Friday, September 18, 2015

නවක ගායිකාවක ගේ ගුණදම්

මගේ දුව ට.. පහුගිය සැප්තැම්බර් හය වෙනිදට.. අවුරුදු 8ක් සම්පූර්ණ උනා.. එයා ඉගෙන ගන්නෙ තුන්වැනි වසරෙ නෙ.. ඉතිං.. දැං.. ටික ටික තේරෙනවා.. ඉල්ලීම් එහෙම වැඩි වෙනවා.. උපන්දිනේ සමරන්ට යාළුවො දෙතුන් දෙනෙක්ටත් එන්ට කියන්ට ඕනි කියලා ඉල්ලීමක් ඉදිරිපත් උනා.. ඉල්ලීම දිහා සාධාරණව බලපු මගේ බිරින්දැ.. ඒකට එකඟ උනත්.. පවුලෙ කට්ටිය විතරක් සහභාගි වෙන සාම්ප්‍රදායික උපන්දින සාදයට .. මේ දරුවොත් එකතු උනොත්.. දෙගොල්ලන්ම බලාපොරොත්තු වන සුන්දර විනෝදය අහිමි වෙන්ට පුළුවං කියලා හිතපු මං යෝජනා කළා.. දරුවන් එක්ක සාදය ඊළඟ සතියට කල් දාන්ට.. ඒ වගේම සාදය වෙනුවට දුවගෙ යාළුවො වෙනුවෙන්.. අපේ ගෙවල් වලට වැඩි දුරක් නැති.. සීතාවක උද්භිද උද්‍යානයේ එකී දවස ගත කරන්ට..
ඉතිං.. මේ යෝජනාවට.. හැමෝම එකඟ උනු හින්දා.. දුවගෙ යාළුවොයි.. එයාලගෙ මවු දෙමවුපියොයි එක්ක අපි උද්‍යානෙට ගියා.. තවම බලන්ටය කියලා ඒ තරම් ම දෙයක් නැතත්.. සිරි නැරඹීමේ අදහසින් ඒ පැත්තෙ ගියත් ඒ තරම්ම පාඩුවක් නොවෙන්නෙ.. අක්කර එකසිය ගානකින් හැට ගානක් ම.. ඇවිදින්ට පුළුවන් වෙන තරමට වැඩ අවසාන කරලා තියෙන නිසා.. කොහොම උනත්.. අපි නම්.. ඇතුළු වෙලා.. මුල්ම හරියෙ හමු වෙන.. කුඹුක කියලා හඳුන්වන කුඹුක් ගස් වලින් පිරුණු ප්‍රදේශය පහු කරලා ගියේ නෑ.. ඒ ඉතිං.. ළමයි .. එල්ලගෙන එහෙම ලොකු දුරවල් ඇවිදින්ට බැරි නිසා.. ඒ අතරෙ.. මඟුල් ජෝඩු ඇතුළු විවිධ කණ්ඩායම්.. විවිධ ආකාරයේ.. රූගත කෙරීම් වල නිරතව ඉන්න බවත් දැනගන්ට ලැබුණා..

මේ අතර එක විදිහකට ඇඳගත්තු තරුණ ගෑණු ළමයි දෙන්නෙක්ව කොල්ලො ටිකක් වට කරගෙන රූගත කිරීම් කරන ආකාරයත් අපට දකින්ට ලැබුණා.. සිංදු වීඩියෝවක් සඳහා මේ රූගත කිරීම් කරනවා කියලයි කිවුවෙ.. ඔය අතරෙ.. එතන හිටපු එක ගෑණු ළමයෙක් එක්ක අපේ දූලා.. බොහොම හිතවත් උනා.. කොයි තරම් හිතවත් උනා ද කිවුවොත්.. කෑම බීම ගිහින් දෙනවා.. කැමරා, ෆෝන් අරං ගිහිං.. ෆොටෝ ගන්නවා.. එක කෙළියයි.. අනේ ඉතිං මේ ගෑණු ළමයත් ආඩම්බර කමක් එහෙම නැතුව.. බොහොම ආදරෙන්.. මෙයාලත් එක්ක කතා කර කර හිටියා..

