Wednesday, January 27, 2016

බැරිදා විග්‍රහය ! හෙළ බොදු සටනේ ඥාණසාර ලකුණ

හෙළ - බොදු සටන කී පමණින්ම .. එහි කිසියම් නොගැලපීමක් ද එක් වන බව ද දකිමින් මෙම සටහන මේ මැයෙන් ම ආරම්භ කරන්නේ .. මේ මොහොතේ එසේ කළ යුතුයැයි සිතෙන නිසා ය.
හෙළ - යනු වෙන් අදහස් වන්නේ සිංහල දේශයට අයත් තැනැත්තා යන්න මගේ අදහස වුවත්.. එය "සිංහල බස කතා කරන්නා" දක්වා පටු විය හැක..
බොදු - කීවාම මූලික වශයෙන් එයින් බෞද්ධයා නිරූපනය වන අතර අවැසි නම් සැබෑ බෞද්ධයා, නමට බෞද්ධයා ආදී වශයෙන් ප්‍රබේධ කර ගත හැක..
හෙළ බොදු - කීවොත්.. ඉහත කී කුලක දෙකටම අයත් කුලකය (හෙවත් කුලක දෙකෙහි ඡේදනය ) නිරූපණය වන අතර එකී ඛණ්ඩනය නිසැක වශයෙන් ම අපගේ ප්‍රමාණාත්මක පිරිස් බලය පිරිහෙන කෙළියක් බව පැහැදිලිය..
හෙළයා වශයෙන් 100% ක් සිටින අප හෙළ බොදු වී 65% දක්වා පල්ලම් බසිමු.. අප නිතරම කල්පනා කරන්නේ අපේ 65% වත් රැක ගන්නා විදිහ ගැන ය. ඇත්තෙන් ම එයට අති විශාල තර්ජනයක් තිබේ.. වෙනත් ආගම් කෙරෙහි විශ්වාස තබන පිරිස් වල වර්ගයා බෝ කිරීම.. අපට වඩා ඉදිරියෙන් තිබෙන නිසා එය සිදු වන බව අපේ අපවත් වී වදාළ සෝම හිමියන්ගේ ද අදහස වූ බව ඔබටද මතක ඇතැයි සිතමි.
එහෙත්.. වර්ගයා බෝ කිරීමේ අඩුවටත් වඩා.. ධර්මය බෝ කිරීමේ අඩුව නිසා හෙවත්.. ජනතාව ධර්මයෙන් පිරිහීම නිසා.. සැබෑ බොදුණු පිරිවර හීන වන බව ද උන් වහන්සේ දෙසූ බව.. අද රැල්ලේ බොදුණුවන්ට වැටහී නොමැති බව සක්සුදක් සේ පැහැදිලිය. ඥාණසාර හිමි සහ උන් වහන්සේ ගේ අනුගාමිකයන් පෙනී සිටින්නේ ප්‍රශ්නයෙන් ඔවුන් රිසි කොටසකට පමණක් බව මා කියන්නේ ඒ නිසාය. ඒ පෙනී සිටීම ද.. ඉංගිරිසි බෙහෙත මෙන් උඩින් ලෙඩේ හොඳ කළා ට.. රෝග නිධානය නසන්නේ නැත. හැබෑ බෙහෙත සොයන්නට නම්.. සැබෑ මිනිසුන් ඉස්මතු විය යුතුය.. ආගමික නායකයින්.. උගතුන්.. බුද්ධිමතුන් .. ඇතුළු කොයි කවුරුත්.. ආකල්පමය වශයෙන් කුහක නොවී.. අවංකව ම ජනවාර්ගික සහ ආගමික සංහිඳියාව නිර්මාණය කළ යුතුය..
පසු ගිය යුගයේ රාජ්‍ය අනුග්‍රහය රහසේ ලැබූ බව පැවසෙන ඥාණසාර හිමි ගේ භූමිකාව ඉතා වැදගත් භූමිකාවක් වන්නේ .. එකී භූමිකාව නොවන්නට හෙළ බොදු කුලකය මේ වන විට හාන්සි වන තත්වයක් උදා විය හැකිව තිබූ නිසාය. විසෙන් විස නැසීමේ ප්‍රයෝගය පසුගිය රජය සමයේ හෙළ-බොදු කුලකයට අස්වැසිල්ලක් ගෙන ආවේය.. අන්තවාදී දේශපාලකයන් එක් පසකින් හෙළ -බොදු කුලකය සතු සම්පත් උදුරා ගන්නා විට.. ඥාණසාර හිමි ඇතුළු හෙළ-බොදු සටන් කරුවෝ.. ඒවාට එරෙහිව හැකි පමණින් සටන් කළෝය.. එහෙත් නීතියට .. ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් තිබුණේ නැත..
එකලට එම ක්‍රමය හරි ගියාට නීතියේ දෙවඟන පණගහන මේ කාලයේ.. ඒවා හරියන්නේ නැත.. ඥාණසාර හිමි ඇතුළු පිරිසගේ සටනට මේ දිනවල හරි හමං සටන් පාඨයක් ඇත්තේවත් නැති තරම්ය.. අතුරුදන් වූ එක්නැලිගොඩ මහතා සම්බන්ධව ජරා කතා කියා හත්පොලේ ගාගත්තේ ඒ නිසා ය.. මේ විනාශ කරන්නේ අර හෙළ - බොදු කුලකයට යන්තම් හරි ඉතිරිව තිබූ ගෞරවයයි.. බෞද්ධ යන්නෙහි එක් තේරුමක් ලෙස බුද්ධිමත් යන්න පවතින බව මම අසා ඇත්තෙමි.. ඉතින්.. අප තවමත් බෞද්ධ යැයි කියා රෙදි ඇඳගෙන කිව හැකිදැයි.. සිතා බැලිය යුතුමය..
රට තුළ අවශ්‍ය ව්‍යවස්ථා, නීති, රෙගුලාසි සංශෝධනය කිරීමෙන් පසුව වත්.. හැම දෙනාටම එක ලෙස සාධාරණව සලකන නීති පද්ධතියක් ඇති කළ හැකි නම්.. එකී නීතියට ගරු කරන.. එහි සාරධර්ම රකින සමාජයක් බිහි කළ හැකි නම්.. මේ සමාජයට තවත් ඥාණසාර හිමි වරු ඕනෑ ම නැත. හෙළ-බොදු සටනක් ඕනෑ ද නැත..

1 comment:

  1. //අතුරුදන් වූ එක්නැලිගොඩ මහතා සම්බන්ධව ජරා කතා කියා හත්පොලේ ගාගත්තේ ඒ නිසා ය.// ++++++++++++
    සිංහල බෞද්ධයා වෙනුවෙන් හා රණවිරුවන් වෙනුවෙන් සටන්පාඨ හොයා ගන්න එකයි මොන හේතුවක් උඩ හරි අසරණ වෙච්චි ගෑනියෙකුගේ මුනට 'උඹේ මිනිහා කොටියා.. උඹ හිඟා කාපිය' කියලා පරිභව කරන එකෙයි වෙනස මුන් වහන්සේට කවද තේරිවිද මංදා..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..