Sunday, February 28, 2016

කෝම්පිට්ටු...

            
රෑට බතට කන්ට කියල කෝම් පිට්ටුඉවුවා
කාට හැකිද ඕව' කන්ට! කියල' අම්ම'රැවුවා
ඊට පස්සෙ බත් ගෙනැල්ල' අනල' අනල'කැවුවා
පාට පිරුණු රහයි ගුණයි අපේ බඩට යැවුවා
  
කූට මිනිස් කැළයකි මේ අනතුරු ඇඟැවෙවුවා
මීට වඩා ඉවසිය යුතු බව නිතිපැහැදෙවුවා
දේට හොඳම යොමු කරද්දි බැන බැනඇහැරෙවුවා
දාට මියෙන ආඩම්බර වෙන්නට දිවුරෙවුවා
  
මෝටරේට බිලක් නැතිව රුහිරු කිරෙන්පෙවුවා
ඊට වැඩිය ඇගෙ කුස තුළ මාස ගණන්ගෙවුවා
ගාට ගාට උනත් හරි ම පාරෙන් අපයැවුවා
කාට ඕන නැතත් ඇයට අපව ඕනිකිවුවා
  

Wednesday, February 24, 2016

සංස්කෘතිය, සදාචාරය සහ සංවර්ධනය


සංවර්ධනය මදියැයි කියා ඇතැමුන් මැසිවිලි නගද්දී.. සංස්කෘතිය සහ සදාචාරය විනාශ වන්නේයැයි තවත් පිරිසක් මැසිවිලි නඟයි.. 

සමාජ හැසිරීමේ ස්වභාවය සංස්කෘතිය යන වදනින් දැක්වෙන අතර.. එය නිරන්තරයෙන් වෙනස් වන්නක් බව වටහා නොගැනීම තුළ ගැටළු බොහෝ.. ඇති වී තිබේ.. 

යහපත් වූ ආචාර ධර්මයන් සදාචාරය ලෙස දැක්වෙන අතර.. මේවා සංස්කෘතිය තරම් වේගයෙන් වෙනස් වන්නේ නැති.. බොහෝ සෙයින් වෙනස් නොවිය යුතු.. එහෙත් අලුත් විය යුතු.. ක්‍රියා පිළිවෙත් ය.. සංස්කෘතීන් වෙනස් වීමේදී නිරායාසයෙන් ම ඒ හා බැඳුනු සදාචාරයන් ද වෙනස් වන උදාහරණ ඕනෑ තරම් හමු වේ.. 

උදාහරණයක් ලෙස..තොටියා ගේ රැකියාව සැලකිය හැක.. ඒ වටා වූ සංස්කෘතිය එහෙම පිටින්ම පරිවර්තනය වී.. අද තොටියාගේ වෘත්තිය ක්‍රියාත්මක වන්නේ නැත.. ඒ වෙනුවට.. පාලම හරහා යන.. බස්, ත්‍රී රෝද රථ, බයිසිකල් හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් එකී සංස්කෘතියේ දිගුවක් ලෙස පවතී..  එම සංස්කෘතිය තුළ.. එකල පැවත් සදාචාරයන් තවමත් වළංගු ද යන කාරණය විමසා බැලිය යුතුය..

ඉහත කී සංස්කෘතික වෙනස.. සිදුව ඇත්තේ භෞතික සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස බව පැහැදිළිය. එහෙත් ඒ සමඟ, දැල්වී තිබූ සදාචාරයේ පහන් නිවී ගොස් ඇත්නම්..  අප ගමන් කර ඇත්තේ සංවර්ධනය දෙසට නොවන බව පැවසිය හැක.. එවැන්නකට ඊනීයා සංවර්ධනයක් යැයි කිව හැක. 


අපට අවැසි ඊනියා සංවර්ධනයක් නොව.. සැබෑ සංවර්ධනයක් නම්.. සදාචාරය රැක ගෙන සංස්කෘතිය වගා කරගෙන.. සංවර්ධනය කරා පිය නැගිය යුතුය.. 

භෞතික සංවර්ධනය යනු සංවර්ධනයේ.. එක් සාධකයක් පමණි.. 

