Wednesday, January 27, 2016

බැරිදා විග්‍රහය ! හෙළ බොදු සටනේ ඥාණසාර ලකුණ

හෙළ - බොදු සටන කී පමණින්ම .. එහි කිසියම් නොගැලපීමක් ද එක් වන බව ද දකිමින් මෙම සටහන මේ මැයෙන් ම ආරම්භ කරන්නේ .. මේ මොහොතේ එසේ කළ යුතුයැයි සිතෙන නිසා ය.
හෙළ - යනු වෙන් අදහස් වන්නේ සිංහල දේශයට අයත් තැනැත්තා යන්න මගේ අදහස වුවත්.. එය "සිංහල බස කතා කරන්නා" දක්වා පටු විය හැක..
බොදු - කීවාම මූලික වශයෙන් එයින් බෞද්ධයා නිරූපනය වන අතර අවැසි නම් සැබෑ බෞද්ධයා, නමට බෞද්ධයා ආදී වශයෙන් ප්‍රබේධ කර ගත හැක..
හෙළ බොදු - කීවොත්.. ඉහත කී කුලක දෙකටම අයත් කුලකය (හෙවත් කුලක දෙකෙහි ඡේදනය ) නිරූපණය වන අතර එකී ඛණ්ඩනය නිසැක වශයෙන් ම අපගේ ප්‍රමාණාත්මක පිරිස් බලය පිරිහෙන කෙළියක් බව පැහැදිලිය..
හෙළයා වශයෙන් 100% ක් සිටින අප හෙළ බොදු වී 65% දක්වා පල්ලම් බසිමු.. අප නිතරම කල්පනා කරන්නේ අපේ 65% වත් රැක ගන්නා විදිහ ගැන ය. ඇත්තෙන් ම එයට අති විශාල තර්ජනයක් තිබේ.. වෙනත් ආගම් කෙරෙහි විශ්වාස තබන පිරිස් වල වර්ගයා බෝ කිරීම.. අපට වඩා ඉදිරියෙන් තිබෙන නිසා එය සිදු වන බව අපේ අපවත් වී වදාළ සෝම හිමියන්ගේ ද අදහස වූ බව ඔබටද මතක ඇතැයි සිතමි.
එහෙත්.. වර්ගයා බෝ කිරීමේ අඩුවටත් වඩා.. ධර්මය බෝ කිරීමේ අඩුව නිසා හෙවත්.. ජනතාව ධර්මයෙන් පිරිහීම නිසා.. සැබෑ බොදුණු පිරිවර හීන වන බව ද උන් වහන්සේ දෙසූ බව.. අද රැල්ලේ බොදුණුවන්ට වැටහී නොමැති බව සක්සුදක් සේ පැහැදිලිය. ඥාණසාර හිමි සහ උන් වහන්සේ ගේ අනුගාමිකයන් පෙනී සිටින්නේ ප්‍රශ්නයෙන් ඔවුන් රිසි කොටසකට පමණක් බව මා කියන්නේ ඒ නිසාය. ඒ පෙනී සිටීම ද.. ඉංගිරිසි බෙහෙත මෙන් උඩින් ලෙඩේ හොඳ කළා ට.. රෝග නිධානය නසන්නේ නැත. හැබෑ බෙහෙත සොයන්නට නම්.. සැබෑ මිනිසුන් ඉස්මතු විය යුතුය.. ආගමික නායකයින්.. උගතුන්.. බුද්ධිමතුන් .. ඇතුළු කොයි කවුරුත්.. ආකල්පමය වශයෙන් කුහක නොවී.. අවංකව ම ජනවාර්ගික සහ ආගමික සංහිඳියාව නිර්මාණය කළ යුතුය..
පසු ගිය යුගයේ රාජ්‍ය අනුග්‍රහය රහසේ ලැබූ බව පැවසෙන ඥාණසාර හිමි ගේ භූමිකාව ඉතා වැදගත් භූමිකාවක් වන්නේ .. එකී භූමිකාව නොවන්නට හෙළ බොදු කුලකය මේ වන විට හාන්සි වන තත්වයක් උදා විය හැකිව තිබූ නිසාය. විසෙන් විස නැසීමේ ප්‍රයෝගය පසුගිය රජය සමයේ හෙළ-බොදු කුලකයට අස්වැසිල්ලක් ගෙන ආවේය.. අන්තවාදී දේශපාලකයන් එක් පසකින් හෙළ -බොදු කුලකය සතු සම්පත් උදුරා ගන්නා විට.. ඥාණසාර හිමි ඇතුළු හෙළ-බොදු සටන් කරුවෝ.. ඒවාට එරෙහිව හැකි පමණින් සටන් කළෝය.. එහෙත් නීතියට .. ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් තිබුණේ නැත..
එකලට එම ක්‍රමය හරි ගියාට නීතියේ දෙවඟන පණගහන මේ කාලයේ.. ඒවා හරියන්නේ නැත.. ඥාණසාර හිමි ඇතුළු පිරිසගේ සටනට මේ දිනවල හරි හමං සටන් පාඨයක් ඇත්තේවත් නැති තරම්ය.. අතුරුදන් වූ එක්නැලිගොඩ මහතා සම්බන්ධව ජරා කතා කියා හත්පොලේ ගාගත්තේ ඒ නිසා ය.. මේ විනාශ කරන්නේ අර හෙළ - බොදු කුලකයට යන්තම් හරි ඉතිරිව තිබූ ගෞරවයයි.. බෞද්ධ යන්නෙහි එක් තේරුමක් ලෙස බුද්ධිමත් යන්න පවතින බව මම අසා ඇත්තෙමි.. ඉතින්.. අප තවමත් බෞද්ධ යැයි කියා රෙදි ඇඳගෙන කිව හැකිදැයි.. සිතා බැලිය යුතුමය..
රට තුළ අවශ්‍ය ව්‍යවස්ථා, නීති, රෙගුලාසි සංශෝධනය කිරීමෙන් පසුව වත්.. හැම දෙනාටම එක ලෙස සාධාරණව සලකන නීති පද්ධතියක් ඇති කළ හැකි නම්.. එකී නීතියට ගරු කරන.. එහි සාරධර්ම රකින සමාජයක් බිහි කළ හැකි නම්.. මේ සමාජයට තවත් ඥාණසාර හිමි වරු ඕනෑ ම නැත. හෙළ-බොදු සටනක් ඕනෑ ද නැත..

