Thursday, September 3, 2015

අනේ ඉතිං අපි දෙන්නට..! Happy 10th Anniverssary


මීට අවුරුදු 10කට ඉස්සර මේ වෙලාව වෙනකොට මං හිටියෙ සවාරියක අතර මැද..තනියෙම නෙවෙයි.. මගේ ආදර බිරිඳත් එක්ක.. ඒ සවාරියට කිවුවෙ.. Honey Moon එක කියලා.. 

සැප්තැම්බර් 01 වෙනිදා.. කසාද බැඳලා.. මඟුල් ගෙදර ඉවර උනාට පස්සෙ.. රත්නපුරේ රෙස්ට් හවුස් එක.. හග්ගල පැත්තෙ රෙස්ටොරන්ට් එකක (නම මතක නෑ).. තමයි 02 වෙනිදා රාත්‍රිය ගත කළේ.. 

ගෙදර අයගෙ.. යාළු මිත්‍රයන්ගෙ විරෝධය මැද්දෙත්.. අපේ ගමන අපි ගියේ .. අපේ දඬුමොණරෙන්.. ඒක නිසා වෙඩින් කපල් එකක් විදිහට අපිව හයිලයිට් උනෙත් නෑ.. 
හුඟක් තැන් වලදී.. ගමනත් පහසු උනා.. විශේෂයෙන්.. පාරවල් හදන නිසා වාහන තදබදය ඇතිවෙලා තිබුණු තැන් වලදි.. ලොකු වාහන වලට යන්න බැරි තැන් වලදි.. අපේ වාහනේ අපට ආශිර්වාදයක් උනා..

ඒත් සමහර අවස්ථා වලදි නම් කරදරේ වැටුණා.. තුන්වැනි දවසෙ එක තැනකදී (ගම්පොල ආසන්නයේදී) පැච් එකක් ගිහිං.. කිලෝ මීටර දෙකක් බයික් එක තල්ලු කරන්ට උනා..  හතරවැනි දවසෙ.. මාවනැල්ලෙ ඉඳං.. අවිස්සාවේල්ලට ම එනකං.. හොඳට තෙමුණා.. 

ඔය බයික් එකේ හනිමූන් ගිය කතාව ප්‍රසිද්ධියෙ පළ කරන්නෙ ප්‍රථම වතාවට හොඳේ.. මට ඒක රසවත් උනාට.. අනෙක් අයට රසවත් නොවන නිසා... අපි ඒක බොහෝ දෙනාගෙන් වහං කළා..

කොහොම හරි.. අතුරු ආන්තරාවක් නැතිව.. හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නෙ නැතිව.. අපේ සවාරිය නිම කරලා 05 වැනිදා සියළු ආශිර්වාද මැද.. අලුත් මනමාලිව .. ගෙදරට කැන්දං එන්ට මට පුළුහන් උනා..

නියම සටන පටං ගන්නෙ ඊට පස්සෙයි කියලා දැනගෙන උන්නු හින්දම.. ජීවිතේ .. දුක සැප අසල නොසැලී ගෙවන්ට අපට පුළුහං උනා.. ඔවු.. ඔයා සාර්ථක බිරිඳක් වෙන්ට වගේ ම අපේ පවුලේ සාමාජිකයෙක් වෙන්ට ඉතා ඉහළ මට්ටමේ කැපවීම් කළා.. මගේ අම්මත්.. අක්කත්.. ඔයත් අපේ පවුලෙම කෙනෙක් විදිහට සලකමින්.. සුළු සුළු වැරදි තිබුණත් ඒවා නොසලකමින්.. කරපු කැපවීමුත් ඊට දෙවෙනි නෑ.. මං හිතන්නෙ ඔයාව මටත් වඩා මගේ පවුලේ උදවියට සමීපව දැනුණා.. ඇතැම් විට ඔයා තමයි මට ඒ අයගෙ ගැටළු වලට මැදිහත් වෙන්ට අවශ්‍ය තොරතුරු පවා ලබා දුන්නේ.. කොටින්ම.. අපේ පවුලෙ බැඳීමේ පුරුක බවට පත්වෙන්ට ඔයාට පුළුහං උනා..