Wednesday, February 17, 2016

කලමනාකරණය

බොහෝ දෙනා කතා කරන.. න්‍යායාත්මකව සිදු කරන ප්‍රායෝගිකව නොකරන කලමනාකරණයේ වෙසෙස් බොහෝය.. ව්‍යාපාර කලමනාකරණය, ජීවිත කලමනාකරණය, පිරිස් කලමනාකරණය, ආර්ථික කලමනාකරණය, කාල කලමනාකරණය.. ආදී වශයෙන් විවිධ වෙස් ගත් කලමනාකරණ විෂයයන් හා මාතෘකාවන් අපට හමුවේ..
ජීවිත කලමනාකරණය මේ අතර වැදගත්ම එකයැයි මා කියන්නේ .. ඒ මත අන් සියළුම දෑ තීරණය වන පසුබිමක් ඇති නිසා ය.. දිළින්දාගේ සිට මහා ධනවතා දක්වා දුක් විඳින්නේ.. නිසි කලමනාකරණයක් නොමැති වීම නිසා බව නිතර අසන්නට ලැබේ..
කලමනාකරණය යනු ප්‍රශ්නයක් විසඳීමයැයි මම කියමි..
ප්‍රශ්නය හඳුනාගෙන.. විකල්ප හඳුනාගෙන.. සුදුසුම විකල්පය තෝරාගෙන.. සැලසුම් සකස්කොට ක්‍රියාත්මක කිරීම.. යන සියල්ල කලමනාකරණයේ පියවරයන් වේ.. කලමනාකරණයේ අග්‍ර ඵලය වනුයේ.. ගුණාත්මක බවින් හා කාර්යක්ෂමතාවයෙන් ඉහළ විසඳුමක් ප්‍රශ්නයට හිමි වීමයි..
ජීවිත කලමනාකරණයේ දී.. කළ යුතු .. නොකළ යුතු දෑ, ශක්තීන්.. දුර්වලතා, සහයෝග.. අභියෝග.. ආදී සියල්ල සැලකිල්ලට ගෙන විශ්ලේෂණයෙහි යෙදිය යුතුය... බැලූ බැල්මට මෙය අතිශය දුෂ්කර කාර්යයක් සේ පෙනුන ද.. මේ සියල්ල මනාව පරිහරණය කරන්නා.. ලබන ඉහළම දායාදය චිත්ත සංතෘප්තිය මිස අනෙකක් නොවේ..
සටන් කලා සියයක් දන්නා කෙනාට බැරි වූ දේ එක් සටන් කලාවක් දැන සිටි කෙනා කළ කතාවක් ඔබ අසා ඇතැයි සිතමි.. එය එසේ සිදු වූයේ.. ඉහත කී කලමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙසය.. බොහෝ විකල්ප තිබීම.. තෝරාගැනීම අකාර්යක්ෂම කරන්නක් බව මෙයින් පැහැදිලි වේ..
අපේ ගමට පැමිණෙන එක්තරා පුද්ගලයෙකි. ඔහු කලින් ගමේ පදිංචිව සිටි අයෙකි. කසාද බැඳ බිරිඳත් සමඟ අසල ගමක පදිංචි විය.. උපතින් දුප්පත් කෙනෙකි.. වැඩි දුර අධ්‍යාපනයක් ලබා නැත.. ඔහුගේ වත්මන් දින චරියාව නම් මගේ සිත ඇද බැඳ ගත්තේය..
ඔහු රැකියාව ලෙස කරන්නේ.. කුලී වැඩයි.. පොල් කැඩීම, තැඹිලි කැපීම, වැලි පැටවීම, ඉඩම් ශුද්ධ කිරීම ආදී ඕනෑම වැඩක් ඔහු ලවා සාධාරණ මිලකට කරගත හැක.. උදේ පාන්දර හය විතර වෙද්දී රැකියාව පිණිස ඔහු එන්නේ අපේ ගමට ය..
තමාට ලැබෙන වැඩ රාජකාරි..කිරීමට වෙලාව තමාට කැමති අයුරින් සකසා ගන්නා ඔහු හදිසි වැඩ සඳහා අත ගසන්නේ කලාතුරකිනි.. දවස පුරා එක වැඩක් නොකරන නිසා.. ඔහුට දවස් පඩියක් නොලැබෙන අතර.. කරන ලද වැඩ ප්‍රමාණය අනුව සාධාරණ මුදලක් ඔහුට ලැබේ.. බොහෝ විට වැඩ කරන කොහෙන් හෝ උදෑසන දිවා ආහාරයද ගන්නා ඔහු.. හැන්දෑවේ 3 වීමට ප්‍රථම සිය රාජකාරි නිම කොට නිවෙස බලා පිටත් වේ..
ඔහුගේ දිනක ඉලක්ක ගත මුදලක් තිබේ.. එය.. රුපියල් 1100 කි.. එම මුදල බිරිඳ වෙත භාර දෙන ඔහු.. යමක් ඉතිරි වුවහොත්.. එය තමා වෙත තබා ගන්නේ.. කලාතුරකින් හෝ ඉලක්කය සපුරා ගත නොහැකි දිනක් පැමිණියහොත් ඊට මුහුණදීම පිණිස ය.. එයට අමතරව.. ඔහුගේ ගානේ පොඩි පොඩි පිංකම් ද සිදු කරයි.. හරියට පාරක් නැති තැනකට පාරක් හදා දීම, පාරවල් වලට පොඩි පොඩි කොන්ක්‍රීට් දැමීම.. වැනි දෑ.. මේ අතර වෙයි.. මේවා කිරීමට වට පිටාවේ ද සහයෝගය ලැබෙන අතර. එදිනට ආදායමක් නොලැබුණාය කියා.. ඔහුගේ බිරිඳට දෙන මුදලේ වෙනසක් කරන්නේ නැත.. එය තමා සතු මුදලින් යොදවන ඔහු.. පින හා පවුල් ජීවිතය පටලවා නොගන්නා අයුරු සැබැවින්ම විශ්මය ජනක විය...
ඉරිදා දින ඔහුගේ විවේක දිනය වන අතර.. එදින තම දරුවන් හා එක්ව..විවේකීව ගත කිරීම ඔහු ගේ අරමුණ බව කීවත්.. එය කොයිතරම් දුරට කලමනාකරණය කරන ලද්දක්දැයි.. අසන්නට මා හට අවස්ථාවක් නොවීය.. මතු දිනයක අවස්ථාවක් ලදහොත්.. ඒ ගැන ද තොරතුරු ඔබ වෙත ගෙන එන්නට සිතන්නේ.. එබඳු කුඩා මිනිසෙකු නිසා..වුවද අපේ ජීවිත ගැන මොහොතක් සිතන්නට අපට ඉඩක් ලැබෙන එක බොහෝ සෙයින් වටිනා නිසා ය..
අප ජීවිතයේ ඉගෙන ගන්නා බොහෝ දෑ ඇතත්.. අපට වැදගත් වන්නේ.. ඉන් ඉතා කුඩා කොටසකි.. වැදගත්ම දේ ඒ කොටස කුමක්දැයි හැඳිනගැනීමයි..