Tuesday, January 26, 2016

ඔබ දනී..

            
මොහොතක් ලබා සෙනේ ඔය රුවන්හදවතින්
මැරුණත් කමක් නැතේ නොම මැරීඉමි හිතින්
අහසත් සිනා නොවී පිණි සලයිඇගෙ නෙතින්
මෙහෙයක් මටත් කියන් ඉටු කරන්නට ඉතින්
  
කල් යල් බලා එසැණින් කළ යුතුයිකරන දේ
දුල් නිල් වළා අතරත් සැඟව යයිඑළි සඳේ
බොල් ගල් තලා මතදිත් නොම දැනෙයිඇති තදේ
මල් මල් වෙලා වැදියන් වදින ගල් හෙම ළදේ
  
පාවෙන පුළුන් රොදක් ඉගිලුණත්වැසි සොයා
යාවෙන කැළුම් නෙතේ නිති රැඳෙයිදුර නොයා
ගෑවෙන දුරක් ළඟින් නොසිටියත්නිති ඔයා
නෑවෙන තරම් සෙනේ ඔබ දනීඔබෙ කියා
  

Thursday, January 7, 2016

බැරිදා විග්‍රහය ! අවුරුද්දෙ සැමරුම

මෛත්‍රී ජනපති වෙලා අවුරුද්දක්ය. ඒකට පදවි ප්‍රාප්තිය නොකියා.. ඉන්ට කියා මෛත්‍රී කියා ඇත්තේ.. ඒ පදවිය දරලා කොරපු දේවල් ගැන එතුමාට සෑහීමක් නැති නිසා වෙන්ටත් පුළුවන්ය. නැත්තං ඒ කියමනේ ඒ හැටි වරදක් මට නං පේන්නේ නෑ ය. කොහොම උනත්.. හෙට දානයක් දෙන්ට වටිනවාය. ඒ අප්පච්චිගේ අවුරුද්දේ දානය නිසාය. ඒත් අප්පච්චි ආයෙත් උට්ඨානය උන නිසා ඒකත් ඕන නෑ ය. කොහොම උනත් මගේ අදහසට අනුව නම්.. මේකේ සමරන්ට අහවල් එකක් නෑ ය.
සැමරීම කෙසේ වෙතත්.. අතන මෙතන කොතන උනත් කතා කෙරෙන්නේ අප්පච්චිගේ මරණයේ අයිතිකරුවා ගැන ය. ඔළුව මගේ යැයි ජවිපෙ කියයි.. කඳ බඩ මගේ යැයි එජාපය කියයි.. දෑත් දෙපා ආදී වශයෙන් අප්පච්චිගේ ශ්‍රී දේහයේ අයිතිය ඉල්ලා කට්ටිය එක පොරයකය.. චන්ද්‍රිකා, ශිෂ්‍ය ව්‍යාපාර, සිවිල් සංවිධාන ඒ අතර ප්‍රධානය.. මං සියඹලා ගෙනාවෙම නැද්දැයි අහන්නට අප සෝභිත හිමියන් සුජීවත්ව නොසිටි එක එක අතකින් හොඳා ය.. අප්පච්චි වේවා ප්‍රභාකරන් වේවා.. මළ දා.. සතුටු වීම තුඡ්ඡ කමක්ය.. ඒත් මළ එකා මළ විදියට ඉන්ට ඕනෑ ය. නොමළ ගානට කොකං පාන්නට ආ විට ආයෙ ආයෙත් මරන්නට වෙනවා ය. අපට ඕනෑ.. මළ කුණු අත හැර.. දියුණුවේ රන් දොරටුව සොයන්නට ය. ගැලරියේ මොනවා කීවත්.. හොරු අල්ලනවාට වඩා වටිනා වැඩ ඕනෑ තරම් ය.. ජාතික ණය ප්‍රශ්නය.. වකුගඩු, ඩෙංගු වැනි මාරාන්තික රෝග, තේ, රබර් මිළ අඩු වීමේ ප්‍රශ්නය ආදී දැවැන්ත ප්‍රශ්න රාශියක් විසඳුම් නැතුව තියෙද්දී.. මෛත්‍රී තනපටයක් ගැන කතා කොරන්ට ගොස් ඇණ හොන්ඩර ගාන්ට ගත්තේය. එහෙම ඇණ ගත්තා කියා අපි දොස් කියන්නේ තරහට නොවේ ය.. ආදරේට ය..