ඊළඟට අපිට දරුවො ඉපදුණා.. ඔයාගෙ කාර්යභාරය එන්ට එන්ටම විශාල උනා.. ඔයාගෙ රස්සාව නිසා.. පවුලේ වැඩ වලට (විශේෂයෙන් දරුවන්ගෙ සතුට ට) බාධාවනුත් නොවුනා නෙවෙයි.. ඒ ගැන මං හිටියෙ ඒ තරම් සතුටකිනුත් නෙවෙයි.. මතකයිනෙ.. බඳින්ට ඉස්සරම ඔයා එකඟ උනා.. රස්සාව විවාහයට කරදරයක් නොවෙන විදිහට කරන්ටත්.. මං කියන වෙලාවක රස්සාවෙන් අයින් වෙන්ටත්..  ඒත් ඔයාට රස්සාව දිගටම කරන්ට දැඩිවම ඕන උනා..  ඔයාගෙ අම්මගෙ .. සහෝදරියන්ගෙ වගේ ම මගේ දෙමවුපියන්ගෙ බලපෑමුත් ඒකට හේතු වෙන්ට ඇති.. ඒ කාරණේදි නං තවම මං පරාදයි.. 

ඒ වගේ ම.. පහුගිය අවුරුදු දහයෙ... මගෙ අතිනුත්.. නොයෙක් අඩුපාඩු වෙන්ට ඇති.. විශේෂයෙන් මට කේන්ති යන්ට ඇති.. ඒ වගේම.. ආර්ථික වශයෙනුත්.. හිතන පතන තරමටම ඔයාට සැප සම්පත් දෙන්ට මට බැරි වෙන්ට ඇති.. ඒත්.. මං නිතරම .. මගේ යුතුකම් උපරිමයෙන් ඉටු කරන්ට උත්සාහ කළා.. අපි නිතරම උත්සාහ කරන්ට ඕන.. ඒ උත්සාහ වලින් සීයෙට හැත්තැ පහක් විතර වත්.. හරි යනවා නං.. අපි විශිෂ්ඨයි.. අඩු ගානෙ සීයෙට හැටක් විතර හරි යනවා නං.. අපි හොඳයි.. සීයෙට පනහක් උනත් කමක් නෑ... කොහොම උනත්.. කිසිවක් උත්සාහ නොකර ඉන්නවාට වඩා.. සීයෙට එකක් හරියන්ට හරි උත්සාහ කරන එක හොඳයි කියන එකට අපි එකඟ වෙන්ට ඕන.. 

තවම දහයයි ගියෙ.. මං හිතන්නෙ.. අඩු ගානෙ අපට තව.. පහලොවක්වත් යන්ට තියෙනවා..උත්සාහ කළොත්.. අපිට පුළුහං වෙයි.. අපේ පැතුම් එක්ක සමගාමීව.. සතුටෙන් ජීවිතේ ගෙවන්ට.. 

දුරක් ආවා
ඇවිදගෙන මාවතක
තවත් යන්නට
තිබේ බෝ දුර මඟක
අඳුර දුරලන
පහන් දල්වමු
රුදුරු වැසි කඳ
පෙමින් අවුරමු
කොහිද එළියක්
අපේ පෙම් සිත් මිසක




4 comments:

  1. මෙච්චර ලොකු එකක් කියෙව්වමයි.. ඇනිවැසිරියට උණුසුම් සුභපැතුම්..

    ReplyDelete
    Replies
    1. හිකි.. හිකිස්.. බෝම ස්තුතියි..

      Delete
  2. උඹල දෙන්නටම සුබ පැතුම්. දිවි මග සාර්ථක වේවා...

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි අයියා..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..