Tuesday, February 16, 2016

දකුණු ආසියාතික ක්‍රීඩා ඉතිහාසය හා වත්මන් ජයග්‍රහණ...


වත්මන් දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල තුළ දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට.. අපි සමත් වීමු.. ඒ තුන්වැනි ස්ථානය සමඟ හොඳ පරතරයක් ද තබා ගනිමිනි. මේ අප රන් පදක්කම් අතර දෙවැනි තැන ගත්.. පළමු අවස්ථාව නොවේ.. කත්මන්ඩු නුවර පැවති පළමු තරඟාවලියේදී ද අප ලබාගත්තේ දෙවැනි ස්ථානයයි.. 91 ශ්‍රී ලංකාවේදී සහ 2005 ඉන්දියාවේදී ද අප එම ස්ථානය රැක ගත්තෙමු.. සමස්ථ රන් පදක්කම් අතර වැඩිම ප්‍රතිශතයක් හිමිව ඇත්තේ 91 ශ්‍රීලංකාවේ පැවති තරඟාවලියේ දී ය.
ඒ අතින් බලන කල.. මෙවර අමුතු දියුණුවක් නෑ වගේ ය.. එහෙත්.. පිටරටක දී (1993 බංගලිදේශයේදී රන් පදක්කම් 115 න් 20 ක් ලබා තෙවැනි තැන ලැබූ අවස්ථාව හැරුණු විට) .. විශේෂයෙන් ඉන්දියාව තුළ.. සාෆ් තරඟාවලියකදී.. අප ලබාගත් හොඳම ප්‍රතිඵලය මෙය වන්නේය..
කෙසේ වෙතත් වසර විසි පහකට පමණ පසුව.. අප ක්‍රීඩාවේ ඉදිරිගමනකට පය තබා ඇති බැවු පැහැදිලිය.. මෙය වටිනා තරඟාවලියක් වන්නේ එලෙසය.. උදම් වීමට දෙයක් නැත.. මේ ගැම්ම ඉදිරියටත් රැකගෙන ඉදිරියට යෑම විනා පම්පෝරි ගසමින් සිටීමෙන් නම් පලක් නොවනු ඇත.. 
ලෝකය වෙනස් කළ හැක.. ඒ සඳහා අප වෙනස් විය යුතුමය..

ජයග්‍රාහී.. කණ්ඩායමට අපගේ සුබ පැතුම්..!