මෛත්‍රී, රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පත් වූ දා සිටම ගහන්නේ ගේම් ය. සමහර විට ඒ ඔවුන්ට ඕන නිසාම නොවන්නට පුළුවන්ය.. ඔවුන්ට වැඩ කරන්ට වී ඇත්තේ නොම්මර එකේ ගේම් කාරයින් සමඟය.. ඇත්ත කතාව නම් ජනතාව රනිල්ට හා මෛත්‍රී ට බලය දුන්නේ නෑ ය.. කළේ .. මහින්ද ගේ බලය ඉවත් කිරීම පමණක්ය.. මෛත්‍රී ට අවැසි නම්.. බලය බලෙන් ගන්නට පුළුවන් ය.. ඒත් හෘදසාක්ෂියට ගරු කරන බවක් පෙනෙන... ප්‍රජාතන්ත්‍රවාදයත් පොඩ්ඩක් හෝ රකින්ට ඕනෑය කියා හිතන බවක් පෙනෙන මේ නායකයො දෙන්නට තිබුණේ විකල්ප දෙකක් වන්නේය.. ඒ ඉන්න ගෝතයො ටිකත් එක්ක ඩීල් දමා.. ගේම් ගසා පුළුවං හැටියට කරගෙන යාම හා මහින්දට ම ආපහු බාර දී වළ පල්ලට යාම ය.. ඉතිං මේගොල්ලෝ ඩීල්/ගේම් තෝරා ගත්තෝ ‍ය..
රටේ ජාතික ආදායමෙන් 72% ක් ණය ගෙවන්ට තියෙනකොට.. ඉතුරු 28 න් මක් කොරන්ටද කියලා අහන් නැතුව බෑ ය. රනිල්ට මේකට විසඳුමක් තියෙන බවක් තාම පේන්නට නෑ ය. ඒත් අපට රනිල් හැර විකල්පෙකුත් නෑ ය. ජ්‍යෝතිෂ විශාරද සේන අම්බලම්ගොඩ මහත්තයා කියන්නේ.. 2017 දී රට ස්ථාවර වන බව ය. මෙච්චර ඉවසපු එකේ තව අවුරුදු එක හමාරක් දෙකක් අපට ඒ හැටි කජ්ජක් නොවේ ය. තවම ප්‍රජාතන්ත්‍රවාදය අපට හුරු නෑ ය. නිවහල් බව ද එසේම ය.. අපට හුරු හිඟා කෑම ය. වහල් බව ය.. යටහත් බව ය. ඒ නිසා.. මෛත්‍රී පඹයෙක් ය. නිවටයෙක් ය.
ඉතිහාසයේ පම්පෝරිය හැර අපට දැං ඇත්තේ.. මොළේ තියෙන මිනිස්සු ටික දෙනෙක් පමණක් ය. ඒ ටික දෙනා විස්මිත නිමැවුම් කරන්නෝය.. අනික් අයගෙන් වැඩි හරිය.. කෑමට යමක් හොයා ගැන්මට හෙවත් දිවිසරි කිරීමට.. රස්සා කරන්නෝය.. අපරාදෙ කියන්නෙ මත්පැන්, දුම්වැටි..බොරුව, පාදඩ කම හා කුහක කම අපිත් එක්ක කල්ලි ගැසී ඇති ආකාරය පුදුම සහගතය..
මිනිසා හදා රට හැදිය යුතු බව අපවත් වී වදාළ මහා නායක හිමිනමක් දෙසා ඇති බව මට මතක ය. කතාව ඇත්තය.. එහෙත්.. මිනිසා හදන්නේ කවුදැයි යන්න තවමත් ප්‍රශ්නයක් ය.