ළමයින්ගෙ ආසාවට.. බෝට්ටුත් පැද්දට පස්සේ හවස් වේගන ආව හින්දා අපි පිටත් වෙනකොට.. හිටියේ තව කීප දෙනයි.. ඒ කට්ටියටත් තව ටිකකින් එළියට යන්ට වෙන බව තේරුණේ.. හවස 6 වෙනකොට.. ඔක්කොමලා එළියට යන්ට ඕන කියලා නීතියක් තියෙන බව.. ගේට්ටුවෙ හිටපු නිලධාරීන් කියපු නිසා.. ඉතිං කොහොම හරි.. අපි බොහොම සන්තෝෂෙන් ගෙදර ආවා..

ඔය අතරේ.. අර ගෑණු ළමයත් එක්ක වැඩිපුර හිතවත් උනු අපේ දූ ගෙ යාළුවා.. එයාගෙ මොබයිල් නොම්බරේත් ඉල්ලගෙන.. මගට ඇවිත් කෝල් එකක් දීලා..

එතකොට මේ ගෑණු ළමයා අහලා තියෙනවා .. ඔයාලගෙ බෑග් එකක් දාලා  ගියාද කියලා? දූගෙ යාළුවගෙ අම්මා අපෙන් කතා කරලා අහනකොට තමයි දැන ගත්තේ.. අපේ බිරින්දැගෙ.. සබ්බ සකලමනාව ම හෙවත්.. ෆෝන් එකයි.. පර්ස් එකයි ඇතුළු.. ගොඩක් දේවල් දාලා තිබුණු මල්ලක් උද්‍යානෙ අමතක වෙලා ඇවිත් කියලා..

හොඳ වෙලාවට මේ ගෑණු ළමයා.. බෑග් එක අරං ඇවිත්.. දූගෙ යාළුවට දීලා අපටත් කෝල් එකක් දුන්නා.. ඒක නිසා අපට ලැබෙන්නට නියමිතව තිබුණු ලොකුම ලොකු පෝරියල් එකකින් අපි බේරුණා..

ඉතිං මේ සිංදු කියන නංගිට වැඩි වැඩියෙන් හරියන්ට කියලා ප්‍රාර්ථනා කරන ගමන් ම.. මේ තියෙන උතුම් ගුණ ධර්ම තව තවත් වර්ධනය වේවා කියලත් මං හදවතින් ම ප්‍රාර්ථනා කරනවා..

සිරස නාලිකාවෙ යන සුජාතා ටෙලි නාට්‍යයෙ තේමා ගීතය වන මෙන්න මේ සිංදුව කියන්නෙත් ඔය අපිට උදවු කරපු නංගි කියලයි කියන්නෙ.. එයා ගෙ නම.. ශිරෝමි රත්නායක. අවාසනාවකට.. අපි කවමදාවත්.. ඔය කියන නාට්‍යය බලලා නෑ.. ඒ නිසා ම සිංදුව අහලත් නෑ.. ඒක ඉතිං මේ නංගිගෙ වරදක් නෙමෙයි නෙ.. 

3 comments:

  1. මේ දවස්වල අහන්න කියවන්න ලැබෙන්නේම අසුබ දේවල් සෘණාත්මක පැත්තට යන දේවල් ඒත්! මෙතන !! අමුතුයි.!!! වටිනා දරුවන්ගේ වටිනා ගුණධර්ම අගයන්න නිර්ලෝභීව ඉදිරිපත් වූ ඔබ උත්ම් කෙනෙක්. . ඔබ වගෙම් ඔය කියන ටෙලි නාඩගම බැලෙන්නේත් නැති නිසා ඒ දරුවා කවුද කියල මා දන්නේත් නෑ. ඒත් සුවඳ විහිදුවන මල්කැකුලකට මගේත් සුබ පැතුම්

    ReplyDelete
  2. මැණික් තියෙන්නෙත් ගල් බොරළු අතරම තමයි. ඒ තරුණ ගායිකාවට මගේ උපහාරය..

    ReplyDelete
  3. ඇයගේ ක්‍රියාව යහපත්........ඇයගේ ක්‍රියාව මෙන්ම, යහපත් ක්‍රියාවන් අගය කිරීමේ ඔබගේ ගුණයද ඉතාමත්ම වටිනවා..........

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..