Saturday, February 13, 2016

පැනයට පිළිතුර

එකමත් එක රටක රජෙක් ඇත රජ කරලා
ඇමැත්තොත් සිටී ඔහුගේ තනතුර ඔපලා
එහෙත් රජා අහන අමුතු පැන ගැන සිතලා
නිතරම දුක කියනවාලු දෙවියන් වැඳලා

රජුයි පැන විමසන්නේ - ඇමැත්තොයි දුක් වෙන්නේ

නිතරම වගෙ රජාගෙ පැන වැස්සට තෙමිලා
ඇමතියො ටික නාති සබන් නැතිවම හිසලා
මෙහෙම ගියොත් රස්සාවත් නැතිවෙයි සිතලා
පණ ගැහි ගැහි තමයි සැවොම එන්නේ දුවලා

කාගෙන් පැනය අහයිද - මට වැරදුණොත් බනියි ද

එදත් ඔන්න රජා පැනය විමසනු හැදුවා
ඇමතියො ටික මූණු හංග ගන්නට බැලුවා
රජ වාසල කවට තෙමේ මේ බව දුටුවා
හනිකට ඉදිරියට ඇවිත් පැන ගැන ඇසුවා

රජුට පුදුමත් හිතුණා - සිනාවක් මුව නැගුණා

නුවර පුරා ඉන්න කපුටො ගාන කීයද
කියල රජ තුමා විද්දේ ඔහුගෙ ඊය ද
හතලිස් පන් දෙසිය පනස් නවය ද
පොඩියක් ගෝලයො දම්මල' ගැනල' බලමුද

කවටය' මෙහෙම කියන්නේ - රජුටත් පුදුම හිතෙන්නේ

අඩු වුණොතින් ඊට වඩා නෑගම් ගොස් වේ
වැඩි වුණොත් ඉතිං නෑයෝ මෙහෙ ඇවිදින් වේ
නැතිනං මගෙ ගාණ ටක්කෙටම නිවැරදි වේ
ඔහොමයි කවටය එඩි මැද සබයෙහි කීවේ

වරද වූ බව දැනුණා - තෑගි බෝග ද පිදුණා

පැනයට ගැලපෙන විදිහට පිළිතුරු දෙන්න
ඕනෑ අපි කොයි කවුරුන් වුව දැනගන්න
තේරුමකුත් නෑ නොවැ බොරුවට බය වෙන්න
ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ද කන්න

තැනට සුදුසුම නුවණ - තමයි නිතරම සරණ

Thursday, February 11, 2016

බැරිදා විග්‍රහය ! මාධ්‍ය වේදියා


මාධ්‍ය වේදියා හෙවත්.. ජනමාධ්‍ය වේදියා  ගැන මේ දින වල නිතර කතා වෙනු ඇසේ.. 

වේදියා කී විට .. කිසියම් විෂය පථයක් ඔස්සේ සිය දැනුම පුබුදුවා ගත්.. එකී විෂයයෙහි යම් පරිචයක් ඇති.. තම විෂයයෙහි ආචාර ධර්ම මනාව හඳුනන කෙනෙකු හැඳින්වෙන බව මගේ අදහසයි. 

සූප වේදියා ගේ විෂයය .. සූප ශාස්ත්‍රය වන පරිදි ම ජනමාධ්‍ය වේදියා ගේ විෂයය.. ජනමාධ්‍යය වන්නේය.. පුවත්පත්, ගුවන් විදුලිය හා රූපවාහිණිය අද රටේ ප්‍රධානතම ජනමාධ්‍ය වන අතර.. එකී මාධ්‍යයන්හී තම වෘත්තීමය කාර්යයන්හී නියැලෙන්නෝ ජනමාධ්‍යවේදීන් ලෙස හැඳින්වේ.. 



කර්තෲ, ලේඛක, ඡායාරූප ශිල්පී, නිවේදක, ශබ්ද පරිපාලක, වැඩසටහන් සම්පාදක.. ආදී වශයෙන් අති විශාල පරාසයක විහිද ගිය පිරිසක් මෙම ජනමාධ්‍යවේදී.. කුලකයට අයත් වුවද, නිවේදකයා හා ලේඛකයා සෘජුවම ජනයා හා සම්බන්ධ වේ.. 

කරන කාර්යය කුමක් වුවද, තම වෘත්තියට අදාළ ආචාර ධර්මයන් ආරක්ෂා කොට සිය වෘත්තීය ගරුත්වය රැක ගැනීම කොයි කාගේත් වගකීම වේ. එහෙත් අද සිටිනා බහුතරයක් ජන සන්නිවේදකයින්.. වෘත්තීය ගරුත්වය ගැන වගේ වගක් නොමැතිව.. කවුරුන් හෝ හදා දෙන රාමුවක් ඔස්සේ නිදැල්ලේ සැරි සරණ බව කිව යුතුමය.. 

