන සන්නිවේදකයෙකු බවට පත්වී ඇති බැවු පෙනේ.
මේ අනුව බැලූ විට.. අද වන විට.. අන්තර්ජාලය සමඟ භාවිත වන බොහෝ යෙදවුම් අපේක්ෂිත මූලික කාර්යය ඉක්මවා බොහෝ දෑ කර දෙන තත්වයට පත්ව ඇති බැවු පෙනේ. එහෙත් අප භාවිත කරන්නේ.. අදාල යෙදවුමේ ඇති පහසුකම් වලින් ඉතාමත් සුළුතරයක් බව මගේ අදහසයි..කෙසේ වෙතත් අප හට ඇති පහසුකම් වලින් වඩාත් ඵලදායී ලෙස.. ප්‍රයෝජන ගැනීම අප සතු යුතුකමකි.

දියවන්නා රිටි පැනීම..

මනාපයක් ඉල්ලාගෙන හැම තැන ...............රිස්සේ
දනින් වැටි වැටී ගොහොරුවෙ පිරි මඩ .........ඔස්සේ
වසන්තයක කොඩි ඔසවා වෙළකට ............බැස්සේ
රුවන් සක්මණින් ගොස් බොහො කලකට ....පස්සේ

බඩ මහතයි ඒක ලෙඩක් මගෙ වරදක් ......නොවෙයි
පෝස්ටර් ටිකත් ණයටයි.. මගේ සල්ලි .....නොවෙයි
දියවන්නා රිටි පැනීම ගතට වෙහෙස .......නොවෙයි
හිතට දුක උනත් පනින්නෙ . මුදලට හෙම නොවෙයි

බෙදා හදා කන එක ගැන කියල' දුන්නු ...........අයයි
සදා තනිව කන හැටි පෙන්නලා දුන්නු ............අයයි
මෙදා නොකා පස්සෙ කන්න පෙරුම් පුරන ....අයයි
සුදා වෙළේ ඉද්දි ෆයිල් ඉස්සුවෙ මේ .............අයයි

මට්ටු කරන්නට මේ අය මඟක් නැද්ද .............ඔබට
තුට්ටු දෙකේ ලණු මොකටද එල්ලෙන ........පාලමට
රට්ටු මොනා කීවත් අපි බය නැහැ ඔය ........හෙටට
කිට්ටු වෙයල්ලා හනිකට "සීලරතන" .............හිමිට