සිංහල බසෙහි ඇති ගුණාත්මක බව කෙළෙසමින්.. ලියන.. කියන.. කියවන ඔවුහූ..කියන්නට පටන් ගන්නේ කුමක්ද.. කියන්නේ කුමක් ද යන්න.. තමාවත් නොදන්නා ලෙසින් ඔහේ වචන විසි කරති.. තමා ගේ සීමාව සහ අනෙකාගේ පුද්ගලිකත්වයේ සීමාව නොදන්නා මොවුන් වැඩිපුරම කරන්නේ අනුන්ගේ කුණුකන්දල් ඇවිස්සීම ය.. 

තමා ගේ රාජකාරිය කුමක් ද යන්නත්.. එය සැම දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සිදු කළ යුත්තේ කෙසේද යන්නත්.. දැනගත යුත්තේ මාධ්‍ය වේදියා පමණක් නොවේ. අප හැම දෙනාට ම ඒ වගකීම ඇත.. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලා ලෙස හැඳින්වෙන ජනමාධ්‍ය.. අපක්ෂපාතීව, සාධාරණව, සංවේදීව කටයුතු කිරීම.. ජනතා ආකල්ප දියුණු කිරීමෙහිලා ඉතා වැදගත් වේ.. පුවතක් ඇති පමණින්.. එය රසවත්ව විකිණෙන පමණින් ඉදිරිපත් නොකොට.. එහි ගුණ අගුන විමසා බලා ඉදිරිපත් කිරීම ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් ගේ වගකීමයි.

ජනමාධ්‍ය වේදීන්ට දේශනා පැවැත්වීම අගමැතිවරයාගේ කාර්යය නොවිය යුතු බව මහිම් මෙන්ඩිස් මහතා පැවසුවේය.. අගමැති ලෙසින් එසේ කරත්දී.. ඔහු අයතා බලපෑම් කරන බවක් හැඟෙන බැවින්.. එය එසේ නොවිය යුතු බව මගේ ද අදහසයි.. 

එහෙත් ආකල්පමය වශයෙන් පරිහාණියට යන රට ගොඩ ගැනීමට සිටින ශක්තිමත්ම කණ්ඩායමට යළිත්.. ප්‍රජාතන්ත්‍රයේ මුර බල්ලා වීමට අවස්ථාවක් ඇත.. ඒ සඳහා තමාගේ වගකීම තමා වටහාගෙන කටයුතු කළ යුතුය.. 

ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය හෝ පක්ෂවාදය මතුකෙරෙන කාරණාවලදී වඩාත් විමසුම් ඇසින් කටයුතු කරමින් ද, භාෂාව හැසිරවීමේදී සහ සංස්කෘතික කාරනා වලදී වඩාත් සංයමයකින් කටයුතු කරමින් ද ජාතික, ආගමික සංහිඳියාව පිළිබඳ කාරණා වලදි.. වඩාත් ප්‍රායෝගිකව දැනුම බෙදා දෙමින් ද සිය ආචාර ධර්ම මනාව ආරක්ෂා කර ගනිමින් ද කටයුතු කරන්නට ශ්‍රී ලාංකීය ජනමාධ්‍යයට සහ ජනමාධ්‍යවේදියාට හැකියාව ලැබේවා කියා පතමින්.. මගේ සටහන නවතමි..





Thursday, February 4, 2016

ගෙදර පුංචි හුරතලා..

ගෙදර පුංචි හුරතලා
සණ්ඩු කළත් දඟ වෙලා
මාත් එක්ක හුරතලේට හිනාවෙන්නෙ තාම
කාට නැතත් පුතේ නුඹව වටිනව මට බෝම
පුතා දෙසම බල බලා
තරුත් ඉන්නෙ නැවතිලා
නිවි නිවි දිලිසෙන්නෙ මොකද එ තරු හරිම සෝකෙන්
පණිවුඩ හෙම තියෙනවාද ගෙනාව සුර ලෝකෙන්
ටික ටික නුඹ ලොකු වෙලා
සිප් ගුණ මල් දම් නෙළා
මිනිසත් කම් නිබඳ හැඳින පෙරටම යා නම්
නිවටුන් දෙස නොබලන් එය හරි අවදානම්
රට දැය දෙක සරසලා
නුඹ එනතුරු මඟ බලා
මං ඉන්නම් කල්ප කලක් වුව ඉවසාගෙන
පුළුවන්නම් හිනා වෙයන් මාව බදාගෙන